දාහත් අවුරුදු සාපය ඇරැඹෙයි..
ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත්වෙච්ච සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයාගේ පාලනය හමුදා බලහත්කාරකමක් මාර්ගයෙන් අවසන් කෙරුණා. 1973 සැප්තැම්බර් 11 වැනි දා ක්‍රියාත්මක කරපු ඒ හමුදා කුමන්ත්‍රණයේ දී, සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයා මියගියා. ඔහුගේ මරණය දිවිනසාගැනීමක් බවටත් ඝාතනයක් බවටත් ආකාර දෙකකින් විස්තර කෙරෙනවා. ඔහු මියගිය ක්‍රමය මොකක් වුනත්, ඒ මරණය හමුදා බලහත්කාරකම නිසා සිද්දවෙච්ච එකක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ.
1970 සැප්තැම්බර් 4 වැනි දා පවත්වපු ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ලබාගත්ත සැල්වදෝර් අලියැන්දේ ජනාධිපති ධුරයට තේරී පත්වුණේ ඔක්තෝබර් 24 වැනි දා. ඔහු ජනාධිපති ධුරයට තේරී පත්වීම වැළැක්වීම සඳහාත් තේරී පත්වීමෙන් පස්සේ ඔහුව ජනාධිපති ධුරයෙන් ඉවත්කිරීම සඳහාත් ඇමෙරිකාව මහන්සි වුණා. ඒ වෙනුවෙන් CIA සංවිධානය “1 වැනි මාර්ගය” (Track I) සහ “2 වැනි මාර්ගය” (Track II) කියලා රහසිගත මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක කළා. (මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ ගැන විස්තරාත්මක කරුණු දැක්වීමක් මෙම ලිපි මාලාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා).
ඇමෙරිකාවේ උදව්වෙන් චිලී රටේ රාජ්‍ය බලය කොල්ලකාපු ඕගස්ටෝ පීනෂේගේ ආඥාදායකත්වය අවුරුදු 17 ක කාලයක් චිලී රට ආණ්ඩු කළා. ලේ වගුරුවමින්, මර්දනය - භීෂණය පතුරුවමින් කරපු ඒ පාලනය ගැන මුළු ලෝකය ම දන්නවා. ඉතින් ඒ ගැන වැඩි විස්තර කීමක් මේ ලිපි පෙළින් කෙරෙන්නේ නෑ. අදාළ විස්තර දන්නේ නැති අයගේ අවධානය යොමු කරවීමේ අදහසින් මූලික කරුණු කීපයක් විතරක් කියනවා.
රටේ බලය අතට ගත්ත ගමන් ම, සන්තියාගෝ අගනුවර ආරක්‍ෂක කලාප කීපයකට වෙන් කරන්න පීනෂේ කටයුතු කළා. මුළු රට ම ක්‍ෂේත්‍ර හමුදා අණදෙන්නන්ගේ පාලනයට යටත් කළා. රට පුරා ම යුද තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා හමුදා සේනා සහ පොලීසිය නිශ්චිතව හඳුනාගත්ත මර්දන ඉලක්කවලට යොමු කෙරුවා. රට පුරා ම විශ්වවිද්‍යාලවල, කර්මාන්තශාලාවල සහ දුප්පත් ජනතාව බහුලව ජීවත්වෙන ප්‍රදේශවල පැතිරිලා තිබුණු වාමාංශික බලය මුළුමනින් ම විනාශ කරලා දැමීම මේ සන්නද්ධ මෙහෙයුම්වල අරමුණ බවට පත් කරලයි තිබුණේ. පැහැදිළි වාමාංශික බලයක් වර්ධනය වෙලා තිබුණු ප්‍රදේශවලට වැඩි අවධානයක් සහ වැඩි බලයක් යොමු කළා.
තමන් ඉලක්ක කරගත්ත මර්දනය මේ තරම් ඉක්මනින් සහ දැවැන්ත විදිහට එල්ලවෙයි කියලා සටන්කාමී ශිෂ්‍යයෝ, දේශපාලන වශයෙන් ක්‍රියාකාරී කම්කරුවෝ බලාපොරොත්තු වුණේ නෑ. චිලී කොමියුනිස්ට් පක්‍ෂයේ බුද්ධි අංශවලට සම්බන්ධ සමහර අය නම් මේ සූදානම්වීම් ගැන තරමක් කල් ඇතුව දැනගත්තා. තමන්ට එල්ලවෙන මර්දනය එක්ක හැප්පිලා ඒක අඩපණ කරන්න පුළුවන් කියලයි ඒ අය හිතුවේ. ඉතින් ඒ වෙනුවෙන් සූදානම්වෙන්න කියලා කොමියුනිස්ට් පක්‍ෂයේ වගකිව යුත්තෝ තමන්ගේ ක්‍රියාකාරී පිරිස්වලට දැනුම් දුන්නා. ඒ දැනුම්දීම් මත පදනම් වෙලා මර්දනයත් එක්ක හැප්පෙන්න රාජ්‍ය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ සංවිධානගත වුණා.
1973 සැප්තැම්බර් 11 වැනි දා එළිය වැටෙද්දිත් හමුදා බල ඇණි රාජ්‍ය තාක්‍ෂණ විශ්වවිද්‍යාලය වටේ උපක්‍රමශීලීව ස්ථානගත වෙලයි හිටියේ. දවසක් ඇතුළත විශ්වවිද්‍යාලයේ බලය තමන්ගේ අණසක යටතට ගන්න ඒ හමුදා බල ඇණිවලට පුළුවන් වුණා. විශ්වවිද්‍යාලයේ ප්‍රධානි හෙන්රිකේ කර්බර්ග් අත්අඩංගුවට පත්වුණා. ශිෂ්‍ය සංගමයේ සභාපති ඔසියල් නූනස් ඇතුළු ශිෂ්‍යයන් 600 කට වැඩි පිරිසකුත් හමුදාව විසින් අල්ලගත්තා. මේ හැම කෙනෙක්ව ම ඇරැගෙන ගිහිල්ලා ගාල් කළේ ජාතික ක්‍රීඩාංගනයේ. හෙන්රිකේ කර්බර්ග් කියන්නේ සැල්වදෝර් අලියැන්දේට ඉහළින් ම සහයෝගය දක්වපු කෙනෙක්. දවස් කීපයක් තමන්ගේ කඳවුරක කර්බර්ග් රඳවාගෙන හිටිය හමුදාව සැප්තැම්බර් 22 වැනි දා ඔහුව චිලී රටේ දකුණු කෙළවරේ තියෙන ඩෝසන් දූපතට යැව්වා. ඔසියල් නූනස්ට වදහිංසා කළත් ඔහුව මරලා දැම්මේ නෑ. ඔහුව ජාතික ක්‍රීඩාංගනයෙන් බන්ධනාගාරයට යැව්වා. පස්සේ රටින් පිටුවහල් කළා. ඒත් හමුදාව විසින් අල්ලගත්ත අනිත් ශිෂ්‍යයෝ ඒ තරම් වාසනාවන්ත වුණේ නෑ. ඉතාමත් දරුණු වදදීම්වලට ලක් කරපු ඒ අය මරලා දාන්න හමුදාව කටයුතු කළා.
ශිෂ්‍ය මර්දනයට සමාන්තරව ම කම්කරුවන් සහ මුඩුක්කුවල ඉන්න දේශපාලන ක්‍රියාකාරීන් මර්දනයත් ආරම්භ කළා. ඒ මෙහෙයුම ක්‍රියාත්මක වුණේ “කරදරකාරයෝ අල්ලලා විනාශකිරීමේ” අරමුණ මූලික කරගෙන. “සන්නද්ධ විරෝධතාවරුවන් මැඩලීම” කියන කඩතුරාවට මුවාවෙලා ක්‍රියාත්මක කරපු මේ මෙහෙයුම වාමාංශික දේශපාලන ක්‍රියාධරයන් සහ බිම් මට්ටමේ දේශපාලන සංවිධායකයන් විනාශකිරීමේ කාර්යයක් බවට පත් කරගෙනයි තිබුණේ. වැඩ බිම්වලින් සහ මුඩුක්කුවලින් අල්ලගත්ත සමහර අය ඒ ස්ථානවල දී ම මරලා දැම්මා. එහෙම අය “ගැටුම්වලින් මියගියා” කියලා ප්‍රචාරය කෙරුණා. තවත් දහස් ගණනින් මිනිස්සු ජාතික ක්‍රීඩාංගනයට ප්‍රවාහනය කළා. එහෙම ගෙනිච්ච අයටත් පැය කීපයක් හරි දවස් කීපයක් හරි ඇතුළත මරණය ම උරුම කරලා දුන්නා.
“ජනතාවාදී එකමුතුව” සන්ධානයේ ක්‍රියාකාරී පුද්ගලයන්ව වෙන වෙන ම හොයලා අල්ලගත්තා. මහ පාරේ දී, එහෙම නැතිනම් ගෙවල්වල දී අල්ලගත්ත ඒ අයගෙන් ප්‍රශ්න කරලා, ඒ අයවත් මරලා දාන්න හමුදාව කටයුතු කළා. මෙහෙම හොයන අයව අල්ලලා පොලීසියට සහ හමුදාවට භාරදෙන්න වෙනත් දේශපාලන පක්‍ෂවල සාමාජිකයොත් මැදිහත්වුණා. ඒ වෙද්දි, චිලී සමාජය තුළ ඇතිවෙලා තිබුණු තදබල දේශපාලන බෙදීම් ඒ පාවාදීම්වලට උදව් කළා. මෙහෙම මරාදාපු අය අතර කාන්තාවෝ, කුඩා දරුවෝ වගේ ම විදේශිකයොත් හිටියා.
අල්ලන්නම් කියලා හිතාගෙන ගිය කෙනාව අහුවුණේ නැතිවුණාම ඒ එක්ක හිටිය වෙනත් අය අල්ලලා මරලා දාන වැඩෙත් සිද්දවුණා. වික්ටර් ටෝරෝ කියන කම්කරු නායකයා අල්ලන්න ගිය හමුදාවට ඔහුව හොයාගන්න බැරිවුණා. ඉතින් හමුදාව වෙන කම්කරුවෝ පස් දෙනෙක් අල්ලලා මරලා දැම්මා. මේ මර්දන මෙහෙයුම් රෝහල්වලත් ක්‍රියාත්මක වුණා. සන් හුවන් ඩෙ ඩියොස් රෝහලේ දී අල්ලලා මරලා දාපු අය අතර වෛද්‍ය ශිෂ්‍යයකුත් කතෝලික පූජකවරයකුත් හිටියා.
කුමන්ත්‍රණයෙන් පස්සේ ගතවෙච්ච මුල් සති කීපය ඇතුළත අල්ලගත්ත පිරිස පනස්දාහකට වැඩියි. ඒ අයගෙන් විශාල පිරිසක් මරලාදාන්නත් හමුදාව කටයුතු කළා. මේ මිනීමැරිල්ල සන්තියාගෝ අගනුවරට විතරක් සීමාවුණු එකකුත් නෙවෙයි. පිටස්තර නගරවලත්, ගම්මානවලත් එක දිගට ම මර්දනය ක්‍රියාත්මක වුණා. මුළු රට ම මහ දැවැන්ත භීෂණයට ගොදුරු කළා.
අවුරුදු දාහතක සාපය මෙන්න මේ විදිහටයි ආරම්භ කෙරුණේ.
(පින්තූරය: ජාතික ක්‍රීඩාංගනයට ගාල් කළ පිරිසක්)
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..