News Category
From Date
To Date
Maximum Number of Result

පරණ තෙල් තොගයට “පුනරුද මිලක්” පටවලා මේ ආණ්ඩුව “ගොනා දෙපාරක් හම ගහලා”... බදු අඩු කරනවා කී අනුර, සහ පුනරුද ආණ්ඩුව රනිල්ගේ බදුත් එක්කම ජනතාව හූරා කනවා... - විමල් වීරවංශ

Mar 22, 2026 at 04:30 PM
|

වර්තමාන රජය විසින් සිදුකරන ලද අසාමාන්‍ය ඉන්ධන මිල ඉහළ දැමීම හුදෙක් ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාමක් නොව, මේ වැඩබැරි කයිවාරුකාර පුනරුද ආණ්ඩුව ජනතාව පීඩාවට පත් කරමින් සිදුකරන “කළුකඩ සූදුවක්” බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. අද (22) පෙරවරුවේ බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රජය විසින් පරණ තෙල් තොග රඳවාගෙන සිට නව මිල ගණන් යටතේ අලෙවි කරමින් අධික ලාභයක් ලබන බව චෝදනා කළ වීරවංශ මහතා, මෙලෙස අදහස් දැක්වීය:

"සෙනසුරාදා දවසෙම ඛනිජ තෙල් සංස්ථාව වහලා දැම්මේ කලින් අඩු මිලට ගෙනාපු තෙල් තොගය බෙදාහරින එක නතර කරන්න. ඒ පරණ තෙල් තොගයම තියාගෙන ඉරිදා එළිවෙද්දී 'පුනරුද ගාණකින්' මිල වැඩි කළා. මේක හරියට “ගොනා දෙපාරක් හම ගහනවා” වගේ වැඩක්. අනුර කුමාර දැන් පත්වෙලා ඉන්නේ ත්‍රාඩ කළුකඩ මුදලාලි කෙනෙක්ගේ මට්ටමටයි."

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පිළිබඳ සංසන්දනාත්මක විග්‍රහයක යෙදුණු ඒ මහතා, 2022 වසරේ බොරතෙල් බැරලයක් ඩොලර් 117ක්ව පැවති සමයේ පැවති මිල ගණන්වලට වඩා වත්මන් මිල ගණන් අතිශය ඉහළ බව පෙන්වා දුන්නේය.

"එදා ඩොලර් 117ට බැරල් එක තියෙද්දී පෙට්‍රල් 177යි, ඩීසල් 121යි. අද බොරතෙල් ඩොලර් 98ට බැසලා තියෙද්දී පෙට්‍රල් 398යි, ඩීසල් 382යි. 'හොරා නොකනවා' කියන පුනරුද කාලේ මහජනයාගෙන් මේ කරන මංකොල්ලය සාධාරණීකරණය කරන්නේ කොහොමද?"

මේ ආකාරයට ජනතාව මුලා කරමින් අසීමිත බදු පනවමින් ජනතාවට බොරු කියමින් අසීමිත ලෙස ලෙස ලාභ ලබමින් රජය ඉන්ධන මිල වැඩි කරන විට, පොදු ප්‍රවාහන සේවයට අවශ්‍ය පහසුකම් නොදුන්නහොත් රටේ ආර්ථිකය බිඳවැටෙන්නට එයම ලොකු හේතුවක් වනවා සැක නැති බව මෙහිදී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

“ඒ විතරක් නෙවෙයි, ධීවරයාට සහනය නොලැබුණොත් මාළු ටික වෙළඳපොළට එන්නේ නැහැ. ආවත් ගිනි ගණන්; මිනිස්සුන්ට මිලදී ගන්න බැහැ. කර්මාන්තකරුවාට අඩු මිලට ඉන්ධන නොලැබුණොත් නිෂ්පාදන පිරිවැය උහුලන්න බැහැ. නිෂ්පාදන පිරිවැය ඉහළ ගියොත් විදේශ වෙළඳපොළ සමඟ තරඟ කරන්න බැහැ; දේශීය වෙළඳපොළෙත් ගන්න මිනිහෙක් නැහැ. ඊළඟට ගොවියාගේ ගොයම් කපන යන්ත්‍රයට ගහන තෙල් ටික ඉහළ ගියොත්, ගොවියා කපන නෙලන අස්වැන්නෙන් එන වී ටික ගණන් යනවා. ඊළඟට ඔය කියන අඩු ගාණට දෙන්න බැහැ. වී ටික ගණන් ගියාම පාරිභෝගිකයාට යනවා තුන් හතර ගුණයකින් වැඩිවෙලා හාල් ටික ගණන් ගිහිල්ලා, එළවළු ටික ගණන් ගිහිල්ලා, අල ගෙඩිය ගණන් ගිහිල්ලා. ඒ නිසා නිෂ්පාදන පද්ධතිය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. ආහාර සුරක්ෂිතතාව සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. විදේශ විනිමය ඉපයීමේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා.”

රට සහ ජනතාව මෙවන් බයානක විපතකට මුහුණ පා සිටියදී ආණ්ඩුවේ ක්‍රියාවන් සාධාරණීකරණය කරන මේ රටේ ඇතැම් “ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය” ක්‍රියාකාරීන් දැඩි විවේචනයට ලක් කළ වීරවංශ මහතා ඔවුන්ව හඳුන්වා දුන්නේ "සේදුම් බලකාය" සහ "පැරසිටමෝල් බලකාය" ලෙසිනි.

“සමාජ මාධ්‍යවල ඉන්න අර 'සේදුම් බලකාය' දැන් කියනවා “ මේක ඉතින්ලෝකේ ප්‍රශ්නයක්නේ, මොනවා කරන්නද' කියලා. උන් හරියට 'පැරසිටමෝල් බලකාය' වගේ. උණසන්නිපාතය හැදුණාම පැරසිටමෝල් පෙති දෙකක් දීලා සනීප කරන්න හදනවා. 'තුන්හුලස' වගේ චැනල් මාෆියා දාලා ලෝක ප්‍රවෘත්ති පෙන්නලා ජනතාව අන්දන්න හදනවා. කොවිඩ් කාලේ එයාලා වැඩිබිර පෙන්නුවේ ලෝකල් නිවුස්. පෝලින් නිවුස්... දැන් පෙන්වන්නේ ෆොරින් නිවුස්...”

ගල් අඟුරු ප්‍රසම්පාදනයේදී සිදුවන වංචා සහ ඉන්ධන මත පටවා ඇති අධික බදු බර වහාම ඉවත් කර පොදු ප්‍රවාහනයට, ගොවියාට සහ ධීවරයාට සහන ලබාදිය යුතු බව ඔහු අවධාරණය කළේය. එසේ නොමැති නම් පීඩාවට පත් ජනතාව සමඟ පාරට බැස මෙම "හිතක් පපුවක් නැති කළුකඩ ආණ්ඩුවට" එරෙහිව සටන් කිරීමට සූදානම් බවද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

ජා. නි. පෙ. නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කරන ලද සම්පූර්ණ කතාව මෙසේය.

"සුබ උදෑසනක් සියලුම මාධ්‍යවේදී සහෝදරවරුන්ට. අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව ජාතික නිදහස් පෙරමුණ හැටියට අපි පවත්වන්න කඩිනමින් තීරණය කළේ ඉන්ධන මිල සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අතිශය අසාමාන්‍ය මිල ඉහළ යාමත්, ජනතාවට දරාගන්න නෙවෙයි, දරාගැනීමේ සීමාවන් අභිභවා ගිය මිල ඉහළ යාමත්, ඒ මිල ඉහළ යාම පිළිබඳව ඒ සාධාරණීකරණය කරන්න කළුකඩ ආණ්ඩුව කරනු ලබන විග්‍රහයත්, ඒ විග්‍රහයේ තියෙන මිත්‍යාවත් පිළිබඳව ඔබට, මේ රටේ පොදු ජනතාවට කරුණු අනාවරණය කර දීමට. ඒක අපේ වගකීමක්, ඒක අපේ යුතුකමක්, ඒ වගේම අත්හළ නොහැකි කාර්යභාරයක්. 

ඔබ කවුරුත් දන්නවා ලංකා සුදු ඩීසල් ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා රුපියල් 79කින් වැඩි වුණා, රුපියල් 382ක් බවට පත් වුණා. සුපිරි ඩීසල් රුපියල් 90කින් වැඩි වුණා, 443ක් බවට පත් වුණා. ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 90කින් වැඩි වුණා, ඒ අනුව රුපියල් 455ක් වුණා. ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 81කින් වැඩි වුණා, ඒ අනුව 398ක් වුණා. ලංකා භූමිතෙල් රුපියල් 60කින් වැඩි වුණා, ඒ අනුව 225ක් වුණා. එතකොට දැන් මේ වැඩි වුණේ මේ ඊයේ නැවකින් අලුතෙන් ගෙනල්ලා ගොඩබාපු තෙල්ද?.

අපි හිතමු හවස හයට ගෙනාපු නැවකද මේ? එහෙම නැත්නම් ඊයේ උදේ 10ට ගෙනාපු නැවක්ද, එහෙම නැත්නම් පෙරේදා ගෙනාපු නැවක තිබිච්ච තෙල්ද?. එහෙම වෙන්නේ කොහොමද? ඇයි පෙට්‍රෝලියම් එක සෙනසුරාදා වැහුවේ? සෙනසුරාදාට එළිවෙන්න එකපාර කඩිමුඩියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැහුවේ ඇයි?. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැහුවේ තියෙන තෙල් තොගය, කලින් ගෙනාපු අඩු මිලට ගෙනාපු තෙල් තොගය එළෙසින්ම තබාගන්න, ඒක වැය වෙන එක නතර කරගන්න. ඒ නිසා තමයි බවුසර් අරගෙන තෙල් පිරවුම්හල් අලෙවි නියෝජිතයන්ගේ බවුසර් අරගෙන ආවා තෙල් ගන්න, ඒවා නැවත හැරිලා ගියා. 

එතකොට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහ රෑ වහලා මුළු දවසක්ම තෙල් බෙදා හැරීම නතර කරලා ගෙනල්ලා තිබිච්ච පරණ තෙල් ටික තොගය එහෙමම තියාගෙන, ඉරිදාට එළිවෙන්න තෙල් ටික මිල ඉහළ දැම්මා, පොඩි ගාණකින් නෙමෙයි සුපිරි ගාණකින්, පුනරුද ගාණකින් නැග්ගුවා. එතකොට ඒකෙන් අපිට පැහැදිලිව පේනවා මේ මිල වැඩි වීම කළේ මිල වැඩි වීම පිළිබඳ ප්‍රශ්නයට බලපාන ලද තෙල් තොගයක් සඳහා නෙවෙයි, මීට කලින් කරපු මිල වැඩි කිරීමට අනුව ගැලපෙන තෙල් තොගයට තමයි මේ මිල වැඩි කිරීම කළේ.

ඒක අන්තිම අසාධාරණයි, මේ යුද්ධය පෙන්නලා කරන සුද්ධයක් ඒක. අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් මහත්තයෝ කියන්න ඉරිදාට වැඩිවෙන්න ඇරපු තෙල්, මිල ඉහළ යාමට බලපාපු තෙල් තොගය ගෙනාපු දවස, බාපු දවස. පුළුවන් නම් කියන්න, කට ඇරලා කියන්න, උත්තර නැහැ, කියන්න බැහැ. මීට දවස් කීපයකට කලින් මිල වැඩි කළා, ඒ මිල වැඩි කළේ ගෙනාපු තොගයට ගැලපෙන මිල වැඩි කිරීම. 

තෙල් තොගයෙන් කොටසක් තියාගෙන ඒ තෙල් කොටසට තමයි මේ අධික මිල වැඩි කිරීම කළේ. මේක “ගොනා දෙපාරක් හමගහනවා” වගේ වැඩක්. දැන් සාමාන්‍යයෙන් මේ වගේ වැඩ කරන්නේ කළුකඩ මුදලාලිලා. මිල ඉහළ යනවා කියලා පේනවා නම් ටක් ගාලා හංග ගන්නවා, හංග ගත්ත තොගයට අධික ලාභයක් ලබනවා. මේක කළුකඩ ආණ්ඩුවක්, අනුර කුමාර කියන්නේ “කළුකඩ මුදලාලි” කෙනෙක්, ඒ තත්ත්වයට පත්වෙලා තියෙනවා. මහජනයා අපා දුකේ ජීවත් වෙනවා, තුන් වේල නෙවෙයි දෙවේල නෙවෙයි එක වේලක් කන්නේ කොහොමද කියලා හූල්ලනවා. රටෙන් හතරෙන් එකක් දුප්පතුන් කියලා වාර්තා වෙනවා, මෙහෙම ගියොත් 75%ක් දුප්පතුන් වෙලා තියෙයි.

ඒ නිසා මේ කිසිවක් ගැන තකන්නේ නැතුව, හිතක් පපුවක් නැතුව ත්‍රාඩ කළුකඩ මුදලාලි කෙනෙක්ගේ ආණ්ඩුවක් වගේ මේ මිල වැඩි කිරීම කළේ “ලෝකය” පෙන්න පෙන්නා. අපිට පෙන්නනවා... දැන් මේ නාලිකා දෙකක් තියෙනවා, මරු නාලිකා දෙකක්, අර තුන් හුලස් එකයි... අර ආණ්ඩුවේ අනිත් මොකක්ද එකයි. ඒගොල්ලෝ කරන්නේ මොකක්ද? දැන් මේ දවස්වල ජාත්‍යන්තර ප්‍රවෘත්ති, වෙන මුකුත් නැහැ, ලෝක ප්‍රවෘත්ති. කොවිඩ් කාලේ ලෝකල් ප්‍රවෘත්ති, පෝලිම් ප්‍රවෘත්ති, දැන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති පෙන්නනවා ලැජ්ජා නැතුව ගිහිල්ලා. වියට්නාමේ මෙහෙමයි, අරෙහේ මෙහෙමයි.... ගිහිල්ලා පෙන්නනවාකෝ මාලදිවයිනේ කොහොමද කියලා, ඔච්චර ඈත යන්න ඕනේ නැහැ, මාලදිවයිනේ කොහොමද කියලා පෙන්නන්න, තෙල් පෝලිම් තියෙනවද කියලා පෙන්නන්න. තෙල් පෝලිම් කොච්චර තියෙනවද කියලා හොයන්න, මැදපෙරදිග අතහැරලා සල්ලිකාර සංචාරකයෝ මාලදිවයිනේ දූපත් පිටින් අරන් පදිංචි වෙලා.

මෙහෙට එන්නේ හිඟන සංචාරකයෝ, අන්න වැලිගම පැත්තේ ෆුඩ් සිටියකට ගිහිල්ලා බෑග් දෙකක් අරන් ගිහිල්ලා දත්මදින්න බුරුසුවයි ටූත් පේස්ට් ටිකයි ගන්නකොට පොලිසියට අහුවෙලා. ත්‍රීවිලර්වලවත් යන්නේ නැති කබ්බො ටිකක් අපට එන්නේ. බස් එකේ යන..., අඩු ගානේ මැද පෙඑදිග මේ සංචාරකයෝ ටික මෙහෙට හසු කරගන්නවත් ක්‍රමයක් තිබ්බේ නැහැ. මාලදිවයිනේ පෝලිම් ඇත්තෙත් නැහැ, ලයිට් කපන කතා කියන්නෙත් නැහැ, කලින්ටත් වඩා සංචාරකයෝ ඇවිල්ලා පිරී ඉතිරී ගිහිල්ලා. අපිට පෙන්නන්න එනවා ඕස්ට්‍රේලියාවේ වැඩි වෙච්ච එක රුපියල් වලින්. ඒ රටවල් වල මිනිස්සුන්ට ඒක දරාගන්න පුළුවන්, එයාලට ඒක දරාගන්න පුලුවන්. මෙතන දරා ගැනීමේ ශක්තිය අහිමි කොට තිබෙනවා. ඒ නිසා ඒවා පෙන්න පෙන්න මේක සාධාරණීකරණය කරන්න එන්න එපා. පරණ තෙල් තොග නෙවෙයි එහෙ වැඩි කරන්නේ...  එහෙ වැඩි කරනවනම් වැඩි කරන්නේ අලුතෙන් ගෙනාපු තෙල් තොග.

අපි පැහැදිලිව කියනවා මේ පරණ තෙල් තොගයටයි මේ අයුක්තිසහගත මිල වැඩි කිරීම කළේ. මේක අසාධාරණයි, මේක සාධාරණීකරණය කරන්න කිසිම කෙනෙකුට බැහැ. ලැජ්ජා නැති තුන් හුලස රවුන් කරත් බැහැ. තුන්හුලසට සම්තින් හම්බවෙනවනේ.... ඒ වැඩේ යටින් සිද්ධ වෙනවනේ. ඒකනේ මේ කුප්ප වැඩේ සාධාරණීකරණය කරන්න. ඒගොල්ලෝ ඔක්කොම රවුන් කරනවා, ලැජ්ජ නැති තුන් හුලස බලන්නවත් එපා කියලා අපි මේ රටේ ජනතාවට කියනවා. ඒ විතරක් නෙවෙයි, 2022 ඉතිහාසයේ මෑත අවුරුදු 20ක කාලය තුළ තෙල් මිලේ තුන්වෙනි වැඩිවීම වුණේ 20 22දි.  රුසියාව හා යුක්‍රේනය සම්බන්ධ යුදමය තත්ත්වය නිසා. එතකොට 2022 ජනවාරි ඩොලර් 89යි බැරල් එකක්, පෙබරවාරි ඩොලර් 97යි, මාර්තු ඩොලර් 117යි. අද තාම 117ට ගියේ නැහැ, ඊයේ රෑ මම බැලුවා ඩොලර් 98.8යි.  ඊට කලින් ගියේ 105 යි 110යි අතර. ‍

 රුසියාව ලෝකයේ ඉහළම ඉන්ධන සැපයුම්කරුවෙක්, ඒ වගේම ඊට සම්බාදක දැම්මා, ඉන්ධන දී ගන්න බැරිවුනා වෙළදපොළට. ගැටුමත් එක්ක ඉල්ලුම වැඩියි සැපයුම අඩුයි, මිල ඉහළ ගියා. 2022 මාර්තු වෙනකොට බොරතෙල් මිල ඩොලර් 117 වුණා බැරලය. 

ඒ වෙලාවේ ලංකාවේ තෙල් මිල කීයද? භූමිතෙල් රුපියල් 87යි, පෙට්‍රල් 177යි, ඩීසල් 121යි. අන්න හොරා කන කාලේ, දැන් මේ හොරා නොකනවායයි කියන පුනරුද කාලේ කොහොමද?. හොරා නොකනවා යයි කියමින් හොරාකන අනුර කුමාරගේ කාලේ භූමිතෙල් 225යි, එදා 87යි. පෙට්‍රල් අද 398යි, එදා 177යි. ඩීසල් අද 382යි, එදා 121යි. දැන් බොරතෙල් මිල ලෝක වෙළඳපොලේ ඉහළ යාම නිසා නම් මේ ඔක්කොම වෙන්නේ, එදා කොහොමද ඩොලර් 117 බොරතෙල් තිබ්බ වෙලාවේ පෙට්‍රල් 177ට දුන්නේ?. එදා කොහොමද ඩීසල් රුපියල් 121ට දෙන්නේ, භූමිතෙල් රුපියල් 87ට දෙන්නේ. අද බොරතෙල් ඩොලර් 98.8යි බැරල් එකක මිල... එහෙම තියෙද්දී අපි ගෙවනවා භූමිතෙල් වලට 225ක්. අහිංසක දුප්පත් ධීවරයාට ඕන කරන භූමිතෙල් 225යි, මාළු කන්න හම්බවෙන්නේ නැහැ මේ යන විදිහට. පෙට්රල් 398යි. 382යි ඩීසල්. මේ කරන්නේ බොරතෙල් ඩොලර් 98.8 වෙළද පොලේ තියෙන වෙලාවේ බව අමතක කරන්න එපා.

මේගොල්ලෝ කරන්නේ මරු සූදුවක්, ඉරානයට එරෙහි යුද්ධය පෙන්නලා තමයි මේ අය මේ අධික වාසි ලබන්නේ, අධික මුදල් එකතු කර ගැනීමකට යනවා මහජනතාව පීඩනයෙන් පීඩනයට පත් කරලා. ඒ අතර මෙයාලා බද්දේ කතාවක් කිව්වනේ.... මේගොල්ලෝ බලයට එන්න කලින් කිව්වා බද්ද මෙච්චරයි, බදු අඩු කරපු ගමන් තෙල් ලීටර් එකක මිල මෙච්චරයි කියලා. අපි ආවොත් අඩු කරනවා කිව්වා. දැන් මොකද කියන්නේ...?

දැන් අපි දන්නවා පෙට්‍රල් ලීටර් එකකට රුපියල් 120ක් බදු, ඩීසල් වලට රුපියල් 135ක් බදු. ඔයය රුපියල් 300 ගණන් 400 ගණන් තියෙන එකෙන් ලීටරයකට රජයෙ බදු එහෙමයි. එතකොට මේ අධික බදු ගන්න එක සාධාරණීකරණය කළේ කොහොමද?. මැර්තු 17 මාධ්‍ය සාච්ඡාවක් තිබ්බනේ. ඒකෙදී ජනාධිපති අනුර කුමාර කියනවා තෙල් සංස්ථාවේ ණය කෝටි 90 000ක් අපි භාණ්ඩාගාරයට බාර ගත්තා කියලා. අපි කියලා කිව්වේ. ඊට කලින් මාර්තු 3 පාර්ලිමේන්තුවේදී කියනවා බිලියන 884 ‍තෙල් සංස්ථා ණය අපි භාණ්ඩාගාරයට අරගෙන තියනවා කියලා. ඇත්තටම මේක කවුද කළේ... මේක මුලින්ම කළේ 2023 ඇත්තටම කළේ රනිල් වික්‍රමසිංහ. ඕගොල්ලොන්ගේ ඇණ්ඩුවට රනිලුල් අයිතිද...කාවද මේ රවට්ටන්න හදන්නේ...  අර සේදුම් බලකායේ ඉන්න මෝඩ ගොන් හැත්ත රවට්ටන්න පුළුවන්, මේ පොදු ජනතාව ඒ ජාතියේ ගොන්නු කියලා හිතන්න එන්න එපා.

ඔය කියන භාණ්ඩාගාරයට ගත්තු ණය තොගයේ කියන කෝටි 90 000න් කෝටි 65 000ක් විතරම ගෙවලා ඉවර කළා. ඒ පහුගිය ආණ්ඩුව, වික්‍රමසිංහ මහත්තයා හිටපු ආණ්ඩුව. එතකොට තව තියෙන්නේ සොච්චමයි. ඒ සොච්චම පෙන්න පෙන්න තමයි මේ ගහන ගැහිල්ල ගහන්නේ. ඒ සොච්චම පෙන්න පෙන්න තමයි මේ අධික මිල ඉහළ දැමීම කරන්නේ. ඒ නිසා කතාව වැඩක් නැහැ. විපක්ෂයේ ඉන්නකොට කිව්වා නම් කතාව, ඕගොල්ලෝ එන්න කලින් 2023 තමයි පෙට්‍රෝලියම් එකෙන් ණය මහණ්ඩාගාරයට ගත්තේ. මේ ගහන බද්දෙන් සුළු කොටසයි යන්නේ ඒ මහා භාණ්ඩාගාරයට ගත්තු මුදලට. ඊට පස්සේ ඉතුරු වෙනවා තවත් විශාල කොටසක්. දැන් ඒ දෙකම තියාගෙන, බදු අඩු කරලා තෙල් මිල අඩු කරනවා කියපු උන්දලා දැන් ඒ දෙකම තියාගෙන සාධාරණීකරණය කරනවා. රනිල් වික්‍රමසිංහගේ කාලේ ගත්තු කරපු දේවලුත් අපේ කාලේ කිය කිය කියනවා ලැජ්ජා නැතුව. 

මේ වගේ නිර්ලජ්ජිත පාලනයක් නම් මෑත කාලේ අපි කවුරුත් දැකලා නැහැ. බොරු කියන්න බයකුත් නැහැ, ලැජ්ජාවකුත් නැහැ, කිසිම අවුලක් නැහැ. බොරු කියලා නන්නත්තාර වුණාම 'මම නම් පාර්ලිමේන්තුවේ ඉන්නේ බොරු කියන්න' කියලත් කියනවා. ඒ තරමට බොරු කිරීම දැන් ලැජ්ජා නැති දෙයක් බවට පත්වෙලා. එතකොට අපි දන්නවා මෙතන වෙන්නේ මොකක්ද කියලා. 

අපි පැහැදිලිව ආණ්ඩුවට කියනවා, මේ ඉරානයට එරෙහිව ඇමෙරිකානු-ඊශ්‍රායල් යුද්ධය පෙන්නලා මේක සාධාරණීකරණය කරන්න එපා මේ කළුකඩ මිල ඉහළ දැමීම. ඒ නිසා අපි ඉතා කඩිනමින් කියනවා පොදුවේ ඒ බදු බර අඩු කරන්න බැරි නම් අඩුම තරමේ මේ රටේ පොදු ප්‍රවාහනයට, ඒ වගේම ගොවියාට, ඒ වගේම ධීවරයාට, කර්මාන්තකරුවන්ට සුවිශේෂී මිල අඩු කිරීමක් කරන්න. පොදුවේ මිල අඩු කළ යුතුයි; කරන්න පුළුවන්. ඔය භාණ්ඩාගාරයට දෙන එක මේකෙන් දැන් භාගෙකට වඩා දීලා ඉවරයි කලින් ආණ්ඩුව. ඉතුරු සොච්චම දෙන්න පුළුවන්; ඒක දුන්නමත් ඉතුරු වෙනවා විශාල බදු පංගුවක්. ඒකෙන් කොටසක් අයින් කරන්න පුළුවන්. අයින් කරලා මේ දුකෙන් දුකට, විපතෙන් විපතට, අසරණභාවයෙන් අසරණභාවයට පත්වෙලා හූල්ල හූල්ල ඉන්න මිනිස්සුන්ට සහනයක් දෙන්න පුළුවන්. 

ඒ විතරක් නෙවෙයි, ධීවරයාට සහනය නොලැබුණොත් මාළු ටික වෙළඳපොළට එන්නේ නැහැ. ආවත් ගිනි ගණන්; මිනිස්සුන්ට මිලදී ගන්න බැහැ. කර්මාන්තකරුවාට අඩු මිලට ඉන්ධන නොලැබුණොත් නිෂ්පාදන පිරිවැය උහුලන්න බැහැ. නිෂ්පාදන පිරිවැය ඉහළ ගියොත් විදේශ වෙළඳපොළ සමඟ තරඟ කරන්න බැහැ; දේශීය වෙළඳපොළෙත් ගන්න මිනිහෙක් නැහැ. ඊළඟට ගොවියාගේ ගොයම් කපන යන්ත්‍රයට ගහන තෙල් ටික ඉහළ ගියොත්, ගොවියා කපන නෙලන අස්වැන්නෙන් එන වී ටික ගණන් යනවා. ඊළඟට ඔය කියන අඩු ගාණට දෙන්න බැහැ. වී ටික ගණන් ගියාම පාරිභෝගිකයාට යනවා තුන් හතර ගුණයකින් වැඩිවෙලා හාල් ටික ගණන් ගිහිල්ලා, එළවළු ටික ගණන් ගිහිල්ලා, අල ගෙඩිය ගණන් ගිහිල්ලා. ඒ නිසා නිෂ්පාදන පද්ධතිය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. ආහාර සුරක්ෂිතතාව සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. විදේශ විනිමය ඉපයීමේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. 

අඩු ගාණේ මොළයකින් කාලක් හරි තියෙනවා නම්, පොදු ප්‍රවාහනයට සහ ඒ කියපු අනෙකුත් අංශ තුනටවත් සුවිශේෂී ලෙස මිල අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි. එසේ නොකරන්නේ නම් ආණ්ඩුව කරන්නේ නිෂ්පාදන ක්‍රියාදාමය බිඳ වට්ටන එකයි. ධීවරයාට මුහුදු ගිහිල්ලා මාළු අල්ලන් ආවාට කන්න එකෙක් රට ඇතුළේ නැති වෙනවා. ගොවියාට පොහොර ටිකත් නැහැ, ටිකක් ණයට අරගෙන හරි වගා කරගත්තොත් අස්වැන්න නෙලාගන්න විදිහක් නැහැ. මොකද තෙල් ගහගන්න වෙන්නේ අධික මිලට; පිරිවැය වැඩියි. ඉහළ මිලකට තමයි දෙන්න වෙන්නේ. එතකොට වෙන්නේ අනිවාර්යයෙන්ම ගොවියා අධෛර්යයට පත්වෙනවා; කෘෂිකර්මාන්තය කඩාගෙන වැටෙනවා. එළවළු වගාව කඩාගෙන වැටෙනවා. දේශීය ආහාර සුරක්ෂිතතාව බිඳ වැටෙනවා. මේකේ ප්‍රතිඵල ඉතා භයානකයි. 

අද ඉඳන්ම පොදු ප්‍රවාහන මිල ඉහළයි, ත්‍රීවීල් අරවා මේවා මිල ඉහළයි. සියලුම දේවල්, ආප්පයේ ඉඳන් කෝප්පයට, ප්ලේන්ටියට වෙනකම් ඔක්කොම ටික ඉහළ දානවා. ඒ නිසා මේක සහගහන අපරාධයක්. සමාජයක් කෙරෙහි, රටක් කෙරෙහි, ජන සමාජයක් කෙරෙහි සහකම්පනයක් තියෙන පාලනයකට ගන්න බැරි විදියේ නරුම තීරණයක් මේ ගත්තේ. ඒ නරුම තීරණය සාධාරණීකරණය කරන්න අර චැනල් මාෆියා දෙක තුන මේ රවුන් කර කර ලෝක වෙළඳපොළ පෙන්න පෙන්න අපිව අන්දන්න එන්න එපා. ලෝක වෙළඳපොළ අනුව නෙවෙයි මේ වැඩේ වෙන්නේ, ආණ්ඩුවේ කළුකඩ ව්‍යාපාරයක් පටන් අරන් තියෙන්නේ. 

ඒ නිසා අපි ඉතා කඩිනමින් කියනවා, ඒ අතරේ ජනාධිපතිතුමා කියනවා රාත්‍රී කාලයේදී විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන ආරෝපණය කරන්න (charge කරන්න) එපා කියලා. කවුද දන්නේ නැහැ ජනාධිපතිවරයාට මේක කිව්වේ? මෙගාවොට් 300ක් විතර යනවලු ඕවා ආරෝපණය කළොත් රාත්‍රී කාලයේදී. විශේෂඥයින් මේ වන විටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා, අර මම දැක්කා අර රැලපනා මහත්මයත් කියලා තියෙනවා, මෙගාවොට් 300ක් වැය වෙන්නේ නැහැ කියලා. අපේ රටේ තියෙන විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන ඔක්කොම එකපාර චාර්ජ් එකට දැම්මත්, එකපාර චාර්ජ් කරන්න ගත්තත් මෙගාවොට් 100ක් යයි වැඩිම වුණොත්. දැන් තියෙන වාහන වගේ තුන් හතර ගුණයක් ලංකාවට ආවොත් විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන, ඒ සියලු වාහනත් ශුභ නැකතට එක මොහොතට ඔක්කොම එකට කතා වෙලා චාර්ජ් කළොත් විතරක් ඔන්න මෙගාවොට් 300ක් යයි. 

මේ ගොන් කතා කියන්නේ මොකක් නිසාද දන්නවද? දැන් ඔය වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි පොසිල ඉන්ධන වලින් විදුලිය නිපදවන්න ඕන කට්ටිය කියන ගොන් කතා තමයි රටේ ජනාධිපති අපිට කියන්නේ; ගුවන් කාලය අපහරණයට පත් කරමින්. ඒ නිසා බොහොම පැහැදිලියි, මේක සාධාරණීකරණය කරන්න බැහැ. 

ගල් අඟුරු හොරකම කළා; දැන් ඊළඟට වැඩේ දැන් මේ තෙල් පෝලිම තාම තියෙනවා. තාම කිව්වාර් (QR) එක හරියට වැඩ නැහැ. කිව්වාර් එකේ වාසනාවන්තයොත් ඉන්නවා, අවාසනාවන්තයොත් ඉන්නවා. කිව්වාර් එක වැඩ කළොත් 'යූ' ගාලා සතුටු වෙන්න පුළුවන්, නමුත් වැඩ නොකරන මිනිස්සුන්ට අඬන්න පුළුවන්. තෙල් නැහැ. දැන් ඒ මිනිස්සු තෙල් ගහගන්න ගියාම විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනකොට ඒ මිනිස්සු වේදනාව පිට කරනවා. 

දැන් ඒ සමාජ මාධ්‍ය වලට දාලා තිබුණා, එක්තරා සංචාරක මඟ පෙන්වන්නෙක් - පහුගිය දවස්වල සංචාරකයන් ගෙනියන කාර් එක අරන් ගිහිල්ලා ගම්පොළ පැත්තේ පෙට්‍රල් ෂෙඩ් එකකින් තෙල් ගහගන්න බැහැ කිව්වාම ප්‍රශ්නේ හින්දා - ඔහු ඉංග්‍රීසියෙන් අදහස් දක්වමින් වීඩියෝ පටයක් නිකුත් කරනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ විදේශීය සංචාරකයන්ට: 'මෙන්න මේකයි තත්ත්වය. මම මේ ඉන්නේ අහවල් පෙට්‍රල් ෂෙඩ් එකේ. මේකේ දැන් මේ කිව්වාර් ප්‍රශ්නයක් හින්දා මට තෙල් ගහන්නෙත් නැහැ. ඒ නිසා ඔබ මේ රටට ලංකාවට එනවා නම් එන්න ඕනේ මේ ප්‍රශ්නය සමථයකට පත් වුණාට පස්සේ. කරුණාකරලා මේ ප්‍රශ්නය තියෙන තෙක් ඔබ එන්න එපා' කියලා කියන්නේ. 

දැන් ඔන්න ඔක්කොම වැඩ නවත්තලා අනුර කුමාර මහත්තයාගේ පොලිස් ආණ්ඩුව, පොලිස් රාජ්‍යය, සියලු වැඩ කටයුතු නතර කරලා මධ්‍යම අපරාධ විමර්ශන අංශය යොදවලා, මහනුවර වත්තේගම නුවර පාරේ හිටපු මේ මනුස්සයාව ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන. රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වලටලු! දැන් කොවිඩ් කාලේ සුනිල් හඳුන්නෙත්ති ප්‍රසිද්ධියේ මේ රටේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට 'ඩොලර් එවන්න එපා' කියපු එක කොයිතරම් අපරාධකාරී කතාවක්ද? එහෙම කියපු ඒවටවත් එදා නීතිය ක්‍රියාත්මක කළාද? මේ සංචාරක මඟ පෙන්වන්නා තමන්ගේ සංචාරකයන්ට වගකීමක් තියෙන නිසා කියනවා 'මේ ප්‍රශ්නය විසඳුණාම වරෙල්ලා, දැම්ම නම් එන්න එපා නිකන් රස්තියාදු වෙන්න වෙනවා' කියලා. ඒවට බොහොම ටක් ගාලා ඇක්ෂන් ගන්නවා. 

ඒ නිසා මේ කටවල් වහලා නෙමෙයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. බොරු ගොතලා පෙන්නලත් නෙවෙයි. ඔය ඕගොල්ලොන්ගේ ඔය චැනල් දෙක තුනෙන් බොරු ගොතලා පෙන්නලත් නෙවෙයි. ඒ නිසා කරුණාකරලා, මේ රටේ මහජනයා මත මේ දරුණු පීඩනය පටවලා අත පිහිදාගන්න එන්න එපා ඉරානය පෙන්නලා. ඒ නිසා වහාම මේ මිල තමන් ගහන අධික බදු වලින් අඩු කිරීම කළ යුතුයි. එසේ නොකරන්නේ නම් මේ රටේ පොදු ජනතාව සියලු දෙනා පාරට බැහැලා මේ හිතක් පපුවක් නැති කළුකඩ ආණ්ඩුවට තමන්ගේ විරෝධය පළ කිරීම සඳහා සූදානම් වෙන්න කියන ආරාධනාව අපි ජාතික නිදහස් පෙරමුණ හැටියට කරනවා. 

අනිත් එක තමයි ඒ එක්කම අපි පොලීසියට කියනවා, ඔය උඩින් නියෝග ආවාට ඔය වගේ අත්අඩංගුවට ගන්න යන්න එපා. මේක තමන්ට රාජකාරිය කරන්න කියලා පාබල දෙන ආණ්ඩුවක්. දැක්කනේ අර ආවා මොඩියුලර් වලට අසූචි බාපු එක. ඒක ආපු ගමන් පරීක්ෂණය කරලා නිලධාරීන් පිටින් ඇරියා. අන්තිමට අහුවෙන්නේ තමුන්වහන්සේලා! පොලීසියේ මහත්තුරුන්ට අපි කියන්නේ; ඒ නිසා නිකන් ඔය කුණු කුණු නියෝග ආවාට නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් කරලා මානව හිමිකම් නඩු පටවා ගන්න එපා. තමුන්වහන්සේලාට පුද්ගලිකවයි ඒවට වගකියන්න වෙන්නේ. අපි මේ ආදරෙන් කියන්නේ මේ රටේ පොලිස් නිලධාරීන්ට. ඕඩර්ස් දෙන එකා නෙවෙයි එතනදී උසාවි යන්නේ, හිරේ යන්නේ, උසස්වීම නැති වෙන්නේ. ඕඩර් දෙන්නේ උසස්වීම් ගත්තු මිනිහා. මේ පොලිස්පති කොස්තාපල් පුඤ්ඤසෝම, එයාට දැන් උසස්වීම හම්බවෙලා ඉවරයි. අන්න අර උසස්වීම් තව බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට තමයි මානව හිමිකම් නඩු ගියාම උසස්වීම් නැති වෙන්නේ. ඒ නිසා කරුණාකරලා උඩින් එන නියෝග පිළිපදින්න කලින් දහ වතාවක්, සිය වතාවක් හිතන්න කියලා අපි මේ රටේ පොලිස් නිලධාරී මහත්තුරුන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා. 

ඒ වගේම ඔබ දන්නවා ඊයේ පෙරේදා ස්පොට් ටෙන්ඩර් එකක් කියලා එකක් ගියා ගල් අඟුරු ගේන්න. දැන් ඔබ දන්නවා මේ රටේ ඔය ඉරාන යුද්ධය පටන් ගන්න කලින් තමයි, ඉරාන ආක්‍රමණය පටන් ගන්න කලින් තමයි බාල ගල් අඟුරු ගෙනල්ලා නියමිත විදුලිය ප්‍රමාණය උත්පාදනය කරන්න බැරි වුණේ. ඒ නිසා පහුගිය මාර්තු පළවෙනිදා විතරක් ඒ නොරොච්චෝලේ විදුලි ප්ලාන්ට් තුනෙන් මෙගාවොට් 900ක් උපදවන්න තියෙන ප්ලාන්ට් තුනෙන් උපදවලා තියෙන්නේ මෙගාවොට් 132ක් අඩුවෙන්. එතකොට මේ අඩුවෙන් අඩුවෙච්ච විදුලිය ප්‍රමාණය ඉපදෙව්වේ තෙල් වලින්. එතකොට මේ අමාරු වෙලාවේ ලංකාවට ගේන තෙල් නැවකින් එක තෙල් නැවකින් 180ක් විතර යනවා; කෝටි ගාණක වටිනාකම තියෙන තෙල් යනවා අර ගල් අඟුරු ගෙනල්ලා නියමිත විදුලි ප්‍රමාණය උත්පාදනය කරගන්න බැරි වෙච්ච නිසා ඒ හිඟය තෙල් වලින් උපදවන්න ගියාම යන වියදම. ඒක අධික පාඩුවක්. කෝටි ගාණක පාඩුවක්. එක නැවකින් 180ක තෙල් එතනට කොටන්න වෙනවා දෛනිකව. 

එතකොට දැන් මේගොල්ලෝ මේ විදිහට කරලා දැන් මේ වැඩේ හත්පොළේ ගාගෙන. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ගල් අඟුරු ගේන්න ඒ ටෙන්ඩර් දාන්න ඕන කාලයක් තියෙනවා. ඒක අප්‍රේල් මාසේ මැද වෙනකොට නැව් ටික ඔක්කොම ඇවිල්ලා ඉවර වෙන්න ඒ ටෙන්ඩර් දාපු සමාගමට නියමිත ප්‍රමිතියෙන් ඒවා ගෙනෙන්න වෙනවා. නියමිත ප්‍රමිතියෙන් නැත්නම්, අඩුවක් වෙලා නම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. එහෙම වෙලාවට ස්පොට් ටෙන්ඩර් දාන්න වෙනවා. හැබැයි මේගොල්ලෝ විපක්ෂයේ ඉද්දි කිව්වේ ස්පොට් ටෙන්ඩර් කියන්නේ හොරකමට පාර කපා ගැනීම කියලා. දැන් එහෙම කියපු අය ලැජ්ජා නැතුව ස්පොට් ටෙන්ඩර් දානවා. 

තමන්ම අර්බුදය නිර්මාණය කරනවා මාෆියා ගහන්න හොරකම් කරන්න. වැඩබැරි ආයතනයකට, සමාගමකට ඉන්දියානු සමාගමකට කියනවා ගල් අඟුරු ගෙනල්ලා දෙන්න කියලා. මාෆියා ගහපු හින්දා ඒ මිනිහට නියමිත ප්‍රමිතියේ ගල් අඟුරු ගෙනල්ලා දෙන්න බැහැ. බාල ඒවා ගෙනත් දෙනවා. බාල ඒවා ගෙනත් දුන්නා කියලා බ්ලැක් ලිස්ට් කරන්නෙත් නැහැ, නවත්වන්නෙත් නැහැ, තහනම් කරන්නෙත් නැහැ. දඩ ගැහුවා කියලා බොරු කියනවා තාම සත පහක දඩයක් ගෙවලත් නැහැ. ඒ අතරේ දැන් වෙච්ච අමාරුවෙන් ගොඩ එන්න ස්පොට් ටෙන්ඩර් දානවා. 

ස්පොට් ටෙන්ඩර් එක දාලා මොකද කළේ? මේගොල්ලෝ දැන් අපි දන්නවා ස්පොට් ටෙන්ඩර් - ස්ථානීය ප්‍රසම්පාදන කියන්නේ - ඒ කියන්නේ හදිසි ප්‍රසම්පාදනයක් කියලනේ කියන්නේ. දැන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ 3.1.8 කියනවා 'emergency procurement' ගැන, හදිසි මිලදී ගැනීම් ගැන. හැබැයි ඒ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ 3.1.8 බලාත්මක වෙන්නේ රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තිබුණොත් විතරයි. ඒක පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට මානව ආපදාවක් නිසා හරි ස්වභාවික ආපදාවක් නිසා හරි රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ නම් පමණයි ප්‍රසම්පාදන මාර්ග උපදේශ අනුව 3.1.8 කියන වගන්තිය ප්‍රකාරව කටයුතු කරන්න වෙන්නේ. 

නමුත් මේ දැන් ආණ්ඩුව දැන් එහෙම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා නැහැ මේ වෙලාවේ. එහෙම නැති වෙලාවේ මේගොල්ලෝ ස්පොට් ටෙන්ඩර් එක කැඳවන්නේ ඒ ලේඛනවල තියෙනවා (මම ගාව තියෙනවා ඒ ලේඛන) මේ හදිසි මිලදී ගැනීම් කියන අර ප්‍රසම්පාදන මාර්ග උපදේශ 3.1.8 යටතේ වැටෙන පදනමෙන්. එතකොට මේක සම්පූර්ණ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට පටහැනියි. මේ ගනුදෙනුවේදී මේවාට මූලිකත්වය ගත්තු නිලධාරීන්ට අනාගතයේදී අනිවාර්යයෙන් මීට වගකියන්න වෙනවා; උසාවි යන්න වෙනවා. උසාවියේ නඩු අහලා දඬුවම් ලබන්න වෙන ඉරණමකට භාජනය වෙන්න වෙනවා, වළක්වන්න බැහැ. ඒ පළවෙනි ප්‍රශ්නය. එතකොට හදිසි ආපදා තත්ත්වය ප්‍රකාශයට පත් කරලා නැති වෙලාවක 3.1.8 වගන්තිය ප්‍රකාරව කටයුතු කරන්න බැහැ ප්‍රසම්පාදන මාර්ග උපදේශවල. 

ඊළඟට දැන් මේ සම්පාදන - ඒ කියන්නේ හදිසි මිලදී ගැනීම - සාමාන්‍යයෙන් අපි දන්නවා ස්පොට් ටෙන්ඩර් එක ගත්තේ එකක් ඩොලර් 143ට. ඊට කලින් අර ඉන්දියානු සමාගම ගත්තේ ඩොලර් 93ට ටොන් එකක්. 93ට! එතකොට දැන් 143ට! සාමාන්‍යයෙන් දළ වශයෙන් ගත්තොත් ටොන් එකකට ඩොලර් 50ක විතර අලාභයක්. එතකොට සාමාන්‍යයෙන් ඔක්කොම එකතු කරලා බැලුවොත් ඩොලර් ලක්ෂ 150ක විතර පල අලාභයක්. එතකොට දැන් මේ ඔක්කොම අලාභය එන්නේ කාගේ පිටටද? ඩොලර් ලක්ෂ 150ක විතර අලාභය එන්නේ කාගේ පිටටද? මේ සමස්ත අලාභය එන්නේ පාරිභෝගිකයා පිටට. විදුලිය කපනකොට එන්නෙත් පාරිභෝගිකයා පිටට ඒ පීඩනය. මේ අලාභ ඔක්කොම ආණ්ඩුවේ අමන තීරණ නිසා, ගොන්කම නිසා. මේවා මේ ඉරානය පෙන්නන්න එපා මේවට. 

රුසියානු තානාපතිතුමා ඔය පළවෙනි මෙතෙක් අවුරුදු 10ක් විතර ගල් අඟුරු සප්ලයි කරපු සමාගමේ ගනුදෙනුව නතර කරන වෙලාවේ - ජනාධිපති කියන්නේ කාටල් නවත්වනවා කියලනේ, මම කියන්න හදනවා අලුත් කාටල් එක මොකක්ද කියලා - එතකොට ඒක නවත්වන වෙලාවේ රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් ආණ්ඩුවේ බලධාරීන් හම්බවෙලා කියලා තියෙනවා: 'කරුණාකරලා අපට අපි දෙන්නම් ඕගොල්ලන්ට විස්මයජනක අඩු මිලකට Government to Government (G2G) ඇග්‍රීමන්ට් එකක් ගහන්න. පෞද්ගලික සමාගම් ඕනේ නැහැ. අපි කෙලින්ම රුසියාව සහ ලංකාව අතර ගවර්මන්ට් ටු ගවර්මන්ට් ඇග්‍රීමන්ට් එකක් ගැහුවොත් ඕගොල්ලන්ට හිතාගන්න බැරි තරම් අඩු මිලකට ගල් අඟුරු දෙන්නම්' කියලා. ඒක ගත්තේ නැහැ. එතකොට කාටලයක් විනාශ කරන්නේ කියලා බාල ගල් අඟුරු ගෙනාවා, හෙන කෝටි ප්‍රකෝටි ගාණක හොරකමක් වහගන්නවා. ඇයි හොරකමට පගාව දුන්නම අර ප්‍රමිතියට නියමිත ප්‍රමිතියෙන් ගල් අඟුරු ගේන්න බැහැ. එතකොට පාඩුවයි. ප්‍රමිතියෙන් බාල කරන්න වෙන්නේ දිනු ගාණ ලොකු ගාණක් හින්දා. ලොකු කුමාර, පොඩි කුමාරව රකින්නේ දෙන්නා කතා වෙලා මේ මැච් එක ගහපු හින්දා. 

ඒ විතරක් නෙවෙයි, දැන් බලන්න මේකේ වුණේ. දැන් අන්තිමට වුණේ ඒක හින්දා ඊළඟට ස්පොට් ටෙන්ඩර් එකට ගියා. ඩොලර් ලක්ෂ 150ක් පාඩුයි ඒකෙන් විතරක්. අර කලින් දාපු ටෙන්ඩර් ගල් අඟුරු ටොන් එකක් දෙන්නේ ඩොලර් 93ට, දැන් 143ට! එක ටොන් එකකින් ඩොලර් 50ක් අලාභයි. ටොන් ඔක්කොම එකතු කරලා බැලුවාම ඩොලර් ලක්ෂ 150ක් අලාභයි. එතකොට ඩොලර් ලක්ෂ 150 රුපියල් කරලා බලන්න. කොච්චර කෝටි ප්‍රකෝටි ගාණක් අපිට අලාභද. ඒ අලාභ කාගේ මතද පටවන්නේ? කළුකඩ මුදලාලි මහත්තයාගේ මතටද? පැත්තේ ඉන්න සේදුම් බලකායටද? නැහැ, මේ රටේ පොදු ජනතාව මතයි ඒ මහා බර අතහරින්නේ. 

ඒ විතරක් නෙවෙයි, ස්පොට් ටෙන්ඩර් එක කාටද දුන්නේ? ස්පොට් ටෙන්ඩර් එක දුන්නේ... කොයි ටෙන්ඩරේ ඇද්දත් අර කොයි කොලේ ඇද්දත් අදින්නේ අහුවෙන්නේ මේ මොකක්ද 'බූරුවා' කියලා කිව්වේ ජනාධිපති අනුර කුමාර දිසානායක එසේ වීමට පෙර. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවේ කොයි ටෙන්ඩරේ ඇද්දත් වෙන්නේ අන්තිමට බූරුවා තමයි වෙන්නේ. බූරුවා කවුරුත් නෙවෙයි ධම්මික! ධම්මිකගේ හේලීස් සමාගමට තමයි අර ඩොලර් ලක්ෂ 150ක අතිරික්ත ලාභයක් එන විදිහට ඒ ස්පොට් ටෙන්ඩරය දුන්නේ. එතකොට කොහොමද මේ ගල් අඟුරු අලුත් කාටල් එක කොහොමද? මේ අලුත් කාටල් එකක් හදනවා. තිබිච්ච එක කාටල් කියලා ඒක කඩනවයි කියලා එහෙමනම් කාටල් නැති කරන්න ඕනේ, යන්න ඕනේ ජුජු රුසියාව යෝජනා කරපු Government to Government ඇග්‍රීමන්ට් එකට. ඔවුන් කිව්වා විස්මයජනක අඩු මිලකට අපි ඕගොල්ලොන්ට දෙන්නම් කියලා; ඒක මඟ හැරියා. ඒ කාටලේ එපා, නව කාටලයක් හදනවා. හේලීස් ප්‍රමුඛ, ධම්මික පෙරේරා ප්‍රමුඛ, විශාර රණනායක ප්‍රමුඛ ඒ චෞර කාටලයක් හදනවා. 

ඒ “චෞර කාටලය” තමයි දැන් අනුර කුමාරගේ “කාටලය” බවට පත් කරගෙන යන්නේ. ඒක නිසා තමයි ලොකු අනුර කුමාර, පොඩි අනුර කුමාරව හෝදන්නේ. 'නිලධාරී අනුර කුමාරගේ නඩුවක් සම්බන්ධයෙන් මම පියවර ගන්නේ නැහැ, ඇමති අනුර කුමාරගේ නඩුවක් සම්බන්ධයෙන් මම පියවර ගනිමි' කියලා. වංචා සහගත චෝදනා තියෙන මිනිහෙක්ව ඇමති කළේ මොන අනුර කුමාරද? ලොකු අනුර නෙමෙයිද? අපිද එතකොට? වංචා සහගත චෝදනා තියෙන මිනිහෙක්ව ඇමති කළේ බබා දෝයා? ඔයා දන්නේ නැද්ද එතකොට එයාට ඊට පස්සේ මේ වගේ ඇමතිකමක් දුන්නම, විදුලිබල හා බලශක්ති වගේ ඇමතිකමක් දුන්නම ගේම ගහන්න කියලා ගහනවයි කියලා? ඒ නිසා දැන් කරන්නේ කතා වෙලා යන්නේ. ලොකු කුමාරලා, පොඩි කුමාරලා එකට ගහන මැච් එක. හේලීස්ලා, ධම්මිකලා උඩින් තියාගෙන මේ ගහන්නේ, මාටියා ගහනවා. 

ඒ නිසා අර්බුදයක් වෙලාවේ ඉරානය පෙන්න පෙන්න, මැදපෙරදිග තියෙන තත්ත්වය පෙන්න පෙන්න, ඔක්කොම පෙන්න පෙන්න මේ විදිහට යුද්ධය පෙන්න පෙන්න සුද්ධ දානවා. ඒ සුද්ධ දාන පාලනයකින් මේ රටේ සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. හිතක් පපුවක් නැහැ; කළුකඩ පන්නයේ මුදලාලි කෙනෙක්ගේ භාවිතාව තියෙන්නේ. 

ඒ නිසා මේ තත්ත්වය... කිසිසේත්ම... ඔය පෙට්‍රල් ෂෙඩ් පෝලිමටත් එනවනේ අර සේදුම් බලකාය ඇවිල්ලා. 'නැහැ ඉතින් මොනවා කරන්නද? ඉතින් ලෝකේ ප්‍රශ්නයක්නේ. ඉතින් ඒකනේ මේ මොනවා කරන්නද' කියලා නහයෙන් අඬනවා. ඒ තමයි “පැරසිටමෝල් බලකාය” හැදිලා තියෙන්නේ. උණ සන්නිපාතය! උන් ඇවිල්ලා පැරසිටමෝල් දික් කරනවා. 'මේ මේ පෙති දෙකක් බොන්නකෝ, මේ විග්‍රහය මේ හොඳ ප්‍රැක්ටිස් දෙකක්. මේක බීව ගමන් ඇඟට පොඩි සනීපයක් දැනෙනවා' කියනවා. මොනවා කරන්නද ලෝකේ ප්‍රශ්නයක්නේ! ලෝකේ ප්‍රශ්නයක් ඉතින් අපේ ලොක්කාට පුළුවන්ද ලෝකේ ප්‍රශ්න විසඳන්න, රටේ ප්‍රශ්නවත් බැරි එකේ? කිය කිය උන් නහයෙන් අඬනවා. 

පැරසිටමෝල් බලකායට තව ටික දවසක් ගියොත් නම් පෝලිමක් පැත්ත පළාතේ ඇවිල්ලා ඔය වගේ කට කැඩිච්ච කතාවක් කියන්න හම්බවෙන්නේ නැහැ. ඒ නිසා අපි උන්දලාට කියනවා බොහොම පරිස්සමෙන් කියලා. මේ කරුණු ටික තමයි මට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඔබට යම් ප්‍රශ්න තියෙනවා නම් විමසන්න පුළුවන්...”

සම්බන්ධිත පුවත් | Related News

වැඩිහිටි නිවාස 456න් වැඩිහිටි ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
ශ්‍රී ලංකාවේ සමස්ත ජාතික ප්‍රතිපත්ති රාමුව වඩාත් පැහැදිලි මාවතකට අවතීර්ණ කරමින්, වෙළඳ හා ආයෝජන කටයුතු කඩිනම් කිරීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැවැසීය.
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා තමන් රඳවා සිටින බන්ධනාගාරය තුළ තමන්ට එල්ල වන දැඩි පීඩනයන්ට සහ අසාධාරණයන්ට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ ධාරිතාව ඉක්මවායමින් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
පසුගියදා විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් ඇතුළු පිරිසක් රැඳී සිටි හොරණ බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ගින්නට හසුව මියගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න කරමින් ඉරානය විසින් සිය අසල්වැසි රටවල් වන කුවේටය සහ බහරේනය ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
තමන් උතුරු මැද පළාතේ මහ ඇමති ධුරය සඳහා තරග වදිමින් දේශපාලනයට අවතීර්ණ වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, සක්‍රීය දේශපාලනයට පිවිසීමේ කිසිදු සූදානමක් තමන් තුළ නොමැති බවත් හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරයි.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.