News Category
From Date
To Date
Maximum Number of Result

අමරසේකර අමර ආවර්ජනා!

Nov 11, 2025 at 09:19 AM
|

[ගුණදාස අමරසේකර ලේඛකයාණන් 97 වන වියට එළඹෙනුයේ 2025 නොවැම්බර් 12 වන දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි.]

   මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විරචිත ස්වාත්ම වෘත්තාන්තය වන 'පිං ඇති සරසවි වරමක් දෙන්නේ' කෘතියෙහි පහත එන පාඨය හමුවෙයි.

"....නොබෝ දිනකින් මට ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ලියුමක් ලැබුණි.

එහි 'යෞවන සමාජය' නම් අලුත් වැඩ සටහනක් ආරම්භ කරන මෙන් මට ආරාධනා කොට තිබුණේය.

".... 'යෞවන සමාජය' වැඩ සටහනින් විකාශනය කිරීම සඳහා මම කෙටි කතා ,නාට්‍ය ,කාව්‍ය රචනා ආදිය ඉල්ලුයෙමි. මට එවන ලද ප්‍රයත්න පරීක්ෂා කොට ඒවා රචනා කළ අය අතරින් උපනිශ්‍රය ඇත්තෙකු සේ පෙනෙන කෙනෙක් සිටී නම් ඔහු ගෙන්වා වැඩ සටහනෙහි යොදවමි.

"....මට ගුණදාස අමරසේකරද පළමු වරට හමු වූයේ ඒ දවස් වලය. කිසියම් විදේශ ප්‍රකාශන සමාගමක් විසින් නොයෙක් රටවල ආධුනික ලේඛකයන් විසින් රචනා කරන ලද කෙටි කතාවල සංග්‍රහයක් පළ කරන්නට අදහස් කර අපේ රටින්ද කෙටි කතාවක් තෝරා එවන මෙන් ආරාධනා කරන ලදී. ඒ සඳහා පවත්වන ලද තරගයට එවන ලද කෙටිකතා අතුරින් එකක් තේරීම මටත් එම්. ජේ.පෙරේරාටත් බාර විය. ගුණදාස අමරසේකරගේ 'සෝමා' නම් කෙටි කතාව අප විසින් තෝරා ගන්නා ලදී. 

"මේ කතාව ඉංග්‍රීසියට පෙරළා යවන්නට සිදු වූ බැවින් මම පරිවර්තන කාර්යය භාර ගතිමි. ඊට එහි කර්තෘ ගුණදාසගේ සහාය මම පැතීමි. විශාල ඇස් සඟලකින් යුත් ඔහුගේ බුද්ධිමත් මුහුණ මගේ දෘෂ්ටි පථයට පිවිසුණු පළමු මොහොත මගේ සිහියෙන් මැකී නොයයි. ගුණදාසගේ කතාව යුරෝපීය හා ආසියාතික තරුණ ලේඛකයන්ගේ කෘති සමග නොබෝ දවසකට පසු ජාත්‍යන්තර සංග්‍රහයක පළ වී තිබෙනු මම දුටිමි. මම ඔහුගේ 'සෝමා' 'යෞවන සමාජය' වැඩ සටහනින් විකාශනයට පත් කළෙමි. ටික කලක් ගුණදාස මගේ වැඩ සටහනට මට සහාය වූයේය."

('පිං ඇති සරසවි වරමක් දෙන්නේ' - එදිරිවීර සරච්චන්ද්‍ර - ප්‍රථම මුද්‍රණය

1985 ඔක්: - 155 -157 පිටු.)

   මහාචාර්ය සරච්චන්ද්‍රයන්, උපනිශ්‍රය ඇති කෙටිකතා කරුවෙකු වශයෙන් ගුණදාස අමරසේකරයන් නමෝ විත්තියෙන් හැඳින ගත් ආකාරය තත් ග්‍රන්ථ සාධකයෙන් විශද වෙයි. එනයින්ම උපනිශ්‍රය ඇති කවියෙකු ලෙසද ගුණදාස අමරසේකරයන් හා හපුරා කියා හඳුනා ගන්නට ඇත්තේද සරච්චන්ද්‍රයන්ම යැයි අනුමාන කරන්නට පහත දැක්වෙන මුල් කාලීන අමරසේකර කාව්‍ය රචනය අනුබල දෙයි. මෙය පළමු වරට ප්‍රචාරය වී ඇත්තේ සරච්චන්ද්‍රයන් විසින් නිෂ්පාදිතව 1953 අප්‍රේල් මස 24 වැනි දා ඉදිරිපත් කෙරුණු ගුවන් විදුලි 'යෞවන සමාජය' වැඩ සටහනෙනි. මවිසින් මේ කාව්‍ය රචනය උපුටා ගන්නා ලද්දේ එකල ගුවන් විදුලියේ සේවය කළ කෘතහස්ත මාධ්‍යවේදී කුලසිරි අමරතුංගයන්ගේ සංස්කාරකත්වයෙන් පළ කෙරුණු විශිෂ්ට  මට්ටමේ  වාර සඟරාවක් වූ 'තරංගිණී' නම් ගුවන්විදුලි (1953 නොවැම්බර්)සඟරාවෙනි.

සුන්දරත්වය

මල් වැටී විසුරුණ

පාළු ඇළබඩ

ඔබ හා එක්ව

කතාවෙන් තොරව 

සැඳෑ අඳුරෙහි

ඇවිදීමට

ප්‍රේමිය,

මා හද 

ශෝකයෙන් ළතවෙයි.

එහෙත්,

මම එය නොපතමි. 

එහි කිනම් සැපතක්ද?

සොඳුර,

පියකරු උදයක 

ගලා යන 

හිරු රැසින් යුත්

කාමරයෙහි 

ඔබ අසලට වුත් 

ඔබේ මොළොක් සුරත ගෙන 

මා මුහුණට

තද කළ විට

ඔබ

ප්‍රේමයෙන් නඟන

සිනහව 

ඇසීමට 

සොඳුර 

දිවා රෑ 

මා හද ළතවෙයි.

එහෙත්,

මම එය නොපතමි. 

එහි කිනම් සැපතක්ද?

රාත්‍රියෙහි

දික් මේසය අසල

නැඹුරු වී 

පොත් බලන 

ඔබේ

සිහින් කෙස් රොදක්

අතැඟිලි අගින් ගෙන

පටලවන විට

ඔබ හිසොසවා 

නෙතගින් 

මා දෙස

බලනු දැක්මට

සොඳුර,

මා හද 

ශෝකයෙන් ළතවෙයි.

එහෙත්,

මම එය නොපතමි.

එහි කිනම් සැපතක්ද?

ඔබ හා 

එක් වන මට

ඔබේ 

සුන්දරත්වය

නොවැටහෙතියි මට සිතේ. 

සුන්දරත්වය ඇත්තේ 

එක් වීමෙන් තොර

ඒ ශෝකී 

සිතුවිල්ලෙහිය.

   'සුන්දරත්වය' නම් මෙම කවි කැකුළ ගුණදාස අමරසේකරයන් 1955 වසරේ නෑඹුලෙන් පළ කළ 'භාව ගීත' නම් කවි සංග්‍රහයෙහි නව සුන්දරත්වයකින් පිපී ගිය අයුරුය මේ. 

සුන්දරත්වය

මල් වැටී විසුරුණ එඇලබඩ

පාළුවෙහි බිම වැතිර තනිවී 

ඔබේ අත ගෙන

සෙමෙන් අල්ලා

නඟින අඳුරෙහි 

මහත් රහසක් 

සෙමෙන් කීමට මගේ සොඳුරිය විඩාපත් වූ මගේ මේ සිත

දිවා රෑ එක විලස වෙහෙසේ.

එහෙත් එය නොපතා සිටින්නෙමි

එහි කිනම් සතුටක් ද ඇත්තේ.

උදය කාලයෙ

ළහිරු රැස් වැද 

ඔබේ මුළු කාමරය බබළයි. 

ඔබද එහිවුත් 

ඔබගෙ දිගු කෙස් 

කරල් ගොතනට පටන් ගන්නෙය. එවිට එහි වුත් 

ඉන් එකක් ගෙන 

සෙමෙන් අදිනට පටන් ගත් විට 

ඔබේ නෙතගින් බලන එබැලුම් බලාගන්නට මගේ සොඳුරිය 

විඩා පත් වූ මගේ මේ සිත 

දිවා රෑ එක විලස වෙහෙසේ.

එහෙත් එය නොපතා සිටින්නෙමි

එහි කිනම් සතුටක්ද ඇත්තේ.

රෑ කල්හි 

දිගු මේසයෙහි මුල 

නැඹුරු වී ඔබ 

පොත් බලන විට 

පහන් එළියෙහි 

දිළෙන ඔබෙ කෙස් 

රොදක් අල්ලා ඇඟිලි තුඩකින් සෙමෙන් එය කරකවන විට ඔබ නඟන ඒ පෙම් මිහිරි සිනහව

ඇසීමට මා සොඳුර මේ සිත

දිවා රෑ එක විලස වෙහෙසේ.

එහෙත් එය නොපතා සිටින්නෙමි

එහි කිනම් සතුටක්ද ඇත්තේ.

උදයෙ පාසැල වෙතට යාමට

පළමු සුදු සාරියෙන් සැරසී 

පැමිණ මා සිටි 

තැනට හෙමිහිට

"ලස්සනද මං" කියා

ඔබ ඒ අසන 

සුමිහිරි එහඬ ඇසුමට 

සොඳුර මා සිත 

දිවා රෑ තුළ 

එකම විලසට නිබඳ වෙහෙසේ.

එහෙත් එය නොපතා සිටින්නෙමි එහි කිනම් සතුටක්ද ඇත්තේ.

ඔබ සමග එක් වෙන එමොහොතෙහි සුන්දරත්වය ඔබේ දැකුමට 

මගේ සිත අසමතියි මා හට 

මහත් සැකයක් ඇතිව පවතී.

සුන්දරත්වය අහෝ ඇත්තේ

එසේ එක්වීමෙන් ඈත් වූ 

පාළු සිතුවිල්ලෙහිය ශෝකී 

හද වෙළාගෙන ශෝක දනවන.

( 'භාව ගීත' - ගුණදාස අමරසේකර - 

1955 - 76 , 77 පිටු.)

   මහාචාර්ය සරච්චන්ද්‍රයන් තෙමේම ආංගල බසට නගා ලොවට හඳුන්වා දුන් 'සෝමා' කෙටි කතාවද පසුව ගුණදාස අමරසේකරයන්ගේ නෑඹුල් කෙටි කතා සංග්‍රහය වන 'රතු රෝස මල' (ප්‍රථම මුද්‍රණය - 1952) කෘතියට ඇතුළුව ඇත. සාහිත්‍ය විචාරකයෙකු හැටියට මතුවීමටද අමරසේකරයන්ට මග හෙළි කරන්නට ඇත්තේ සරච්චන්ද්‍රයන්ම විය හැකි බැව් සිතන්නට අමරසේකරයන්ගේ පළමු සාහිත්‍ය විචාර ග්‍රන්ථය වන 'විනෝදය හා විචාරය' (එය ගුණසේන සමාගමේ ළිහිණි පොතකි.) අනුබල දෙයි. 1955 වර්ෂයේ පළමු වරට පළ වුණු ඒ කෘතිය සම්පාදනය කොට ඇත්තේ අමරසේකරයන් විසින් ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරන ලද ශාස්ත්‍රීය කතා කීපයක් සංග්‍රහ කිරීමෙනි. ඇතැම් විට ඒවා ප්‍රචාරය වන්නට ඇත්තේ සරච්චන්ද්‍රයන් විසින් නිෂ්පාදිත 'යෞවන සමාජය' වැඩ සටහන ඔස්සේ හෝ එකල ඔහුගේම උපදෙස් මත ආරම්භ කරන ලද ගුවන් විදුලි 'ශාස්ත්‍රීය සංග්‍රහය' ඔස්සේ විය හැකිය. 

    එකල බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ Second Programme නමින් ප්‍රචාරය වුණු වැඩ සටහන සිහි කරමින් සැකසුණු ලංකා ගුවන් විදුලියේ 'ශාස්ත්‍රීය සංග්‍රහය' සඳහා සංඥා වාදනය වශයෙන් යොදා ගැනුණේ භාරතයේ විසූ දුර්ලභ ගණයේ වාදන චාතූර්යකින් සහෘද ජන හෘදය රංජනය කළ ශංකර් රාව් නම් ගාන්ධර්වේශ්වරයා විසින් වාදිත ජෝගියා රාගය ආත්ම කරගත් කර්ණ රසායන ඒකල ෂෙහනායි වාදනයකි. මේ පුවත මා අසා දැනගත්තේ මගේ සෞන්දර්ය මිත්‍ර , එකල ගුවන්විදුලි වාද්‍ය වෘන්දයේ වස්දඬු වාදක වී. හේමපාල සංගීත ප්‍රාඥයාගෙනි. එම මධුර රාග රාවය දැනුදු මගේ දෙකන්හි නාද නින්නාද වීම කාට නම් වැළකිය හැකිද? තත් වාදනය ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහ සංඥා වාදනය සඳහා තෝරා දී ඇත්තේද සාහිත්‍යය මෙන්ම සංගීතය විෂයෙහිද හසළයෙක් වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් බැව් ප්‍රකටය. 

    මෙවේලේ මගේ මතකය සොළොස් වසරක් අතීතයට ඇදී යයි. ගුණදාස අමරසේකරයන් අසූ වියට එළැඹුණේ 2009 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනි දාය. එම ජන්මෝත්සවය නිමිති කර ගෙන 2008 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනි දින පටන් 2009 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනි දින දක්වා පුරා වසරක් තිස්සේ ඔහුගේ සාහිත්‍ය හා සමාජ සේවය ප්‍රත්‍යවලෝකනය කිරීමේ වැඩ සටහන් මාලාවක් ආරම්භ කෙරුණි. එය සංවිධානය වූයේ 'විසිදුනු' ග්‍රන්ථ ප්‍රකාශන ආයතනාධිපති ගෙවිඳු කුමාරතුංගයන්ගේ පුරෝගාමිත්වයෙන් හා අනුග්‍රාහකත්වයෙනි. එහි ප්‍රාරම්භ උත්සවය පවත්වන ලද්දේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. එහිදී තම දේශනය පැවැත්වූ අමරසේකරයන් එය අවසන් කළේ මේ වචනවලිනි.

"මට තියෙන්නෙ පුංචිම පුංචි 'ම'යනු දෙකක්!"

   ගුණදාස අමරසේකරයන්ගේ චරිතාංග මගින් එකී කියමන මනාව සනාථ වෙතියි යනු මගේ අවංක හැඟීමයි. අඩ සිය වසක් සා දිගු කලක් ඔහු ඉතා සමීපව හා ළැදිව ඇසුරු කිරීමෙන් මා ලත් අත්දැකීම් ඊට සාක්ෂි සපයයි. මහා ලේඛක මාර්ටින් වික්‍රමසිංහ ප්‍රාඥයන් සමග අමරසේකර ලේඛකයාණෝද මගේ විවාහයේ සාක්ෂිකරුවෙක් වූහ.

    2009 වසරේ නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබුණු අමරසේකර ප්‍රත්‍යවලෝකන සමාප්ති උත්සවයට පෙර පැවැත්වුණු උත්සව මාලාවේ අවසාන උත්සවය වශයෙන් එක්තරා වෙසෙස් උළෙලක් සංවිධානය කොට තිබුණි. 'නිජබිම ආවර්ජනා' යනුවෙන් නම් කෙරුණු එහි ආරම්භක උලෙළ පැවැත්වුණේ 2009 වසරේම ඔක්තෝබර් මස 25 වැනි ඉරිදා ප්‍රභාත කාලයේ යටලමත්ත විදුහල් පරිසරයේදීය. අමරසේකරයන් පළමුව මෙලොව එළිය දුටු තිඹිරි ගෙය වන ගුරු නිවාසය අයත් එම පාසල ඊට පතිරූප දේසයක් වීය. ඔහු එම පාසලේ ගුරු නිවස තුළ උපත ලබන විට ඔහුගේ මවු තොමෝ එහි මුල් ගුරුවරිය වූවාය. ප්‍රකට වෙදැදුරෙක් වූ පියා විද්‍යෝදය පරිවේණාධිපති වරයෙකුව වැඩ හුන් මහා පඬි බද්දේගම පියරතන නා හිමිපාණන්ගේ එක කුස හොත් බාල සොහොයුරා විය. 

   එදිනම නිශා භාගයේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාර එළිමහන් භුමියේ පැවැති අමරසේකර කාව්‍ය රසාස්වාද මණ්ඩපයකි. 

අමරසේකරයෝ , කිසි දා 'නිසඳැස්' කවි රචනා නොකළ කිවිඳාණ කෙනෙකි. ඔහු එළිසම සහිත සතර පද කවි මෙන්ම එළිසම රහිත බහු පාද කවිද රචනා කළ කවියෙකි. එහෙත් ඒවා සඳැසකට වැටෙන , මාත්‍රා නියමයෙන් යුත් , තාල සහිත (Rhythmic) , සවිරිත් කවිය. එවැනි රචනා ගී තනුවකට හසුකර ගැනීම සංගීතඥයෙකුට සුකර කාර්යකි. එහෙත් ලියන්නන් වාලේ ලියැවෙන 'නිසඳැස්' ගණයේ රචනයක් ගී තනුවකට හසුකරගත හැක්කේ එය යළි සඳැසකට වැටෙන , මාත්‍රා නියමයෙන් යුත් විරිතකට පෙරළා ගැනීමෙන් පසුය. අද තුඩ තුඩ රැව් දෙන ගීත කීපයකටම අයත් තනු අමරදේවයන් හා කේමදාසයන් අතින් තැනුණේ නිසඳැස් රීතියෙන් ලියැවුණු එහි වදන් පෙළ එවැනි පෙරළියකට ලක් කිරීමෙන් අනතුරුව බව මම පසක් විසින්ම දනිමි.

'නිසඳැස' නමින් දන්නා ඊනියා කවි මග අමරසේකරයන්ගේ උග්‍ර ගර්හාවට ලක් වූවකි. වරක් ඔහු එය හැඳින්වූයේ සිංහල කවි කෙතට බෝවුණු වල් පැළ වර්ගයක් වශයෙනි.

    2009 ඔක්තෝබර් 25 වන දා රාත්‍රියේ පැවති යට සඳහන් අමරසේකර කාව්‍ය රසාස්වාද මණ්ඩපය ඉදිරියේ මා , ඔහුගේ එළිසම රහිත , බහු පාද සහිත , එහෙත් මාත්‍රා නියමයෙන් හා තාලයකින් යුත් දීර්ඝ කාව්‍ය නිර්මාණයක් , ගායන ස්වරයෙන් තොරව , නාට්‍යමය ස්වරයෙන් ඉදිරිපත් කළේ එහි ගැබ්වුණු ගුරු අරුත් මැනවින් ඉස්මතු වන පරිදිය. එහිදී මා අනුගමනය කළේ එකල මා ගුවන්විදුලි කෙටිකතාව ඉදිරිපත් කළ භාවාත්මක නාට්‍යමය ප්‍රකාශන විලාසයයි. තම කවිය ඉදිරිපත් කළ මගේ ඒ ප්‍රකාශන විලාසය ගැන අතිශය උද්දාමයට පත් අමරසේකරයන් එය මහත් සේ අගය කරමින් එදා මට නොමසුරුව ප්‍රශංසා කළ අයුරු මට අද මෙන් මතකය. ඉන් පසු අප දෙදෙනා හමුවුණු සෑම අවස්ථාවකම ඔහු එකී අත්දැකීම නොවරදවා සිහිපත් කිරීම වතක් කොට ගති. ඉතා මෑත දිනක මගේ 'හිතක මතක' පොත පිරිනැමීම සඳහා ජනක ඉනිමංකඩයන් සහ දයාපාල ජයනෙත්තීන් සමග මම අමරසේකරයන් හමුවීමට ගෙදරට ගියෙමි. ජීවිතයේ දශක දශකය අනුව මෝමූහ දශකයේ පසු විය යුතු අමරසේකරයන් එදිනද යට කී අතීත අත්දැකීම සුපුරුදු ලෙස සිහිපත් කළේ ඔහු එදා ඉන් ලත් උද්දාමය තවමත් ඔහුගේ ස්මෘතිය තුළ එක සේ නින්නාද වෙමින් පවත්නා නිසා බැව් නිසැකය..

   2009 ඔක්තෝබර් 26 වැනි සඳුදා ගාලු පුරහලේ මුළු දුන් මහා සාහිත්‍යෝත්සව සභාව 'නිජබිම ආවර්ජනා' වෙසෙස් උලෙළේ සමාප්ති අංගය වුණි. ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකන වැඩසටහන් මාලාවට අයත් 'නිජබිම ආවර්ජනා' වෙසෙස් උලෙළට සහභාගී වනු වස් අප එදා කොළඹ සිට යටලමත්ත බලා ගියේ විශේෂ බස් රියකිනි. ගුණදාස අමරසේකරයන් සහ ඔහු බිරිය 

චන්ද්‍රාවන් , කේ. ජයතිලකයන් සහ බිරිය සුමනාවන් , තිස්ස කාරියවසමුන් , ගුණසේන විතානයන් , ලීලානන්ද ගමාච්චීන් , ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේයන් , ගෙවිඳු කුමාරතුංගයන් , දයාපාල ජයනෙත්තීන් සහ මා ඇතුළු සාහිත්‍ය ලෝලීන් විශාල පිරිසක් එදා එම බසයේ එකට ගමන් ගත් අයුරු මෙවේලේ මගේ සිහියට නැගෙයි. අමරසේකරයන්ගේ හැම්මෑලියේ මහ ගෙදර අසලදී ඔහුගේ එක කුස ඔත් වැඩිමහල් සොහොයුරු ධර්මදාස සූරියආරච්චි අමරසේකරයන්ද (සූරියආරච්චි නාමය ගුණදාස අමරසේකරයන්ටද වෙයි.) අප ගිය බසයට ගොඩ වුණා මට මතකය. 

අමරසේකරයන්ගේ උපතට තිඹිරි ගෙය වූ ගුරු නිවාසය අයත් ඔහුගේ මුල් පාසල වන යටලමත්ත විදුහල කිසිදු වෙනසකට භාජන නොවී පෙර සේම පැවති බව අපි එදා දුටුවෙමු. 

අමරසේකරයන් විසින් රචිත මහාර්ඝ කෙටිකතා සංග්‍රහයක් වන 'ජීවන සුවඳ' කෘතියෙහි එන 'ආපසු ගමන' නම් ආත්ම චරිතාත්මක කතාවේදී මෙම සංවාද හා ආඛ්‍යාන පාඨ හමුවෙයි.

"අම්මා යළිත් නැවතිල්ලේ කියවන්නට විය.

'උඹ දුව පැන ඇවිදින කාලෙ තමයි මේ ඔක්කොම වැඩ ඉවර කරල ඔය කාමරෙත් හදල මුළු ස්කෝල සාලෙම සිමෙන්ති දැම්මෙ. තවම ඇති ඒ සිමෙන්ති දාපු පාර උඹ තියාපු අඩි. ඔය සිමෙන්ති දාන දවසක අපි ගාලු ගිහිල්ල පස්ස පැත්තෙන් කාමරේට ඇවිල්ල දොර ඇරී හැටියෙ උඹ ස්කෝල සාලෙට දුව ගෙන ගියා. තවම ඇති ඒ තියාපු අඩි අගේට' යි කී ඈ නැගිට ස්කෝල සාලයෙහි ගුරු නිවාසයට ඇතුළු වන දොර අසලට ගියාය.

'මේ තියෙන්නෙ....... මේ දුවගෙන ගිය අඩි' යි කී ඈ මට ඒ මගේ අඩි පාරවල් පෙන්වුවාය. 

'මම , හා පුතේ මෙහේ මෙහේ කියලා කෑ ගැහුවා. ඒ පාර ආපහු දුවගෙන ආපු අඩි තමයි මේ' යි කී ඈ ආපසු පැමිණි අඩිද පෙන්වුවාය.

'මේව තව සැරයක් සිමෙන්ති දානකන් මෙහෙම තියේවි.' "

( 'ජීවන සුවඳ' - ගුණදාස අමරසේකර - පළමුවන මුද්‍රණය - 1956 - 'ආපසු ගමන' - 183 පි.)

    'නිජබිම ආවර්ජනා' උලෙළට සහභාගී වනු පිණිස යටලමත්ත විදුහලට ගිය අප කවුරුත් එහි විදුහල් සාලයේ පැරණි සිමෙන්ති පොළොවේ කොටු කර තිබුණු එක්තරා වෙසෙස් තැනක් වෙත නෙත් හෙළමින් බලා උන්නේ මහත් කුහුලිනි. අසූ වියට එළැඹි අමරසේකරයෝද එතන අප ඉදිරියේ නැගී සිටිති. ඔහු තම විසල් නෙත් සඟල විදහා මඳක් ඉරි තැළී ගිය සිමෙන්තියේ තවමත් ඉතිරිව ඇති තම බිළිඳු පතුල් සටහන දෙස එබී බැලුවේ බලවත් හැඟීමෙකිනැයි සිතමි

මා කලින් උපුටා දැක්වූ කෙටි කතා පාඨයට අනතුරුව එම කතාවේ එන ආඛ්‍යාන පාඨය මෙසේය.

"නැඹුරු වී ඒ දෙස බලා උන් මට ඒවා අතගා බැලීමටද සිතිණ. මම නැඹුරු වී ඒවා අතගා බැලුවෙමි. 'මාපට ඇඟිල්ල , අනික් ඇඟිලි , විලුඹ' ඒ සියල්ලම එහි ඇත. මම මගේ දෙපා දෙස හැරී බැලුවෙමි.එක්තරා සතුටකින් විස්මයකින් හා ස්නේහයකින් මගේ හිත වෙළී යන්නා සේ මට දැනිණ. 'මගේ නේද? අනේ දෙයියනේ මේ ඔක්කොම මගේ නේද?' යි මම අවට දෙස බලමින් මටම කියා ගතිමි. මේ සියල්ල ඇද වැළඳ ගැනීමට තරම් ප්‍රේමයකින් මගේ සිත මොලොක් වූවා සේ මට දැනිණ. මගේ දෙනෙත් තෙත් වී ඇතැයි මට හැඟිණ."

( 'ආපසු ගමන' - 183 පි.)

    තම බිළිඳු වියේ පතුල් සටහනට එබී

බලා නැගී සිට සිනා මුහුණින් අප දෙස බැලූ , අසූ වියට එළැඹි ගුණදාස අමරසේකරයන්ගේ මුහුණ දකිත්ම යට කී කෙටිකතා පාඨය මගේ සිහියට නැගෙනු කෙසේ නම් වැළකිය හැකිද?

තම තිඹිරි ගෙය වන එම පැරණි ගුරු නිවාසයට අප සමග ඇතුළු වුණු අමරසේකරයන් කුඩා වියේ තමා එහි උන් හිටි තැන් , කළ කී දෑ අපට නොසඟවා හෙළි කළේ බලවත් ආසාවෙනි. එවේලේ ඔහුගේ 'ආවර්ජනා' කාව්‍ය සංග්‍රහයෙහි එන 'නිජ බිම ආවර්ජනා' නම් කාව්‍ය රචනය මගේ මතකයෙන් මතු වූයේ ඉබේය. අමරසේකරයන් එය රචනා කර ඇත්තේ වරක් විදුහල්පතිගේ ආරාධනයෙන් යටලමත්ත විදුහල් උලෙළක විශේෂ අමුත්තා වශයෙන් එහි ගිය අවස්ථාවක ලද හෘදයංගම අත්දැකීම් වස්තු කර ගනිමිනි. එවේලේ ඔහු අපට හෙළි කළ අතීත සැමරුම් අසා සිටින මට ඔහුගේ 'නිජබිම ආවර්ජනා' කාව්‍ය රචනයේ එන තම හද බසින් බැඳි මේ පැදි වහා සිහි වනු කවර අරුමයක්ද? 

".....මේ මගේ නිජ බිමයි

මකව් සිත දිනු බිමයි

මෙහි සෑම අඟලක්ම

පිදුම් ලැබ ඇත මහද

මේ විසල් බිත්ති මත 

නැඟී මා කොලු වයස 

බලා කඳු හෙල් ඈත 

ළහිරු රැස් වැද දිළෙන 

නැඟූ සිතිවිලි සොඳුරු 

නොවෙද මා අද පවා 

නඟන්නේ බැති සිතින් 

එදා මා පා ගැටුණු 

මෙබිම රැඳි ගල් බොරලු

තණ පඳුරු මල් පියලි

නොවෙද මා මවන්නේ සිත් අතින් කවා රස හව් නොයෙක් 

අර ඈත පාළු බිම 

මහද නැඟු පාළුවයි 

මා වෙළුෑ තනිකමයි 

වේදනාවයි දුකයි 

තවම මා රැගෙන යනු 

සිතුවමට නඟාලනු 

බසින් හඬ ගා කියනු 

මේ මගේ නිජ බිමයි

මකව් සිත දිනු බිමයි

මෙහි සෑම අඟලක්ම 

පිදුම් ලැබ ඇත මහද 

මෙය නොවෙද අප එදා 

විසල් ගෙයකැයි සිතූ

පස් දෙනම රැඳී උන්

දෙපැත්තෙහි ඇඳන් තැබු 

කවුළු දෙකකින් සැදුණු

නිවාසය 'අපේ ගෙය'

තුටින් මත් මට නොහැක

නොපෙන්වා සිටින්නට 

තිබුණු තැන අපේ ඇඳ 

මා කැටිව එන ඔහුට 

'අර ඇඳේ බුදියෑවෙ

නඟයි අම්මයි අපේ'

'මම උපන්නේ අතන 

කෑම කාමරයේලු'

මගෙ නෙතට හුරු පුරුදු

ඒ අඳුර තවම ඇත 

අත ගෑමි විසල් දොර 

ඇරෙන සාලාව වෙත 

'මෙතන ඉඳ ගෙන තමයි 

සියලු කව් රස වින්දෙ

මගේ මව උගැන්නුව

සැලළිහිණි ගුත්තිලය 

දැන ඇඳින ගත්තෙ මම' ...."

( 'ආවර්ජනා' - ගුණදාස අමරසේකර - 

පළමුවන මුද්‍රණය - 1975 - 'නිජබිම ආවර්ජනා' - 66 - 68 පිටු.)

    'නිජබිම ආවර්ජනා' ආරම්භක උත්සවය පැවැත්වුණේ වෙනත් තැනක ගොඩ නගන ලද යටලමත්ත අලුත් විදුහල් සාලාවේය. එහි ප්‍රධාන දේශකයා වූයේ මහාචාර්ය තිස්ස කාරියවසම්හුය. උත්සව සභාවට සහභාගී වූ සම්භාවනීය පිරිස අතර මාර්ටින් වික්‍රමසිංහ ප්‍රාඥ ලේඛකයාණන්ගේ බාල පුත් වෛද්‍ය රංග වික්‍රමසිංහයන් සමග වැඩිමහල් දියණිය රූපා සපරමාදු මහත්මියද වූවාය. උලෙළ අවසානයේ ගුණදාස අමරසේකරයන් නමින් යටලමත්ත විදුහලේ දක්ෂතම කුඩා සිසු දැරියට ශිෂ්‍යත්වයක්ද පිරිනැමුණි. වියත් සබාව. අමතන ලෙස ගුණදාස අමරසේකරයන් ඇරයුම් ලද එවේලේ යළිත් ඉබේම මහද නිනදව ගියේ පෙර සඳහන් කළ 'නිජබිම ආවර්ජනා' කාව්‍ය රචනයේ එන මේ පැදි නදය. 

"....'මෙ සිසු කැල අමතන්න 

ඔබට කළ හැකි අපට 

ලොකුම ගරු සරුව එය. 

ඔවුන් ඔබ ගැන අසා 

ඇත සියක් දහස් වර' 

ඔහු බසින් තිගැස්සී 

මම බලාගෙන උනෙමි.

කුමක් කිව හැකිද මට?

වැසූ වැරහැලි විසින් 

සොටු පෙරා ගත් වතින් 

විරිත්තූ දත් පෙළින්

මුසපත්වු ගොළු බසින්

යුතු මෙසිසු දෙස බලා 

කුමක් කිව යුතුද මම

කුමක් කිව හැකිද මට

කුමක් කිව යුතුද මම 

+

මා අතින් උන් නිසා

සිදුවු මෙහෙයක් ඇතිද? 

උන් දුගී බව නසන 

දුක් තැවුල අඩු කරන

අවිදු අඳුරෙන් මුදන 

කිසිදු මෙහෙයක් උතුම්

මා අතින් ඉටුවිණිද?

එවැනි මෙහෙයක් නොකළ

මා මෙසේ දැන් ඉතින්

බලා උන් දෙස කුමක් 

කියන්නද මේ මොහොතෙ

රැගෙන මේ බිම හදින්

එහි රසෙන් මත් වෙමින් 

හනා රස හව් අරුත් 

ලියා ඇති මුත් නෙකව් 

මා අතින් මොවුන් වෙත 

සිදුවීද මෙහෙවරක් 

ඉටු වුණිද යුතුකමක්

බිඟුහු සේ රොන් සොයන 

උරා මුවරඳ සොරා 

මකව් රස මැවූ මුත් 

ඉටු කෙළෙද කිසි දිනක 

මෙහෙවරක් යුතුකමක් 

උන් මුදා ලනු පිණිස...... 

"....ඉටා ගත්තෙමි මෙදින 

මගින් සොටු පෙරි මුහුණු 

මකා ලමි මපිළිබිඹු

අරිමි තා වෙත මහද

උගත්තෙමි තා වෙතින් 

මෙතෙක් නූගත් වදන 

තවෙත එමි ළඟ දිනක 

විබුද කවියර ලෙසින."

( 'නිජබිම ආවර්ජනා' - 69,70,73 පිටු.)

- කරුණාරත්න අමරසිංහ

(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.