චරිත සහතිකයක් - 1 වැනි කොටස
(ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගැන චීන ජාතිකයෙක් ලියපු දීර්ඝ ලිපියක් මම කියෙව්වා. ඒක හුඟක් රසවත් සහ වැදගත් එකක් කියලා මම හිතනවා. ඒ දිග ලිපිය කොටස් කීපයකින් පළ කරන්න ඕන. මම පරිවර්තනය කරපු ඒ ලිපියේ මුල් කොටස අද කියවමු).
මම කොළඹ ගුවන්තොටුපලට එද්දි මගේ හිත සෑහෙන්න හිස් එකක්. වෑංජන රස, පිච්ච මල් සුවඳ, මුහුදු හුළඟේ පහස වගේ දේවල් ගැන අහපු කතාවලින් නම් මගේ හිත වෙළිලා තිබුණා. කොහොම වුනත්, මම ආපු ගමන් ම එක මොහොතින් ලක්‍ෂපතියෙක් බවට පත්වුණා. ඒ, ශ්‍රී ලංකා රුපියල හුඟක් පුංචි එකක් හින්දා. මගේ පසුම්බිය අලුත් ම අලුත් රුපියල් 5000 නොට්ටුවලින් පිරුණා. මම ඒ එකක් දීලා වතුර බෝතලයක් ගත්තාම නැමිච්ච, පොඩිවෙච්ච, පරණ නෝට්ටු ගොඩක් ඉතුරු විදිහට මට ලැබුණා. ඉතින් මගේ හිතෙත් ඇතිවෙලා තිබිච්ච ප්‍රබෝධය එක මොහොතකින් දිය බුබුලක් වගේ බිඳ වැටුණා.
“ඉන්දියානු සාගරයේ කඳුළු බිංදුව” කියලා හඳුන්වන රටට මම ඇතුළුවෙලා. මේ රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය තවමත් විසැඳිලා නෑ කියලා මම දැනගෙන හිටියා. ඒත් මගේ හිතේ ලොකු ප්‍රශ්නයක් ඉතුරුවෙලා තිබුණා. බංකොලොත් බව ප්‍රකාශයට පත් කරලා මහ ජංජාලයක් බවට පත්වුණා කියලා මාධ්‍යවලින් කියපු රට ද මේ? ඇත්තටම දැන් මේ රටේ තත්ත්වය මොකක්ද?
මම දවස් 25 ක් ශ්‍රී ලංකාවේ රැඳිලා හිටියා. දකුණේ ඉඳලා උතුරටත්, මුහුදු වෙරළේ ඉඳලා කඳුකරයටත් මම ගමන් කළා. දොරවල් නැති දුම්රියෙන්, සෙනඟ පිරිලා ඉතිරිච්ච බස්වලින් මම ගමන් කළා. යටත්විජිත පන්නයේ හෝටල්වලින් මම හවස තේ රස බැලුවා. පාර අයිනේ තියෙන දූවිලි වැහිච්ච කඩවලිනුත් මම කෑම කෑවා.
මගේ මේ අත්දැකීම් පදනම් කරගෙන මට එක කාරණයක් කියන්න ඕන. සංචාරක පත්‍රිකාවලින් විස්තර කරන “හිනාවෙන රට” කියන එකට වඩා මේ රටේ ස්වරූපය දහ දහස් වතාවක් සංකීර්ණ එකක්. ඒ වගේ ම, මාධ්‍යවලින් පෙන්නන “ගිනිගත් දේශය” කියන හැඳින්වීමට දහස් ගුණයකින් වෙනස් විචිත්‍ර රටක් මේක. මේ රටේ ඒ දෙපැත්ත ම තියෙනවා. සමහර කාරණා සැළකුවාම ඔබට මේ රටේ සඳහට ම ජීවත්වෙන්න හිතෙයි. ඒත් තවත් සමහර කාරණා සැළැකුවාම ඔබට ඒ මොහොතේ ම ගුවන් ටිකට් පතක් ඇරැගෙන ඊ ළඟ ගුවන්යානයෙන් ම ගෙදර යන්න හිතෙයි. මේ දෙපැත්ත ම මොහොතක් මොහොතක් පාසා ඔබ වටේ කැරැකෙනවා.
හැඩවැඩ දාපු ඡායාරූප ගොන්නක් ඔබට පෙන්නන්න ඕනකමක් මට නෑ. දවස් 25 ක් තිස්සේ මම මේ රටේ දී අත්විඳපු නියම ගිණුම් වාර්තාවයි මම මේ ඔබට ඉදිරිපත් කරන්නේ. සමහර සංචාරක නියෝජිත ආයතන සහ සංචාරක බ්ලොග් අඩවි කවදාවත් ඔබට කියන්නේ නැති ඇත්තක් මම ඔබට කියන්නම්.
1. අහසට පොළොව තරම් වෙනස් ගණන් දෙකක්:
(යුවාන් 3 ක තැඹිලි ගෙඩියක් සහ යුවාන් 500 ක “චයිනා ස්පෙෂල්” හෝටලයක්)
මගපෙන්නන්ගේ රෙකමදාරුවලින් විතරක් ශ්‍රී ලංකාව දිහා බැලුවොත් ඔබ මේක “බජට් ට්‍රැවල්” පාරාදිසයක් කියලා හිතේවි.
ඒක ඇත්ත! මුල් ම දවසේ මම මීගමුවේ වීදියකින් ලොකු තැඹිලි ගෙඩියක් මිල දී ගත්තා. ඒකට වියදම් වුණේ රුපියල් 150 යි. ඒ කියන්නේ, යුවාන් 3 ක් විතර. ඒ වෙළෙන්දා ලොකු පිහියකින් ඒකේ කට කපලා බීම බටයකුත් එක්ක මට ඒක බොන්න දුන්නා.
ඒ මිහිරි රස මගේ උතුරෙන් පහළට බහිද්දි ගිම්හානයේ මුළු පිපාසය ම සංසිඳුණා කියලා මට හැඟුණා.
පාර දෙපැත්තේ කඩවල විකුණන ත්‍රිකෝණාකාර හැඩැති සමෝසා, කට්ලට් රුපියල් 50 ත් 100 ත් අතර මිලකට මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ, යුවාන් එකක් - දෙකක් විතර මුදලකට. මේ නගරවල යන බස් එකකට නගින්න. එක පොඩි නගරයකින් තවත් නගරයකට යන්න වියදම් කරන්න ඕන යුවාන් දෙකක තුනක මුදලක් විතරයි.
මේ වියදම් දකින ඔබ මහ මුලාවකට පත්වෙනවා. “අනේ හැම දෙයක් ම කොච්චර ලාබ ද!” කියලා ඔබට හිතෙනවා. මමත් එහෙම හිතුවා. සල්ලි ඉතුරු කරගන්න මම ලබාගත්ත සුපිරි හැකියාව ගැන මම උද්දාමයට පත්වුණා.
හැබැයි, බොහොම ඉක්මනින් ම මට පාඩමක් ඉගෙනගන්න පුළුවන් වුණා.
මේ හැම දෙයක් ම “ලාභ” ලෝකය තියෙන්නේ දේශීය ජනතාවගේ ලෝකය ඇතුළේ විතරයි. සංචාරකයන් වෙනුවෙන් හදලා තියෙන “සිස්ටම් එක” ඇතුළට කකුල තියන කොට ම ඔබට ඒ මොහෙතේ ම මහ හඬින් අඬන්නත් කොක් හඬ ලා හිනාවෙන්නත් හිතේවි.
ඇල්ලේ දී ලබාගත්ත සැබෑ අත්දැකීමක් ගැන මම ඔබට කියන්නම්.
ඇල්ල කියන්නේ තේ වතුවලින් වටවෙච්ච කුඩා කඳුකර නගරයක්. යුරෝපීය සහ ඇමෙරිකානු කදමළු සංචාරකයෝ යන්න කැමැති තැනක්. මේ ප්‍රදේශයේ දර්ශනය ඇත්තෙන් ම අනභිභවනීයයි. බොහොම ඉහළින් ලකුණු ලැබිලා තියෙන හෝටලයක් මම බුක් කරගෙන තිබුණා. රෑ නිදාගැනීමත් උදේ කෑමත් තමයි ඒ මිලට ඇතුළත් වුණේ. හෝටලයේ ලස්සන පින්තූරත් අන්තර්ජාලයේ තිබුණා. ජනේලයෙන් පේන දර්ශනත් ඒ ඡායාරූප අතර තිබුණා. ඒ වෙනුවෙන්, මම රුපියල් 25,000 ක් ගෙව්වා. ඒ කියන්නේ යුවාන් 600 ක විතර මුදලක්!
මේ මිලට චීනයේ දී, ඉතාමත් ඉහළ පන්නයේ හෝටලයක ඉන්න පුළුවන් බව ඔබ දන්නවා. ඉතින් මේක හුඟක් ගණන් බව මම දැනැගෙන හිටියා. ඒත් ඉතින් ඒ තරම් ආකර්ෂණයක් තියෙන තැනක එහෙම වෙන්න පුළුවන්නේ කියලා මම හිත හදාගත්තා.
ඒත්, මම එතැනට යද්දි තව පොඩ්ඩෙන් මට කලන්තය හැදෙනවා!
මම ගිය වාහනය මඩ පිරිච්ච පාරක් දිගේ වළවල්වල වැටි වැටී ඉස්සරහට ගියා. මම ගිය රථයේ රියැදුරා ටික දුරක් ගිහිල්ලා වාහනය නැවැත්තුවා. “ඔන්න අපි ආවා” කියලා කියපු රියැදුරා මට “හෝටලය” පෙන්නුවා. පුංචි තට්ටු දෙකේ ගෙදරක්!
“කඳුකර දර්ශනය සහිත” කියලා හඳුන්වලා තිබුණේ වර්ග මීටර් 15 කටත් පුංචි කාමරයක්. පොඩි ඇඳක් තිබුණා. කැරැකෙන කොට දෙපැත්තට පැද්දිලා සද්ද කරන ෆෑන් එකක් සිවිලිමේ එල්ලලා තිබුණා. නාන කාමරයේ තිබුණු වතුර හීටරය වෙලාවකට වැඩ කරනවා. වෙලාවකට වැඩ කරන්නේ නෑ. ඉතින් ඒකෙන් නාන එක මහ වීර ක්‍රියාවක්. වෙන කිසිම පහසුකමක් ඒ කාමරයේ තිබුණේ නෑ. ඒත් කමක් නෑ. කාමරය වෙලාගෙන තිබුණු අමුතු දුර්ගන්ධය නම් ඉවසන්න අමාරු එකක්.
මම ගිහිල්ලා හෝටලයේ “අයිතිකාරයා” මුණ ගැහුණා. ඒ, කපටි පෙනුමක් තිියෙන මැදි වයසේ කෙනෙක්. “ඔයා එක රැයකට රුපියල් 25,000 ක් අය කළේ මේ කාමරයට ද?” මම ඔහුගෙන් ඇහුවා.
ඔහු පොඩ්ඩක්වත් මවිතවෙච්ච බවක් පෙන්නුවේ නෑ. ඒ “අයිතිකාරයා” තමන්ගේ ජංගම දුරකථනය ඇරැගෙන මට පෙන්නුවා. “බුකිං ඩොට් කොම්” එක තමයි ඔහු මට පෙන්නුවේ. “බලන්න අපිට ලැබිලා තියෙන රේටිංස්. හැම කෙනෙක් ම කැමැතියි. මේ මිල ඇල්ලේ සාමාන්‍ය එකක්. මෙහෙට එන චීන සංචාරකයෝ මෙහෙම දර්ශනයක් තියෙන කාමරවලට කැමැතියි” ඔහු කියාගෙන කියාගෙන ගියා.
“චීන අය මේකට කැමැතියි” කියපු කතාව අහලා මගේ හදවතේ කටුවක් ඇනුණා වගේ හැඟීමක් මට ඇතිවුණා.
ශ්‍රී ලංකාවේ “අලිඛිත සංචාරක මිල ගණන්” සෙට් එකකුත් තියෙනවා කියලා මම පස්සේ දැනගත්තා. ඒක මුලින් බෙදෙන්නේ “දේශීය සංචාරක මිල ගණන්” සහ “විදේශ සංචාරක මිල ගණන්” කියලා. ඊට පස්සේ “විදේශ සංචාරක මිල ගණන්” තවදුරටත් උප කාණ්ඩවලට බෙදනවා. “යුරෝපීය සහ ඇමෙරිකානු මිල ගණන්” සහ “චීන මිල ගණන්” කියන බෙදීම ඒ විදිහට හදලා තියෙනවා. “චීන්නු අතේ සල්ලි තියෙනවා. මිල ගණන් ගැන දන්නේ නෑ. ලේසියෙන් මරාගන්න පුළුවන්” කියලා මේ අලිඛිත වට්ටෝරු හදන අය නිගමනය කරලා තියෙනවා.
ඉතින් ඔබ ආපු රටේ හැටියට සම්පූර්ණයෙන් ම වෙනස් මිල ගණන් ඔබට ලැබේවි. උදාහරණයක් විදිහට මෝටර් සයිකලයක් කුලියට ගන්නවා කියලා හිතන්න. දේශීය සංචාරකයෙක් දවසකට ගෙවන්න ඕන රුපියල් 800 ක් විතරයි. යුරෝපීය සහ ඇමෙරිකානු සංචාරකයෝ රුපියල් 1500 ක් ගෙවන්න ඕන. චීන සංචාරකයෙක් දැක්කාම ඒ කුලියට දෙන්නාගේ කටින් එළියට පනින්නේ “රුපියල් 2500 යි” කියන ගණනා.
සංචාරක ඉසව්වල මේ සංසිද්ධිය බොහොම බරපතලයි. ඔබ නවතින හෝටලය, ඔබ කෑම කන ආපනශාලාව, ඔබ ගමනක් යන ත්‍රී රෝද රථය මේ හැම එකක ම මිල ගණන් ඔබ පැමිණි රට අනුව වෙනස්වෙනවා. දේශීය සංචාරකයන්ට කියන ගණන් එක්ක සැළැකුවාම මේ මිල ගණන් කීප ගුණයක් වැඩියි. සමහර වෙලාවට දහ දොළොස් ගුණයක් වැඩියි.
මම මේ ගැන ගාලු කොටුවේ පුංචි ව්‍යාපාරයක් කරගෙන ඉන්න චීන ජාතිකයෙක්ගෙන් ඇහුවා. ඔහු මට මේ කාරණය ඉතාමත් සරලව පැහැදිළි කරලා දුන්නා. ඔහු කිව්වේ ...
(ඒ කාරණය මේ ලිපියේ ඊ ළඟ කොටසින් කියන්නම්)
පරිවර්තනය කළේ - ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ