News Category
From Date
To Date
Maximum Number of Result

“චීන සාහිත්‍යය, විශ්ව සාහිත්‍යයට අයත් නිධානයක්.”

Sep 26, 2026 at 01:17 PM
|

චීනය යනු අපගේ පෘථිවියෙහි වන තවත් ලෝකයක් වැන්න. ඉපැරණි යුගයේ පටන්ම චීනයට අනන්‍යව ගොඩනැඟුණු දාර්ශනික ධාරාවක්, තාක්ෂණික ධාරාවක්, කලා - සංස්කෘතික ධාරාවක් හා සාහිත්‍යයික ධාරාවක් ඊට හිමිය. මේ ධාරාවන් වූ කලී මහා සම්ප්‍රදායන්ය. ඒ මහා සම්ප්‍රදායන්හි පෙරදිග හිරු කිරණයන්ගේ ප්‍රභාව, ජීවය කැටිව තිබේ.

එසේම, අප කුඩා වියේ අප අතට පත් වූ චීන ළමා පොත් පිළිබඳ මතකයන් තවමත් අලුත්ය. ඒ පොත්වල තිබූ ධෛර්යය, සාමූහිකත්වය, අත් නොහැරීම, විනය පිළිබඳ ආදර්ශයන් අදටත් අපේ හෘදය සාක්ෂිය හැඩ ගැස්වීමෙහිලා නිහඬ උත්ප්‍රේරකයක් වී ඇති බව නොරහසකි. 

ඉදින් යුග යුග ගණනක් තිස්සේ ගලා ආ ඒ චීන මහා සාහිත්‍ය සම්ප්‍රදායේ හැඩතල රුව ගුණ හඳුනාගනු පිණිස චීන ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වූ එවකට සබරගමුව විශ්ව විද්‍යාලයේ නූතන භාෂා අංශයේ සේවය කළ ආචාර්ය හව් වේ මින් මහතා සමග කලකට ඉහත මා විසින් සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක් මෙසේ ඔබ හමුවේ තබන්නේ, බටහිර සාහිත්‍යය පිළිබඳ අපේ රටේ කොතෙකුත් ලියැවුනද කියැවුනද එතරම් ඉඩ අවකාශයක් වෙන් නොවූ චීන සාහිත්‍යය පිළිබඳව, මේ ගෙවී යමින් ඇති අපේ රටේ සාහිත්‍ය මාසයේ යම් හඳුනාගැනීමක් පිණිසය.

චීන සාහිත්‍ය ඉතිහාසය තුළ චීන සාහිත්‍යයේ ආරම්භය හා විකාශනය සනිටුහන් වන ආකාරය සැකෙවින් පැහැදිලි කළොත්...

චීන සාහිත්‍යයේ ප්‍රභවය පිළිබඳ ස්ථිර මූලාශ්‍රයට අනුව ක්‍රි.පූ. 11 වන සියවසේ පටන්ම ග්‍රන්ථ සම්පාදන සම්ප්‍රදායක් ඇති වුණා. නමුත් අද වගේ කඩදාසිවල නෙවෙයි. ලෝකඩ, ඉබිකටු හා වෙනත් සතුන්ගේ කටුවලයි ලියා තිබෙන්නේ. ඒ මුල් කාලයේ ලියා තිබෙන්නේ පූජා විධි, රාජ ආඥා වැනි දේවල්. පෙර පැවති රාජ සභාවේ නිලධාරියෙක් විවිධ ප්‍රදේශවල ජන ගී, ජන කවි එකතු කර රාජ සභාවට භාර දෙන සම්ප්‍රදායක් තිබුණා. එවක චීනයේ අධ්‍යාපනය සීමා වී තිබුණේ ප්‍රභූ පවුල්වල පිරිමි දරුවන්ට. ක්‍රි.පූ. 6 වන සියවසේදී කොන්පියුසියස්තුමා පංති භේදයකින් තොරව සියලු දෙනාටම ඉගෙන ගන්නට පුළුවන් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් අරඹමින් විශාල සමාජ පෙරළියක් කළා. රාජ සභාව සඳහා එකතු කර තිබූ කවිවලින් කවි 300ක් තෝරාගෙන පාඨමාලා ග්‍රන්ථයක් විදියට එතුමා විසින් සකස් කළා. ‘කාව්‍ය ප්‍රකර්ණය’ ලෙස හැඳින්වෙන මේ ග්‍රන්ථය, චීනයේ ප්‍රථම යථාර්ථවාදී කාව්‍ය සංග්‍රහය ලෙස අප සලකනවා. 

ඒ වගේම ‘ඊචිං’ නමැති ග්‍රන්ථයත් සඳහන් කළ යුතුයි. මේ ග්‍රන්ථය ක්‍රි.පූ. 11 වන සියවසට අයත් පෙර නිමිති කියන ශාස්ත්‍ර ග්‍රන්ථයක් වුණත්, ක්‍රි.පූ. 6 වන සියවසේදී කොන්පියුසියස් තුමා ඊට දාර්ශනික අදහස් ඇතුළත් කර වඩාත් පුළුල් කළා. මේ වගේ ඉතිහාස පොත්, දාර්ශනික පොත්, කාව්‍ය පොත් ඒ කාලයේ පටන්ම ජනප්‍රිය වී තිබුණා. මේවා කහ ගඟ ආශ්‍රිත ප්‍රදේශවල එනම් උතුරු චීන සම්ප්‍රදාය හැටියට සැලකෙනවා.

ඒ වගේ ම දකුණු චීනයේ රාජ්‍ය හතක් අතර බලවත්ම රාජ්‍යය ලෙස සැලකුණු ‘චූ’ රාජ්‍යය සමාජ කැළඹීම්, දේශපාලන ගැටුම්වලට මුහුණ දෙමින් අභියෝගයකට මුහුණ පා සිටි වකවානුවේ ඒ රාජ්‍යයේ වාසය කළ මහා කවි ‘ක්යු යු ආන්’ (ක්‍රි.පූ. 340 - ක්‍රි.පූ. 274)  තම රාජ්‍යය වෙනුවෙන් කවි ලියුවා. ඔහු ලියූ කවි අද්භූත ශෛලියක් ගත් කාව්‍ය සම්ප්‍රදායක්. චීනයේ අද්භූත කාව්‍ය සම්ප්‍රදාය බිහිකිරීමේ පුරෝගාමියා වුණේ මේ කවියා. පසුකාලීන චීන කාව්‍ය සාහිත්‍යයට මේ ‘චූ රාජ්‍යයේ කාව්‍ය’ සහ ‘කාව්‍ය ප්‍රකර්ණ’ පෝෂණය ලැබුණා. උතුරු චීනයෙන් සහ දකුණු චීනයෙන් ආ මේ කාව්‍ය සම්ප්‍රදායන් දෙක අද්භුතවාදය සහ යථාර්ථවාදය නියෝජනය කරනවා. මේ ග්‍රන්ථ දෙක තමයි චීන පද්‍ය සාහිත්‍යය ආරම්භයේ සංකේත ලෙස සැලකෙන්නේ.

එවක එම රාජ්‍යය ගැන ලියැවුණු ඉතිහාස ග්‍රන්ථ වුණත්, දාර්ශනික ග්‍රන්ථ වුණත් ඒවායේ සාහිත්‍යමය ස්වරූපය බහුලව තිබෙනවා. ඇත්තටම ඒවා සාහිත්‍ය ග්‍රන්ථ වනවා වගේම, ඉතිහාස ග්‍රන්ථත් වෙනවා. ඒ වගේම දාර්ශනික ග්‍රන්ථත් වෙනවා. ඒ වගේම මිශ්‍රව ග්‍රන්ථ සම්පාදනය කිරීමේ සම්ප්‍රදායක් අතීතයේ චීනයේ තිබුණා. එවැනි පොත්වල උපමා කතා, උපහාස කතා, ජනකතා නොමඳව දකින්නට පුළුවන්. පසුකාලීනව චීනයේ ප්‍රසිද්ධ උපමා කතා, උපහාස කතා බිහිවුණේ ඒවා තුළින්. ඉතිහාසඥයන්, දාර්ශනිකයින් පොත් ලියද්දි ඔවුන් එවක සමාජයේ පැතිර තිබූ උපමා කතා, උපහාස කතා ආදියත් ඇතුළත් කරමිනුයි පොත් ලියුවේ. 

‘හන්’ යුගය වන විට චීනයේ සියුම් කාව්‍ය සම්ප්‍රදාය ආරම්භ වෙනවා. මේ සම්ප්‍රදාය ජපන් හයිකු සම්ප්‍රදායට තරමක් සමානයි. ක්‍රි.ව. ආරම්භක යුගයේ චීනයේ ජන ගී ශෛලිය ආරම්භ වෙනවා.

චීනයට බුදු දහම ආවේ හන් යුගයෙදි. මේ වන විට චීන සාහිත්‍ය සම්ප්‍රදාය ගොඩක් දියුණු වී තිබුණා. චීනයට බුද්ධාගම ආවේ ධර්ම ප්‍රචාරය මුල් කොට ගෙනම නෙවෙයි. මුලින් එවැනි පිරිස් ආවට චීනයේ බලවත් දාර්ශනික සම්ප්‍රදායක් මෙන්ම, චීනයට ආවේණික ආගමික පරිසරයක් තිබුණු නිසා මේ වගේ විදෙස් ආගමක් ආවාම නිදහසේ ධර්ම ප්‍රචාරයක් කරන්නට පරිසරයක් නැහැ. ඒ නිසා ත්‍රිපිටක සාහිත්‍ය ග්‍රන්ථ චීන භාෂාවට පරිවර්තනය කෙරුණා. මේ ත්‍රිපිටක සාහිත්‍ය පරිවර්තනය තුළින් චීන සාහිත්‍යයට විශාල පෝෂණයක් ලැබුණා. අද්භූත ශෛලියේ ප්‍රබන්ධ කතාවල මූලාරම්භය සිදුවුණේ ඒ මගින්. ජාතක කතා චීනයේ වඩාත් ජනප්‍රිය වුණා. ඒ හරහා ප්‍රබන්ධ කතා දියුණු වුණා. ඉන්දියන් මහා සම්ප්‍රදායේ තිබෙන දේවකතා ආභාසය චීන සාහිත්‍යයටත් ආවා. ත්‍රිපිටක සාහිත්‍යය චීන භාෂාවට පරිවර්තනය වීම තුළින් තමයි ඒ පෝෂණය ලැබුණේ. 

ඊළඟට ‘චින්’ රාජ යුගයේ චීන සාහිත්‍ය මූලධර්ම පිළිබඳ ග්‍රන්ථ, ඒ වගේම බෞද්ධ ආභාසය ඇතිව කාව්‍ය සම්ප්‍රදාය අලුත් වීම සිදු වුණා. 

ක්‍රි.ව. 7 වන සියවසේ සිට ක්‍රි.ව. 12 වන සියවස දක්වා වන ‘තං’ හා ‘සුං’ රජ පෙළපත් යුග දෙකේදී කාව්‍ය ක්ෂේත්‍රය ඉතා දියුණු තත්ත්වයක තිබුණා. ප්‍රසිද්ධ කවීන් බිහි වුණා. ඒ වගේම ගද්‍ය සාහිත්‍යය පැත්තෙන් නවකතා ශෛලියට සමාන ප්‍රබන්ධ කතා බහුලව නිර්මාණය වුණා. බුදු දහමේ ආභාසය ඇතිව පන්සල්වල වෙනම සාහිත්‍ය ශෛලියක් ඇති වුණා. ප්‍රබන්ධ කතා, කාව්‍ය වගේම ජන සාහිත්‍ය ප්‍රබන්ධ ඇති වුණා. 

13 වන සියවසේ ඇරඹුණු ‘යුවන්’ රාජ පෙළපත් යුගයේ කැපී පෙනුණේ නාට්‍ය රචනා. ඒ නිසා යුවාන් යුගය නාට්‍ය යුගයක්.

15 වන සියවසේ ‘මින්’ රාජ්‍ය පෙළපත් යුගයේ දීර්ඝ සර්ග සහිත ප්‍රබන්ධ කතා නිර්මාණය වුණා. මේ යුගය ප්‍රබන්ධ කතා සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක්. මේ කාලයේ ලියැවුණු ප්‍රසිද්ධ ප්‍රබන්ධ කතා තුනක් තිබෙනවා. “රාජ්‍ය තුන යුද්ධ කතා” , “දිය කඩ ඉම” සහ “බටහිර වන්දනා ගමන් සටහන්” ඒවායි. ‘මින්’ යුගයේ කෙටිකතා දියුණු තත්ත්වයක පැවතුණා. ‘තං’ හා ‘සුං’ යුගයේ අද්භූත කතා ශෛලීන් උරුම කොටගෙන සමාජ අසාධාරණය හෙළි කරන කෙටි කතා මාලාවක් ලියැවුණා.

චීනයේ අවසන් රජ පෙළපත් යුගය වූ ‘චින්’ යුගයේ ප්‍රබන්ධ කතා තවදුරටත් ප්‍රසිද්ධ වුණා. මේ විදියට චීනයේ එක් එක් රාජ යුගවල කැපී පෙනෙන සාහිත්‍ය ලක්ෂණ තිබෙනවා. යථාර්ථවාදී හා අද්භූතවාදී යන සාහිත්‍ය සම්ප්‍රදායන් දෙකම පූර්වයේ පටන්ම චීනයේ වර්ධනය වී පසු කාලයේ සෑහෙන්න දියුණු වුණා. කෙසේ වෙතත් චීන සාහිත්‍යය යථාර්ථවාදය දෙසට තමයි වඩාත් නැඹුරු වුණේ. 

චීනයේ නූතන සාහිත්‍ය යුගයේ මඟ සලකුණු කෙබඳුද ?

චීනයේ නූතන සාහිත්‍යය ආරම්භ වුණේ 1919 වසරේ පටන්. 1919 මැයි 04 වනදා චීනයේ සිදුවුණු සංස්කෘතික පෙරළිය, නූතන චීන සාහිත්‍යයේ මූලාරම්භය හැටියට අප සලකනවා. එතෙක් තිබුණේ පැරණි සාහිත්‍ය යුගය.

20 වන සියවසේ මුල් දශක දෙක තුළ චීන ශාස්ත්‍ර පුබුදුවත් සමගම මිනිසුන්ගේ පිබිදීම හුවා දක්වන නව සාහිත්‍යයක් බිහිවුණා. විශේෂයෙන්ම සමාජයේ පීඩිත ජනයාගේ, කාන්තාවන්ගේ විමුක්තිය, ගොවීන්ගේ ප්‍රශ්න අළලා සාහිත්‍ය නිර්මාණ කෙරුණා. චීනය ආක්‍රමණවලට, යුද්ධ පිට යුද්ධවලට මුහුණ දුන් රටක්. මුල් කාලයේ චීනයේ තිබුණේ රාජාණ්ඩු සහිත වැඩවසම් සමාජයක්. ජපන් ආක්‍රමණිකයා චීනය ආක්‍රමණය කරන විට ඒ ආක්‍රමණයට එරෙහිව චීන ජනතාව පුබුදුවන්නට නව සාහිත්‍ය සම්ප්‍රදායක් අවශ්‍ය වුණා. මේ සඳහා කතා ව්‍යවහාර භාෂාවෙන් නවකතා, කවි ආදිය නව සාහිත්‍යකරුවන් අතින් ලියැවුණා. කතා ව්‍යවහාර භාෂාවෙන් ලිවීම ඒ යුගයේ ප්‍රධාන ලක්ෂණයක් වුණා. මේ නිසා විසිවන දශකයේ හා තිස්වන දශකයේ චීන සාහිත්‍යයේ ප්‍රගතිශීලී ස්වරූපයක් දකින්නට ලැබුණා. මේ සාහිත්‍ය ශෛලිය බිහිවුණේ මුළු චීන ජාතියම අවදි කරවන්න. මේ ප්‍රගතිශීලී සාහිත්‍ය ශෛලිය හතලිහ දශකය පමණ වනවිට විප්ලවීය සාහිත්‍ය සම්ප්‍රදායක් බවට පත් වෙනවා. වාමාංශික ලේඛක පෙරමුණ පිහිටුවීමත් සමග මේ තත්ත්වය දක්නට පුළුවන්. විප්ලවය දෙසට නැඹුරු වුණු සාහිත්‍ය සම්ප්‍රදායක් මේ කාලයේ දකින්නට පුළුවන්. සමාජය පිළිබිඹු නොවූ ‘කලාව කලාව සඳහාය’ යන මතවාදයේ පිහිටා නිර්මාණය වී තිබූ කෘති චීන ජනතාව අතරින් ප්‍රතික්ෂේප වුණා, මේ කාලෙදි. චීන සමාජයේ දුර්වලතා හෙළි කළ මේ යුගයේ ප්‍රමුඛ ලේඛකයෙක් වුණේ ලූ ෂුන්. චීන විප්ලවය, නූතන චීන සාහිත්‍යයට ඉතා තදින් බලපෑවා. 1919 සිට, චීන විප්ලවය සිදු වූ 1949 වසර දක්වා කාලය නූතන චීන සාහිත්‍යයේ පළමු යුගය විදියට අපි හඳුන්වනවා. 

නූතන චීන සාහිත්‍යයේ දෙවන යුගය ඇරඹෙන්නේ මහජන චීන රාජ්‍යය බිහිවුණාට පසුවයි. අලුත් සමාජවාදී ක්‍රමය වර්ණනා කරන සමාජවාදී සාහිත්‍ය සම්ප්‍රදායක් මේ යුගයේ දකින්නට පුළුවන්. නූතන චීන සාහිත්‍යයේ මුල් යුගයේදී වටිනා හොඳ ග්‍රන්ථ බිහිවුණා. නමුත් මේ දෙවන යුගයේදී ඒක අඩු වුණා. කෘතිවල විවිධත්වය අඩු වුණා. ක්ෂේත්‍රය පැත්තෙන්, කතා වස්තු පැත්තෙන් පටු වන්නට පටන් ගෙන තිබුණා. 

නූතන චීන සාහිත්‍යයේ වර්තමාන යුගය උදා වුණේ 1979න් පසුවයි. සංස්කෘතික විප්ලවය අවසන් වී, චීනයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමෙන් පසු මේ අලුත් සාහිත්‍ය සම්ප්‍රදාය ඇරඹුණා. මේ දක්වා වන එම යුගයේ සාහිත්‍යය නව යුගයේ සාහිත්‍යය ලෙස අපි හඳුන්වනවා. චීන සාහිත්‍යයේ සාර්ථක අත්හදා බැලීම් සහිත ප්‍රබෝධවත් යුගයක් ලෙස මේ යුගය චීන ජනතාව අතර පිළිගැනීමට ලක් වී තිබෙනවා. චීන ජාතිය තමන්ගේ සම්ප්‍රදායන් දෙස හොඳින් බලමින් විශ්ව සාහිත්‍යයට ගැලපෙන ලෙස, ලෝකයට විවෘත වී හැම අතින්ම විවිධත්වය අත්හදා බලන සාහිත්‍යයක් මේ යුගයේ තිබෙනවා. 

නූතන සාහිත්‍ය යුගය දෙස හැරී බලන විට වැඩියෙන්ම ඇගයීමට ලක් වන්නේ මුල් යුගය සහ අග යුගය. මුල් යුගය කියන්නේ විසිවන සියවසේ දෙවන හා තෙවන දශකවල සාහිත්‍යය. ලූ ෂුන්, කොමොරෝ, මවුතුන්, පාචින්, ල ඔ ෂ, චෞ යූ යන හය දෙනා ඒ යුගයේ ප්‍රමුඛ ලේඛකයො. ඊට පස්සේ 1979 පටන් අරගෙන පසුගිය සියවසේ අග වන තුරු තිබෙන යුගය. මේ යුග දෙකේ තමයි නූතන චීන සාහිත්‍යයේ ගොඩාක් වටිනා කෘති ලියැවුණා කියල ඇගයීමට ලක්වන්නේ. නමුත් මේ සාහිත්‍ය යුග දෙක අතරෙත් තවත් හොඳ කෘති බිහි වී නැතැයි කියන්න බැහැ. ඇත්තටම හොඳ කෘති තිබුණා. 

නූතන චීන සාහිත්‍යයට පැරණි චීන සාහිත්‍යයෙන් ලැබී තිබෙන ආභාසය කෙබඳුද ?

චීනයේ පැරණි සාහිත්‍ය සම්ප්‍රදාය ඉතා බලවත් මහා සම්ප්‍රදායක්. ඒ සම්ප්‍රදාය තුළින් පෝෂණය වෙමින් තමයි නූතන සාහිත්‍යය ගොඩනැගෙන්නේ. බටහිර මූලධර්ම හෝ විචාර ක්‍රම හෝ බටහිර කෘතිවලින් හෝ බලපෑව කියා කිවුවත් ඒවා චීන ආවේණික ශෛලිය සමග හැම විටම මිශ්‍ර වුණා. වර්තමාන හා නූතන යුගයේ චීන ලේඛකයන්ගේ ලිවීමේ ශෛලිය පැරණි චීන සාහිත්‍යයෙන් පෝෂණය වුණු ශෛලියක්. චීන සාහිත්‍යයේ වටිනාකම ඒකයි. යාන්ත්‍රික අනුකාරික ස්වරූපයක් නැහැ. සමහර රටවල ලේඛකයෝ යම් කිසි රටකින් හෝ ප්‍රසිද්ධ සම්ප්‍රදායකින් අනුකරණය කර ලියනවා. ඇත්තටම ඒවා හොඳ කෘති කියල අපට පිළිගන්න අමාරුයි. නමුත් චීනෙදි දේශීය සම්ප්‍රදායේ උරුම මුල් කොට ගෙන එහි සාරය ගෙන ඊට ඇතුළත් කරනවා මිස වෙනස් වෙන්නේ නැහැ. තමන්ගේ දේශීය ශෛලිය පෝෂණය වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. ඒක චීන ලේඛකයින්ගේ ලක්ෂණයක්. 

පැරණි චීන සාහිත්‍යයේ විවිධ යුගවල දාර්ශනික, ආගමික, දේශපාලනික ආදී විවිධ ධාරාවන් දකින්නට ලැබෙනවානෙ. මේ ආකාරයට නූතන චීන සාහිත්‍යයේ දැකිය හැකි සුවිශේෂ ධාරාවන් මොනවා ද ?

මේ වනවිට ආගමික ආභාසය ගොඩක් අඩුයි. නූතන සාහිත්‍යය තුළ වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ නිසඳැස් කාව්‍ය, කෙටිකතා, නවකතා, නාට්‍ය ආදිය. නමුත් චීනයේ යුද්ධ සාහිත්‍ය සම්ප්‍රදායකුත්, ඉතිහාස කතා සම්ප්‍රදායකුත්, ළමා සාහිත්‍ය සම්ප්‍රදායකුත් තිබෙනවා. පැරණි කාලයේ පටන්ම යුද්ධය ගැන, ඉතිහාසය ගැන, නොයෙක් නිර්මාණ බිහි වුණා. නූතන සාහිත්‍යය තුළත් යුද්ධය, හමුදා ජීවිතය ගැන ලියන ලේඛකයො සිටිනවා. ගම්බද ප්‍රදේශ ගැන, ගොවි ජනතාව ගැන ලියන ලේඛකයො සිටිනවා. ළමා සාහිත්‍ය නිර්මාණ කරන තවත් ලේඛකයො පිරිසක් සිටිනවා. ඓතිහාසික කතාන්දරවලින් නවකතා, ඓතිහාසික නාට්‍ය රචනා කළ ලේඛකයින් සිටියා. ඒ වගේ සම්ප්‍රදායන් තවමත් චීන සාහිත්‍යය තුළ තිබෙනවා. ඒ වගේම පරිවර්තන සාහිත්‍යය ගැන කතා කරද්දි, අනෙක් රටවලට වඩා අංග සම්පූර්ණ පරිවර්තන සාහිත්‍යයක් චීනයෙ තිබෙනවා. චීනයේ විදෙස් භාෂා දන්නා අය හිඟ නිසා සාහිත්‍ය, දාර්ශනික, විද්‍යාත්මක... ඕනෑම හොඳ පොතක් පළ වුණාම එය ඉතාම ඉක්මනින් චීන භාෂාවට පරිවර්තනය කෙරෙනවා. මේ නිසා අති විශාල අංග සම්පූර්ණ පරිවර්තන සාහිත්‍යයක් චීනයෙ තිබෙනවා.

චීනයේ සාහිත්‍ය නිර්මාණ සිදු කෙරෙන්නේ චීන භාෂාවෙන් පමණක්ද? නැතිනම් ප්‍රාදේශීය භාෂා සාහිත්‍යයකුත් තිබෙනවාද?

ක්‍රි.පූ. 3 වන සියවසේ චීනය පාලනය කළ අධිරාජ්‍යයා මුළු චීනයේම භාවිත වුණු අක්ෂර එකතු කර එකම සම්මත අක්ෂර මාලාවක් භාවිත කරන්නට නියෝග කළා. ඒ අක්ෂරවලින් පොත් ලියුවේ නැතිනම් ඒ පොත් පුළුස්සා දැමුවා. මේ ආකාරයට එය ඉතා තදින් ක්‍රියාත්මක කළා. චීනය ජාතීන් බහුල රටක්. සුලු ජාතීන් පමණක් 55ක් සිටිනවා. ඒ අතරින් තමන්ගේම අක්ෂර මාලා සතු ජාතීන් 23ක් සිටිනවා. ඒ අක්ෂරවලින් ලියැවෙන සාහිත්‍යයකුත් තිබෙනවා. ඒවාත් චීන සාහිත්‍යයේම කොටසක් ලෙස සලකනවා. ප්‍රාදේශික උච්ඡාරණ කොතෙකුත් වෙනස් වුනත් ලියන්නේ එකම විදියට. ඒ නිසා ඒ මහා සම්ප්‍රදාය ජපානයටත්, කොරියාවටත්, වියට්නාමයටත් බලපෑවා. පැරණි යුගයේ ඒ රටවල් තුනේ කිසියම් ග්‍රන්ථයක් ලියැවුණා නම්, ලියැවී තිබෙන්නේ චීන අක්ෂරවලින්. චීනයේ විශාල පළාත් 32ක් තිබුනත් ඒ හැම පළාතෙම තමන්ගේ සාහිත්‍ය සම්ප්‍රදායන් තිබුනත් ලියන්නේ එකම විදියට. කාටත් රස විඳින්න පුළුවන් විදියට. උතුරු සම්ප්‍රදාය, දකුණු සම්ප්‍රදාය කියල සම්ප්‍රදායන් තිබෙනවා. ඒ ඒ පළාත්වල ලේඛක පිරිස් සිටිනවා. ඒ ඒ ප්‍රදේශවලට ආවේණිකව ලියැවෙන සාහිත්‍යයක් තිබෙනවා. අනෙක් එක හැම පළාතෙම, නගරයෙම සාහිත්‍ය සංගම්, සාහිත්‍ය සඟරා තිබෙනවා. ඒ ඒ ප්‍රාදේශික සාහිත්‍ය ශෛලීන් තිබෙනවා. 

චීනයේ මේ යුගයේ සාහිත්‍යකරණයේ නියැලෙමින් සිටින තරුණ ලේඛකයින්ගේ නිර්මාණකරණයේ දැකිය හැකි විශේෂ ප්‍රවණතා කෙබඳුද ?

චීන සාහිත්‍යයේ නූතන යුගයේ ලක්ෂණය තමයි පුළුවන් තරම් විශ්ව සාහිත්‍යයට එකතු වීමට සදාකල් පවතින සාහිත්‍ය කෘති නිර්මාණය කිරීම. හැබැයි පැරණි චීනයෙත් මේ වගේ සාහිත්‍ය කෘති තිබුණා. චීන ජාතික සම්ප්‍රදාය නැවත නඟා සිටුවන්නේ කොහොමද, ලෝකයේ වැඩිම ජනගහණය සහිත රට තමන්ගේ භාෂාවෙන් ලෝකයේම පිළිගැනෙන සාහිත්‍ය කෘති නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන චීනයේ තරුණ ලේඛකයො උත්සුක වෙමින් සිටිනවා. මම නම් කියන්නේ ඒක ඉතාම හොඳ දෙයක්. පිටරටවල සාහිත්‍ය සම්ප්‍රදායන්ගෙන් අපි පුළුවන් තරම් සාරය උකහා ගත යුතුයි. ඒ වගේම චීන දේශීය මහා සම්ප්‍රදාය මත සිට එය කළ යුතුයි. ඒ වගේම මිශ්‍රව නිර්මාණය වන කතා වස්තු විශ්ව සාහිත්‍යයට ගැලපෙන බොහොම නව සම්ප්‍රදායක්. ඒ නව සම්ප්‍රදාය චීනයේ මහා සම්ප්‍රදායවත් විප්ලවීය සමාජවාදී සම්ප්‍රදායවත් බටහිර සම්ප්‍රදායවත් නෙවෙයි. ඒ සියල්ලේම සාරවත් සම්මිශ්‍රණයක්. ඒ තුළින් තමයි විශ්ව සාහිත්‍ය කෘති බිහිවන්නේ. 

ලතින් අමෙරිකානු සාහිත්‍ය කතිකාව තුළ දැකිය හැකි ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ලක්ෂණ නූතන චීන සාහිත්‍යයටත් බලපා තිබෙනවාද ?

නව යුගයේ සාහිත්‍යය, විශේෂයෙන්ම ගිය සියවසේ අග සහ මේ අවුරුදු කිහිපය තුළ මේ වගේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ලක්ෂණ බලපා තිබෙන බව කියන්නට පුළුවන්. කොහොම වුනත් චීනයේ සාහිත්‍ය නිර්මාණ සඳහා පෙර නොවූ විරූ නිදහසක් තිබෙන යුගයක් තමයි මේ. මිනිස් සංහතිය, මිනිස් සමාජය, මිනිස් සිතුම් පැතුම් ගැන එක් එක් යුගවලට ගැලපෙන විදියට සාහිත්‍ය නිර්මාණ කෙරුණා. නමුත් යථාර්ථවාදී රීතිය චීනය හැම විටම අගය කළ සම්ප්‍රදායක්. ඒක විශේෂයෙන්ම කියන්න ඕන.

එබඳු නව ප්‍රවණතාවේ සාහිත්‍ය නිර්මාණ සම්බන්ධව චීන සාහිත්‍යයික සමාජයේ ප්‍රතිචාර කෙබඳුද ?

වාද විවාද ඇති වෙනවා. නමුත් අත්හදාබැලීම් වශයෙන් අප ඒවා හෙළා දකින්න ඕන නැහැ. විවේචනයට ලක්වුණු කෘතියෙ කර්තෘ ආඩම්බර වෙනවා, තමන්ගේ කෘතිය විවේචනයට ලක් වෙනවා, එතරම් බලවත් කියලා. අත්හදාබැලීමක්නෙ. ඒ තුළින් ඒ ලේඛකයාට පුළුවන් වඩාත් හොඳ කෘතියක් බිහි කරන්න. ඒ නිසා මෙවැනි කෘතිවලට විශාල පිළිගැනීමක් නැතත් අත්හදා බැලීමක් වශයෙන් යම් වටිනාකමක් තිබෙනවා. ඒ නිසා එවැනි කෘති එච්චර හෙළා දකින්නේ නැහැ.

චීන රජයෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයට ලබා දෙන අනුග්‍රහය කෙබඳු ද ?

චීන රජය සාහිත්‍යය කෙරෙහි විශාල සැලකිල්ලක් දක්වන රජයක්. ඒක සම්ප්‍රදායක්. ප්‍රචාරක කටයුතු විප්ලවයට ඉතාමත් වැදගත් වුණා. ඔලිම්පික් උළෙලේදී චීනය වැඩියෙන් රන් පදක්කම් දිනා ගනිද්දි වගේ චීනයේ හෝ වෙනත් රටක හෝ සිට චීන ජාතිකයෙක් චීන භාෂාවෙන්, විශ්ව සාහිත්‍යය දිරි ගන්වන කෘති නිර්මාණය කරනවා නම් එය ඉතාම සතුටුදායක දෙයක් ලෙස චීන රජය සලකනවා. ඒ ඒ රටවල චීන සාහිත්‍යයේ වෙනම සම්ප්‍රදායන් තිබෙනවා. තායිවාන්, හොංකොං, මැලේසියාව, ඉන්දුනීසියාව, මැකාව්, සිංගප්පූරුව යන රටවල කෘතීන් චීනය හොඳ විමසිල්ලෙන් බලනවා. විචාරය කරනවා. මහජන චීනයේ විතරක් නෙවෙයි, අනෙක් රටවල, ප්‍රදේශවල බිහිවුණු හොඳ චීන කෘති අපේ සාහිත්‍ය ඉතිහාසයට ගන්නවා. ඒ නිසා මුළු ලෝකයේම චීන සාහිත්‍යය එකමුතු වන, විශ්ව සාහිත්‍යයට එකතු වන ප්‍රබෝධවත් යුගයක් මේ.

යුරෝපා, රුසියානු, ලතින් අමෙරිකානු... වැනි සාහිත්‍ය ධාරා සමග සසඳා බලන විට අපේම කලාපයට අයත් චීනයේ සාහිත්‍ය ධාරාව අපේ රටට පැමිණ තිබෙන්නේ ඉතාම අඩුවෙන්. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද ?

වර්තමානයේ බොහෝ අය කැමතියි නූතන කාලේ ලියැවුණු නවතතා කෙටිකතා හඳුන්වා දෙන්න. එක යුගයක චීන සාහිත්‍යය දේශපාලන පැත්තට නැඹුරු වූ සාහිත්‍යක් වුණු නිසා ඒකෙ වටිනාකම අඩුයි කියල සමහර විචාරකයො කියනවා. ඒ එකක්. අනෙක තමයි, භාෂා බාධකය. චීනයේ ගොඩක් හොඳ වටිනා සාහිත්‍ය කෘති තවම ඉංග්‍රීසියට පවා පරිවර්තනය වී නැහැ. පරිවර්තනය වුනත් වුණේ ගොඩක් වෙනස් වෙලා. ඉංග්‍රීසියට පරිවර්තනය වුණු චීන සාහිත්‍ය කෘති තිබෙනවා. නමුත් නැවත සිංහලට පරිවර්තනය කරන විට චීන මුල් පිටපතත් සමග ලොකු පරතරයක් තිබෙනවා. විශේෂයෙන්ම කාව්‍ය පරිවර්තනවලදී මේ අඩුව තිබෙනවා. සමහර විට වැරදි හැඟීමක් ඇති වෙනවා. එතරම්ම විකෘතියි. ඇත්තටම අනෙක් රටවල සාහිත්‍යය තරම් චීන සාහිත්‍යය ලංකාවේ පාඨකයින් අතට ලැබී නැහැ. අපි උත්සාහ කරනවා චීන මුල් පිටපතින්ම සිංහලට පරිවර්තනය කරන්න පටන්ගන්න. මෙතෙක් පරිවර්තනය වී ඇති කෘති ඇත්තටම ප්‍රමාණය අතිනුත් ගුණාත්මක අතිනුත් සෑහීමකට පත් විය හැකි තත්ත්වයක නැහැ. චීනයේ පැරණි සාහිත්‍ය ඉතිහාසය හා නූතන සාහිත්‍ය ඉතිහාසය ගැන අවබෝධයෙන් ඒ ඒ යුග නියෝජනය වන කෘති මොන වගේද කියල  අනුපිළිවෙළට තෝරාගෙන ඒවාගේ කෘති පරිවර්තනය වෙනවා නම් මීට වඩා වෙනස් තත්ත්වයක් ඇති වෙයි කියල මම හිතනවා.

අවසාන වශයෙන්, ආසියානු කලාපයේ සාහිත්‍ය කතිකාව තුළ චීන සාහිත්‍යයේ භූමිකාව සම්බන්ධව ඔබගේ අදහස කුමක්ද ?

මේ වගේ පැරණි මහා සම්ප්‍රදායක් තිබුණු නිසා චීන සාහිත්‍යයේ අගය අවට රටවලටත් සෑහෙන්න බලපෑවා. ඒ වගේම මහා සම්ප්‍රදායන් දෙක අතර තිබෙන හුවමාරුවේ ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියානු සාහිත්‍යය චීන සාහිත්‍යයට බලපෑවා. චීන සාහිත්‍යයේ මහා සම්ප්‍රදායේ අගය විශ්ව සාහිත්‍යයට අයත් නිධානයක්. ආසියානු කලාපීය සාහිත්‍යය තුළ චීන මහා සාහිත්‍ය සම්ප්‍රදායට විශාල තැනක් තිබෙනවා. එය යම් කිසි රටකට, ජාතියකට සීමා වෙන්නේ නැහැ. ඒක මුළු ලෝකයේම දායාදයක්. විශේෂයෙන් ම පෙරදිග රටවලට නිධානයක්. නමුත් තවම මේ පැරණි චීන සාහිත්‍යය ඒ ඒ භාෂාවලට පරිවර්තනය වී නැහැ. පැරණි චීන සාහිත්‍යය පරිවර්තනය වුණාම මිනිසුන් දැන ගනීවි, බටහිර සාහිත්‍යයට නො දෙවෙනි සාර්ථක අත්හදා බැලීම් පැරණි කාලෙම චීනයේ සිදු වී තිබෙන බව.

ප්‍රභාත් චින්තක මීගොඩගේ

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.