News Category
From Date
To Date
Maximum Number of Result

නව සේද මාවතේ අනාගත අපේක්‍ෂා

Oct 16, 2023 at 02:45 PM
|

(“නව සේද මාවතේ වසර දහයක් - අත්දැකීම් සහ අපේක්‍ෂා” යන තේමාව යටතේ 2023 ඔක්තෝබර් 9 වැනි දා පැවැත්වුණු සංවාදශීලී සම්මන්ත්‍රණයේ දී පෙරදිග දේශපාලන විද්‍යායතනයේ විදුහල්පති ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා විසින් පවත්වන ලද දේශනය ඇසුරින් සැකසුණු ලිපියකි.)

හැඳින්වීම

මාවතක් තීරයක් වැඩසටහන තුළින් අපට සාක්‍ෂාත් කරගත හැක්කේ වරාය, මහා මාර්ග වැනි යටිතල පහසුකම් ඇති කරගැනීමේ සහ පවත්නා යටිතල පහසුකම් දියුණු කරගැනීමේ අරමුණු පමණක් නොවේ. රටේ සමාජ - ආර්ථික වර්ධනයට උපකාරී වන වෙනත් බොහෝ ක්‍ෂේත්‍රවල ප්‍රගමනයක් ඇති කරගැනීමට අවශ්‍ය සහයෝගීතා ඇති කරගැනීම සඳහා අප හට මෙම වැඩසටහන උපයෝගී කරගත හැකි ය. ශ්‍රී ලංකාවේ භෞමික පිහිටීමෙන් වැඩගැනීම සඳහා අවශ්‍ය මානව සම්පත් සහ කර්මාන්ත සංවර්ධනය, සංස්කෘතික හුවමාරු සිදුකිරීම, සහ වෙනත් බො‍හෝ අවශ්‍යතා සඳහා වන අපගේ අනාගත අපේක්‍ෂා සාක්‍ෂාත් කරගැනීමට මේ තුළ ඉඩක් වෙයි. අපි ඒවායින් කීපයක් ගැන සළකා බලමු.

සාගරයේ අපේක්‍ෂා

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉපැරැණි මුහුදු සේද මාවතේ මැද ය. අතීතයේ දී ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතා ප්‍රධාන වශයෙන් පවත්වනු ලැබුවේ මුහුදු මාර්ග ඔස්සේ ය. මුහුදු සේද මාර්ගය ඔස්සේ සිදු කෙරුණු එම ගනුදෙනු තහවුරු කරන ඓතිහාසික වාර්තා විශාල ප්‍රමාණයක් ද ශේෂ වී පවතියි. වර්තමානයේ අප තුළ පවත්නා දුර්වලකම් වටහාගෙන අනාගතය වෙත පියමැනීම සඳහා එම අතීත අත්දැකීම්වලින් පාඩමක් ඉගෙනගැනිම අප විසින් කළ යුතු වෙයි. මෙම අරමුණ ඇතිව අපි මුලින් ම එවැනි අතීත අත්දැකීම් කිහිපයක් විමර්ශනය කරමු.

චීන - ලංකා ඓතිහාසික සබඳතාවලට අදාළව අප වැඩි පිරිසක් දන්නේ ෆා-ශියැන් හිමියන්ගේ ගමන පිළිබඳව ය. මෙයට අවුරුදු 1600 කට පමණ පෙර (ක්‍රිස්තු වර්ෂ 410 දී) ෆා-ශියැන් හිමියින් ලංකාවට වැඩම කළේ ගොඩබිම සේද මාවත ඔස්සේ ඉන්දියානු උප-මහාද්වීයට වැඩම කිරීමෙන් අනතුරුව ය. එයින් පසු වසර දෙකක් අනුරාධපුරයේ වැඩ සිටි උන්වහන්සේ ආපසු චීනයට වැඩම කළේ මුහුදු සේද මාර්ගය ඔස්සේ ය. උන්වහන්සේගේ එම ගමන ශ්‍රී ලංකාවේ නැවකින් සිදුවුණු බව එයට පෙර සහ පසුව ලියැවුණු අනෙකුත් වාර්තා සේවනයෙන් පැහැදිළි වෙයි.

ක්‍රිස්තු වර්ෂ 4 – 6 කාලයේ ලියැවුණු චීන, රෝම, සහ පර්සියානු වාර්තාවලින් පැහැදිළිවන්නේ ඒ වනවිට බෙංගාල බොක්ක සහ එයින් නැගෙනහිරට නාවික බලය ලංකාව සතුව තිබුණු බවත් අරාබි මුහුදු සහ එයින් බටහිරට නාවික බලය පර්සියාව සහ රෝමය සතුව තිබුණු බවත් ය. නැගෙනහිර පිහිටි චීනය ඇතුළු රටවල සිට ලංකාවේ නැව්වලින් ගෙනා භාණ්ඩ වර්තමාන මන්නාරම ආසන්නයේ පිහිටා තිබුණු මාන්තොට වරායේ ගොඩ බෑ පසු ඒවා රෝමයේ සහ පර්සියාවේ නැව්වලින් බටහිරට ගෙන ගිය බවක් එම වාර්තාවලින් හෙළිදරව් වෙයි. එයින් පැහැදිළිවන්නේ එ කල ශ්‍රී ලංකාව සතුව පැවැතුණු නාවික බලය යි.

උක්ත කාලයේ සිදුවුණු ගනුදෙනු විචිත්‍ර ආකාරයෙන් චීන වාර්තාවල සටහන් වී තිබේ. එයින් එක වාර්තාවක සඳහන් වී තිබෙන එක් කාරණයකින් ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම පිළිබඳව එ කල පැවැති ඇගැයීමක් ප්‍රකාශ කෙරෙයි. චීනයේ චින් යුගය පැවැතියේ ක්‍රිස්තු වර්ෂ 266 - 420 දක්වා කාලය තුළ ය. “චියාඕ-චෝ වාර්තා” යනු එ කල ජීවත්වුණු ලියු ශින්-ඡී නම් පුද්ගලයා විසින් රචිත ග්‍රන්ථයනි. එය පළ කර තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 380 දී ය. එ නම්, ෆා-ශියැන් හිමියන්ගේ ලංකාගමනය සිදුවීමට වසර 30 කට පෙර ය. එම ග්‍රන්ථයෙහි මෙ සේ සඳහන්ව තිබේ. “ලංකාවේ රජකුමාගේ දියණිය විවාහ කරගැනීමේ අදහසින් පර්සියාවේ රජතුමා තෑග්ගක් වශයෙන් ස්වර්ණමය අත් පළඳනාවක් යැවී ය.” එම ගනුදෙනුවට සම්බන්ධ වූයේ පර්සියාවේ මහා ෂාපූර් (309 – 379) අධිරාජයා සහ බුද්ධදාස (341 – 370) රජතුමා යැයි අනුමාන කළ හැකි ය.

මෙවැනි දේශපාලන විවාහ යෝජනා ඉදිරිපත් වන්නේ බලය ව්‍යාප්ත කරගැනීමේ අරමුණු ඇති පාලකයන් විසිනි. එම කාලය වන විට පර්සියාවේ නාවික බලය ශ්‍රී ලංකාවෙන් බටහිරට සීමා වී තිබුණු බව ඓතිහාසික වාර්තාවලින් පැහැදිළි වෙයි. බෙංගාල බොක්ක සහ එයින් නැගෙනහිරට වෙළෙඳ සහ අනෙකුත් කටයුතු මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකාවේ නැව්වලිනි. බුද්ධදාස රජතුමා සමඟ ඥාති සබඳතාවක් ඇති කරගැනීමෙන් ශ්‍රී ලංකාවෙන් නැගෙනහිරට වන නාවික බලය ද අත්පත් කරගත හැකි බව මහා ෂාපූර් අධිරාජයා සිතූ බව පැහැදිළි ය. බුද්ධදාස රජතුමා එම යෝජනාව දක්වන ලද ප්‍රතිචාරය පිළිබඳ වාර්තා නොමැති වුව ද නාවික බලය වර්ධනය කරගැනීම සඳහා මහා ෂාපූර් අධිරාජයා තුළ වූ අභිප්‍රාය සාක්‍ෂාත් කරගත නො හැකි වූ බව පැහැදිළි ය. අපට මෙම නිගමනයට එළැඹිය හැක්කේ පර්සියාවේ නාවික බලය ශ්‍රී ලංකාවෙන් නැගෙනහිරට ව්‍යාප්ත වී ඇත්තේ එයින් සියවස් ගණනාවකට පසු බව වාර්තා වී තිබෙන බැවිනි.

“මහා ස්ථවිරවරුන්ගේ අපදාන” නම් ඉපැරැණි චීන ග්‍රන්ථයෙහි ෂී හුයි-ලී නාහිමියන් පිළිබඳ කතා වස්තුවේ ද ශ්‍රී ලංකාවට අදාළ කරුණක් වාර්තා කර තිබේ. එයින් කියැවෙන ආකාරයට නන්-චිං නගරයේ (එ කල නන්-චිං නගරය හැඳින්වූයේ චියං-කං යනුවෙනි) පිහිටි වා-කුවන් විහාරයේ තිබුණු හරිතමිණි බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය එකකි. එම ප්‍රතිමාව ශියා-වූ අධිරාජයාට යවා ඇත්තේ ශ්‍රී ලංකාවේ රජතුමා (1 වැනි උපතිස්ස, 370 – 412) විසිනි. ශියා-වූ අධිරාජයාව ඝාතනය කරනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 396 වසරේ දී ය. මෙයින් පැහැදිළි වන්නේ උක්ත ප්‍රතිමාව ශ්‍රී ලංකාවෙන් යවා ඇත්තේ එයට පෙර වසරක දී බව ය. ෆා-ශියැන් හිමියන් චීනයෙන් පිටත් වී තමන්ගේ දේශාටනය ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 399 වසරේ දී ය.  ඒ් අනුව, මෙම වාර්තාවෙන් හෙළිදරව් කරන්නේ ෆා-ශියැන් හිමියන්ගේ ආගමනයට දශකයකට හෝ දෙකකට හෝ පෙර කළ ගනුදෙනුවක් බව පැහැදිළි වෙයි.

එ කල පැවැති වෙළෙඳ ගනුදෙනු පිළිබඳව ෆා-ශියැන් හිමියන්ගේ “බෞද්ධ රාජධානි පිළිබඳ වාර්තාවක්” කෘතියෙන් ම පැහැදිළි වෙයි. ඒ, අනුරාධපුරයේ පිහිටි මහඟු හරිතමිණි බුද්ධ ප්‍රතිමාවට වෙළෙන්දකු විසින් චීන සේද සළුවක් පූජා කරනු දැක කළ අදහස් දැක්වීම තුළිනි. ඒ වන විට ද, ශ්‍රී ලංකාවට චීනයෙන් සේද රෙදි ආනයනය කර තිබෙන බව ඒ අනුව තහවුරු වෙයි.

ක්‍රිස්තු වර්ෂ 412 දී බලයට ආ මහානාම රජතුමාගේ පාලන කාලය චීන - ලංකා සබඳතාවල ස්වර්ණමය යුගයක් ලෙසින් හැඳින්විය හැකි ය. අනුරාධපුරයේ වසර දෙකක් වැඩ සිටි ෆා-ශියැන් හිමියන් ආපසු චීනයට වැඩම කළේ මහානාම බලයට පැමිණි වසරේ දී ය. ඉහතින් සඳහන් කළ 1 වැනි උපතිස්ස රජතුමා යනු මහානාම රජතුමාගේ පියා ය. මහානාම රජතුමා විසින් යවන ලද දූත කණ්ඩායම් තුනක් ක්‍රිස්තු වර්ෂ 418 දී, ක්‍රිස්තු වර්ෂ 430 දී සහ ක්‍රිස්තු වර්ෂ 435 දී චීනයට ළඟා වී තිබේ. එම ගමන් සියල්ල මුහුදු සේද මාවත ඔස්සේ සිදුවුණු බවට සැකයක් නැත. මහානාම රජතුමා මියගියේ ක්‍රිස්තු වර්ෂ 434 දී ය.

ශ්‍රී ලංකාවෙන් චීනයට භික්‍ෂූණි සම්ප්‍රදාය හඳුන්වා දී ඇත්තේ ද මහානාම රජතුමාගේ පාලන කාලයේ දී ය. මේ කාර්යය සඳහා ශ්‍රී ලාංකික භික්‍ෂුණීන්වහන්සේලා චීනයට වැඩම කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 429 දී ය. උන්වහන්සේලා චීනයට වැඩම කළේ නන්දි නම් ශ්‍රී ලාංකික කප්පිත්තාගේ නැවෙන් බව අදාළ වාර්තාවල සඳහන් කර තිබේ. මුල් වතාවේ වැඩම කළ භික්‍ෂුණීන්වහන්සේලා කිහිප නමක් මුහුදු ගමන අතර අපවත් වී ඇති බැවින් උපසම්පදාව සඳහා ප්‍රමාණවත් පිරිසක් චීනයට ළඟාවූයේ නැත. මෙම අඩුව පිරිමසා ගැනීම සඳහා දෙවැනි වතාවට ද භික්‍ෂුණීන්වහන්සේලා පිරිසක් චීනයට වැඩම කරවා තිබේ. එම පිරිස ද නන්දිගේ නැවෙන් චීනයට වැඩම කළ බව උක්ත වාර්තාවල සඳහන් ය. මෙ ලෙස දෙවතාවක දී චීනයට වැඩම කළ ශ්‍රී ලාංකික භික්‍ෂුණින්වහන්සේලා එක් වී තිසාරා භික්‍ෂූණීන්වහන්සේගේ නායකත්වයෙන් අදාළ උපසම්පදා පින්කම චීනයේ චියැන්-කං නගරයේ දී (වර්තමාන නන්-චිං නගරයේ දී) පවත්වා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 433 වසරේ දී ය. එහෙයින් එම කාර්යය සිදු කෙරී ඇත්තේ ද මහානාම රජතුමාගේ කාලයේ දී බව පැහැදිළි ය. ශ්‍රී ලාංකික නාවික බලය පිළිබඳ ඉතා පැහැදිළි සටහනක් ද එම කාර්යය තුළින් ප්‍රකාශ වෙයි.

9 වැනි සියවස මුල් භාගයේ දී (ක්‍රිස්තු වර්ෂ 836 ට පෙර මියගිය) ලී චාඕ විසින් ලියන ලද “ථං ඉතිහාසයට ඌනපූරණයක්” නම් ග්‍රන්ථයේ එන විස්තරයක් තුළින් ද ශ්‍රී ලංකාවේ නාවික බලය පිළිබඳ විශේෂිත කරුණක් හෙළිදරව් කරයි. එම විස්තරය මෙ සේ ය. “දකුණු මුහුදේ නැව් අතර විදේශීය නැව් පවා තිබේ. අන්-නන් සහ කුවං-චෝ වරායන්ට පැමිණෙන නැව්වලින් විශාලතම ඒවා එන්නේ සිංහ රාජධානියෙන් ය. එනම් ලංකාවෙන් ය. එම නැව්වල ඉහළට සහ පහළට දිවෙන ඉණිමං ඉතාමත් විශාල ය. ඒ නැව් මහා ධනයකින් පිරී ඇත්තේ ය.” (මෙහි අන්-නන් යනුවෙන් සඳහන් කර ඇත්තේ එ කල ථං අධිරාජ්‍යයේ පාලනය යටතේ පැවැති වර්තමාන උතුරු වියට්නාම ප්‍රදේශය ය).

අනුරාධපුර යුගයේ දී ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකාවේ නාවික බලය ක්‍රිස්තු වර්ෂ 992 – 1017 කාලයේ පැවැති චෝළ ආක්‍රමණයත් සමඟ මුළුමනින් ම බිඳ වැටුණු බව පැහැදිළි ය. බුරුමයේ රජු විසින් කළ බලහත්කාරකමට ප්‍රතිචාර දැක්වීම සඳහා මහා පරාක්‍රමබාහු රජතුමා හට අලුතින් නාවික හමුදාවක් නිර්මාණය කිරීමට සිදුවීම තුළින් පැහැදිළිවන්නේ එම කාරණයයි. කාලිංග මාඝගේ කාලයේ දී ශ්‍රී ලංකාවේ නාවික බලය නැවතත් විනාශ වුණු බවට සැකයක් නැත. චං හ විසින් චීන, දෙමළ, සහ අරාබි භාෂා තුනෙන් පිහිටුවන ලද ශිලා ලේඛනයෙන් ප්‍රකාශවන්නේ එ කල ලංකාව ආශ්‍රිත මුහුදේ යාත්‍රා කළ නැව්වල ප්‍රභවයයි.

1405 සිට 1433 දක්වා කාලය තුළ දී, චං හ අද්මිරාල්වරයා නාවික ගමන් හතක නිරතවිය. ඒ අතරින් 1406, 1410, 1415, 1417, 1421 වසරවල කළ ගමන්වල දී ඔහු ශ්‍රී ලංකාවට ද පැමිණ තිබේ. ඉතා සාමකාමී සහ වෙළෙඳ අරමුණු මුල් කරගෙන මේ ගමන් සිදු කළ ද ඒවා පිළිබඳව මෑත කාලයේ දී ඉස්මතු කර තිබෙන වැරැදි අර්ථකථන නිසා ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී තිබේ. කවර ආකාරයේ අර්ථකථන තිබුණ ද චං හ සිදු කළ ගමන්වලින් පවා පැහැදිළිවන්නේ සේද මාවත තුළ ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම ය.

ඉපැරැණි මුහුදු සේද මාවත මැද පිහිටි රටක් වශයෙන් ශ්‍රී ලංකාව චීනය ඇතුළු නැගෙනහිර සහ අග්නිදිග ආසියාතික රටවල් සමඟත් බටහිරින් පිහිටි රෝමය, පර්සියාව, අරාබිය වැනි බල ප්‍රදේශ සමඟ පළමුවත් පෘතුගාලය, නෙදර්ලන්තය, සහ බ්‍රිතාන්‍යය සමඟ පසුවත් ඉතාමත් සක්‍රීය සබඳතා පැවැත්වූ බව මෙහි දැක්වූ උක්ත වාර්තාවලින් සහ මෙහි උපුටා නො දැක්වූ වෙනත් වාර්තාවලින් සනාථ වෙයි. මේ සබඳතා අතර දේශපාලන ගනුදෙනු, වෙළෙඳ ගනුදෙනු, ආගමික හුවමාරු සිදුවුණු බව පැහැදිළි ය. අතීතයේ දී ශ්‍රී ලංකාව සතු වූ නාවික බලය පිළිබඳ තොරතුරු ද ඒවා තුළින් හෙළිදරව් වෙයි.

මුහුදු සේද මාවත තුළ අපගේ නාවික බලය නැවතත් වර්ධනය කරගැනීම සඳහා වන පූර්වාදර්ශ විශාල ප්‍රමාණයක් එම අත්දැකීම් ඇසුරින් අප හට ලබාගත හැකි ය. නව සේද මාවත තුළ අප විසින් සාක්‍ෂාත් කරගත යුතු අපේක්‍ෂාවන් අතර මූලික තැනක් මෙම අංශය වෙත ලබාදිය යුතු බව ද ඒ අනුව අපට නිගමනය කළ හැකි ය.

සාගර විශ්වවිද්‍යාලයක්

ශ්‍රී ලංකාවේ නාවික බලය නැවතත් නඟා සිටුවිය හැක්කේ ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති පිරිසක් රට තුළ බිහිකිරීමෙනි. මේ සඳහා සාගර සහ නාවික විෂයයන්ට අදාළ සියලු අංශ ආවරණය වන පරිදි සාගර විශ්වවිද්‍යාලයක් ඇති කළ යුතු වෙයි. ධීවර ශාස්ත්‍රය, සාගර ජීව විද්‍යාව, ආහාර විද්‍යාව, සමුද්‍ර හා සිවිල් ඉංජිනේරු, තොරතුරු තාක්‍ෂණය, සමුද්‍ර විද්‍යා හා පරිසර ඉංජිනේරු, යාන්ත්‍රික හා බලශක්ති ඉංජිනේරු, නාවික හා නාවික ඉදිකිරීම් ශිල්පය, ආර්ථික හා කළමනාකරණ, විදේශ භාෂා, ජාත්‍යන්තර නීතිය වැනි අංශ ගණනාවක් ඔස්සේ මෙම කාර්යයට අදාළ දැනුම වර්ධනය කරගැනීම සිදු කළ හැකි ය.

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරය මධ්‍යයේ පිහිටා ඇති නිසා මෙහි පිහිටුවනු ලබන සාගර විශ්වවිද්‍යාලයකට දකුණු ආසියාතික, අග්නිදිග ආසියාතික, මැද පෙරදිග, සහ නැගෙනහිර අප්‍රිකානු රටවල අධ්‍යාපන සහ පර්යේෂණ අවශ්‍යතා සඳහා සේවා ලබාදීමේ අවස්ථාව හිමිවෙයි. මෙවැනි මධ්‍යස්ථානයක් විසින් බිහි කරනු ලබන මානව සම්පත් ඉන්දියානු සාගර කලාපයේ රටවල් අතර සමාජ - ආර්ථික සංවර්ධනයට සහ කලාපීය සහයෝගීතාව තහවුරු කරගැනීමට ද දායක වනු ඇත.

වෘත්තීය අධ්‍යාපන අපේක්‍ෂා

මේ දක්වා චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව මුළුමනින්ම මෙන් ඉලක්කගත වී ඇත්තේ විශ්වවිද්‍යාල මට්ටමේ උසස් අධ්‍යාපන අවස්ථා වෙත ය. උසස් අධ්‍යාපනයට ප්‍රවේශ නොවී බිම් මට්ටමේ රැකියාවල නිරතවන කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ අධ්‍යාපන අවස්ථා ඉලක්ක කරගත් ශිෂ්‍යත්ව වැඩපිළිවෙළක් ආරම්භ කළ හැකි නම් එය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. මේ උදෙසා පාදක කරගත හැක්කේ බිම් මට්ටමේ කාර්යයන්ට අදාළ වෘත්තීය සහ තාක්‍ෂණික කටයුතු පිළිබඳ පරිචයක් ලබාදීමේ වැඩපිළිවෙළකි. මෙවැනි ශිෂ්‍යත්ව වැඩපිළිවෙළක් ආරම්භ කළ හැකි නම් ඒ තුළින් චීනයේ සහ ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ ජනතාව අතර සහයෝගීතාවක් වර්ධනය කිරීමට එය උපකාරී වනු නිසැක ය.

ගත වූ කාලය තුළ සියලු ආකාරයේ තාක්‍ෂණික අංශවල විශාල ප්‍රගමනයක් අත්පත් කරගැනීමට චීනය සමත් වී තිබේ. එහෙත් එම ප්‍රගතියෙන් සහ ඒ ආශ්‍රිතව වර්ධනය වුණු දැනුමෙන් වැඩක් ගැනීමට ශ්‍රී ලංකාවේ අපි අසමත් වී සිටිමු. චීනය හා සම්බන්ධ වී තාක්‍ෂණික විද්‍යාල පද්ධතියක් පිහිටුවා ගැනීමෙන් මෙම අඩුව නැති කරගත හැකි ය. මෙහි දී විශාල පරිමාණයේ බහු තාක්‍ෂණික විද්‍යාල පිහිටුවීමට මෙන් ම කුඩා ප්‍රමාණයේ තාක්‍ෂණික ජාලයක් පිහිටුවීමට ද අපි යොමුවිය යුතු වෙමු.

චීන භාෂාව සහ සංස්කෘතිය ආශ්‍රිත කරුණු ඉගැන්වීමට ලොව පුරා “කොන්ෆියුසියස් ආයතන” ස්ථාපනය කර තිබෙන ආකාරයෙන් ම චීනයේ තාක්‍ෂණික දැනුම බෙදාදීමේ ආයතන ජාලයක් “ලූ-පන් වැඩපොළ” නමින් ලෝකය පුරා පිහිටුවමින් තිබේ. ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටා ඇති චෙන්නායි තාක්‍ෂණ ආයතනයේ පවා ලූ-පන් වැඩපොළක් ස්ථාපනය කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ අපි තවමත් මේ ගැන අවධානය යොමු කර නොමැත.

මෙවැනි වැඩපිළිවෙළ කෙරෙහි යොමුවන්නේ නම් නව සේද මාවත තුළ වෘත්තීය සහ තාක්‍ෂණ හැකියාවෙන් පරිපූර්ණ මානව සම්පතක් ඇති කරගැනීම සඳහා වන අපගේ අපේක්‍ෂාව සාක්‍ෂාත් කරගත හැකි බවට කිසිදු සැකයක් නැත. තව ද ශ්‍රී ලංකා -චීන සබඳතා බිම් මට්ටමට ම ගෙනයෑමේ අරමුණ සාක්‍ෂාත් කරගැනීම මෙවැනි වැඩපිළිවෙළ ඔස්සේ කළ හැකි ය.

ආගමික හුවමාරු අපේක්‍ෂා

ෆා-ශියැන් හිමියන් වැඩම කිරීමට පෙර සහ පසු සිදු වූ චීන - ලංකා ගනුදෙනුවලින් සැළැකිය යුතු ප්‍රමාණයක් දෙරට අතර සිදු කෙරුණු බෞද්ධ ආගමික හුවමාරුවලට අදාළ ඒවා බව පැහැදිළි ය. දෙ රට අතර සබඳතා පිළිබඳ සාක්‍ෂි ඇතුළත් වාර්තා විශාල ප්‍රමාණයක් ශේෂ කිරීමට ද මෙම හුවමාරු හේතු වී තිබේ. ශුවාන් ත්සාං (602 - 664) හිමියන්ගේ සහ උන්වහන්සේගේ ශිෂ්‍යාගේ වාර්තාවලට ද මේ අතරින් ප්‍රමුඛතාවක් හිමිවෙයි. චීනයේ සිටි දේශපාලනික වශයෙන් බලවත් ම ස්වාමීන්වහන්සේ වශයෙන් සැළැකෙන අමෝඝවජ්‍ර (705 - 774) හිමියන් ශ්‍රී ලාංකිකයකු බවට ද මතයක් වෙයි. මෙම අතීත අත්දැකීම් මත පදනම් වී ශ්‍රී ලංකාව සහ චීනය අතර ආගමික හුවමාරු වැඩසටහන් ශක්තිමත් කරගැනීම සඳහා ද නව සේද මාවත වැඩසටහන උපයෝගී කරගත හැකි ය.

ථැයි-ශ්‍යු (1890 - 1947) හිමියන් විසින් 1928 දී “ලංකාවේ චීන බෞද්ධ ශිෂ්‍ය ප්‍රජාව” නමින් සංවිධානයක් පිහිටුවන ලද අතර එය අද දක්වා ම ක්‍රියාත්මක වෙයි. පෙයි-චිං නගරයේ දී චීන බෞද්ධ සම්මේලනය පිහිටුවන ලද්දේ 1953 අගෝස්තු මාසයේ මුල දී ය. එයින් දින කිහිපයක් ඇතුළත, 1953 අගෝස්තු 13 වැනි දා පළමු විදේශ බෞද්ධ දූත කණ්ඩායම වශයෙන් චීනයට වැඩම කර ඇත්තේ ධම්මරතන නම් හිමි නමකගේ  නායකත්වයෙන් යුතු ශ්‍රී ලාංකිකයන් පිරිසකි. චීන බෞද්ධ සම්මේලනය විසින් පවත්වන ලද එම පළමු විදේශ නියෝජිතයන් පිළිගැනීමේ උත්සවයට දෙදහසක පමණ පිරිසක් සහභාගී වී තිබේ. එහි දී, පූජ්‍ය ධම්මරතන ස්වාමීන්වහන්සේ විසින් ශ්‍රී ලංකාවෙන් වැඩම වූ සර්වඥ ධාතුන්වහන්සේ නමක්, තල්පත්වල ලියූ සූත්‍රයක්, සහ බෝධි ශාඛාවක් චීන බෞද්ධ සම්මේලනය වෙත පිරිනමා තිබේ. වර්තමානයේ දී, චීනයේ පැවැත්වෙන “ලෝක බෞද්ධ සංවාදය” සඳහා රටවල් 55 කින් දහසකට වැඩි බෞද්ධ නියෝජිත පිරිසක් සහභාගී වන අතර ඒ තුළ ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවක් හිමිවෙයි.

නිරිතදිග චීනයේ යුන්-නන් පළාතේ ථෙරවාදී බුද්ධාගම ප්‍රචලිතව පවත්නා බැවින් ඒ ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ ඇති කරගත් ඉතා දැඩි සම්බන්ධතාවක් ද චීන ජනතාව තුළ පවතියි. ශ්‍රී ලංකාව, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, දකුණු වියට්නාමය, සහ චීනයේ යුන්-නන් පළාත ආවරණය වන ප්‍රදේශය ථෙරවාදී කලාපයක් වශයෙන් සැළැකෙයි. මෙම ථෙරවාදී කලාපයේ මහගෙදර වශයෙන් සැළැකෙන්නේ ශ්‍රී ලංකාව ය. චීන ථෙරවාදී බෞද්ධයන්ගේ පිළිගැනීමට අනුව ථෙරවාදී කලාපය මකරෙක් නම් ඒ මකරාගේ හිස ශ්‍රී ලංකාව වන අතර උගේ වලිගය චීනයේ යුන්-නන් පළාතේ ශි-ෂුවන්-පන්නා ප්‍රදේශය වෙයි. එහෙයින් “ථෙරවාද කලාප සංකල්පය” තුළ ශ්‍රී ලංකාව සහ චීනය අතර ඉතා ළඟ බෞද්ධ ආගමික හුවමාරු වැඩසටහන් ආරම්භ කර පවත්වාගෙන යෑමේ අවකාශයක් වෙයි.

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිට ම ප්‍රකටව ඇත්තේ බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙනි. ෆා-ශියැන් හිමියන් වැඩම කිරීම, ශුවන් ත්සාං හිමියන් වැඩම කිරීමට උත්සාහ කිරීම, ශ්‍රී ලංකාවේ චීන බෞද්ධ ශිෂ්‍ය සංගමයේ අඛණ්ඩ පැවැත්ම විසින් තහවුරු කරනුයේ ද ශ්‍රී ලංකාව බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් සැළැකීමට චීන බෞද්ධයන් තුළ පවත්වා පෙළැඹීමයි. මෙ ලෙසින් ශ්‍රී ලංකාවේ දී බෞද්ධ අධ්‍යාපනය ලබාගැනීම සඳහා වැඩම කරන චීන ජාතික ස්වාමීන්වහන්සේලාට අවශ්‍ය මූලික පහසුකම් ලබා දී මෙම අංශයේ වර්ධනය උදෙසා කටයුතු කළ යුතුව තිබේ. එහෙයින් නව සේද මාවත වැඩසටහන තුළ බෞද්ධ අධ්‍යාපනය මුල් කරගත් සහයෝගීතාව ඉතා ඉහළින් වර්ධනය කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාව සතුව පවතියි.

වන්දනා ගමන් යෑම චීන බෞද්ධයන් අතර ප්‍රචලිත වී තිබෙන සංස්කෘතික පුරුද්දකි. මේ වෙනුවෙන් විශාල මුදලක් සහ කාලයක් කැප කිරීමට ද ඔවුහු කටයුතු කරති. එහෙයින් ශ්‍රී පාදස්ථානය, දළදා මාළිගාව, අනුරාධපුරය ආදී බෞද්ධ සිද්ධස්ථාන මුල් කරගත් බෞද්ධ සංචාර කටයුතු මෙහෙයවීමේ විශාල හැකියාවක් ශ්‍රී ලංකාව සතුව පවතියි. තව ද භාවනා වැඩසටහන්, වෙනත් පින්කම්, සහ වෙසක් වැනි බෞද්ධ උත්සව අවස්ථා ද මේ සඳහා ඇසුරු කරගත හැකි ය. නව සේද මාවත වැඩසටහනෙහි මැදිහත්වීම ලබාගෙන මෙම කාර්යයට අදාළ මානව සම්පත් සහ භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ සහයෝගිතා වැඩසටහනක් ආරම්භ කළ යුතුව තිබේ.

බෞද්ධයන් විසින් තමන්ගේ ආගමික කටයුතු සඳහා පරිහරණය කරනු ලබන විවිධ සුරුවම් වර්ග, පූජා උපකරණ, පූජා ද්‍රව්‍ය, චිත්‍ර, ප්‍රතිමා යනාදිය සඳහා වන දැවැන්ත වෙළෙඳපොළක් චීනය සතුව පවතියි. මේ වෙනුවෙන් චීනය පුරා විවිධ නගරවල බොදු සුරුවම් ප්‍රදර්ශන පැවැත්වීමක් ද සිදු කෙරෙයි. සෑම වසරක ම නොවැම්බර් මාසයේ පෙයි-චිං නගරයේ පැවැත්වෙන “ජාත්‍යන්තර බෞද්ධ අයිතම් ප්‍රදර්ශනය” මේ සඳහා නිදසුනකි. මෙවැනි ප්‍රදර්ශනවලට සහභාගී වී චීනයේ එම වෙළෙඳපොළට පිවිසිය හැකි නම් ඒ තුළින් ශ්‍රී ලංකාවට ආර්ථික වාසි ලබාගත හැකිවනු ඇති අතර දෙ රට අතර සංස්කෘතික සබඳතා තර කරගැනීමට ද එය උපකාරී වනු ඇත.

සාහිතය - කලා අපේක්‍ෂා

අවුරුදු හාර දහසක පමණ අඛණ්ඩ ඉතිහාසයකින් ද ඉතා සාරවත් සංස්කෘතියකින් ද පෝෂණය වුණු දැවැන්ත රටක් නිසා ඒ තුළ බිහිවුණු සහ තවමත් නිර්මාණය කෙරෙන අති දැවැන්ත සාහිත්‍ය - කලා නිධානයක් චීනය සතුව පවතියි. මෙම සාහිත්‍ය - කලා සාගරයෙන් බිඳක් හෝ ලබාගත හැකි නම් එයින් අප හට ලැබෙන ප්‍රයෝජනය අතිමහත් ය. මෙම කාර්යය සිදු කරගැනීමට අවශ්‍ය සබඳතා වර්ධනය කරගැනීම, අවශ්‍ය මානව සම්පත් වර්ධනය කරගැනීම, සහ අනෙකුත් අවශ්‍යතා සපුරාගැනීම රාජ්‍ය සහ පුද්ගලික අංශ ඔස්සේ සිදු කළ යුතුව තිබේ.

ලෝකයේ දැවැන්ත ම සාහිත්‍ය - කලා වෙළෙඳපොළ පවතින්නේ ද චීනයේ ය. බටහිර ලියැවෙන ඇතැම් පොත් සහ නිර්මාණය කෙරෙන චිත්‍රපට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ දී ප්‍රමුඛතාව ලබා දෙනුයේ ඒවායේ චීන පරිවර්තනවලට ය. චීනයේ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සඳහා පවතින වෙළෙඳපොළ මිලියන 800 කට වැඩි එකකි. මෙම වෙළෙඳපොළට පිවිසීමේ වැඩපිළිවෙළක් අප සතුව තිබිය යුතු ය. නව සේද මාවත වැඩසටහන තුළින් ඒ සඳහා අවශ්‍ය සහයෝගීතාව ද අප හට නිර්මාණය කරගත හැකි ය.

වෙනත් අපේක්‍ෂා

සේද මාවත තුළ වර්ධනය කරගත හැකි සබඳතාවල සීමාවක් නැත. ග්‍රාමීය සංවර්ධනය, සෞඛ්‍යය, ක්‍රීඩා සහ විනෝදාස්වාදය, මාධ්‍ය සහ සන්නිවේදනය, සංචාර සහ වැඩිහිටි සත්කාර, පුද්ගලයන් සහ පුද්ගලයන් අතර සබඳතාව වැනි අංශ මේ සඳහා වන තවත් උදාහරණ වශයෙන් දැක්විය හැකි ය. චීනය විසින් ආරම්භ කර තිබෙන “මානව වර්ගයාගේ පොදු ඉරණම සඳහා ප්‍රජාවක්” සහ “ගෝලීය සභ්‍යත්ව වැඩසටහන” වැනි මුල පිරීම් ද මේ සඳහා සෘජුව ම සම්බන්ධ වෙයි.

සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.