ඓතිහාසික දරුණු පරීක්ෂාවන් හරහා චීනය සහ රුසියාව මිත්‍රත්වයේ සහ අන්‍යෝන්‍ය සහයෝගයේ හොඳම සම්ප්‍රදායන් ගොඩනඟා ශක්තිමත් කර තිබෙනවා- රුසියානු ජනපති වැලදිමිර් පුටින්
ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, රුසියාව සහ චීනය අතර ශක්තිමත්ව ගොඩ නැගෙන සන්ධානය, දෙරටටම අයත් ඓතිහාසික උරුමය සහ බහු ධ්‍රැවීය ගෝලීය පිළිවෙලක් සඳහා පොදු දැක්ම ඉස්මතු කරමින් කරුණු ගෙනහැර දක්වමින් ඔහුගේ චීන සංචාරයට පෙර ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරත විය.
එහිදී ඓතිහාසික සංශෝධනවාදයට එරෙහිව අසල්වැසියන්ගේ එක්සත් ස්ථාවරය පුටින් ප්‍රශංසා කළ අතර වෙළඳාම, බලශක්තිය, අධ්‍යාපනය, ආරක්ෂක සහ බහුපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයන්හි පුළුල් සහයෝගීතාව ගෙනහැර දැක්වීය. එම සම්මුඛ සාකච්ඡාවේ ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත් කරන ලද සටහනෙහි සිංහල පරිවර්තනය පහත දැක්වේ.
පරිවර්තනය ජීවන්ත ජයතිස්ස
ප්‍රශ්නය: මෙම වසරේ මැයි මාසයේදී, මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ රාජ්‍ය සංචාරයක නිරත වූ අතර මහා දේශප්‍රේමී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරන සැමරුම්වලට සහභාගී වූවේ ඉතා සාර්ථක සංචාරයක් බවට ලොවට ඔප්පු කරමිනියි. එහිදී ඔබේ චීන සංචාරය ඉක්මනින් සිදුවනු ඇතයි චීන පාර්ශවය අපේක්ෂා කළා. ඒ අනුව ඉදිරියේදී සිදුවන සංචාරයේදී ඔබේ අපේක්ෂාවන් මොනවාද? පසුගිය දශකය තුළ, ඔබ සහ ජනාධිපති ෂී සමීප සම්බන්ධතා පවත්වා ගෙන ගොස්, ද්විපාර්ශ්වික සබඳතාවල ස්ථාවර සංවර්ධනය හැඩගැස්වීම සහ මඟ පෙන්වීම සිදු කර තිබෙනවා. ජනාධිපති ෂී ජින්පින් නායකයෙකු ලෙස ඔබ දකින්නේ කෙසේද?
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්: ඇත්ත වශයෙන්ම, අපගේ මිතුරා වන චීන ජනාධිපති ෂී ජින් පිං මැයි මාසයේදී රුසියාවේ කළ සංචාරය අති සාර්ථක වූවා. ඔහුගේ සංචාරය පුළුල් ජාත්‍යන්තර අවධානයක් දිනා ගත් අතර රුසියාව තුළ එය බෙහෙවින් අගය කිරීමකට ලක් වුනා. ඔහු රුසියාවට පැමිණීම අපට පූජනීය දිනයක් වන මහා දේශප්‍රේමී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරයට සමපාත වූ අතර එමඟින් රුසියානු-චීන සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා ගැඹුරු සංකේතාත්මක වැදගත්කමක් ලබා දුන්නා. යහපත් අසල්වැසිභාවය, මිත්‍රත්වය සහ දිගුකාලීන අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාවයේ සම්ප්‍රදායන් ශක්තිමත් කිරීම සඳහා අප දෙරටේ ජනතාවගේ උපායමාර්ගික තේරීම අපි නැවත තහවුරු කරනු ලැබුවා.
මොස්කව්හි පැවති සැමරුම්වල ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ චීන නායකයායි. අපගේ ඉහළ මට්ටමේ සාකච්ඡා අතරතුර, අපගේ ජාතීන් අතර සහයෝගීතාවයේ ප්‍රධාන කරුණු පිළිබඳව අපි ඉතා ඵලදායී සාකච්ඡාවක් පැවැත්වුවා. ප්‍රතිඵලය වූයේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම සහ බොහෝ ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමයි.
ඉතා ඉක්මනින්, ජනාධිපති ෂී ගේ ආරාධනයෙන්, මම චීනයට නැවත සංචාරයක් කරනවා. චීනයේ සභාපතිත්වය යටතේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුව පැවැත්වෙන ටියැන්ජින් නගරයට පැමිණීමට මම අතිශය බලාපොරොත්තුවෙන් පසුවෙනවා. මෙම සමුළුව සංවිධානයට බලවත් නව ජවයක් ලබා දෙනු ඇතැයිද, සමකාලීන අභියෝග සහ තර්ජන වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කරනු ඇතැයිද අපගේ බෙදාගත් යුරේසියානු අවකාශය පුරා සහයෝගීතාවය වැඩි දියුණු කරනු ඇතැයිද අපි අපේක්ෂා කරනවා. මේ සියල්ල වඩාත් සාධාරණ බහු ධ්‍රැවීය ලෝක පිළිවෙලක් හැඩගැස්වීමට උපකාරී වනු නොඅනුමානයි.
රුසියානු-චීන සාකච්ඡා සම්බන්ධයෙන් ගත් කළ, මේවා බීජිං හිදී සිදුවීමට නියමිතයි. දේශපාලන හා ආරක්ෂක සහයෝගීතාව මෙන්ම ආර්ථික, සංස්කෘතික හා මානුෂීය සබඳතා ඇතුළු අපගේ ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රයේ සියලු අංශ පිළිබඳව ජනාධිපති ෂී ජින් පිං සමඟ ගැඹුරු ලෙස සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒවගේම, සෑම විටම මෙන්, අපි දැවෙන කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කරනවා.
බීජිං හිදී, මිලිටරිවාදී ජපානය පරාජය කළ, එමඟින් දෙවන ලෝක යුද්ධය එහි අවසානයට ගෙන ඒමට මුල පිරූ අපගේ පියවරුන්ගේ මුතුන් මිත්තන්ගේ සහයෝගිතාවය පෙන්වූ වීර ක්‍රියාවලට ද අපි උපහාර දක්වනවා. අපගේ ජනතාව එක්සත් කිරීමට, අපගේ නිදහස සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සහ ස්වෛරී රාජ්‍යයන් ලෙස සංවර්ධනය වීමට තිබෙන අපගේ අයිතිය සුරක්ෂිත කිරීමට ලේ වැගිරවූ වීරයන්ට අපි ගෞරව පුද කරනවා.
ජනාධිපති ෂී ජින්පින් තම රටේ ඉතිහාසය අතිශයින්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. මම මෙම කාරණය ඔහු සමඟ පෞද්ගලික අදහස් හුවමාරු කරගත් නිසා හොඳාකාරවම දන්නවා. ඔහු මහා ලෝක බලවතෙකුගේ සැබෑ නායකයෙක් වගේම ශක්තිමත් අදහස් ඇති මිනිසෙක් වගේම උපායමාර්ගික දැක්මක් සහ ගෝලීය දැක්මක් තිබෙන සහ ජාතික අවශ්‍යතා සඳහා ඔහුගේ කැපවීමෙහි නොසැලෙන චරිතයක්. ජාත්‍යන්තර කටයුතුවල මෙම අභියෝගාත්මක, තීරණාත්මක මොහොතේ එවැනි පුද්ගලයෙකු නායකත්වයේ සිටීම චීනයට සුවිශේෂී වැදගත්කමක් දරනවා. විදේශීය හවුල්කරුවන් සමඟ ගෞරවනීය සහ සාධාරණ සංවාදයක් පවත්වමින් අද දින කුමක් විය හැකිද සහ කුමක් විය යුතුද යන්න පිළිබඳව චීන ජනාධිපතිවරයා මුළු ලෝකයටම ආදර්ශයක් සපයනවා. රුසියාවේදී, අපගේ පුළුල් හවුල්කාරිත්වය සහ උපායමාර්ගික සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා චීන නායකයාගේ සැබෑ කැපවීම අපි ගැඹුරින් අගය කරනවා.
ප්‍රශ්නය: ආසියාවේ සහ යුරෝපයේ දෙවන ලෝක යුද්ධයේ ප්‍රධාන සටන් බිම් ලෙස චීනය සහ සෝවියට් සංගමය, දැවැන්ත කැපකිරීම් සිදු කළා. ඒ වගේම ෆැසිස්ට්වාදයට එරෙහි ගෝලීය සටනේදී ජයග්‍රහණය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නා. ඔබේ මතය අනුව, අද සංකීර්ණ ජාත්‍යන්තර පරිසරය තුළ එම ජයග්‍රහණයේ මතකය ආරක්ෂා කිරීමේ අදාළත්වය කුමක්ද? ජාත්‍යන්තර වේදිකාවේ ඇතැම් බලවේග ඓතිහාසික සත්‍යය විකෘති කිරීමට උත්සාහ කරන අවස්ථාවක, චීනය සහ රුසියාව එක්ව ඔවුන්ගේ පොදු ඓතිහාසික මතකය ආරක්ෂා කර ගත යුත්තේ කෙසේද?
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්: මම මුලින් පැවසූ පරිදි, මෙම වසරේ, අපගේ චීන මිතුරන් සමඟ එක්ව, දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කළ මහා දේශප්‍රේමී යුද්ධයේ ජයග්‍රහණයේ සහ මිලිටරිවාදී ජපානයේ යටත් වීමේ 80 වන සංවත්සරය අපි සමරනවා. සෝවියට් සංගමයේ සහ චීනයේ ජනතාව සටන්වල බර දරාගත් අතර විශාලතම පාඩු විඳදරා ගත්තා. ආක්‍රමණිකයන්ට එරෙහි අරගලයේ විශාලතම දුෂ්කරතා විඳදරාගනිමින් නාසිවාදය සහ මිලිටරිවාදය පරාජය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේ අප දෙරටේ පුරවැසියන් විසිනුයි. එම දරුණු පරීක්ෂාවන් හරහා, මිත්‍රත්වයේ සහ අන්‍යෝන්‍ය සහයෝගයේ හොඳම සම්ප්‍රදායන් ගොඩනඟා ශක්තිමත් කරනු ලැබුවා. අද එම සම්ප්‍රදායන් රුසියානු-චීන සබඳතා සඳහා ශක්තිමත් පදනමක් වනවා. දෙවන ලෝක යුද්ධයේ පූර්ණ පරිමාණයෙන් පුපුරා යාමට පෙර පවා, 1930 ගණන්වල, ජපානය චීනයට එරෙහිව ද්‍රෝහී ලෙස ආක්‍රමණශීලී යුද්ධයක් දියත් කළ අවස්ථාවේදී සෝවියට් සංගමය චීන ජනතාවට මිත්ත්‍රත්වයේ දෑත් දිගු කළ බව මම ඔබට මතක් කරනවා. අපගේ වෘත්තීය හමුදා නිලධාරීන් දහස් ගණනක් හමුදා උපදේශකයින් ලෙස සේවය කළ අතර, චීන හමුදාව ශක්තිමත් කිරීමට සහ සටන් මෙහෙයුම් වලදී මඟ පෙන්වීම ලබා දුන්නා. සෝවියට් ගුවන් නියමුවන් ද චීන සහෝදරයන් සමඟ නිර්භීතව සටන් කළා.
1937 ඔක්තෝබර් සහ 1941 ජුනි අතර කාලය තුළ, සෝවියට් සංගමය චීනයට ගුවන් යානා 1,235 ක්, කාලතුවක්කු දහස් ගණනක්, මැෂින් තුවක්කු දස දහස් ගණනක් මෙන්ම පතොරම්, උපකරණ සහ වෙනත් යුද සැපයුම් සම්පාදනය කළා. ප්‍රධාන සැපයුම් මාර්ගය වූයේ මධ්‍යම ආසියාව හරහා චීනයේ ෂින්ජියැං පළාතට ගොඩබිම් කොරිඩෝවක් නිර්මානය කිරිම වූ අතර සෝවියට් විශේෂඥයින් අඛණ්ඩ මිලිටරි බෙදාහැරීම් සහතික කිරීම සඳහා වාර්තාගත කාලයකදී මාර්ගයක් ඉදි කරනු ලැබුවා. ඉතිහාසය එම සටන් වල පරිමාණය සහ දරුණු බව පිළිබඳව කිසිදු සැකයක් ඉතිරි කර නැහැ. චීන කොමියුනිස්ට් හමුදා ජපන් ආක්‍රමණයෙන් මිලියන පහක ජනගහනයක් සහිත භූමියක් නිදහස් කර ගැනීමට සුප්‍රසිද්ධ "Hundred Regiments " එල්ල කළ ප්‍රහාරයේ තිබූ විශාල වැදගත්කම අපට මතකයි. කසාන් විලෙහි සහ ඛල්කින් ගෝල් ගඟේ ජපානය සමඟ ඇති වූ ගැටුම්වලදී සෝවියට් හමුදා සහ අණ දෙන නිලධාරීන්ගේ අසමසම දස්කම් ද අපි සිහිපත් කරනවා. 1939 ගිම්හානයේදී, අපගේ පුරාවෘත්තයක් බවට පත්වී සිටින අණදෙන නිලධාරී ජෝර්ජි ෂුකොව් මොන්ගෝලියාවට අයත් වනාන්තර රහිත පැතලි තෘණ බිම් ප්‍රදේශයේ ඔහුගේ පළමු ප්‍රධාන ජයග්‍රහණය ලබා ගත්තා. එම ජයග්‍රහනය ඇත්ත වශයෙන්ම බර්ලින්-ටෝකියෝ-රෝම සන්ධානයේ පසුකාලීනව සිදුවූ පරාජයේ පෙරනිමිත්තක් වූවා. 1945 දී, මැන්චූරියානු උපායමාර්ගික ප්‍රහාරක මෙහෙයුම ඊසානදිග චීනය මුදා ගැනීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ අතර, ඈත පෙරදිග තත්වය විස්මයජනක ලෙස වෙනස් කරමින් සහ රණකාමී ජපානයේ යටත් වීම නොවැළැක්විය හැකි වූවා. 1941-1942 අඳුරුතම මාස කිහිපයේදී ජපානය සෝවියට් සංගමයට පිටුපසට පිහියෙන් ඇනීමෙන් වැළැක්වූ තීරණාත්මක සාධකයක් වූයේ චීනයේ වීරෝදාර ප්‍රතිරෝධය බව රුසියාවේදී අපට කිසිදා අමතක වන්නේ නැහැ. මෙය රතු හමුදාවට නාසිවාදය තලා දැමීම සහ යුරෝපය මුදා ගැනීම කෙරෙහි තම මනස යොමු කිරීමට හැකි වුණා. හිට්ලර් විරෝධී සන්ධානය පිහිටුවීමේදී, චීනය මහා බලවතෙකු ලෙස ශක්තිමත් කිරීමේදී සහ පශ්චාත් යුධ සමථය හැඩගස්වා ගත් සහ යටත් විජිත විරෝධී ව්‍යාපාරය නැවත පණ ගැන්වීමට උපකාරී වූ ඵලදායී සාකච්ඡාවලදී අපගේ රටවල් දෙක අතර සමීප සහයෝගීතාවය ඉතා වැදගත් අංගයක් වූවා. සැබෑ දේශප්‍රේමය සහ ධෛර්යය ප්‍රදර්ශනය කළ, සියලු දුෂ්කරතා විඳදරාගත් සහ බලවත් හා අනුකම්පා විරහිත සතුරන් පරාජය කළ අපගේ සගයන්ගේ ඉතිහාසයට ගෞරව කිරීම අපගේ පාරිශුද්ධ යුතුකමක්. අනාගත පරම්පරාවන්ගේ නිදහස සහ අපගේ රටවල ස්වාධීනත්වය වෙනුවෙන් තම ජීවිත පූජා කළ සියලුම ප්‍රවීණයන්ට සහ සිවිල් ජනයාට අපි අපගේ හදවතේ ගැඹුරුම තැනින් ගෞරවය පුද කරනවා. චීනයේ විමුක්තිය සඳහා සටන්වලදී තම ජීවිත පූජා කළ සෝවියට් රතු හමුදා සොල්දාදුවන් සඳහා ස්මාරක ප්‍රවේශමෙන් සංරක්ෂණය කිරීම ගැන අපි චීනයට කෘතඥ වෙනවා.
අතීතය කෙරෙහි එවැනි අවංක හා වගකිවයුතු ආකල්පයක්, සෝවියට් විමුක්තිකාමීන්ගේ ස්මාරක සහ සොහොන් ම්ලේච්ඡ ආකාරයෙන් කෙලෙසන හෝ විනාශ කරන සහ අවමානයට පත් කරමින් ඓතිහාසික කරුණු මකා දමන සමහර යුරෝපීය රටවල තත්වයට වඩා චීනය හාත්පසින්ම වෙනස් බව මම අවධාරණය කරනවා. සමහර බටහිර රාජ්‍යයන්හි දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල සත්‍ය ලෙසම සංශෝධනය කර තිබෙනවා පමණක් නොවෙයි නියුරම්බර්ග් සහ ටෝකියෝ විනිශ්චය සභා වල තීන්දු විවෘතව නොසලකා හරින බවත් අපට පෙනෙනවා. මෙම භයානක ප්‍රවණතා පැන නගින්නේ දෙවන ලෝක යුද්ධය මුදා හැරීමේදී අද බටහිර ප්‍රභූන්ගේ පූර්වගාමීන් කළ සෘජු වරද පිළිගැනීමට ඇති අකමැත්ත සහ ඔවුන්ගේම ඉතිහාසයේ ලැජ්ජා සහගත පිටු මකා දැමීමට ඇති ආශාව නිසාවෙනුයි. එමඟින් අහිමි වූ භූමිකාව නැවත ලබා ගැනීම වෙනුවෙන් පළිගැනීමට උත්සාහ කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මෙන්ම නව-නාසිවාදය දිරිමත් කිරීම කරනු ලබනවා. ඓතිහාසික සත්‍යය ඔවුන්ගේ වර්තමාන දේශපාලන න්‍යාය පත්‍රවලට ගැලපෙන පරිදි විකෘති කර යටපත් කරනු ලබනවා. මනඃකල්පිත රුසියානු හෝ චීන තර්ජන මුවාවෙන් ජපන් මිලිටරිවාදය පුනර්ජීවනය වෙමින් පවතින අතර, ජර්මනිය ඇතුළු යුරෝපා මහාද්වීපය නැවත හමුදාකරණය කිරීම සඳහා පියවර ගනිමින් ඓතිහාසික සමාන්තරයන් ගැන එතරම් තැකීමක් නොකිරීමට වග බලා ගන්නවා. දෙවන ලෝක යුද්ධයේ ඉතිහාසය විකෘති කිරීමට, නාසීන්, මිලිටරිවාදීන් සහ ඔවුන්ගේ සහචරයින්, ඝාතක කල්ලිවල සාමාජිකයින් සහ ඝාතකයින් උත්කර්ෂයට නැංවීමට හෝ සෝවියට් විමුක්තිකාමීන් අපකීර්තියට පත් කිරීමට දරන ඕනෑම උත්සාහයක් රුසියාව සහ චීනය දැඩි ලෙස හෙළා දකිනවා. එම යුද්ධයේ ප්‍රතිඵල එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සහ අනෙකුත් ජාත්‍යන්තර මෙවලම්වල ඇතුළත් කර තිබෙනවා.
ඒවා උල්ලංඝනය කළ නොහැකි අතර සංශෝධනයට යටත් වන්නේත් නැහැ. මෙය අපගේ චීන මිතුරන් සමඟ අප එකඟ වූ, නොසැලෙන ස්ථාවරයන් වෙනවා. ජර්මානු නාසිවාදයට සහ ජපන් මිලිටරිවාදයට එරෙහිව සෝවියට් සහ චීන ජනතාවගේ ඒකාබද්ධ අරගලයේ මතකය අපට කල් පවතින වටිනාකමක් එක් කර ඇති මතකයන් අතරට එකතු වෙනවා. රුසියාවේ මහා ජයග්‍රහණයේ 80 වන සංවත්සර සැමරුම් සඳහා ජනාධිපති ෂී ජින් පිං සහභාගී වීම ගැඹුරු සංකේතාත්මක වැදගත්කමක් ඇති බව මම නැවත අවධාරණය කිරීමට කැමැතියි. සෝවියට් සංගමය මහා දේශප්‍රේමී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය, ජපන් ආක්‍රමණයට එරෙහි ප්‍රති යුද්ධයේ චීනයේ ජයග්‍රහණය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීම සනිටුහන් කිරීම සඳහා, නව යුගයක් සඳහා චීන-රුසියාවේ පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයකට අපි අත්සන් කරනු ලැබුවා. මෙම ලේඛනය, මානව වර්ගයාගේ ඓතිහාසික මතකය විනාශ කිරීමට සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු සකස් කරන ලද ලෝක පිළිවෙල හා සංවාදය හොඳින් ස්ථාපිත මූලධර්ම ඊනියා "නීති මත පදනම් වූ පිළිවෙල" සමඟ ප්‍රතිස්ථාපනය කිරීමට ඇතැම් රාජ්‍යයන් දරන උත්සාහයන්ට අපගේ රටවල් විසින් ඒකාබද්ධ ප්‍රතිචාරයක් සපයනවා.
ප්‍රශ්නය: පසුගිය වසරවලදී, බලශක්තිය, කෘෂිකර්මාන්තය, මෝටර් රථ නිෂ්පාදනය සහ යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල චීනය සහ රුසියාව අතර ප්‍රායෝගික සහයෝගීතාවය ධනාත්මක ප්‍රතිඵල ගෙන දී ඇති අතර නව ඉදිරි ගමනක් ආර්ම්භ කර ඇති අතර, ද්විපාර්ශ්වික වෙළඳාම වාර්තාගත මට්ටම් කරා ළඟා වී තිබෙනවා. චීන-රුසියානු ප්‍රායෝගික සහයෝගීතාවයේ වත්මන් තත්ත්වය ඔබ තක්සේරු කරන්නේ කෙසේද? චීනය සහ රුසියාව අතර උසස් තත්ත්වයේ, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඔබ ඉදිරිපත් කරන සැලසුම් මොනවාද?
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්: රුසියාව සහ චීනය අතර ආර්ථික සබඳතා පෙර නොවූ විරූ මට්ටමකට ළඟා වී තිබෙනවා. 2021 සිට චීනය සහ රුසියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 100 කින් පමණ වර්ධනය වී තිබෙනවා. වෙළඳ පරිමාව අනුව, චීනය බොහෝ දුරට රුසියාවේ ප්‍රමුඛ හවුල්කරුවා වන අතර, පසුගිය වසරේ රුසියාව චීනයේ විදේශ වෙළඳ හවුල්කරුවන් අතර පස්වන ස්ථානයට පත් වී තිබෙනවා. වෙළඳ සංඛ්‍යාලේඛන ඇමරිකානු ඩොලර් වලින් දක්වා ඇතත්, රුසියාව සහ චීනය රුබල් සහ යුවාන් වලින් වෙළඳාම් කරන අතර ඩොලරය හෝ යුරෝ සුළු සංඛ්‍යාලේඛනයකට ලඝු කර ඇති බව මම අවධාරණය කරනවා. චීනයට තෙල් සහ ගෑස් අපනයනය කරන ප්‍රමුඛ අපනයනකරුවෙකු ලෙස රුසියාව සිය ස්ථානය ස්ථිරව රඳවා ගෙන තිබෙනවා. 2019 දී පවර් ඔෆ් සයිබීරියා නල මාර්ගය ක්‍රියාත්මක වීම ආරම්භ කළ දා සිට, ස්වාභාවික ගෑස් සමුච්චිත බෙදාහැරීම් දැනටමත් ඝන මීටර් බිලියන 100 ඉක්මවා තිබෙනවා. 2027 දී, අපි තවත් ප්‍රධාන ගෑස් මාර්ගයක් වන ඊනියා ඈත පෙරදිග මාර්ගය දියත් කිරීමට සැලසුම් කරනවා. රුසියාවේ ආක්ටික් කලාපයේ ස්වභාවික ව්‍යාපෘති සඳහා ද අපි ඵලදායී ලෙස එක්ව කටයුතු කරනවා. ද්විපාර්ශ්වික වෙළඳ බාධක අඩු කිරීම සඳහා අපි අපගේ ඒකාබද්ධ උත්සාහයන් දිගටම කරගෙන යනවා. පසුගිය වසරවලදී අප චීනයට ඌරු මස් සහ හරක් මස් අපනයනය දියත් කර තිබෙනවා. සමස්තයක් වශයෙන්, රුසියාවේ කෘෂිකාර්මික සහ ආහාර නිෂ්පාදන අපනයනවල ප්‍රමුඛ ස්ථානය චීනයට හිමිව තිබෙනවා.
ද්විපාර්ශ්වික ආයෝජන පරිමාවන් වර්ධනය වෙමින් පවතිනවා. පසුගිය වසරේ, රුසියාව සහ චීනය ද්විපාර්ශ්වික ආයෝජන සහයෝගීතාව සඳහා යාවත්කාලීන කරන ලද සැලැස්මකට එකඟ වූවා. මෙම වසරේ, ආයෝජන ප්‍රවර්ධනය සහ අන්‍යෝන්‍ය ආරක්ෂාව පිළිබඳ නව ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ප්‍රමුඛතා අංශවල මහා පරිමාණ ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
අපගේ රටවල් කර්මාන්තයේ සමීපව සහයෝගයෙන් කටයුතු කරනු ලබනවා. රුසියාව චීන මෝටර් රථ අපනයන සඳහා ලෝකයේ ප්‍රධාන වෙළඳපොළක් බවට පත්ව තිබෙනවා. ඒ සමඟම, චීන මෝටර් රථ සඳහා පමණක් නොව චීන ගෘහ උපකරණ සඳහා ද රුසියානු දේශීයකරණය වූ නිෂ්පාදන එක් වෙමින් තිබෙනවා. අප දෙරට එක්ව, අධි තාක්‍ෂණික නිෂ්පාදන සහ යටිතල පහසුකම් ගොඩනඟමින් සිටිනවා. ඉදිකිරීම් ද්‍රව්‍ය කර්මාන්තයේ ද අපට මහා පරිමාණ සැලසුම් තිබෙනවා.
කෙටියෙන් පවසතොත්, අපගේ රටවල් අතර ආර්ථික සහයෝගීතාව, වෙළඳ සහ කාර්මික සහයෝගීතාව බහුවිධ ක්ෂේත්‍ර හරහා ඉදිරියට යමින් පවතිනවා. මගේ ඉදිරි සංචාරයේදී, රුසියාවේ සහ චීනයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාවයක් සඳහා තවදුරටත් අපේක්ෂාවන් සහ එය තීව්‍ර කිරීම සඳහා නව පියවරයන් පිළිබඳව අපි නිසැකවම සාකච්ඡා කරනවා.
ප්‍රශ්නය: මෙම වසර චීනය සහ රුසියාව අතර සංස්කෘතික හුවමාරු වසරවල අවසානය සනිටුහන් කරනවා. මෙම කාලය තුළ, අපගේ රටවල් අධ්‍යාපනය, සිනමාව, රංග ශාලාව, සංචාරක ව්‍යාපාරය සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල පුළුල් සහයෝගීතාවයක් වර්ධනය කර ගෙන තිබෙනවා. චීන-රුසියානු සංස්කෘතික හා මානුෂීය හුවමාරු සහ සහයෝගීතාවයේ ප්‍රතිඵල ඔබ තක්සේරු කරන්නේ කෙසේද? චීන සහ රුසියාවේ ජනතාව අතර සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඔබ තුළ ඇත්තේ කුමන අපේක්ෂාවන්ද?
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්: මහා පරිමාණ ද්විපාර්ශ්වික සංස්කෘතික හා මානුෂීය මුලපිරීම් මිත්‍ර සබඳතා වර්ධනය කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයනවා. චීනයේ රුසියානු වර්ෂය සහ රුසියාවේ චීන වර්ෂය (2006-2007) ඉතා සාර්ථක වූවා. 2009 සිට අඛණ්ඩව දියත් කරන ලද භාෂා, සංචාරක, තරුණ, මාධ්‍ය, කලාපීය සහයෝගීතාව, ක්‍රීඩාව, විද්‍යාව සහ නවෝත්පාදන යන තේමා සහිතව ගතවූ වසරවලට පුළුල් මහජන සහයෝගිතාවයක් ලැබුණා.අද වන විට, රුසියාව සහ චීනය අතර සංස්කෘතික හුවමාරු ගතිකව වර්ධනය වෙමින් පවතිනවා. ප්‍රධාන ව්‍යාපෘති 100 කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් 2030 දක්වා මානුෂීය සහයෝගීතාව සඳහා රුසියානු-චීන මාර්ග සිතියම නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 2024-2025 දී පවත්වන ලද සහ අපගේ රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද රුසියාව සහ චීනය යන දෙඅංශයෙන්ම සාර්ථක ලෙස සංවිධානය වූ රුසියානු සහ චීන සංස්කෘතික වර්ෂ මම විශේෂයෙන් ඉස්මතු කරනවා. පොහොසත් හා විවිධාකාර වැඩසටහන් ගොන්නට රුසියාවේ සහ චීනයේ ජනතාවගේ උද්යෝගිමත් ප්‍රතිචාරයක් ලැබුණා.
මෙම වසරේ සැප්තැම්බර් 20 වන දිනට නියමිත අන්තර් ජාත්‍යන්තර ගීත තරඟය රුසියානු පාර්ශවය විසින් ආරම්භ කරන ලද බවත්, අපගේ චීන හවුල්කරුවන් මෙම ව්‍යාපෘතිය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වා ඇති බවත් මම සටහන් කරනවා.
අධ්‍යාපනය සහ විද්‍යාව සහයෝගීතාව සඳහා විශේෂයෙන් පොරොන්දු වූ ක්ෂේත්‍ර ලෙස පවතිනවා. අධ්‍යයන සංචලතාව සහ අන්තර් විශ්ව විද්‍යාල සම්බන්ධතා අඛණ්ඩව වර්ධනය වෙනවා. අද වන විට චීන සිසුන් 51,000 කට වැඩි පිරිසක් රුසියාවේ ඉගෙනුම ලබන අතර රුසියානු සිසුන් 21,000 ක් චීනයේ ඉගෙනුම ලබනවා. මැයි මාසයේදී, ජනාධිපති ෂී සහ මම එකඟ වූයේ 2026-2027 රුසියානු-චීන අධ්‍යාපන වර්ෂ ලෙස නම් කිරීමටයි.
මූලික පර්යේෂණ සහ මෙගා විද්‍යා ව්‍යාපෘති ඇතුළුව විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය ද පුළුල් වෙමින් පවතිනවා. උදාහරණයක් ලෙස, මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය සහ පීකිං විශ්ව විද්‍යාලය මූලික පර්යේෂණ සඳහා ඒකාබද්ධ ආයතනයක් විවෘත කිරීමට සැලසුම් කරනවා. රුසියාවේ සහ චීනයේ තාක්ෂණික ස්වෛරීභාවය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛතා අධි තාක්‍ෂණික ක්ෂේත්‍රවල නවීන රසායනාගාර සහ දියුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අපි සම්පූර්ණයෙන්ම සහාය දෙනවා. චිත්‍රපට නිෂ්පාදනය සහයෝගීතාවයේ තවත් සජීවී ක්ෂේත්‍රයක්. පෙබරවාරි මාසයේදී, ඒකාබද්ධ රුසියානු-චීන ත්‍රාසජනක චිත්‍රපටයක් වන රෙඩ් සිල්ක් රුසියාවේ තිරගත වූ අතර, එය ඉක්මනින් චීන ප්‍රේක්ෂකයින් වෙත ළඟා වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මැයි මාසයේදී, චිත්‍රපට නිෂ්පාදනය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් මොස්කව්හිදී අත්සන් කරනු ලැබුවා. නුදුරු අනාගතයේ දී බොහෝ නව රුසියානු-චීන චිත්‍රපට නිකුත් කිරීමට අපි අපේක්ෂා කරනවා. වැදගත් ඓතිහාසික සිදුවීම් පිළිබඳ සත්‍ය වාර්තා ඉදිරිපත් කරන අතරම, හොඳ සදාචාරාත්මක මූලධර්ම සහ සාම්ප්‍රදායික අධ්‍යාත්මික සහ සදාචාරාත්මක වටිනාකම් ප්‍රවර්ධනය කරන චිත්‍රපට නිපදවීම කෙරෙහි අවධානය යොමු වෙනවා. මේ සඳහා, අපි නව මුලපිරීමක් ද දියත් කර තිබෙනවා. සිනමාව සඳහා අද්විතීය වේදිකාවක් වන විවෘත යුරේසියානු චිත්‍රපට සම්මානය, පක්ෂග්‍රාහී හෝ දේශපාලන කුමන්ත්‍රණවලින් තොර බව පැවසීමට මම කැමතියි.සංචාරක ව්‍යාපාරය මා සටහන් කිරීමට කැමති තවත් වැදගත් ක්ෂේත්‍රයක්. මෙහි සංඛ්‍යාලේඛන දිරිගන්වන සුළුයි. 2024 අවසන් වන විට, අන්‍යෝන්‍ය සංචාරක ප්‍රවාහයන් 2.5 ගුණයකින් වැඩි වී මිලියන 2.8 ක් ජනතාවක් දෙරටෙහි සංචාරය කර තිබෙනවා. ක්‍රීඩා සහයෝගීතාවය ද ඵලදායී වී තිබෙනවා. රුසියාව විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සඳහා ක්‍රියාකාරීව සහභාගී වීම සඳහා අපගේ චීන හවුල්කරුවන්ට අපි කෘතඥ වෙනවා. ඒ අතර නව්‍ය ක්‍රීඩා උළෙල, BRICS ක්‍රීඩා උළෙල සහ තවත් බොහෝ දේ ඇතුළත් වෙනවා. මෙම තරඟ සඳහා චීන ජාතික කණ්ඩායම විශාලතම නියෝජිතයින් අතර සිටිනවා. ක්‍රීඩාව කිසිදු දේශපාලනීකරණයකින් තොරව පැවතිය යුතු බව අපි තරයේ විශ්වාස කරනවා. තරුණ ප්‍රතිපත්තිය තවත් ප්‍රමුඛතා ක්ෂේත්‍රයක්.ප්‍රමුඛ රුසියානු සහ චීන මාධ්‍යවල සම්බන්ධීකරණ කටයුතු අපි බෙහෙවින් අගය කරන අතර, ඓතිහාසික සත්‍යය ආරක්ෂා කිරීමේදී ලේඛනාගාර අතර අපගේ සහයෝගීතාවය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.
ද්විපාර්ශ්වික සංස්කෘතික හා මානුෂීය සහයෝගීතාවය අඛණ්ඩව වේගවත් වීම දිරිගන්වන සුළුයි. මෙය නිසැකවම අපගේ සම්බන්ධතාවයේ උපායමාර්ගික මානයක් වන අතර එය මිත්‍රත්වයේ, යහපත් අසල්වැසිභාවයේ සහ අන්‍යෝන්‍ය අවබෝධයේ පුළුල් මහජන පදනමක් ගොඩනැගීමට උපකාරී වෙනවා.
ප්‍රශ්නය: චීනය සහ රුසියාව එක්ව පිහිටුවන ලද ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO), යුරේසියානු අවකාශය පුරා සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය සහතික කිරීම සඳහා තීරණාත්මක පුළුල් කලාපීය සහයෝගීතාව සඳහා වැදගත් වේදිකාවක් ලෙස සේවය කරනවා. 2024-2025 සඳහා චීනය ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සභාපතිත්වය දරන අතර, 25 වන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක මණ්ඩල රැස්වීම ඉක්මනින් ටියැන්ජින් හිදී පැවැත්වෙනවා. කලාපීය සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ පොදු සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා ෂැංහයි සහයෝගිතා සංවිධානය දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ඉටු කර ඇති ඵලදායී කාර්යභාරය ඔබ තක්සේරු කරන්නේ කෙසේද? ඔබේ අදහස අනුව, සාමාජික රටවල් හුවමාරු සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුත්තේ කුමන ක්ෂේත්‍රවලද?
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්: 2001 දී ෂැංහයි සහයෝගිතා සංවිධානය පිහිටුවීම මගින් රුසියාව, චීනය සහ මධ්‍යම ආසියානු රාජ්‍යයන් වන කසකස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල විශ්වාසය, මිත්‍රත්වය සහ යහපත් අසල්වැසි සබඳතා ගොඩනඟා ගැනීමට සහ කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට ඇති පොදු අභිලාෂය මූර්තිමත් වූවා. වසර ගණනාවක් පුරා,ෂැංහයි සහයෝගිතා සංවිධානය දේශපාලන, ආරක්ෂාව, වෙළඳාම සහ ආයෝජන මෙන්ම සංස්කෘතික හා මානුෂීය හුවමාරු ක්ෂේත්‍රයන්හි ඵලදායී සහයෝගීතාවයට ඉඩ සලසන යාන්ත්‍රණ නිර්මාණය කරමින් ශක්තිමත් නීතිමය සහ ආයතනික රාමුවක් සංවර්ධනය කර තිබෙනවා. එතැන් සිට, එහි සාමාජිකත්වය ඉන්දියාව, පකිස්ථානය, ඉරානය සහ බෙලරුස් ඇතුළත් වන තෙක් පුළුල් වී ඇති අතර, යුරේසියාවේ දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික විවිධත්වය නියෝජනය කරන හවුල්කාර සහ නිරීක්ෂක රටවල් ද ඒකාබද්ධ ක්‍රියාකාරකම්වල ක්‍රියාකාරීව නිරත වෙනවා. ෂැංහයි සහයෝගිතා සංවිධානයෙහි ආයාචනය සරල නමුත් බලගතු මූලධර්ම මත පිහිටා තිබෙනවා.
එහි ආරම්භක දර්ශනයට ස්ථිර කැපවීම, සමාන සහයෝගීතාවයට විවෘතභාවය, තෙවන පාර්ශවයන් සමඟ ගැටුම් ඇති නොකිරීම සහ එක් එක් ජාතියේ ජාතික ලක්ෂණ සහ සුවිශේෂත්වයට ගරු කිරීම ඇතුලත් වෙනවා. මෙම වටිනාකම් උපයෝගී කරගනිමින්, ෂැංහයි සහයෝගිතා සංවිධානය එක්සත් ජාතීන්ගේ කේන්ද්‍රීය සම්බන්ධීකරණ භූමිකාව සමඟින්, ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ වඩාත් සාධාරණ, බහු ධ්‍රැවීය ලෝක පිළිවෙලක් හැඩගැස්වීමට දායක වෙනවා. මෙම ගෝලීය දැක්මේ ප්‍රධාන අංගයක් වන්නේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් අතර සමීප සම්බන්ධීකරණය ඇතුළුව සමාන හා බෙදිය නොහැකි ආරක්ෂාවක් සහිත ගෘහ නිර්මාණ ශිල්පයක් යුරේසියාවේ නිර්මාණය කිරීමයි. ජාතික සංවර්ධන උපාය මාර්ග, කලාපීය ඒකාබද්ධතා මුලපිරීම් සම්බන්ධ කිරීම සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය, යුරේසියානු ආර්ථික සංගමය, ස්වාධීන රාජ්‍යයන්ගේ පොදුරාජ්‍ය මණ්ඩලය, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන අතර සබඳතා ශක්තිමත් කිරීම මෙම ගෘහ නිර්මාණ ශිල්පයේ සමාජ-ආර්ථික පදනම ලෙස අපි මහා යුරේසියානු හවුල්කාරිත්වය සලකනු ලබනවා.
ෂැංහයි සහයෝගිතා සංවිධානය + රැස්වීම සමඟ ටියැන්ජින් සමුළුව ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ඉතිහාසය තුළ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇතැයි මම විශ්වාස කරනවා. ෂැංහයි සහයෝගිතා සංවිධානය තහවුරු කිරීම, සියලු ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කිරීම සහ ගෝලීය වේදිකාවේ සංවිධානයේ කාර්යභාරය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන චීන ජනාධිපති ධුරය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රමුඛතාවලට අපි සම්පූර්ණයෙන්ම සහාය දෙනවා. ෂැංහයි සහයෝගිතා සංවිධානය රාජ්‍ය නායකයින්ගේ කවුන්සිලයේ රුසියාවේ සභාපතිත්වය යටතේ ගනු ලබන ප්‍රායෝගික පියවර සමඟ මෙම කාර්යය පෙළගැස්වීම සඳහා අපි විශේෂ වැදගත්කමක් දෙනවා. අපගේ ඒකාබද්ධ උත්සාහයන් තුළින්, ෂැංහයි සහයෝගිතා සංවිධානය නව ජවයක් ලබා දෙන බවත්, කාලයේ අවශ්‍යතා සපුරාලීම සඳහා එය නවීකරණය කරන බවත් මට විශ්වාසයි.
ප්‍රශ්නය: ජනාධිපති ෂී ජින්පින් නැවත නැවතත් අවධාරණය කර ඇති පරිදි, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ෂැංහයි සහයෝගිතා සංවිධානය සහ ඹ්ර්‍ඓCS ඇතුළු බහුපාර්ශ්වික වේදිකා හරහා අන්‍යෝන්‍ය සහයෝගය ශක්තිමත් කිරීම සඳහා, දෙරටේම සංවර්ධන සහ ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂා කිරීම, ගෝලීය දකුණ එක්සත් කිරීම සහ සාධාරණ හා තාර්කික ජාත්‍යන්තර පිළිවෙලක් ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය රුසියාව සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට සූදානම්. මෙම බහුපාර්ශ්වික රාමු තුළ චීනය සහ රුසියාව අතර සහයෝගීතාවය ඔබ තක්සේරු කරන්නේ කෙසේද? ඔබේ මතය අනුව, චීනය සහ රුසියාව ගෝලීය පාලනයේ නව මිණුම් සලකුණු තැබිය හැක්කේ කුමන ක්ෂේත්‍රවලද, විශේෂයෙන් දේශගුණික විපර්යාස, කෘතිම බුද්ධි පාලනය සහ ගෝලීය ආරක්ෂක ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රතිසංස්කරණය කිරීම වැනි නැගී එන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දායක වන්නේ කෙසේද?
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්: බහුපාර්ශ්වික ආකෘතිවල රුසියාව සහ චීනය අතර සහයෝගීතාවය අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රධාන කුළුණක් වන අතර ගෝලීය කටයුතුවලදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. තීරණාත්මක ජාත්‍යන්තර ගැටළු පිළිබඳ අපගේ හුවමාරු කිරීම්වලින් නැවත නැවතත් පෙන්වා දී ඇත්තේ මොස්කව් සහ බීජිං පුළුල් පොදු අවශ්‍යතා සහ මූලික ප්‍රශ්න සම්බන්ධයෙන් කැපී පෙනෙන ලෙස සමාන අදහස් බෙදා ගන්නා බවයි. ගෝලීය බහුතරයේ ජාතීන් කෙරෙහි අවධානය යොමු කරමින්, සාධාරණ, බහු ධ්‍රැවීය ලෝක පිළිවෙලක් ගොඩනැගීමේ අපගේ දැක්ම තුළ අපි එක්සත් වී සිටිනවා. රුසියානු-චීන උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාවර බලවේගයක් ලෙස ක්‍රියා කරනවා. යුරේසියාවේ ප්‍රමුඛ බලවතුන් දෙදෙනා ලෙස, අපගේ මහාද්වීපය සහ පුළුල් ලෝකය මුහුණ දෙන අභියෝග සහ තර්ජන කෙරෙහි අපට උදාසීනව සිටිය නොහැකියි. මෙම ගැටළුව අපගේ ද්විපාර්ශ්වික දේශපාලන සංවාදයේ නිරන්තර අවධානයක් දිනා ගන්නවා. යුරේසියාවේ සමාන හා බෙදිය නොහැකි ආරක්ෂාවක් සඳහා පොදු අවකාශයක් නිර්මාණය කිරීමේ රුසියාවේ සංකල්පය ජනාධිපති ෂී ජින්පින්ගේ ගෝලීය ආරක්ෂක මුලපිරීම සමඟ සමීපව අනුනාද වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ රුසියාව සහ චීනය අතර අන්තර්ක්‍රියා පෙර නොවූ විරූ ලෙස ඉහළ මට්ටමක පවතින අතර එය පුළුල් හවුල්කාරිත්වයේ සහ උපායමාර්ගික සහයෝගීතාවයේ ආත්මය සම්පූර්ණයෙන්ම පිළිබිඹු කරනවා. ගෝලීය දකුණ තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය යාන්ත්‍රණයක් වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ආරක්ෂාව සඳහා මිතුරන් කණ්ඩායමට රටවල් දෙකම විශේෂ වැදගත්කමක් ලබා දෙනවා. එහි ප්‍රධාන ජයග්‍රහණ අතර 2024 දෙසැම්බර් 4 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද "සියලු ආකාරවලින් සහ ප්‍රකාශනයන්ගෙන් යටත්විජිතවාදය මුලිනුපුටා දැමීම" යන යෝජනාව ද වෙනවා. රුසියාව සහ චීනය එක්සත් ජාතීන්ගේ ප්‍රතිසංස්කරණයට සහාය දක්වනවා, එවිට එය එහි අධිකාරිය සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කරන අතර නවීන යථාර්ථයන් පිළිබිඹු කරනවා.
විශේෂයෙන්, ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාවේ රාජ්‍යයන් ඇතුළත් කිරීමෙන් ආරක්ෂක මණ්ඩලය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කිරීමට අපි පෙනී සිටිනවා. කෙසේ වෙතත්, එවැනි ඕනෑම ප්‍රතිසංස්කරණයකට උපරිම ප්‍රවේශමෙන් ප්‍රවේශ විය යුතුයි. මොස්කව් සහ බීජිං අතර සමීප සහයෝගීතාවය G20 සහ ආසියා ෆැසිපික් ආර්ථික සහයෝගිතාවය ඇතුළු ප්‍රමුඛ ආර්ථික සංසදවල කටයුතු ධනාත්මකව හැඩගස්වා තිබෙනවා. G20 තුළ, සමාන අදහස් ඇති ජාතීන් සහ විශේෂයෙන් ඹ්ර්‍ඓCS සාමාජිකයින් සමඟ එක්ව, අපි ගෝලීය බහුතරයට සැබෑ වැදගත්කමක් ඇති කරුණු වෙත න්‍යාය පත්‍රය යොමු කර තිබෙනවා. අප්‍රිකානු සංගමය ඇතුළත් කිරීමෙන් ආකෘතිය තවත් ශක්තිමත් කර තිබෙනවා. එලෙසම G20 සහ BRICS අතර සහයෝගීතාවයන් ගැඹුරු කර තිබෙනවා. මෙම වසරේ, අපගේ දකුණු අප්‍රිකානු මිතුරන් G20 සභාපතිත්වය දරණවා. ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, ගෝලීය දකුණේ ජයග්‍රහණ තහවුරු කර ගැනීමට සහ ජාත්‍යන්තර සබඳතා ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා පදනමක් ලෙස ඒවා ස්ථාපිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ආසියා ෆැසිපික් ආර්ථික සහයෝගිතාවය තුළ, 2026 දී චීනයේ සභාපතිත්වය දැරීම රුසියානු-චීන සම්බන්ධතාවයට නැවුම් ජවයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා.ගෝලීය ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රධාන කුළුණක් ලෙස එහි භූමිකාව පුළුල් කිරීම සඳහා අපි BRICS තුළ චීනය සමඟ සමීපව කටයුතු කරන්නෙමු. එක්ව, උපායමාර්ගික අංශවල හවුල්කාරිත්වය සඳහා පොදු වේදිකා නිර්මාණය කිරීම ඇතුළුව සාමාජික රටවල් සඳහා ආර්ථික අවස්ථා පුළුල් කිරීම අරමුණු කරගත් මුලපිරීම් අපි ඉදිරියට ගෙන යනවා.
තීරණාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අතිරේක සම්පත් බලමුලු ගැන්වීම කෙරෙහි අපි විශේෂ අවධානයක් යොමු කරමින් සිටිනවා. ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා, කලාපීය සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ සමාන අදහස් බෙදා ගැනීමට සහ BRICS සාමාජිකයින්ගේ සහ සමස්ත ලෝකයේම සමාජ ආර්ථික සංවර්ධනයට බාධා කරන වෙනස්කම් කරන සම්බාධකවලට එරෙහිව පොදු ස්ථාවරයක් ගැනීමටBRICS හි හැකියාව ශක්තිමත් කිරීම සඳහා අපි එක්සත්ව සිටිනවා. අපගේ චීන හවුල්කරුවන් සමඟ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණවලට අපි සහාය දෙනවා. නව මූල්‍ය පද්ධතියක් විවෘතභාවය සහ සැබෑ සාධාරණත්වය මත පදනම් විය යුතු බවත්, සියලු රටවල් සඳහා එහි මෙවලම් වලට සමාන හා වෙනස්කම් නොකරන ප්‍රවේශයක් ලබා දෙන බවත් ගෝලීය ආර්ථිකය තුළ සාමාජික රටවල සැබෑ තත්ත්වය පිළිබිඹු කරන බවත් යන මතය තුළ අපි එක්සත්ව සිටිනවා. ගෝලීය බහුතරයේ අවශ්‍යතාවලට පටහැනිව ක්‍රියාත්මක වන නව යටත් විජිතවාදයේ මෙවලමක් ලෙස මූල්‍ය භාවිතය අවසන් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඊට පටහැනිව, අපි සියලු මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රයෝජනය සඳහා ප්‍රගතිය අරමුණු කරනවා. අපගේ ශ්‍රේෂ්ඨ ජාතීන්ගේ සමෘද්ධිය සහතික කිරීම සඳහා අපගේ උත්සාහයන් පෙළගස්වමින් රුසියාව සහ චීනය මෙම උතුම් ඉලක්කය කරා එක්ව කටයුතු කරනු ඇතැයි මම විශ්වාස කරනවා.
Putin’s interview ahead of China visit (FULL TEXT)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ