News Category
From Date
To Date
Maximum Number of Result

නව චීනය සහ ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වයේ විවිධ ස්වරූප..

Sep 25, 2026 at 02:47 PM
|

ඊයේ (2026 සැප්තැම්බර් 23 වැනි දා), ශ්‍රී ලංකා - චීන සංගමය (Sri Lanka China Society) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී සමරු උත්සවයක් පැවැත්තුවා. චීන මහජන ජනරජය ස්ථාපනය කරලා අවුරුදු 77 ක් සම්පූර්ණවීමත් ශ්‍රී ලංකා - චීන සංගමය ආරම්භ කරලා අවුරුදු 45 ක් සම්පූර්ණවීමත් සැමැරීම වෙනුවෙන් තමයි ඒ උත්සවය පැවැත්වුණේ. ඒ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් මම දක්වපු අදහස් පහළින් පළ කරනවා).

=== === === === ===

ශ්‍රී ලංකාව සහ චීනය කියන්නේ ලෝකයේ ඉතාමත් දීර්ඝ කාලයක් අඛණ්ඩව තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව රැකගත්ත රටවල් දෙකක්. අපේ මේ රටවල් දෙක ඉතිහාසය මුළුල්ලේ ම ඉතාමත් කිට්ටු සංස්කෘතික, ආර්ථික සහ දේශපාලන සම්බන්ධකම් පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. 1949 ඔක්තෝබර් 1 වැනි දා, චීන මහජන ජනරජයේ මහජන ආණ්ඩුව පිහිටුවන ලද බව ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ අපේ රටවල් දෙක අතර සම්බන්ධකම් අලුත් මානයකට වර්ධනය වෙලත් තියෙනවා. “නව චීනය” සහ ශ්‍රී ලංකාව ගොඩ නගාගෙන තියෙන මිත්‍රත්වය තනි, පැතැලි ඒකාකාරි එකක් නෙවෙයි. අපේ රාජ්‍යයන් දෙක අතර මිත්‍රත්වය විවිධාකාරයි. ඉතින් මම මේ කතාවෙන් ඒ විවිධත්වය ගැන කෙටි අදහස් දැක්වීමක් ඉදිරිපත් කරන්න කැමැතියි.

මම මුලින් ම මේ විවිධත්වය ගැන සරල, පැහැදිළි පින්තූරයක් ඉදිරිපත් කරන්නම්.

චීනය කියන්නේ රතු පාට රටක්. මාක්ස්වාදී - ලෙනින්වාදී මූලධර්ම උඩත්, මාඕ ත්ස-තුං චින්තනය උඩත් බිහි කරපු රටක්. අවුරුදු පන්දාහක් තරම් දීර්ඝ ඉතිහාසය සහ සාරවත් සංස්කෘතිය හින්දා චීනයේ රතු පාට තුළ අපිට හිතාගන්න බැරි ගැඹුරකුත් තියෙනවා. වර්තමානයේ දී, ශී චින්-පිං චින්තනය විසින් මේ රතු පාට තව තවත් විචිත්‍ර කරමින් තියෙනවා.

ශ්‍රී ලංකාවේ පාට මොකක්ද කියන එක ශ්‍රී ලාංකිකයෝ වෙන අපිටවත් තේරුම්ගන්න අමාරුයි. අපිටත් ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ වගේ ම, අපිත් ඉතාමත් සාරවත් සංස්කෘතියකට උරුමකම් කියනවා. ඒත් ඉවරයක් නැති ආක්‍රමණවලට ගොදුරුවීම සහ අවුරුදු පන්සීයක යටත්විජිත බලපෑම හින්දා අපේ පාට පුදුමාකාර විදිහට විකෘතිවෙලා. අපි අපේ සංස්කෘතික ඇගැයීම් පිළිගන්න අතර ම බටහිර අභාෂයෙන් ලැබිච්ච සංස්කෘතික ඇගැයීම් සමුදායත් බදාගෙන ඉන්නවා. එක විට මෙහෙයුම් පද්ධති දෙකක් වැඩ කරන පරිගණකයක් වගේ අපි මහා අවුලක ජීවත්වෙනවා. ඉතින් අපි අතර සංස්කෘතික භේදභින්නකම් පවා ඉහවහා ගිහිල්ලා. මෙහෙම බෙදීම් තියෙන්නේ වාර්ගික වෙනස්කම් ඇතුළේ විතරක් නෙවෙයි. එක ම වර්ගයක් නියෝජනය කරන සිංහල මිනිස්සු අතරත් විවිධාකාර බෙදීම් තියෙනවා. ඉතින් මේ හින්දා ම, අපිට දේශපාලනික වශයෙන් නිරවුල් එක පෙරමුණකට ගොනුවෙන්නත් බැරිවෙලා තියෙනවා.

දැන් අපිට මේ සමානකම් සහ වෙනස්කම් පසුබිමේ තියාගෙන ශ්‍රී ලංකාව සහ නව චීනය අතර සම්බන්ධකම් ගැන හිතන්න පුළුවන්.

අපේ සම්බන්ධය රතු ට රටක් තවත් රතු පාට රටක් එක්ක පවත්වන ගනුදෙනුවක් නෙවෙයි. මේක හොඳින් සංවිධාන ගතවෙච්ච, ඉතාමත් ශක්තිමත් රටක් අසංවිධානාත්මක, ඉතාමත් දුර්වල රටක් එක්ක කරන ගනුදෙනුවක්. ඒ වගේ ම, මේක ඉතාමත් හොඳින් තනි පෙරමුණකට ගොනුවෙච්ච රටක් බෙදිලා භේදභින්න වෙලා ඉන්න රටක් එක්ක කරන ගනුදෙනුවක්.

ගතවෙලා තියෙන අවුරුදු 80 කට කිට්ටු කාලය තුළ, අපේ රටවල් දෙක අතර මේ ආකාරයේ ඉතාමත් බරපතල වෙනස්කම් ඇතිවුනත් අපි අතර මිත්‍රත්වය විකෘතිවෙලා නෑ. අපි කොළ පාට වුනත්, නිල් පාට වුනත්, රතු පාට වුනත් චීනය කිසිම වෙනසක් නැතුව අපිත් එක්ක එක විදිහට විවිධ පෙරමුණු හරහා ගනුදෙනු කරලා තියෙනවා.

අපිත් අපේ පාට වෙනස්වුණා කියලා චීනය එක්ක කරන ගනුදෙනුව නවත්තලා, නො සළකා හැරලා නෑ. අපි මුල ඉඳලා ම - නව චීනය බිහිවෙච්ච දවස්වල ඉඳලා ම එක විදිහට චීනයත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා.

නව චීනය (මහජන චීනය) නිල විදිහට පිහිටුවපු බව ප්‍රකාශයට පත් කළේ 1949 ඔක්තෝබර් 1 වැනි දා කියලා අපි හැමෝම දන්නවා. මේ දැවැන්ත ඓතිහාසික සිදුවීමට දවස් 100 ක් සම්පූර්ණවෙන්න කලින් (හරියට ම කියනවා නම්, දවස් 98 කින්) - ඒ කියන්නේ, 1950 ජනවාරි 6 වැනි දා, ඩී. එස්. සේනානායක අගමැතිතුමාගේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් මහජන චීනය පිළිගත්තා. සෝල්බරි ව්‍යවස්ථාවෙන් ලබාදීපු වගකීම් සහගත ඩොමීනියන් නිදහස යටතේ අපේ විදේශ ගනුදෙනු පවා සීමා කරලයි තිබුණේ. ඒත් ඒ සීමා මැද්දේ වුනත්, ඩී. එස්. සේනානායක අගමැතිතුමාගේ ආණ්ඩුව මහජන චීනය පිළිගත්තා. ඉතින් මේක අපි හැම දෙනෙක් ම පක්‍ෂ, පාට භේදයක් නැතුව අගය කරන්න ඕන ඉතාමත් වැදගත් තීරණයක්.

හෙට අනිද්දා - ඔක්තෝබර් 1 වැනි දා, චීන මහජන ජනරජය පිහිටුවලා අවුරුදු 77 ක් සම්පූර්ණ වීම සමරනවා. ඒ වගේ ම, තව මාස තුනකට පස්සේ - 2027 ජනවාරි 6 වැනි දා අපිට පුළුවන් ශ්‍රී ලංකාව විසින් මහජන චීනය පිළිගැනීමේ 77 වැනි සංවත්සරය සමරන්න.

ඊ ළඟට, මම ඔබේ අවධානය යොමු කරන්නේ අපි හැමෝම දන්න රබර් - සහල් ගිවිසුම පිළිබඳ කතාවට. 1952 දෙසැම්බර් 18 වැනි දා, ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ ආණ්ඩුව චීනයත් එක්ක රබර් - සහල් ගිවිසුම අත්සන් කළා. ඒ වෙද්දි, කොරියානු යුද්ධය ඉතාමත් තදින් ඇවිලෙමින් තිබුණු හින්දා ඇමෙරිකාව විසින් මහජන චීනයට විරුද්ධව වෙළෙඳ සම්බාධකත් පනවලා තිබුණා. මම ඒ ගැනත් පොඩි විස්තරයක් ඉදිරිපත් කරන්නම්.

1950 දෙසැම්බර් 4 වැනි දා, ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් චීනයත් එක්ක කරපු සෘජු වෙළෙඳ කටයුතු සියල්ල ම අත්හිටෙව්වා. 1950 දෙසැම්බර් 16 වැනි දා, ඇමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව (U.S. Treasury Department) විසින් “Trading with the Enemy Act” කියන නීතිය හඳුන්වලා දීලා චීනයේ වත්කම් Freeze කිරීමත් මූල්‍ය සම්බාධක පැනවීමත් සිද්ද කළා. මේ බලහත්කාරකම එතැනින් අවසන් වුණේ නෑ. ඇමෙරිකාවේ බලපෑම මත, 1951 මැයි 18 වැනි දා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් අංක 500 දරන යෝජනාව සම්මත කරගෙන චීනයට විරුද්ධව ලෝක මට්ටමේ වෙළෙඳ සම්බාධකත් පැනෙව්වා. ඒ දවස්වල, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් නෙවෙයි. 1955 දෙසැම්බර් 14 වැනි දා තමයි ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගත්තේ.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වල විරෝධයත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවපු සීමාත් නො සළකා ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ ආණ්ඩුව 1952 දෙසැම්බර් 18 වැනි දා මහජන චීනයත් එක්ක රබර් - සහල් ගිවිසුම අත්සන් කළා. මේ ගිවිසුම ශ්‍රී ලංකා - චීන සම්බන්ධතාවල ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක්. ලබන අවුරුද්දේ - 2027 අවුරුද්දේ, අපි මේ ඓතිහාසික සිදුවීමේ 75 වැනි සංවත්සරය සමරනවා.

1955 අප්‍රේල් 18 වැනි දා ඉඳලා 24 වැනි දා දක්වා ඉන්දුනීසියාවේ බැන්ඩුන් නුවර පවත්වපු ආසියා-අප්‍රිකා සම්මේලනය (Asian–African Conference, Bandung Conference) විසිනුත් ශ්‍රී ලංකා - චීන සම්බන්ධතාවේ තවත් පියවරක් සනිටුහන් කළා. ඒ සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජෝන් කොතලාවල අගමැතිතුමා සහභාගී වුණා. සීතල යුද්ධ කාලයේ මුල ම, කොරියානු යුද්ධය සටන් විරාම ගිවිසුමකින් අවසන් කරලා අවුරුදු 2 ක් සම්පූර්ණ වෙන්නත් කලින් ශ්‍රී ලංකාව බැන්ඩුන් සම්මේලනයේ දී චීනය සමඟ එක ම වේදිකාවක හිටගත්තා. ඒ එකතුව මාර්ගයෙන් අපි නොබැඳි සංවිධානය හදන වැඩේට මුල පිරුවා.

1957 පෙබරවාරි 7 වැනි දා, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව විසින් මහජන චීනය සමඟ විධිමත් රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ කරපු බව අපි හැමෝම දන්නවා. ඒ ඓතිහාසික අවස්ථාවට චීන අගමැති චෝ අන්-ලැයි මහතාත් සහභාගී වුණා. ඒ ආරම්භයත් එක්ක ම, ශ්‍රී ලංකා - චීන සබඳතා තවත් ශක්තිමත් සහ ගැඹුරු මානයකට පිවිසුණා.

රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පස්සේ ශ්‍රී ලංකාවේ බලයට ආපු හැම ආණ්ඩුවක් ම මහජන චීනයත් එක්ක ඉතාමත් සමීප සම්බන්ධකම් පවත්වපු බව අපි හැමෝම දන්නවා. ඒ අතරින්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාල පරිච්ඡේද තුළ ගොඩනැගිච්ච සම්බන්ධකම් විශේෂයෙන් කැපී පේනවා. 1964 පෙබරවාරි 26 ඉඳලා 29 දක්වා කාලයේ, චෝ අන්-ලැයි අගමැතිතුමා 2 වැනි වතාවටත් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවුණා.

1963 ජනවාරි 8 – 15 කාලයේ දී, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය චීනයේ සංචාරය කළා. ඒ සංචාරය අතරතුර, ඇය ඉන්දු - චීන ගැටුම අවසන් කිරීමට අදාළ යෝජනාත් ඉදිරිපත් කළා. 1972 දී, ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමෙන් මාසයකට පස්සේ - 1972 ජුනි 24 වැනි දා ඉඳලා ජුලි 5 වැනි දා දක්වා කාලයේ දී, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 2 වැනි වතාවටත් චීනයේ සංචාරය කළා. ඒ අවස්ථාවේ දී, ඇයට ලැබුණු පිළිගැනීම ජාත්‍යන්තර මට්ටමින් විශාල අවධානයක් ලැබිච්ච එකක්.

1970 - 1977 කාලය තුළ, චීනය ලංකාවට විවිධ ආර්ථික හා යටිතල පහසුකම් ආධාර ලබාදුන්නා. ඒ කාලයේ දී, දෙ රට අතර දේශපාලනික විශ්වාසය තවදුරටත් තහවුරු වුණා. චීන විසින් අද අපි මේ රැස්වීම පවත්වන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර අපිට ලබාදුන්නේත් ඒ කාලයේ බව අපි දන්නවා.

1977 දී බලයට ආපු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව බටහිරට බර එකක්. ඒ කාලයේ දී, අපි ඉන්දියාව එක්ක සම්බන්ධකම් පළුදු කරගත්තා කියලා චෝදනාවක් තියෙනවා. ඒත් එතුමාගේ කාලයේ දී, අපි චීනයත් එක්ක සම්බන්ධකම් පළුදු කරගත්තා කියලා චෝදනාවක් නෑ. ඇත්තෙන්ම, ඒ කාලයේ දී ශ්‍රී ලංකා - චීන සම්බන්ධතා තව තවත් ශක්තිමත් වුණා. අද අපි මේ 45 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා - චීන සමාජය ආරම්භ කළෙත් එතුමාගේ පාලන කාලයේ දී වීම විශේෂ කාරණයක්. 1984 මැයි 20 වැනි දා ඉඳලා 25 වැනි දා දක්වා කාලයේ දී, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා චීනයේ සංචාරය කළා.

1979 දී සහ 1988 දී, ආර්. ප්‍රේමදාස අගමැතිතුමා, 1996 දී සහ 2005 දී, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය, 2007, 2008, 2010, 2011, 2013 සහ 2014 අවුරුදුවල මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා, 2015 දී සහ 2019 දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, 2025 දී අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා චීනයේ සංචාරය කරලා තියෙනවා. මේ සංචාරවලින් අපේ රටවල් දෙක අතර සම්බන්ධකම තව තවත් ශක්තිමත් වෙච්ච බවත් චීනයෙන් අපිට විශාල විශයෙන් ආධාර උපකාර ලැබුණු බවත් අපි දන්නවා. ඒවා ගැන විස්තර කියන්න කාලය ප්‍රමාණවත් නෑ.

අපේ දේශපාලනයේ පාට මොන විදිහට වෙනස් වුනත්, අපි “එක චීනයක්” ප්‍රතිපත්තිය වෙනස් කරලා නෑ.ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ බලයට ආවේ බලයට පත් වූයේ වමට බර ආණ්ඩුවක් වුනත් දකුණට බර ආණ්ඩුවක් වුනත්, අපි “එක චීනයක්” ප්‍රතිපත්තියෙන් බැහැරවෙලා නෑ. අපි එක දිගට ම මේ ප්‍රතිපත්තිය ආරක්‍ෂා කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ බලයට පත්වෙච්ච ආණ්ඩු විසින් වෙනස් නො කරපු එක ම ප්‍රතිපත්තිය මේක කියලා කියන්නත් පුළුවන්.

1957 ඉඳලා මේ දක්වා, චීනයේ ජනාධිපතිවරු, අගමැතිවරු සහ ඉහළ මට්ටමේ රාජ්‍ය නියෝජිතයෝ විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ නල සංචාරවල නිරතවෙලා තියෙනවා. 1957 පෙබරවාරි සහ 1964 පෙබරවාරි මාසවල චෝ අන්-ලැයි අගමැතිතුමා, 1985 දී ලී ශියැන්-නියැන් ජනාධිපතිතුමා, 2001 දී චූ රුං-චි අගමැතිතුමා, 2005 දී වන් චියා-පාඕ අගමැතිතුමා, 2010 දී ශී චින්-පිං උප ජනාධිපතිතුමා, 2014 දී ශී චින්-පිං ජනාධිපතුතුමා ශ්‍රී ලංකාවේ සංචාරය කරලා තියෙනවා. වං යී විදේශ ඇමැතිතුමා අවස්ථා ගණනාවක දී ම ශ්‍රී ලංකාවට ආවා.

මහජන චීනය අපිට විශාල වශයෙන් උදව් උපකාර කරලා තියෙනවා. අපි මුහුණදෙන ආර්ථික අර්බුද, ස්වාභාවික ව්‍යසන, යටිතල පහසුකම් සංවර්ධන අවශ්‍යතා වැනි විවිධ අවස්ථාවල දී මහජන චීනය කිසිම පැකිළීමක් නැතුව ඉස්සරහට ඇවිල්ලා අපිට උපකාර කරනවා. කොරෝනා වසංගතය වෙලාවේ චීනය අපිට කරපු උපකාර ගැන විශේෂයෙන් ම සඳහන් කරන්න ඕන. මුළු ජාතිය ම බියට පත්වෙලා ඉන්න වෙලාවක ලබාදීපු ඒ උපකාර අපි කවදාවත් සුළුකොට තකන්නවත් අමතක කරන්නවත් හොඳ නෑ.

මහජන චීනය කවදාවත් අපේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහලා, අපිට බලපෑම් කරලා නෑ. අපේ රටේ ස්වෛරීභාවය, අපේ රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් චීනය පෙනී ඉඳලා තියෙනවා. අපි වෙනුවෙන්, අපිට පක්‍ෂව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී සහ එයට අනුබද්ධ ආයතනවල දී චීනය කටයුතු කරලා තියෙනවා.

අපි හැමෝම දන්න ඒ උදව් උපකාර ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ.

අපේ රටවල් දෙක අතර පවතින අන්‍යෝන්‍ය ගරුත්වය සහ විශ්වාසය මත ගොඩනැගිච්ච මේ සම්බන්ධතාව, දුර්වල, කිසිම පිළිවෙළක් නැති රටක් එක්ක බලවත්, බොහොම විධිමත් විදිහට පාලනය කෙරෙන රටක් අතර පවතින්න පුළුවන් සමානාත්මතාව මුල් කරගත්ත හවුල්කාරිත්වයක් විදිහටත් ලෝකයට ම සපයන්න පුළුවන් ආදර්ශයක් විදිහටත් සළකන්න පුළුවන්. 

මේ කතාව අවසන් කරන්න කලින් මම කැමැතියි අපි නිතර කතා නො කරන පැති කීපයකට මේ කතාව යොමු කරන්න.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින අධ්‍යාපන සහ පර්යේෂණ සම්බන්ධකම් ගැන තමයි මම ඒ අතරින් මුලින් ම කියන්නේ. ඈත අතීතයේ ම, චීන භික්‍ෂූන්වහන්සේලා විසින් ශ්‍රී ලංකාව අධ්‍යාපන මධ්‍යස්ථානයක් විදිහට සැළැකුවා. අවුරුදු 1600 කට කලින්, ෆා-ශියැන් ස්වාමීන්වහන්සේගේ ආගමනය තුළින් වුනත් ඒ පිළිගැනීම පෙන්නලා දෙනවා.

අපි නිතර කතා නො කරන, එහෙම නැතිනම් අපි වැඩි දෙනෙක් නො දන්න කාරණයක් ගැනත් මම කියන්නම්.

මීට අවුරුදු 96 කට කලින්, 1930 දී, ඒ කාලයේ චීනයේ ථැයි-ශු (太虚, Taixu) ස්වාමීන්වහන්සේ, මුල්වෙලා චීනයේ දී එක්තරා සංවිධානයක් ආරම්භ කළා. උන්වහන්සේ යුරෝපයේ සංචාරය කරලා ආපහු චීනයට වැඩම කරන අතරතුර, 1928 අ‍ගෝස්තු මාසයේ දවසක පැය 10 ක කාලයක් ලංකාවේ නැවැතිලා තියෙනවා. ඒ වෙලාවේ ඇතිකරගත්ත අදහසකට අනුව තමයි 1930 මාර්තු මාසයේ දී උන්වහන්සේ “ලංකාවේ බෞද්ධ අධ්‍යයන ශිෂ්‍ය කණ්ඩායම” (锡兰佛教留学团, Ceylon Buddhist Overseas Study Group) ආරම්භ කළේ. ලංකාවේ ඉගෙනගන්න චීන ස්වාමීන්වහන්සේලා එකතුවෙලා එහෙම සංවිධානයක් හදාගත්තා නම් ඒක සාමාන්‍ය කටයුත්තක්. ඒත් මේ සංවිධානය හැදුවේ ලංකාවේ නෙවෙයි.

1930 දී ම, ලංකාවට යවන ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා 10 නමක් පුහුණුකිරීම ආරම්භ කළත් ඒ දවස්වල සිද්දවෙච්ච ජපන් ආක්‍රමණය මුල් කරගත්ත කලබල හින්දා ඒ වැඩේට බාධා එල්ලවුණා. ඒ වුනත්, ථැයි-ශූ ස්වාමින්වහන්සේ තමන්ගේ උත්සාහය අත්හැරියේ නෑ. 1936 මැයි 6 වැනි දා, ලංකාවේ දී චීන භික්‍ෂූන්වහන්සෙලා 5 නමක් ථෙරවාදී බෞද්ධ අධ්‍යාපනය ලබාගැනීම ආරම්භ කළා. 1939 නොවැම්බර් මාසයේ දී, ථැයි-ශූ ස්වාමින්වහන්සේ ලංකාවට වැඩම කළා. අවුරුදු 96 ක් ගතවෙලා තිබුණත්, “ලංකාවේ බෞද්ධ අධ්‍යයන ශිෂ්‍ය කණ්ඩායම” තවමත් ක්‍රියාත්මක වෙනවා. අදටත් චීන ස්වාමින්වහන්සේලා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබනවා.

අපේ රටවල් දෙක අතර තානාපති සම්බන්ධකම් පටන්ගත්තාට පස්සේ අධ්‍යාපන හා පර්යේෂණ සහයෝගිතාවත් වර්ධනය වුණා.

1975 සිට චීන රජය ශ්‍රී ලංකාවට නිල වශයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමත් ආරම්භ කළා. 1975 දී, චීනය විසින් ශ්‍රී ලංකාවට පිරිනමලා තියෙන්නේ ශිෂ්‍යත්ව 7 යි. 2020 අවුරුද්ද වෙද්දි, ඒ ප්‍රමාණය 250 ඉක්මවලා තිබුණා. මෙහෙම පිරිනමන ශිෂ්‍යත්වවලින් උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි හදාරන්න පුළුවන්. තමන්ගේ වියදමෙන් චීනයේ ඉගෙනගන්න ශ්‍රී ලාංකික ශිෂ්‍යයෝ 1500 කට වැඩි ප්‍රමාණයකුත් ඉන්නවා.

අපේ රටවල් දෙක අතර පවතින අධ්‍යාපන සම්බන්ධකම් මීට වඩා ගොඩක් පුළුල්. ඒත් ඒ හැම එකක් ම කියන්න වෙලාවක් නෑ.

මහජන චීනය ඇති කළ බව ප්‍රකාශයට පත් කරලා අවුරුදු 4 ක් ගත්වෙන්න කලින් - 1953 ජුනි 3 වැනි දා, චීන බෞද්ධ සම්මේලනය ආරම්භ කළා. චීන බෞද්ධ සම්මේලනය විසින් මුලින් ම විදේශ බෞද්ධ දූත කණ්ඩායමක් විදිහට පිළිගත්තේ ශ්‍රී ලංකාවෙන් ගිය බෞද්ධ දූත කණ්ඩායමක්. මේ පිළිගැනීම නො නිල සහ නිල කියන දෙවිදිහට ම සිද්දවෙලා තියෙනවා.

1955 දී, අති පූජ්‍ය නාරාවිල ධම්මරතන ස්වාමීන්වහන්සේ (Naravila Dhammaratana Maha Thera) ප්‍රමුඛ බෞද්ධ දූත කණ්ඩායමක් චීනයට වැඩම කරලා තියෙනවා. චීන බෞද්ධ සම්මේලනය විසින් ඒ දූත කණ්ඩායම හරසරින් පිළි ඇරැගෙන තියෙනවා. 1955 වෙද්දි, අපේ රටවල් දෙක අතර තානාපති සම්බන්ධකම් ඇති කරගෙන තිබුණේ නැති හින්දා ඒ ගමන නො නිල එකක් විදිහටයි ඉතිහාසයට එකතුවෙලා තියෙන්නේ.

කොහොම වුනත්, 1955 දී, ශ්‍රී ලංකාව 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඉංග්‍රීසි බෞද්ධ විශ්වකෝෂයක් හදන්න චීන බෞද්ධ සම්මේලනයේ උදව් ඉල්ලලා තියෙනවා. ඉතින් මහජන චීනය ස්ථාපිත කළාට පස්සේ අපේ රටවල් දෙක අතර ඇතිවෙච්ච මුල් ම විධිමත් බෞද්ධ සහයෝගිතාව විදිහට මේ ගනුදෙනුව සැළැකෙනවා.

අපේ රටවල් දෙක අතර තානාපති සම්බන්ධකම් ආරම්භ කරලා මාස 5 ක් ඇතුළත - 1957 ජුලි මාසයේ දී, පූජනීය නාරද ස්වාමින්වහන්සේ (Ven. Narada Thero) නිල බෞද්ධ දූත කණ්ඩායමකට නායකත්වය දීලා චීනයට වැඩම කරලා තියෙනවා. ‍චීන බෞද්ධ සම්මේලනය විසින් නිල විදිහට පිළිගත්ත මුල් ම විදේශ බෞද්ධ දූත කණ්ඩායම විදිහට ඒ පිරිස සැළැකෙනවා.

ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංවිධාන විශාල ප්‍රමාණයකුත් ඇතිවෙලා තියෙනවා. මම මෙහෙම සංවිධානවල වැඩට සම්බන්ධ වෙලා නැති හින්දා අපේ ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංවිධාන ගැන මට තියෙන්නේ හුඟක් අඩු අවබෝධයක්. කොහොමත්, මේ සංවිධානවලින් විශාල සේවයක් සිද්දවෙන බව මම අහලා තියෙනවා. ශ්‍රී ලංකාව සහ චීන අතර සම්බන්ධකම් විවිධ මාන ඔස්සේ සිද්දවෙනවා වගේ ම මේ සංවිධානවල කටයුතුත් විවිධ මානවලින් සිද්දවෙන බවට සැකයක් නෑ. කොහොම වුනත්, පාට සහ හැටි ස්වභාවය මොකක් වුනත්, මේ සංවිධානවල සේවයත් අපි අගය කරන්න ඕන.

ඉතින් මේ අවස්ථාවේ තමන්ගේ 45 වැනි සංවත්සරය සමරන “ශ්‍රී ලංකා - චීන සංගමය” වෙත මම මගේ සුබපැතුම් පිරිනමනවා. මේ දක්වා කැපැවුණා වගේ ම, තව තවත් කැපැවෙලා අපේ රටවල් දෙක අතර මිත්‍රත්වය ශක්තිමත් කරන්න අවශ්‍ය දායකත්වය ලබාදෙන්න මේ සංගමයට පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

අවසාන වශයෙන්, මට මේ දේශනය කරන්න අවස්ථාව ලබාදීම සම්බන්ධයෙනුත් මම ශ්‍රී ලංකා - චීන සංගමයේ නායක කාරකාදීන්ට මගේ ප්‍රණාමය පළ කරනවා.

බොහොම ස්තුතියි!

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.