පීඩිතයන්ගෙන් පන්නරය ලැබූ රුසියානු සාහිත්‍යයෙහි විශිෂ්ඨ නවකතාකරු ෆියදෝර් ඩොස්ටොව්ස්කි..
(1821-1881) (Fyodor Dostoevsky) රුසියානු සාහිත්‍යයෙහි අති ශ්‍රේෂ්ඨතම නවකතාකරුවෙකු ලෙස සැලකෙන ෆියදෝර් මිහාල්යොවිව් ඩොස්ටොව්ස්කි උපන්නේ මොස්කව් නුවර ය. මුලින් මිලිටරි ඉංජිනේරුවෙකු ලෙස පුහුණුව ලැබූ නමුත් සාහිත්‍ය කටයුතු කෙරේ ඇදී ගිය ඩොස්ටොව්ස්කිගේ පළමු ප්‍රබන්ධ කෘතිය වූයේ 'දිළිඳු ජනයා' (1846) යන්නයි. මෙය ලියුම් ස්වරූපයෙන් ලියන ලද මනෝවිද්‍යාත්මක අධ්‍යනයක් විය. මොහුගේ ඊළඟ කෘතිය වූ 'ද්විත්වය' (1846) ජනයාගේ ද්වේෂයට භාජනය වූ නිලධාරියෙකු තමාගේ ම ද්විත්ව ස්වරූපයක් දකිමින් උමතු බවට පත් වන ආකාරය පිළිබිඹු කරන්නකි. මේ වකවානුවේ දී තමා අධ්‍යාපනයේ යෙදුණු ශාන්ත පීටර්ස්බර්ග් නුවර තමා අත්දුටු දිළිඳු හා පීඩිත ජනයා ගැනත් අස්වාභාවික ගතිපැවතුම් ඇති පුද්ගලයන් ගැනත් කථා කිහිපයක් ඔහු අතින් බිහි විය.
සමාජ අසාධාරණතා ගැන කළ කිරීම නිසා සමාජ සංශෝධන ව්‍යාපාර වෙත ඇදී ගිය ඩොස්ටොව්ස්කි 1847 දී පමණ ශාන්ත පීටර්ස්බර්ග් නුවර සිටි සමාජවාදී චින්තකයන් පිරිසක් සමඟ සාකච්ඡාවන්ට හවුල් විය. මේ අවධියේ දී රුසියාවේ පැවතුනේ I වන නිකොලස් අධිරාජ්‍යයාගේ මර්ධනකාරී පාලනයයි. පොලීසිය විසින් මෙම 'කුමන්ත්‍රණකාරී' පිරිස අත්අඩංගුවට ගන්නා ලද අතර නඩු විභාගයේ දී ඩොස්ටොව්ස්කි ඇතුළු කීපදෙනෙකුට මරණීය දණ්ඩනය නියම විය. එහෙත් අධිරාජ්‍යයාගෙන් සමාව ලත් ඔවුහු සිව් වසරක් සයිබීරියාවේ පිටුවහල් කිරීමට ලක් වූහ. ඉන් පසුව තවත් සිව් වසරක් යුද සේවයේ යෙදීමට ද ඔහුට සිදුවුණි.
මේ දුෂ්කර කාලය තුළ ඔහුගේ ජීවිතය මහත් විපර්යාස ගණනාවකට භාජන විය. සිරගෙවල විඳි අනේකවිධ දුක් කම්කටොළු නිසා ඔහුට මීමැස්මොර රෝගය වැළඳුණි. සිරගෙයි දී ඔහුට කියවන්නට ලැබුණු එක ම පොත වූයේ බයිබලයේ නව තෙස්තමේන්තුවයි. මෙයින් විප්ලවවාදී චින්තනය වෙනුවට දැඩි ආගමික භක්තිය ඔහු සිත් තුළ මුල් බැස ගත්තේ ය. 1857 දී ඔහු එක් පුතෙකු ද සහිත ක්ෂය රෝගයෙන් පෙළන වැන්දඹුවක් හා විවාහ විය. මුදල් හිඟකම හා යළි සාහිත්‍යකරණයට බට ඔහු 1859 දී 'මාමාගේ සිහිනය' නම් විකට කථාවක් පළ කළේ ය. මේ වසරේ දී ම 'පවුලේ මිත්‍රයා' නම් තවත් කථාවක් ද ඔහු ලියූ නමුත් මේ කථා දෙක ම එතරම් පාඨක පැසසුමට ලක් වුනේ නැත. එහෙත් මේ වසරේ දී නිදහස් මිනිසෙකු ලෙස ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ආපසු ඒමට ඔහුට ඉඩ ලැබුණි.
වර්ෂ 1860 දී තමා මෙතෙක් ලියූ කථාවල සංග්‍රහයක් ප්‍රකාශයට පත් කළ ඔහු 1861 දී තම සොහොයුරාගේ ආධාරය ඇතිව 'ව්‍රේම්යා' ('කාලය') නැමැති සඟරාව ආරම්භ කළේ ය. රුසියානු ජනතාවගේ අභ්‍යුදය සඳහා රටේ සියලු මත දරණ බුද්ධිමතුන් එකමුතු විය යුතු බව මෙම සඟරාවේ ප්‍රතිපත්තිය වූ හෙයින් ඊට ඉතා යහපත් ප්‍රතිචාරයක් බොහෝ දෙනාගෙන් ලැබුණි. සඟරාවේ කොටස් වශයෙන් පළ වූ ඔහුගේ 'මළවුන්ගේ නිවසෙන් සටහන්' නම් කෘතිය තුර්ගිනිෆ්, ටෝල්ස්ටෝයි වැනි ප්‍රකට සාහිත්‍යධරයන්ගේ ද පැසසුමට ලක් විය. තම බිරිඳ මරා දැමීම නිසා සිරගෙට නියම වූවෙකුගේ අත්දැකීම් ලෙස ප්‍රබන්ධිත මෙම කෘතියෙහි සිරගෙයි ජීවිතය තාත්විකව නිරූපණය වීම ද චරිතවල මනෝභාව ගැඹුරින් නිරූපණයවීම ද නිසා විශිෂ්ඨ කෘතියක් බව විචාරකයෝ පිළිගත්හ. 1862 දී 'නින්දා පරිභව ලද්දෝ' යන නමින් එම සඟරාවේ ම කොටස් වශයෙන් පළ කළ කෘතියෙහි දී සමාජ තහංචි හා පවුලේ විරෝධය නොතකා තමා කැමති මිනිසෙකු වෙත ප්‍රේමය පුද කිරීමට ගැහැණියකට ඇති අයිතිය ඔහු හුවා දැක්වී ය.
සඟරාවේ සාර්ථකත්වය නිසා සෑහෙන ආදායමක් ලද ඔහු 1862 දී යුරෝපයේ සංචාරයක යෙදුණි. එහෙත් මේ වසරේ දී සඟරාවේ පළ වූ 'දේශ විරෝධී' ලිපියක් නිසා රජය එය පළ කිරීම තහනම් කළේ ය. අනතුරුව රුසියාවට ආ ඩොස්ටොව්ස්කි යළි තම සොහොයුරා සමඟ ඉපෝඛා (යුගය) නම් සඟරාව ඇරඹීය. මෙහි කොටස් වශයෙන් පළ වී “පාතාල ලෝකයේ සටහන්” නම් කෘතිය මඟින් රැඩිකල් සමාජවාදීන් සමච්චලයට භාජනය කෙරුණි. ඒ සමඟම කථානායකයාගේ ආත්ම විශ්ලේෂණය ද අධ්‍යාත්මික නැඹුරුව ද නිසා විශේෂ දාර්ශනික මුහුණූවරක් එයට ලැබී තිබුණි. ඩොස්ටොව්ස්කි ඉන් අනතුරුව ලියූ විශිෂ්ඨ නවකථාවලට පෙරහුරුවක් මෙම කෘතියේ දැකිය හැකි බව විචාරකයන්ගේ මතයයි.
වර්ෂ 1864-1865 කාලය තුළ ව්‍යසන සමූහයකට මුහුණ පෑමට ඩොස්ටොව්ස්කිට සිදු විය. ඔහුගේ බිරිඳ හා සොහොයුරා මිය ගියේ ය. සඟරාව ද බංකොලොත් වුණි. සූදු ක්‍රීඩාවෙහි ලොල් වූ ඔහු අතින් තමා ලඟ තිබුණු සියලු ධනය විනාශ විය.
ඔහු 1866 පළ කළ 'අපරාධය සහ දඬුවම' කෘතියට මුල් බීජය ඔහු සිත්හි රෝපණය වන්නට ඇත්තේ ඔහු සිරගෙයි සිටි යුගයේ දී බව පෙනේ. මෙම කෘතිය ඉමහත් පරීක්ෂාවෙන් යුතුව නිම වන ලද්දක් බව ඔහුගේ සටහන් පොත්වලින් අනාවරණය වී ඇත. ධනයට ඇති ගිජුකම පිළිබිඹු වන මේ නවකථාව සමාජ නවකථාවක් ලෙස ගැනිය හැකි ය. කථාවේ ප්‍රධාන චරිතය වන රස්කොලනිකොෆ් භෞතිකවාදී චින්තනයට වහල් වූ රැඩිකල් තරුණයෙකි. තමාට ආත්ම තෘප්තිය ලැබෙන්නේ තර්කවාදී චින්තනයෙන් නොව අත්ථකිලමතානුයෝගයෙන් බව ඔහු සිරගෙයි දී පසක් කර ගනී. මෙම නවකථාවේ අනෙකුත් චරිත නිරූපණය කර ඇති ආකාර විශේෂ විචාරක ප්‍රශංසාවට භාජන වී ඇත. සාමාන්‍ය අභිරහස් කථාවකට වඩා ගැඹුරට යමින් මනුෂ්‍ය ස්වාභාවය, සමාජ අසාධාරණතා, ආගමික දෘෂ්ඨිය හා දාර්ශනික චින්තනය ද ඇතුළත් කළ මෙම නවකථාව ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.
වර්ෂ 1866 දී ඔහු 'සූදුකාරයා' නම් කුඩා කෘතියක් ලියා පළ කළේ තමාගේ ම චරිත ස්වාභාවයෙන් ලත් අත්දැකීම් අනුසාරයෙනි. මෙම කෘතිය ලිවීමේ දී උපකාරී වූ ලඝු ලේඛිකාව විවාහ කරගත් ඩොස්ටොව්ස්කි තම ණයකරුවන්ගෙන් බේරීම පිණිස රටින් පළා ගොස් සිව් වසරක් පිටරට වාසය කළේ ය. මේ කාලයේ දී සූදුව නිසා වූ වස්තු හානිය ද තමනට උපන් දරුවා මිය යාම ද මීමැස්මොරයෙන් පෙලීම ද ආදී ව්‍යසනයන්ට මුහුණ පෑ ඩොස්ටොව්ස්කිට බිරිඳ මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නා ය. 1868-1869 කාලය තුළ ඔහු ලියූ 'තකතීරුවා' තවත් විශිෂ්ඨ නිර්මාණයක් ලෙස පිළිගන්නා ලදි. වර්ෂ 1869-1872 කාලයේ දී ලියන ලද 'ආවේශවූවෝ' ද ඔහුගේ වැදගත් නවකථාවකි. සඟරාවලට ලිපි ලිවීම හා කෙටිකථා රචනය වැනි කටයුතුවල කළක් නිරතව සිටි ඩොස්ටොව්ස්කි 1879-1880 කාලය තුළ ලියූ 'කරමසොෆ් සහෝදරයෝ' නවකථාව ඔහුගේ විශිෂ්ඨතම නිර්මාණය ලෙස සැලකේ. පීතෘ ඝාතනයක් පිළිබඳ නවකථාවක් වන මෙහි ගැඹුරු මනෝවිද්‍යාත්මක හා අධ්‍යාත්මක විශ්ලේෂණ සංකලනය කර ඇත්තේ කතුවරයාගේ අසාමාන්‍ය කුසලතාවේ මහිමයෙන් බව පෙනේ. පියා ඝාතනයෙන් පසු පුතුන් සිව්දෙනා කෙරෙහි එය බලපාන ආකාරය ඩොස්ටොව්ස්කි නිරූපණය කරන්නේ මින් පෙර කිසිදු නවකථාවක දක්නට නොලැබුණු කෘතහස්ථතාවකිනි.
19 වන සියවසේ ලෝක සාහිත්‍යයේ බිහි වූ විශිෂ්ඨතම කෘති කීපයක කතුවරයා ලෙස ඩොස්ටොව්ස්කි සම්මානයට පාත්‍ර වී ඇත. සදාචාරමය ආගමික හා සමාජමය ගැටළු නවකථාවෙන් පිළිබිඹු කිරීම අතින් ඔහු අග්‍රගණ්‍ය ස්ථානයක් දරන්නේ ය. විසි වන සියවසේ මුල පහළ වූ බොහෝ සාහිත්‍යකරුවෝ ඔහුගෙන් අභාසය ලදහ. කොමියුනිස්ට්වාදීන් විසින් ඔහුගේ කෘතීන් ප්‍රතික්ෂේප කරන ලද මුත් රුසියානු ජනතාව තම සාහිත්‍ය බැබලවූ මහා සාහිත්‍යධරයෙකු ලෙස ඔහු දිගට ම අගය කරති.
(කර්තෘ: කේ.එන්.ඕ. ධර්මදාස)
Gamine Wasantha Vandakoon ගේ මුහුණු පොතිනි..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..