විදේශ ඇමැතිගේ දේශීය භාෂාව..
චීන විදේශ ඇමැති වං යී ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නෑ. ජාත්‍යන්තර මට්ටමේ මොන රැස්වීමකට ගියත්, කවුරු එක්ක සාකච්ඡා කළත්, ජනමාධ්‍යවේදියෝ එක්ක ගනුදෙනු කළත් ඒ හැම අවස්ථාවක ම ඔහු කතා කරන්නේ චීන භාෂාවෙන්. චීන විදේශ ඇමැතිතුමා මෙහෙම කටයුතු කරන්නේ ඔහුගේ පුද්ගලික හැකියා, නොහැකියා මුල් කරගෙන නෙවෙයි. තමන්ගේ රාජකාරි ගනුදෙනු හැම එකක් ම චීන භාෂාවෙන් කරන්න ඔහු බැඳිලා ඉන්නවා. මේක චීනයේ නීතියක්. “චීන මහජන ජනරජයේ සම්මත චීන භාෂාව කතාකිරීම සහ ලිවීම පිළිබඳ නීතිය” කියලයි මේක හැඳින්වෙන්නේ.
2000 අවුරුද්දේ ඔක්තෝබර් 31 වැනි දා සම්මත කරගත්ත “චීන මහජන ජනරජයේ සම්මත චීන භාෂාව කතාකිරීම සහ ලිවීම පිළිබඳ නීතිය” ගිය අවුරුද්දේ (2025 අවුරුද්දේ) දෙසැම්බර් 27 වැනි දා සංශෝධනය කළා. මේ සංශෝධනය මේ අවුරුද්දේ (2026 අවුරුද්දේ) ජනවාරි 1 වැනි දා ඉඳලා ක්‍රියාත්මක වෙනවා. චීනය පුරා ම පොදු උච්චාරණය (පු-තුං-හුවා, මැන්ඩරින්) භාවිතයටත් සරල කරපු සම්මත චීන අකුරු භාවිතයටත් මේ නීතියෙන් බලය ලැබෙනවා.
චීනය කියන්නේ ජනවර්ග 56 ක් ඉන්න රටක්. ඒ අතරින් බහුතරය (සීයට 92 ක් ම) හන් මිනිස්සු. මෙන්න මේ බහුතරයේ භාෂාවට තමයි අපි “චීන භාෂාව” කියලා කියන්නේ. ඇත්තෙන්ම, මේක “හන් භාෂාව” කියලත් හැඳින්වෙනවා. චීන ආණ්ඩුව වැඩ කරන්නේ මේ භාෂාවෙන්. ඉතින් රාජ්‍ය පාලනය, අධ්‍යාපනය, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය, කලාව සහ සාහිත්‍යය, වෙළෙඳාම කියන මේ හැම ක්‍ෂේත්‍රයක ම හන් භාෂාවට ප්‍රමුඛත්වය ලැබෙනවා. සුළු ජනවර්ගවල අයට තම තමන්ගේ භාෂා භාවිතා කරන්න පුළුවන්. ඒත් ඒ හැම කෙනෙක්මත් හන් භාෂාව ඉගෙනගන්නවා. එහෙම නො කර හිටියොත් තම තමන්ගේ අඩවිවලට සීමාවෙලා ඉන්නවා ඇරෙන්න රට පුරා දුවලා පැනලා චීනයේ සමාජ - ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිඵල භුක්ති විඳින්න අවස්ථාවක් ඒ අයට ලැබෙන්නේ නෑ.
චීනය කියන්නේ මහ දැවැන්ත රටක් හින්දා හන් භාෂාවේ උච්චාරණයත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. සම්මත පොදු උච්චාරණයෙන් (පු-තුං-හුවා, මැන්ඩරින්) තමයි ඒ වෙනස නැති කරලා තියෙන්නේ. මේ පොදු උච්චාරණය නිර්මාණය කරගන්න මූලික විදිහට පෙයි-චිං අග නගරයේ ප්‍රචලිත උච්චාරණය ගුරු කරගෙන තියෙනවා. 1956 දී තමයි සරල කරපු චීන අකුරු මුලින් ම හඳුන්වලා දුන්නේ. ඊට කලින් ලියපු චීන අකුරු හුඟක් සංකීර්ණයි. ඒ පරණ අකුරු “සම්ප්‍රදායික අකුරු” කියලා හඳුන්වනවා. සමහරු ඒවාට “සංකීර්ණ අකුරු” කියලත් කියනවා. සම්ප්‍රදායික අකුරුවල ඉරි වැඩියි. සරල අකුරුවල ඉරි අඩුයි. පරණ අකුරු සංකීර්ණයි. අලුත් අකුරු සරලයි. චීන මහ භූමියේ වැඩගන්නේ පොදු උච්චාරණයෙන් සහ සරල අකුරුවලින්. මෙන්න මේ පොදු උච්චාරණය සහ සරල කරපු අකුරු තමයි උඩින් කියපු නීතියෙන් ප්‍රවර්ධනය කරන්නේ.
භාෂා සම්මත හදලා, ඒවා භාවිතයට නීති පනවලා තියෙන්නේ විනෝදයට නෙවෙයි. ඉතින් චීනයේ රාජ්‍ය පාලනයට, අධ්‍යාපනයට, ජනමාධ්‍ය ආයතනවලට සහ සමාජ මාධ්‍ය භාවිතයට, කලා සහ සාහිත්‍ය නිර්මාණවලට, ආර්ථික සහ වෙළෙඳ කටයුතුවලට සම්බන්ධ හැම ආයතනයක් ම මේ භාෂා භාවිතයට බැඳිලා ඉන්නවා. ඒ ආයතනවල වගකීම් පැවැරිලා තියෙන නායකයොත් මේ භාෂා භාවිත නීතියෙන් බැඳලා තියෙනවා. මේක අනිවාර්යය වගකීමක්. මොන විදිහකටවත් ඒ වගකීම අත්හරින්න බෑ.
2013 ඉඳලා 2023 දක්වා චීනයේ අගමැතිකම දරපු ලී ක-ඡියං ඉතාමත් චතුර විදිහට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් කෙනෙක්. ඒත් ඔහු තමන්ගේ රාජකාරි වැඩවල දී මොනම විදිහකින්වත් ඉංග්‍රීසි පාවිච්චි කළේ නෑ. ඒ හැම තැනක දී ම (විදේශ සංචාරවල දී පවා) ඔහු චීන භාෂාවෙන් ගනුදෙනු කළා. චීන භාෂාව නො දන්න කෙනෙක් එක්ක, විශේෂයෙන් ම විදේශ පාර්ශ්වයක් එක්ක ගනුදෙනු කරනවා නම් පරිවර්තකයෙක්ගේ සේවය ලබාගන්න ඕන. ලෝකයේ පාවිච්චි කරන හුඟක් භාෂා චීනයේ උගන්නන හින්දා ඒ ඒ පාර්ශ්වයට අදාළ පරිවර්තකයෝ හොයාගන්න එකත් අමාරු වැඩක් නෙවෙයි.
“ලෝක විශ්වවිද්‍යාල සභාපතිවරියන්ගේ සංසදය” කියලා සංවිධානයක් තියෙනවා. විවිධ රටවල්වල විශ්වවිද්‍යාල කුලපති, උප කුලපති, සභාපති ධුර දරන කාන්තාවෝ තමයි මේ සංසදය නියෝජනය කරන්නේ. 2013 අවුරුද්දේ මේ සංසදයේ රැස්වීමක් චීන සන්නිවේදන විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණා. ඒ දවස්වල මේ සංසදයේ නායකත්වය හෙබෙව්වේ තුර්කියේ මහාචාර්යවරියක්. සංසද රැස්වීමේ දී ඇය ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළා. ඒ කතාව විශ්වවිද්‍යාලයේ තරුණ කථිකාචාර්යවරියක් චීන භාෂාවට පරිවර්තනය කළා. ඒ කතාවෙන් පස්සේ චීන සන්නිවේදන විශ්වවිද්‍යාලයේ උප සභාපතිනිය සංසදය ඇමැතුවා. ඇය කතා කළේ චීන භාෂාවෙන්. ඒ කතාව තවත් කෙනෙක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. ඒ කතාව මැද්දෙදි පරිවර්තන වැඩේ මොහොතකට නවත්වපු චීන මහාචාර්යතුමිය පරිවර්තිකාව කරපු වැරැද්දක් ඉංග්‍රීසියෙන් හැදුවා. (ඒ කියන්නේ, ඇයට ඉතාමත් හොඳින් ඉංග්‍රීසි පුළුවන්). ඒ වැරැද්ද හදපු මහාචාර්යතුමිය ආයෙත් චීන භාෂාවෙන් තමන්ගේ කතාව කරගෙන ගියා. චීන බැරි අය ඒ කතාවේ ඉංග්‍රීසි පරිවර්තනය ඇහුවා.
චීනයේ වගකීම් දරන අය තමන්ට ඉතාමත් හොඳින් ඉංග්‍රීසි භාෂා හැකියාව තිබිලත් ජාත්‍යන්තර සමුළුවල දී පවා චීන භාෂාවෙන් කතාකිරීමේ අරමුණක් තියෙනවා. ඕනෑ ම කෙනෙක්ට තමන්ගේ අදහස් ඉතාමත් නිරවුල්ව සහ පැහැදිළිව ප්‍රකාශ කරන්නේ පුළුවන් මව් භාෂාවෙන්. ඒ භාෂාව ඉතාමත් හොඳින් උගන්නන රටක මිනිස්සුන්ට මේ හැකියාව ඉතාමත් හොඳින් පිහිටලා තියෙනවා. (තමන්ගේ විෂයය ධාරාව මොකක් වුනත් චීනයේ උසස් පෙළ පන්තිවල ඉගෙනගන්න හැම ළමයෙක් ම චීන භාෂාව ඉගෙනගන්න ඕන. සරසවි ප්‍රවේශ විභාගයේ දී අනිවාර්යය චීන භාෂා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්නත් ඕන. මේක සුළු වාර්ගික ළමයින්ටත් අදාළයි).
තමන්ගේ භාෂාව මේ විදිහට ප්‍රවර්ධනය කිරීමෙන් ජාතික එකමුතුකම ශක්තිමත් වෙනවා. හැම කෙනෙක්ට ම සමාන අවස්ථා හිමි කරගැනීමේ වරම සහතික කරනවා. හැම කෙනෙක් ම එකා වගේ තමන්ගේ රටේ සමාජ - ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිඵල භුක්ති විඳිනවා. තමන් චීන මිනිස්සු කියන හැඟීම ඉතාමත් ශක්තිමත් විදිහට ඇති කරගැනීමටත් මේ කාර්යය උදව්වෙනවා. ඊට අමතරව, චීන ජාතියේ අභිමානය සහ ගරුත්වය ඉහළින් ඔසවලා දක්වන්නත් මේ හරහා අවස්ථාවක් ලැබෙනවා.
2026 ජනවාරි ඉඳලා ක්‍රියාත්මක කෙරෙන සංශෝධිත නීතියෙන් ඩිජිටල් අවකාශවල චීන භාෂා භාවිතය තවදුරටත් ශක්තිමත් කරලා තියෙනවා. රජයේ ආයතනවල වෙබ් අඩවිවල සහ ඇප්වල චීන භාෂා භාවිතය තහවුරු කෙරෙනවා. (අපේ හුඟක් විශ්වවිද්‍යාල තමන්ගේ වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. මේ ඉංග්‍රීසි පමණක් රෝගය ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියෙනුත් බලාගන්න පුළුවන්). භාෂා සම්මත බිඳින අයට දඬුවම් කිරීමේ විධිවිධානත් අලුත් සංශෝධනවලින් හඳුන්වලා දීලා තියෙනවා. වෙනත් අයගේ භාෂා අධ්‍යාපනයට බාධා කරන අයට දඬුවම්කිරීමත් මේ යටතේ සිද්දවෙනවා. ජාත්‍යන්තර වේදිකාවල දී පවා චීන භාෂාව භාවිතාකිරීමේ අනිවාර්ය අවශ්‍යතාව අලුත් සංශෝධනවලින් අවධාරණය කරලා තියෙනවා.
විවිධ විෂයයන්ට අයිති පාරිභාෂික වචන විතරක් නෙවෙයි විදේශ නිෂ්පාදනවල වෙළෙඳ නම් පවා චීන භාෂාවෙන් නිර්මාණය වෙනවා. ඉතින් කොකාකෝලා, ස්ටාර් බක්ස්, පීසා හට්, හොන්ඩා, යමහා වගේ විදේශ වෙළෙඳ නම් චීනයේ දකින්න නෑ. ඒවායේ චීන නම් තමයි ඒ වෙළෙඳපොළේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. රටවල්වල, නගරවල නම්වලට අමතරව පුද්ගලයන්ගේ නම් පවා චීනයේ දී චීන වෙනවා. ලෙඩවල නම්, බටහිර බෙහෙත්වල නම් පවා චීනයේ දී චීන වෙනවා. මේ වැඩ වෙනුවෙන් ඉවරයක් නැතුව චීන වචන හැදිල්ලත් චීනයේ සිද්දවෙනවා. ඉතින් චීන මිනිස්සුන්ට තමන්ගේ භාෂාවෙන් වැඩ කරගැනීමේ පරිසරය ඉතාමත් හොඳින් තහවුරු කෙරිලා තියෙනවා.
දේශපාලන, ආර්ථික, සංස්කෘතික ස්වෛරීත්වය නැති කරගෙන ඉන්න අපි මෙහෙම හිතන්නේ නෑ. හැම දෙයක් ම ඉංග්‍රීසියෙන් කරන්න ඕන කියලා අපි හිතනවා. මේ හරහා අපි අපේ මිනිස්සුන්ගේ භාෂා අයිතිය නැති කරගෙන තියෙනවා. ඒ වගේ ම, නිරවුල්ව හිතන්න බැරි ජාතියක් අපි නිර්මාණය කරගනිමින් ඉන්නවා. මේ වහල්කමින් ගොඩ එන ගමන අපි දැන්වත් ආරම්භ කළ යුතුයි.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
(2026 මාර්තු 15 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කර තිබෙන “චීන පෙරැළිය” ලිපි මාලාවේ 32 වැනි කොටස)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..