ශ්‍රී රෝහණ පාර්ශ්වයේ නිකායරක්ෂක විද්වත් දායක සභාව පිහිටුවයි..- ආචාර්ය දුලිප් පලිහවඩන මහ ලේකම් ධුරයට
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ නිකායරක්ෂක විද්වත් දායක සභාව පිහිටුවා ඇති අතර, එහි මහ ලේකම්වරයා ලෙස ආචාර්ය දුලිප් පලිහවඩන මහතා පත්කර තිබේ.
මහරගමදී පසුගියදා පැවති ශ්‍රී රෝහණ පාර්ශ්වීය නිකායික සභා රැස්වීමකදී, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ඕමාරේ කස්සප මහානායක හිමියන් වහන්සේ විසින් ආචාර්ය දුලිප් පලිහවඩන මහතා වෙත එම පත්කිරීමට අදාළ සන්නස් පත්‍රය පිරිනමන ලදී.
එහිදී අනුශාසනාවක් කළ අතිපූජ්‍ය ඕමාරේ කස්සප මහානායක හිමියෝ, සම්බුද්ධ ශාසනයේ අනාගත පැවැත්ම සහ ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් තම මහානායක ධුර කාලය තුළ ප්‍රධාන කාර්යයන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පැවසූහ.
විශේෂයෙන්ම බෞද්ධ නිකායන් අතර සම්මුතියක් හා සහයෝගීතාවක් ඇතිකර ගැනීම තම මූලික අරමුණක් බව සඳහන් කළ උන්වහන්සේ, සංඝ සමාජයේ පවතින විසිරුණු ස්වභාවය භික්ෂූන් වහන්සේලාට මෙන්ම ගිහි බෞද්ධ ජනතාවටද ගැටලුවක් වී ඇති බව පෙන්වා දුන්හ. එබැවින් ශාසනික හා ජාතික කරුණු සම්බන්ධයෙන් එක්සත් බොදු හඬක් ගොඩනැගීමේ වැදගත්කමද මහානායක හිමියෝ අවධාරණය කළහ.
සියම් නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වය ආරම්භ කිරීමේදී එවකට එහි ප්‍රථම මහානායක ධුරය දැරූ පුරාවිද්‍යා චක්‍රවර්ති මහාචාර්ය කඹුරුපිටියේ වනරතන මහානායක හිමියන් වහන්සේද නිකායන් අතර සහයෝගීතාව සහ පොදු බොදු හඬක අවශ්‍යතාව ඉහළින් අවධාරණය කළ බව අතිපූජ්‍ය ඕමාරේ කස්සප මහානායක හිමියෝ සිහිපත් කළහ.
එම අරමුණු යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා අලුතින් පිහිටුවන ලද ශ්‍රී රෝහණ නිකායරක්ෂක විද්වත් දායක සභාව වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයිද උන්වහන්සේ විශ්වාසය පළ කළහ.
දුලිප් පලිහවඩන මහතාගේ ශාසනික හා ජාතික දායකත්වය
නිකායරක්ෂක විද්වත් දායක සභාවේ මහ ලේකම් ධුරයට පත්වූ ආචාර්ය දුලිප් පලිහවඩන මහතා බොදු ජාතික ව්‍යාපාරය තුළ උපායමාර්ගිකව කටයුතු කරන තරුණ විද්වතෙකු බවද අතිපූජ්‍ය ඕමාරේ කස්සප මහානායක හිමියෝ සඳහන් කළහ.
තමන් වහන්සේ, ප්‍රවීණ ජනමාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සහ ආචාර්ය දුලිප් පලිහවඩන මහතා එක්ව ගොඩනැගූ සංකල්පයක් අනුව රාජ්‍ය අරාජිකත්වය පිළිබඳ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව පිහිටුවීමට කටයුතු කළ බවද උන්වහන්සේ පැවසූහ.
එහි නාමය නිර්මාණය කිරීමේ සිට එය බොදු සමුළුව සමඟ සම්බන්ධ කිරීම දක්වා කටයුතු කරමින්, එහි ලේකම්වරයා ලෙසද ආචාර්ය පලිහවඩන මහතා විශිෂ්ට සේවයක් ඉටු කළ බව මහානායක හිමියෝ සඳහන් කළහ.
ආචාර්ය දුලිප් පලිහවඩන මහතාගේ පාරම්පරික පසුබිම පිළිබඳවද මහානායක හිමියෝ කරුණු දැක්වූහ. මාතර නිල්වලා නිම්නයේ “දානපතියා” යන ආදරණීය විරුදාවලියෙන් හැඳින්වුණු මාලිම්බඩ පහලගනේගම පලිහවඩන රෙජිස්ටාර් රාලහාමි, බංගලාවේ මහ රාලහාමි විසින් ප්‍රදේශයේ විහාරස්ථාන සහ පාසල් ඉදිකරමින් ගොඩනැගූ ආගමික හා අධ්‍යාපනික පදනම අදටත් එම ප්‍රදේශයේ ජනතාවට ප්‍රයෝජනවත් වන බව උන්වහන්සේ පැවසූහ.
එම පරපුරේ උරුමකරුවෙකු ලෙස ආචාර්ය දුලිප් පලිහවඩන මහතාට ශාසනික හා සමාජ වගකීම් දැරීම සඳහා අවශ්‍ය පසුබිම සහ හැකියාව පවතින බවද මහානායක හිමියෝ සඳහන් කළහ.
ධම්මික ආටිගල මහතා සභාපති ධුරයට
ශ්‍රී රෝහණ නිකායරක්ෂක විද්වත් දායක සභාවේ සභාපතිවරයා ලෙස උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂවරයකු මෙන්ම කැලණිය රජමහා විහාරස්ථානයේ හිටපු බස්නායක නිලමේවරයකු වූ ධම්මික ආටිගල මහතා පත්කර තිබේ.
භාණ්ඩාගාරිකවරයා ලෙස ශාන්ත දිසානායක මහතා පත්කර ඇති අතර, ඔවුන් දෙදෙනාට අදාළ පත්වීම් සන්නස් පත්‍රද අතිපූජ්‍ය මහානායක හිමියන් වහන්සේ අතින් එම අවස්ථාවේදී පිරිනමන ලදී.
ධම්මික ආටිගල මහතා රුහුණේ කීර්තිමත් බෞද්ධ ව්‍යාපාරිකයකු වූ දිවංගත උපාලි විජේවර්ධන මහතාගේ ඥාති පුත්‍රයෙකු බවද මහානායක හිමියෝ සඳහන් කළහ.
තම විහාරස්ථානය පිහිටි මාතර කඹුරුපිටිය නගරය මස්කඩ සහ සුරාසැල්වලින් තොර ප්‍රදේශයක් ලෙස පවත්වාගෙන යාම සඳහා එදා සිට පසුබිම සකස් කළේ එම පරපුරේ ප්‍රධානියකු වූ ඩී.සී. විජේසිංහ මහතා, කඹුරුපිටිය ගොඩෝකන්ද වලව්වේ මහ රාලහාමි බවද උන්වහන්සේ පැවසූහ.
ධම්මික ආටිගල මහතා සහ ආචාර්ය දුලිප් පලිහවඩන මහතා එම පරපුරේ මී මුණුපුරන් දෙදෙනෙකු බවද මහානායක හිමියෝ සඳහන් කළහ.
එමෙන්ම භාණ්ඩාගාරික ධුරයට පත්වූ ශාන්ත දිසානායක මහතා “දකුණේ අනේපිඬු සිටුතුමා” යන විරුදාවලියෙන් හැඳින්වුණු දිවංගත බී.ආර්. දිසානායක මහතාගේ ඥාති පුත්‍රයෙකු බවද සඳහන් කෙරිණි.
මෙවැනි පාරම්පරිකව බෞද්ධ ආගමික හා සමාජ කටයුතු සඳහා දායක වූ පවුල් පසුබිමක් සහිත සාමාජිකයන් තිදෙනෙකු නිකායරක්ෂක විද්වත් දායක සභාවේ ප්‍රධාන තනතුරු සඳහා පත්වීම පිළිබඳව තමන් වහන්සේ සතුටු වන බවද අතිපූජ්‍ය මහානායක හිමියෝ පැවසූහ.
කාරක සභාවට විද්වතුන් රැසක්
ශ්‍රී රෝහණ නිකායරක්ෂක විද්වත් දායක සභාවේ කාරක සභිකයන් ලෙස ජනමාධ්‍යවේදී මොහාන් සමරනායක, ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂිකා ශෙනාලි වඩුගේ, සුරේන් අබේගුණසේකර, විශ්‍රාමික විනිසුරු එල්.කේ.එන්. පෙරේරා, නිල්මිණි මඩුගල්ලේ, විශ්‍රාමික බ්‍රිගේඩියර් අතුල ද සිල්වා, එච්.ජී. ගුණසෝම, එම්. හරිස්චන්ද්‍ර, ඉන්දික සහබන්දු සහ නිලංකා කරුණාරත්න යන මහත්ම මහත්මීන් තෝරා පත්කර ගනු ලැබූහ.
නව නිකායරක්ෂක විද්වත් දායක සභාව මගින් ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ශාසනික කටයුතු සඳහා ගිහි විද්වතුන්ගේ දායකත්වය වඩාත් සංවිධානාත්මකව ලබා ගැනීම, නිකාය සංරක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම මෙන්ම බෞද්ධ නිකායන් අතර සම්මුතිය සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමට අපේක්ෂා කෙරේ.
සම්බුද්ධ ශාසනයේ අනාගත පැවැත්ම වෙනුවෙන් භික්ෂු සංඝයා සහ ගිහි බෞද්ධ සමාජය අතර වඩාත් ශක්තිමත්, සංවිධානාත්මක සහ වගකීම් සහිත සම්බන්ධතාවක් ගොඩනැගීම මෙම නව සභාවේ ප්‍රධාන අරමුණක් බවද එහිදී අවධාරණය කෙරිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා