News Category
From Date
To Date
Maximum Number of Result

ගුවන් විදුලියේ ජනකාන්ත ජේත්තුකාරයා කරුණාරත්න අබේසේකර

Jul 27, 2024 at 09:52 AM
|

ඔහු ගුවන් විදුලිය ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය. සිංහල ගීතය ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය. සිංහල නිවේදන කලාව ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය. සිංහල ක්‍රිකට් ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය. දැන්වීම් ප්‍රචාරණය ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය.

ඒ වූ කලී ජනකාන්ත කරුණාරත්න අබේසේකර ය.

කවීහු රමණීයාර්ථ ප්‍රතිපාදනයෙන් ද අපූර්ව වස්තු නිර්මාණයෙන් ද මානව සංහතිය සැනසූහ. භාෂාවේ මහිමයෙන් කරුණාරත්න අබේසේකර ද කවියෙන් – ගීයෙන් – කථනයෙන් රටක් සැනසුවේ ය. රස ගැන්වූයේ ය. පිනවූයේ ය. හැඬවූයේ ය.

පාසල් යද්දීම 1964 දී ඔහු පළ කළ ‘ක්‍ෂේම භූමි’ කාව්‍ය සංග්‍රහයට ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ විද්වතුන් කියන්නේ ඔහුගේ භාෂා ඥානයේ මහිමයයි.

“කීමෙහි බිණීමෙහි මෙන්ම, ගැයීමෙහි ද චතුරයකු ලෙස කවුරුත් මැනවින් හඳුනන කරුණාරත්න අබේසේකර සුලලිත වැකියෙන්, හෙළ වදන් යොදා මාහැඟි සිතුවම් ඇඳීමෙන් හෙළ පාඨකයන්ගේ සිත් දිනාගත්තෙකි. අබේසේකර සරල බසින් චමත්කාර හැඟීම් ජනිත කරවීමෙහි දක්‍ෂයෙකි.”

1930 ජූනි 03 වැනිදා මාතර බඹරැන්දේ රත්මලේදී උපන් කරුණාරත්න අබේසේකර රටම පිනවන ලෙස ‘සද්ද කිරීම’ ඇරඹුවේ පාසල් වියේදීම ය. කරුණාරත්න අබේසේකර රත්මලේ සිට කොළඹට සේන්දු වන්නේ යුද සමයේදී ය. කොළඹ මාලිගාකන්දේ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා, කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළු වීමේ භාග්‍යය ලබන ඔහු වඩාත් භාග්‍යසම්පන්න වන්නේ එහිදී මුණගැසෙන මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා නිසා ය.

1942 දී පමණ සිරි අයියාගේ ගුවන් විදුලි ළමා තීරයට කැටුව එනු ලබන ඔහු කවියට නැඹුරු වෙයි. ගීයට නැඹුරු වෙයි. කථනයට නැඹුරු වෙයි. නිවේදනයට නැඹුරු වෙයි. ඔහුගේ නම මුලින්ම ළමා තීරයෙන් රටට ඇසුණේ සිරි අයියාගේ කටහඬිනි.

ළමා තීරයෙන් සිය කලා කුසලතා ඔපවත් කරගන්නා ඔහු එවක පැවැති දේදුන්න – මීවදය – සුවඳ කවි සඟරාවලටත් සිංහල බෞද්ධයා – සිළුමිණ – ලංකාදීප වැනි පත්‍රවලටත් කවි ලිව්වේ ය.

නාලන්දේ සිටියදීම සිය මිතුරු රවින්ද්‍ර රූපසේනට ‘අකිය මිලාකේ’ නම් හින්දි ගීයට අනුරූපව ‘කුමුදු පිපීලා’ ගීය ලියා දුන්නේ ය. එතැනින් නොනැවතී ඔහුටම ‘පෙම් පැණි දී මා සිත උදම් කළා – මගෙ සකුන්තලා’ නම් පළමු සරල ගීතය ද ලියුවේ ය. ළමා තීරයට සහභාගි වෙමින් සිටියදී දිනකට රුපියල් හතේ වැටුපට ගුවන් විදුලියේ සහන නිවේදක තනතුරකට ද ඔහු ඉල්ලුම් කරයි. වයස සම්පූර්ණ වී නැත. තුරඟ තරග විස්තර ප්‍රචාරකයකු වන අධ්‍යක්‍ෂ බොබී වීරකෝන්ගෙන් උපකාරයෙන් සහන නිවේදක තනතුර ලබාගත්තේ, එවක පැවැති ‘යුනිවර්සිටි ප්‍රිලිමිනරි’ විභාගය සමත්ව පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සම්මුඛ පරීක්‍ෂණයට කැඳවනු ලැබූ දිනයේදීම ය. ඔහු ගුවන් විදුලියේ රැකියාව තෝරා ගන්නේ සිය සහෝදර පිරිසගේ අනාගතය සලකාගෙනය.

ඔහු 1958 දී බි්‍රතාන්‍යයේ ඊඊක්‍ යේ පුහුණුව ලබා ගුවන් විදුලියේ ඉහළම තනතුර දක්වා ද ජනකාන්තම පුද්ගලයා දක්වා ද ගමන් කළේ වාසනාව නිසාම නොවේ. අසීමිත කැපවීම නිසාය.

උපතින් ලත් කවි ශක්තියත් – ගැඹුරු හඬ පෞරුෂයත් වඩාත් ඔප් නංවා ගැනීමට නාලන්දාවේ සිටියදීම මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ගොස් සිංහල – පාලි – සංස්කෘත දැනුම ද ගණදෙවි හෑල්ල – බුද්ධ ගජ්ජය – සකස්කඩය ද හදාළේ ය.

ඔහුගේ පැහැදිලි හඬත් නිවැරදි උච්චාරණයත් නිසා ඔහුගේ ප්‍රවෘත්ති ප්‍රකාශය වඩාත් ජනප්‍රිය විය. එවක ඉගිරිසියෙන් ලැබෙන ප්‍රවෘත්ති පිටපත ක්ෂණිකව සිංහලට පරිවර්තනය කරගෙන ඉදිරිපත් කිරීමෙන් ඔහු පෙරමුණේ සිටියේ ය. ප්‍රවෘත්ති නිවේදනයෙන් ද වර්ණනීය බාහිර විස්තර ප්‍රචාරයෙන් ද දැන්වීම්කරණයෙන් ද – විජාතික ක්‍රිකට් සිංහලකරණයෙන් ද කරුණාරත්න අබේසේකර අද්විතීය ස්ථානයක් හිමි කර ගත්තේ ය.

එලිසබෙත් මහ රැජිනගේ ලංකාගමනය – කොළඹ මහා ප්‍රදර්ශනය – නුවර පෙරහැර – ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක අවමංගල්‍යය – ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අවමංගල්‍යය ඇතුළු විශේෂ උත්සව ‘අන්ධ මාධ්‍යයෙන්’ ශ්‍රාවකයන්ට දැකබලා ගන්නට කරුණාරත්න අබේසේකර විස්තර කථනය කළේය.

සිරි අයියාගේ ළමා පිටිය ආදර්ශයට ගත් කරුණාරත්න අබේසේකර සිය ළමා වැඩසටහන් ඔස්සේ මෙරට කලා ක්‍ෂේත්‍රයේ පෝෂණයට කලාකරුවන් රැසක් බිහි කළේය.

ආචාර්ය නන්දා මාලිනී – ඇන්ජලීන් ද ගුණතිලක – ඉන්ද්‍රානි විජයබණ්ඩාර – නාලිනී රණසිංහ – මල්ලිකා ද සිල්වා – මාලිනී බුලත්සිංහල – වජිරා බාලසූරිය – විශාරද නීලා වික්‍රමසිංහ – චන්ද්‍රානි ගුණවර්ධන – නෙරංජලා සරෝජිනී – ප්‍රිම්රෝස් ජයසිංහ – රූපා ඉන්දුමතී – එස්. ලියනගේ – දමයන්ති ජයසූරිය – චන්ද්‍රා කබ්රාල් – ලලිත් සිරිවර්ධන – මල්කාන්ති නන්දසිරි – නිර්මලා රණතුංග – නොයිලින් ලියනගේ – චන්ද්‍රානි මානෙල් කල්දේරා – රෝහණ සිරිවර්ධන – ලාලනී සෝමසිරි වැනි ගායක ගායිකාවෝ ද ප්‍රේමකීර්ති ද අල්විස් – අජන්තා රණසිංහ – අතුල පරණයාපා – යසපාල පෙරේරා – නිමල් තිලකරත්න – විජිත කුසුම් ලියනගේ – සමන් අතාවුදහෙට්ටි – අසෝක කොළඹගේ – උපුල් විජේවර්ධන – බුද්ධදාස බෝධිනායක – සුනිල් සරත් පෙරේරා – රංජිත් නවරත්න – තලංගම ප්‍රේමදාස – හේම ශ්‍රී ද අල්විස් – මහින්ද අල්ගම – ගීතා කාන්ති ජයකොඩි – චිත්‍රා කුමාරි කළුබෝවිල – නෙළුම් කළුබෝවිල – ලීලාරත්න කංකානම්ගේ – ඒ. ඩී. රංජිත් කුමාර – කරුණාරත්න ඩී. පිලිප් – ජයම්පති අල්ගම – විමල් ආරියදාස ඇතුළු තවත් බොහෝ දෙනෙක් ඒ අතර වෙති.

ඩී. ඩී. ඩැනී – තිලකසිරි ප්‍රනාන්දු – ශාන්ති දිසානායක – කුලරත්න තෙන්නකෝන් ආදී සංගීතඥයන්ට ඔහු ළමා ගීවලට සංගීතය නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදුන්නේය.

ගීත ප්‍රබන්ධ ක්‍ෂේත්‍රය

ගීත ප්‍රබන්ධ ක්‍ෂේත්‍රය කරුණාරත්න අබේසේකරයන් දිග්විජය කළ ක්‍ෂේත්‍රයකි. සිය පෙම්වතිය ඉරානි හමුවීමට අවහිර වෙද්දී, ‘එන්න මඳනලේ ගොස් පවසන්න දුක මගේ’ ලියමින් ගීත ප්‍රබන්ධ ක්‍ෂේත්‍රයට පුළුල් ලෙස අවතීර්ණ වූ කරුණාරත්න අබේසේකර විශිෂ්ට ගුවන් විදුලි සරල ගී සම්භාරයක් ද 1954 අප්‍රේල් මස තිරගත වූ වරද කාගෙද? චිත්‍රපටයේ සිට චිත්‍රපට තුන්සියයකට පමණ ගීත දහසකට අධික සංඛ්‍යාවක් ද ලියා තිබේ.

ඔහුගේ ප්‍රථම නිර්මාණය වන ‘එන්න මඳනලේ’ ගීතයේ පරිපූර්ණත්වය සලකන විට, ඔහු ගීත ප්‍රබන්ධ කලාවේ උච්චස්ථානයකට පැමිණීම පුදුමයට කරුණක් නොවේ. ඔහුගේ පළමු ගීතයට ආභාසය ලබන්නේ කාලිදාසයන් ගේ මේඝ දූතයෙනි. පාසල් අවදියේම රවීන්ද්‍ර රූපසේනට ලියන ‘පෙම් පැණි දී මා සිත උදම් කළා’ ගීතය ලියන්නේත් කාලිදාසගේ ‘ශාකුන්තලයේ’ ආභාසයෙනි.

එන්න මඳනලේ ගොස් පවසන්න දුක මගේ

යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ

ග්‍රන්ථ සේවනයෙන් ද දීර්ඝ කාලීන කාව්‍යකරණයෙන් ද ලත් පරිචයෙන් යුතුව ගීත ප්‍රබන්ධ කලාවට ප්‍රවිෂ්ට වූ හෙතෙම, භාෂාවේ වික්‍රමාන්විත හරඹ කරමින් විශිෂ්ට ගීත සමූහයක් ජාතියට දායාද කළේය. ඒ ගී සයුරින් ගී දෝතක් මෙසේ විමසුමට ලක් කළ හැකිය.

කවියකු වූ ඔහුට කෙළ සුවහස් විරිත් අමුත්තක් නොවූයේ ය. එබැවින් කවර හෝ විරිතකට අර්ථපූර්ණ නිර්මාණයක් කිරීමට කිසිදු බාධාවක් තිබුණේ නැත. ඔහුම අනාවරණය කළ පරිදි සිංහල නොතේරෙන දකුණු ඉන්දියානු අධ්‍යක්‍ෂවරුන්ගේ දැඩි තීන්දු හේතුවෙන් ලියැවුණු ඇතැම් ‘අපබ්‍රංස’ ගීත කිහිපයක් හැරුණු විට ඔහු බොහෝ අර්ථපූර්ණ ගීත සෙස්සන් සමග නිර්මාණය කළේ ය. ඊට දිය හැකි අනගිතම උදාහරණය දෙබස් කැවූ හින්දි අංගුලිමාල චිත්‍රපටයේ “බුද්ධං සරණං ගච්ඡාමී” ගීතයයි.

එය බුදු දහමේ අනගි දහමක් අපූර්වාකාරයෙන් ගැබ් කර ලියූ විශිෂ්ට නිර්මාණයකි. අනුකාරක ගීතයක ඇතැයි චෝදනා කරන කිසිදු අසද් ලක්‍ෂණයක් මේ පදමාලාවේ නැත. ඇතැම් ප්‍රකට කවියන් පවා ඌන පූරණයට යොදන ලඝු අක්‍ෂරයක් හෝ දීර්ඝාක්ෂරයක් හෝ මේ රචනාවේ සොයාගත නොහැක.

බුද්ධං සරණං ගච්ඡාමී

ධම්මං සරණං ගච්ඡාමී

සංඝං සරණං ගච්ඡාමී

මොහිදින් බෙග්ගේ ගායනයේ උච්චාරණ දෝෂයක් වුව මේ ගායනයේදී සොයාගත නොහැකි තරම්ය.

මේ ගීතය රචනා කිරීමේදී ධජග්ග සූත්‍රයේ ආකෘතියෙන් ආභාසය ලබාගෙන ඇති බව එක්තරා ධර්ම දේශනයකදී හිමිනමක් වදාරා ඇත. එසේම අංගුලිමාල සූත්‍රයේ එන “සිතෙහි යම් කැළඹීමක් ලොමුදැහැ ගැන්වීමක් ඇතිවුණු කල බුදුගුණ සිහි කළ යුතු” බවට ඇති සඳහන ද මේ ගීතයේ “එම විට පවසනු මුවින් ඔබේ” යන යෙදුමින් සිහිපත් වන බව ද උන්වහන්සේ දේශනා කර ඇත.

ඩිංගිරි මැණිකා චිත්‍රපටයට ලියූ ගිරිහෙල් මුදුනේ ගී පදමාලාව අපේ චිරාගත සාහිත්‍ය සේවනයෙන් ලද ආභාසය පෙන්වන අර්ථවත් රචනාවකි.

ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ

හිරු නොනඟී අවරගිරේ හි

මහමෙර නොසැලේ සුළඟින් කිසි කාලේ

නැත කළුපාට කිරේහී

සීතල වූ දිය මහ සාගරේ

උණුවේවිද කවදා සාගරේ//

කෝකිලා කවුඩා නොවේ

නෑ මෙසේ වීලා ලොවේ

නිලමැසි සේනා අසලට නේනා//

භෘංගයා මිස නෙළුමේ //

ගායනය :- අල්හාජ් මොහිදින් බෙග්

සංගීතය :- එස්. එස්. වේදා

‘දස්කම’ චිත්‍රපටයේ දී ස්වතන්ත්‍ර ගීත රචනා ලිවීමට දුර්ලභ අවස්ථාවක් අබේසේකරයන්ට උදාවෙයි. සංගීතවේදී එඩ්වින් සමරදිවාකර එම පද මාලා රසාලිප්ත මධුර තනුවෙන් අලංකාර කළේය. පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ඔහු ලියන ‘ඉපිද මැරේ’ ගීතය ඔහුගේ ගීත අතර රන් කිරුළක් මෙන් දිදුලයි.

ඉපිද මැරේ යළි ඉපිදේ

නොතිර සසර සාගරේ//

අතරතුරේ නොමැරි මැරේ දස දහස් වරේ

නිසල නැතේ සසල වෙතේ

නොතිර සසර සාගරේ

කුමන නැටුම් කෙළි කවට සිනා දා//

ජීවිතයේ අනිත්‍යය ද යථා ස්වභාවය ද මැනවින් කියාපාන මේ ගීතය අපේ උපදේශ සාහිත්‍යයේ ආභාසයෙන් පෝෂණය වී ඇත.

කරුණාරත්න අබේසේකරගේ ගී අතර ජාතික ගීයකට තරම් අර්ථපූර්ණ ගීත රචනා ගණනාවක් ඇත. ඒ අතරින් ප්‍රමුඛස්ථානයක ස්ථානගත වන්නේ 1956 තිරගත වුණු ‘ඩිංගිරි මැණිකා’ චිත්‍රපටයට ලියූ ‘පෙරදිග මුතු ඇටයයි මේ’ යන ලතා වල්පොල ඇතුළු පිරිස ගයන ගීතයයි. මෙහි සංගීතය එස්. එස්. වේදා සහ පී. එල්. ඒ. සෝමපාලගෙනි.

පෙරදිග මුතු ඇටයයි මේ –

ලෝකේ සිරිබර සිරි ලංකා

ජනිත වු සැම මෙම පොළොවේ –

නිති ආඩම්බර විය යුතු වේ

දෑ කුල බේදේ – ආගම් වාදේ

හැරදා එකමුතු වී සමගිව පේළි සැදී

පිබිදී රකිමු අපේ ලංකා

නැඟී සිටිය හැක එක්සත් වී

බෙදී ගියොත් රට යයි සුන් වී

පිබිදෙව් – පිබිදෙව් – පිබිදෙව්

අපගේ විකුමෙ බලේ – රට ජාතියෙහි බලේ

පූර්ව නිශ්චිත අනුකාරක තනුවකට ලියුව ද පහත දැක්වෙන පදවැල නිරායාසයෙන් ගලා ආ බවක් හැඟවේ. සැහැල්ලක ස්වරූපයෙන් ලියැවුණු මේ ප්‍රබන්ධය ජාති වාත්සල්‍යය අවදි කිරීමට සමත් වේ.

පැලඳ යස කිතු මුතුහර පේළි

පෙරදි දසදිග බැඳි ජය කේළි

විකුම් පෑ හෙළ වීර පුතුන්ගේ

පෙළපතෙහි ඔබ ඉපිද සිටින්නේ

ඒ උදාර බලමහිමේ නොතකා

කිමද මේ මර නින්දේ?

‘ඉහත ආත්මය’ චිත්‍රපටයට ලියූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයට ආචාර්ය නන්දා මාලිනී ගයන අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා. ගීතය ද ජාති මාමකත්වය ජනිත කරන්නා වූ සාර්ථක ගීතයක් බව කිව යුතුය.

අද පමණක් නොවේ අපට

හෙටක් තියෙනවා

අරුණලු කැන් හිනැහී නව

දිනක් ලබනවා

අඳුරෙන් බර ආකර තුළ

මැණික් දිලෙනවා

දෙස බස රැස අපේ අතින්

එළිය වැටෙනවා//

එච්. ආර්. ජෝතිපාල හා මිල්ටන් පෙරේරා අතර සිදු වූ ගීතාත්මක අනංගවාදයේ කරුණාරත්න අබේසේකර ගේ ප්‍රතිමල්ලවයා වූයේ ඔහුගේ සොයුරු ගුණරත්න අබේසේකර ය. එම සංවාදය එවක ජනප්‍රිය ගීතමය සංවාදයක් බවට පත් වූ හැටි අපට මතකය. මහගම සේකරගේ ද ප්‍රශංසාවට ලක් වූ ‘ශරවන බව කඳ සුරිඳුගෙ තෙද බලෙ’ ගීතයට 1967 වර්ෂයේ හොඳම ගීත පදමාලාවට හිමි සරසවිය සම්මානය ද හිමිවිය.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා විසින් භාරත පුත්‍ර මොහිදීන් බෙග්ට ශ්‍රී ලංකාවේ සම්මාන පුරවැසිභාවය ප්‍රදානය කිරීමෙන් ඉක්බිති ලංකා ගුවන් විදුලි සේවයේ ප්‍රචාරය වූ සරල ගී වැඩසටහනට කරුණාරත්න අබේසේකර ලියූ මේ ගීතයේ අර්ථාන්විතභාවය අවධානයට ලක්විය යුතුය. භාරත පුත්‍රයා තුළ ශ්‍රී ලංකාව කෙරෙහි උපන් භක්ත්‍යාදරය අපූරුවට පිළිබිඹු කිරීමට රචකයා යෙදූ කාව්‍යෝක්තියට සැලකිල්ල යොමු කිරීම වටී.

ආසිරිවාදෙකි මේ සිරි ලක්මව

හමුවන පින තිබුණේ

මා ඔබ වෙනුවෙනි භාරත මෑණිගෙ

පා සෙවණෙහි වැඩුණේ

පිනිදිය ඇල්ලකි – සුවඳ තොටිල්ලකි

අම්මෙනි උකුළ ඔබේ

මගෙ ලේවල ඇති ඉමිහිරි පුසුඹම

ඔබගේ පුසුඹෙ තියේ

මොහොමඩ් සාලිගේ සංගීතයෙන් ඔප් නැංවුණු මේ පද මාලාව ශ්‍රී ලංකාවේ සම්මානිත පුරවැසිකම ලත් බෙග් මාස්ටර් තුළ උපන් දේශභක්තිය අපූරුවට පිළිබිඹු කරන්නකි.

මනු ලොවැ මල් ගොන්නේ

කිමැ තනිවැ මැ ඉන්නේ

සැපතෙකි දනවන්නේ – මා පමණයි දන්නේ

පෙම් රන් ඔංචිල්ලේ – පැද යමු සියුමැල්ලේ

සීතල ගඟුලැල්ලේ – සුව දෙයි හසරැල්ලේ

සුනිල් සාන්ත ගායනා කළ මේ ගීතය හෙළ හවුල් බසට අනුරූපව ලියන්නට රචකයා වගබලාගෙන තිබේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලත් විද්වතුන් විදග්ධ සංස්කෘතියට අයත් නොවන සරල කලාව ජනප්‍රිය සංස්කෘතිය සේ සලකා අවමානයෙන් බැහැර කිරීම නිසා කරුණාරත්න අබේසේකර මායිම් නොකළ රැල්ලක් එකල පැතිරී තිබිණි.

ඊට හේතු වශයෙන් ඔවුන් දැක්වූයේ ඒ ගීත හින්දි ගීතවල අනුකාරක ගීත බවයි. ග්‍රැමෆෝන් අවදියේ බිහි වූ ගීත සියල්ලම පාහේ හින්දි – දෙමළ – වංග – තෙළිඟු ගීත අනුව ලියූ පදමාලා අගය කළ ඔවුහු, හින්දි තනුවලට ලියූ පද මාලා ‘බොළඳ අසංස්කෘතික ගී’ ලෙස බැහැර කළහ. නිවැරදි සිංහලෙන් ලියා ඇත්නම් අර්ථවත් නම් රසිකයන්ට කිසියම් වින්දනයක් ගෙන දේ නම් ඒවා ප්‍රතික්‍ෂේප කිරීමට හේතුවක් තිබේ ද?

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මනමේ නාට්‍යයේ සියලුම ගීත ලිව්වේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ සැපයූ පැරැණි නාඩගම් ගීවලට අනුරූපවය. ඒ ගීවල විශිෂ්ටතාව අගය කළ බොහෝ විචාරකයෝ අබේසේකරගේ සියලු ගීත අවමානයෙන් සැලකීම අපේ විචාර කලාවේ අගතියක් බව අද බොහෝ දෙනා පිළිගනිති.

නීතිඥ ජෝන් ද සිල්වා සිය නාට්‍ය ගීත සියල්ල ලිව්වේ විශ්වනාත් ලෞජිගේ පූර්ව නිර්මිත තනුවලට ය. මහගම සේකර ‘ඈත කඳුකර හමව් අරණේ’ පද මාලාව ලියන්නේ අමරදේවයන් කලින් හැදූ තනුවකට ය. මේ ගීතවල විශිෂ්ටත්වය අනුකාරක ගී ලෙස බැහැර කළ හැකි ද?

නාලන්දාවේ සිටියදීම මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ගිය ඔහු, එවක සිටි වියත් පැවිදි පඬිවරුන් වෙතින් සිංහල – පාලි උගනිද්දී එළුසඳැස් ලකුණත් වෘත්තාලංකාරයත් කියෙව්වාට සැක නැත. එබැවින් ‘කෙළ සුවහස් විරිත්’ ඔහු නොදැන සිටියා වන්නට බැරිය.

ඇස්. මහින්ද හාමුදුරුවන්ගේ – ආනන්ද රාජකරුණාගේ – කුමාරතුංග මුනිදාසයන්ගේ – ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ළමා කවි මිස, ළමා ගී එවක තිබුණේ නැත. ගුවන් විදුලියේ ආරම්භයත් සමග සිංහල ළමා ගීත නිර්මාණයේ පුරෝගාමියා වූයේ සිරි අයියා ය. ඉනික්බිති ළමා ගීත ක්‍ෂේත්‍රය සශ්‍රීක කළේ කරුණාරත්න අබේසේකර ය.

කරුණාරත්න අබේසේකරගේ ළමා ගී අසිරිය විදහාපෑමට මේ පද රචනා කිහිපය වුව සෑහේ. පාසල් දරුවකුගේ නිවාඩුව ඔහුට කොතරම් වින්දනීය දැයි චන්ද්‍රානි ගුණවර්ධන ගයන මේ ගීයෙන් පෙනෙයි.

දැන් නිවාඩු කාලෙ හින්ද

නෑ ඉස්කෝලේ

හායි හායි ආපි ඔන්න

සෙල්ලම් කාලේ//

සුරතල් සතුන් හා ළමා ලෝකයේ සබැඳියාව කියන මේ ගීතය අදත් ළමයින් තුඩ තුඩ රැව්පිළිරැව් දෙයි.

ලේනගෙ පිට මැද ඉරි තුන ඇන්දේ

කවුද අනේ අම්මේ

ලස්සන කිරි සුදු හංස පැටව් ටික

ඇයි වතුරට දැම්මේ

‘සුරතල් අපේ පෙනීලා’ – ‘අම්ම මාව දොයි කරන්න’ – ‘කළු මැණිකගෙ කළු ලෑල්ල’ – ‘උදේ සුපිපුණු මලක් බඳු’ – ‘කොටු වැටිච්ච පුංචි සරම’ – ‘මමයි රජ කාලේ විහිලු කෙරූ අන්දරේ’ ඇතුළු රසවත් ළමා ගී සමූහයක් ඔහු ඉතිරි කර තබා ඇත.

‘පුංචි පුතේ පුංචි දුවේ ඉපදුණු සිරිලක් දිවේ’ – ‘කෝටු කෑලි සොයාලා’ – ‘හිතන්නකෝ අයියේ’ වැනි ලොකු පොඩි කාටත් රසවිඳිය හැකි ගීතාවලියක් ද කරුණාරත්න අබේසේකර අතින් නිර්මාණය වී තිබේ.

දැන්වීම් කලාව

ප්‍රචාරක දැන්වීම් කලාව කරුණාරත්න අබේසේකර දක්‍ෂතා දැක්වූ තවත් ක්‍ෂේත්‍රයකි. ඔහුගේ හඬ පෞරුෂය ගුවන් විදුලි දැන්වීම් සඳහා උපයෝගී කරගැනීමෙන් ව්‍යවසායකයන්ට මාහැඟි ඵල අත්පත් කරගත හැකි විය. අනෙක් අතින් ඔහු ගේ නිර්මාණශීලීත්වය වාණිජ කටයුතු සාර්ථක කරගැනීමට මහත් පිටුබලයක් විය. ඒ සඳහා වාග් හරඹ කිරීමට මනා භාෂා පරිචයක් ඔහු සතු විය. අනුප්‍රාසය – පුනරුක්ත – රිද්ම සහ කාව්‍යෝක්ති ඔස්සේ බස හැසිරවීමට ඔහු දස්කම් පෑවේ කවියෙන් – ගීතයෙන් සුඛනම්‍ය භාෂා භාවිතයේ අනුහසින්ය.

මේ ඔහුගේ එවන් නිර්මාණාත්මක වචන හරඹයකි.

“සොම්නස දොම්නස පවසන ගොළු බස

මල් නම් ජයරත්න – ජයරත්න නම් මල්”

“වෙනින් කවුරුත් නෙවෙයි – ලෙනින් මොරායස්” චණ්ඩියා චිත්‍රපට දැන්වීමක අනුප්‍රාස සහිත වැකියකි.

“සංග්‍රහශීලී ශ්‍රී ලංකාව” ඔහුගේ එයාර් ලංකා ප්‍රචාරක වැකියකි.

“මංගල මුදු මාල වළලු රන් අබරණ ලබාගන්න” අදත් ජනප්‍රිය ස්වර්ණාභරණ ප්‍රචාරක ගීතයේ නිබන්ධකයා ද ඔහුය.

මාර්ග අනතුරු වැළැක්වීම වෙනුවෙන් රථ වාහන පැදවිය යුතු ආකාරය කියන ප්‍රචාරක ගීතයේ ද නිබන්ධකයා ඔහු ය.

“අතට ගත් විට ඔබේ රතේ – පියඹලා නොයනු

සලකනු මඟ සලකුණු – නීති පිළිපදිනු”

කරුණාරත්න අබේසේකරගේ භාෂා නිපුණත්වය ඔහුගේ ප්‍රචාරක දැන්වීම් කලාවට ආභරණයක් විය. ප්‍රචාරක ලෝකයේ දැවැන්තයකු වූ රෙජී කන්දප්පා එවක පැවති පෑන්වලට යොදන ලියන තීන්ත වර්ගයක් පාට හයකින් වෙළෙඳ පොළට නිකුත් කරන බවත් ඉංගිරිසි බසින් වෙළෙඳ The Best of Six බවත් ඊට යෝග්‍ය සිංහල වැකියක් අවශ්‍ය බවත් දුරකථනයෙන් කීවේය. ඔහු ගත් කටටම කීවේ “හරිම බඩු හයක්” කියා යොදන ලෙසයි. දැන්වීම ඉහළින්ම සාර්ථක විය.

Sweet House ව්‍යාපාරයට සිංහලෙන් සුදුසු නමක් ඉල්ලූ විට ඔහු දුන් නිර්මාණාත්මක නම ‘රස හල’ යන්නයි.

බංකොලොත් වූ හෝටල් ව්‍යාපාර හිමියෙක්, කතරගම දෙවියන්ට බාරයක් වී පැමිණ කිසියම් ගුප්ත සිදුවීමක් කරුණාරත්න අබේසේකරයන්ට සැළ කර, අලුතින් පටන්ගන්නා ව්‍යාපාරයට සුදුසු නමක් ඉල්ලා සිටියේ ය. කතරගම දෙවියන්ට බාර වූ බව දැනගත් ඔහු, කතරගම දෙවියන්ට පර්යාය පදයක් වූ ‘ශරවන’ යන පදය අගසිට මුලට කියැවෙන ‘නවරස’ යන නම යෝජනා කළේ ය. අලුතින් පටන්ගත් ව්‍යාපාරය බලා සිටියදී දියුණු විය. කරුණාරත්න අබේසේකරගේ අත්ගුණය එබඳු ය. දැන්වීම් කලාව යනු පොදු ජනතාව ගේ හෘද ස්පන්දනය හඳුනාගෙන සාර්ථක කරගත යුතු කලාවකි. කරුණාරත්න අබේසේකර පොදු ජනතාවගේ හෘද ස්පන්දය මැනවින් දැන සිටියේ ය. ඔහුගේ දැන්වීම් කලාව සාර්ථක වූයේ එබැවිනි.

යහපත් මුහුණුවරකින් ගෙන ගිය සමාජ ද්‍රෝහී ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කරගැනීමට ඔහුගේ කටහඬ විශාල මුදලකට ලබා ගැනීමට එක්තරා ව්‍යාපාරිකයෙක් ඉදිරිපත් විය. ඒ විශාල මුදල ඔහු එකහෙලා ප්‍රතික්‍ෂේප කළ අතර ඔහු හැම විටම ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කළ බව ඔහු හා දීර්ඝ මිතු දමක් පැවැත්වූ “ෆාස්ට් ඇඩ්ස්” අධිපති ප්‍රේම් දිසානායක පවසයි.

‘දිලීප පොඩි පුතු’ උපන් කාලයේ පියා පුවත්පතකට අවවාදමුඛයෙන් ලියූ කාව්‍යමය ඔවදනක් දිලීපට තවමත් මතකය.

ඔබට රිසි නම් කලාකරුවකු වෙන්න මතුවට හොඳ වෙලාවය.

පුතුනි ඉහළින් ඉගෙන ගත යුතු ලොවේ ජීවත්වෙන කලාවය.

ලංකා ගුවන් විදුලි සේවය වශයෙන් තිබියදී අභ්‍යන්තර වැඩසටහන් ඉදිරිපත් කරන ස්ථිර සේවකයන්ට දැන්වීම්කරණයට තහංචි පැනවී තිබුණේ නැත. එහෙත් 1967 දී ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වෙද්දී ගුවන් විදුලි සේවකයන්ට බාහිර වෙළෙඳ වැඩසටහන් ඉදිරිපත් කිරීම තහනම් විය. ඒ වනවිට කාර්යාලයෙන් බැහැර ලොකු ඉල්ලුමක් තිබුණු කරුණාරත්න අබේසේකර කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සහ ශබ්ද ඉංජිනේරු මර්වින් රුද්‍රිගූ ප්‍රමුඛ පිරිසක් ගුවන් විදුලියේ සේවයෙන් ඉල්ලා අස්වූහ.

ගුවන් විදුලියේ ස්ථිර සේවයෙන් ඉවත් වූ පසු ඔහු දැඩි සේ කාර්යබහුල විය. චිත්‍රපටවලට ගීත ලිවීමත් – එළිමහන් සංගීත සංදර්ශන ඉදිරිපත් කිරීමත් – ප්‍රචාරක දැන්වීම්කරණයත් ඔහුට ආර්ථික ප්‍රතිලාභ වැඩි වැඩියෙන් ගෙන දුන්නේ ය. එහෙත් රට වෙනුවෙන් ගුවන් විදුලියෙන් ඉටුකළ ජාතික මෙහෙවර ඔහු අතින් ගිළිහී ගියේ ය.

ගුවන් විදුලියේ බොහෝ දෙනා ගේ මතකයේ රැඳී සිටින ජනකාන්ත කරුණාරත්න අබේසේකරගේ රූපකාය අද අපට දිස්වන්නේ මෙසේ ය.

“යාඩ්ලි කේශාලේප තවරා හිසට ඇලෙන්නට කොණ්ඩය පීරා, තිතට ගිනිකූරු කට් එක තබා – අත් කොට සුදු බුෂ් ෂර්ට් එකක් සහ කළු දිග කලිසමක් හැඳ දිස්නෙ දෙන පාවහන් යුවළක් පැලඳ – ෆෝ ඒසස් සිගරැට්ටුවක් සුරතේ දෑඟිලි අතර රඳවාගෙන ගුවන් විදුලි කොරිඩෝවේ සැරිසරමින් ගුවන් විදුලිය ජනකාන්ත කළ” ජනප්‍රිය සංස්කෘතියේ අද්විතීය පුරුෂයා කරුණාරත්න අබේසේකර තමන් අතගැසූ සකලවිධ ක්‍ෂේත්‍රයන් ජය ගෙන, අවුරුදු 52 යි, මාස 10 ක් ආයු විඳ 1983 අප්‍රේල් 20 වැනිදා රටම හඬවා ජාතියෙන් සමුගත්තේ ය. එහෙත් ඔහුගේ නිර්මාණකායත් ගුණකායත් අදත් සදානුස්මරණීයව පවතී.

- තිලකරත්න කුරුවිට බණ්ඩාර
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)




සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.