බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
එහිදී පළමුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන අදහස් දක්වමින් පෙන්වා දුන්නේ බන්ධනාගාර අභ්‍යන්තර පරිපාලන රෙගුලාසි මාලාවේ 216 වෙනි වගන්තිය ප්‍රකාරව, සරල සිරදඬුවමකට නියම වන බෞද්ධ භික්ෂූන් වහන්සේනමකට තමන්ගේ පූජක වස්ත්‍රය (බුද්ධ චීවරය) දරා සිටීමට සම්පූර්ණ අයිතිය පවතින බවය. ඒ පිළිබද යම් සැක සහිත අවස්ථාවකදී ඒ පිළිබඳ නියෝගයක් ාහි් උපදෙසක් ලබාගැනීමට බන්ධනාගාර අධිකාරීවරයා කොමසාරිස්වරයා හරහා රජයෙන් මේ ගැන විමසා සිටිය යුතුබව වීරවංශ මහතා පෙන්වා දෙයි.
පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ බුද්ධ චීවරය ගලවා ජම්පරය ඇන්දවීම මෙන්ම, වෙනත් නඩුවකට අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සිවුර දරන්නට නොදී සුදු කමිසයක් හා සරමක් ඇන්දවීම සමස්ත අරහත් ධජයටත් මහා සංඝරත්නයටත් කළ මහා අවමානයක් බව ඔහු පැවසීය. බන්ධනාගාර පනතේ 500 වෙනි වගන්තිය අනුව වෙනත් නඩුවකට අධිකරණයට කැඳවන විට සිරකරුවෙකුට කලින් ඇඳ සිටි ඇඳුම (චීවරය) පිටින් ඉදිරිපත් කිරීමට නෛතික අයිතියක් ඇති අතර, පසුගිය යහපාලන ආණ්ඩු සමයේ මාස නමයක සිරදඬුවම ලබන විටද උන්වහන්සේ සිටියේ බුද්ධ චීවරය පිටින් බව ඔහු මතක් කර දුන්නේය.
“දැන් පහුගිය, මාස නමයක් මේ දඬුවම ලබලා, යහපාලන ආණ්ඩු කාලේ, ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ ඔය බන්ධනාගාරයේ හිටියා. ජම්පරය ඇන්දද? නැහැ. බුද්ධ චීවරය පිටින් හිටියේ. මෙන්න මේ 216 වෙනි වගන්තිය ප්‍රකාරව. ඒ වෙලාවෙත්, ඒ වෙලාවේ හිටපු කොමසාරිස්, ඒ වෙලාවේ හිටපු රජයේ බලධාරීන්ගෙන් මේ ගැන අහන්න ඇති. ඇහුවම දීපු මග පෙන්වීම අනුව තමයි බුද්ධ චීවරය පිටින් හිටියේ.
එතකොට පේනවා මේ පරගැති, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ටත් වඩා දරුණු ලෙස මේ රටේ බුදු දහමට, බුද්ධ ශාසනයට වෛර කරන මේ රැල තමයි මේ තුට්ටු දෙකේ වැඩේ, පාපතර වැඩේ, බුද්ධ චීවරය ගලවලා ජම්පරය අන්දලා විතරක් නෙවෙයි, උසාවියට ගෙන එනකොට සිවුර දරන්න තියෙන අයිතියත් අහිමි කරලා, අර සුදු පාට කමිසයක්, සරමක් අන්දෝගෙන මහා අවමානය, මේ රටේ බෞද්ධ භික්ෂූන්, සමස්ත සංඝයාටම කරපු මහා අවමානය කළේ.”
තමන්ගේ සේවා දිගුව ලබාගැනීමේ කෑදරකමින් ඇතැම් බන්ධනාගාර නිලධාරීන් රෙගුලාසි විකෘති කරමින් කටයුතු කරන බවත්, ජනාධිපතිවරයා මහානායක හිමිවරුන් හමුවී උසාවියට එන විට පමණක් සිවුර ඇඳීමට අවසර දීම ප්‍රමාණවත් නොවන අතර දඬුවම් විඳින මුළු කාලය පුරාම උන්වහන්සේට චීවරය දරා සිටීමට නෛතික අයිතිය ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය...
දෙවනුව විමල් වීරවංශ අදහස් පළ කළේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කටයුතු කරන කැකිල්ලේ නඩු අහන පිළිවෙත ගැනය.
පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මැතිනිය, හිටපු අග්‍රවිනිශ්චයකාරිනී ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතා සහ හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීම පිටුපස පැහැදිලි දේශපාලන පළිගැනීමක් පවතින බව විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
එකම සිද්ධියකට අදාළව ප්‍රදීප කාරියවසම් මහතාට පොදු දේපළ පනත යටතේ චෝදනා නොනගා ඇප හිමිවන සේ කටයුතු කර, ශිරන්ති රාජපක්ෂ මැතිනියට පොදු දේපළ පනත ගැටගසා ඇප අහෝසි වන සේ කටයුතු කිරීම විමර්ශන නිලධාරීන්ගේ පක්ෂපාතීත්වය හෙළි කරන්නක් බව ඔහු කීවේය. එමෙන්ම 2006 වසරේ නිල සංචාරයකදී ලැබුණු ඩොලර් 5000ක පෞද්ගලික වියදම් අත්තිකාරමකට අදාළ සුළු සිදුවීමක් මුල් කරගනිමින් රෝහිත බෝගොල්ලාගම මහතා ඇප නොලැබෙන සේ බන්ධනාගාරගත කර ඇත්තේ යුද සමයේ විදේශ අමාත්‍යවරයා ලෙස බරපතළ වගකීමක් දරමින් ජාත්‍යන්තර පීඩනයන් පාලනය කිරීමට ඔහු දැක්වූ දායකත්වය නිසා බවත්, මෙය ප්‍රභාකරන්ගේ සහ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ වෛරය පිරිමසා ගැනීමක් බවත් ඔහු සඳහන් කළේය.
මලික් සමරවික්‍රම වැනි අයට කිසිදු චෝදනාවක් නොමැත්තේ ඔවුන් කොටි පරාජය කිරීමේ සටනට සම්බන්ධ නොවූ නිසා බවත්, මහදවල් සිදුවූ කන්ටේනර් 323 රහසිගතව මුදාහැරීමේ සිද්ධි වැනි සැබෑ දූෂණ යටගසමින් දේශපාලන පළිගැනීම් පමණක් සිදුවන බවත් වීරවංශ මහතා පෙන්වා දෙයි.
තුන්වනුව ජනතා නැගිටීම් වලට බියපත් මේ බියගුළු රජය ජනතා අයිතීන් විනාශ කරන නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ගෙන එමින් මර්ධනය නැමැති අවිය ළෙලවන්නට පටන් ගෙන ඇතැයිද පවසයි.
වත්මන් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වන නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සාමකාමී විරෝධතා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ සිවිල් ක්‍රියාකාරකම් පවා ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය කිරීමටත්, අධිකරණ නියෝගයකින් තොරව නිවාස සහ දුරකථන පරීක්ෂා කිරීමට හමුදාවට බලය දීමටත් කටයුතු කරමින් පවතින බවට හිටපු මන්ත්‍රීවරයා චෝදනා කළේය.
අවුරුදු පහකට බලයට ආ ආණ්ඩුවකට වසර 2500ක ඓතිහාසික උරුමයට අත තැබීමට ඉඩ දිය නොහැකි බව කියමින්, “ජනතාව නැමති ජලයට බෝට්ටුව නමැති පාලකයා ඉදිරියට පා කරගෙන යාමට මෙන්ම එය පෙරළා දැමීමටද හැකියාව ඇතැයි" යන චීන ප්‍රාඥයාගේ ප්‍රකාශය සිහිපත් කරමින් ජනතා මර්දනය වහා නතර නොකළහොත් දැවැන්ත ජන නැගිටීමක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත් වීරවංශ මහතා අවධාරණය කළේය.
“ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවට කියනවා අවුරුදු පහකට බලයට ආපු කල්ලතෝනි කල්ලියකට 2500ක උරුමයට අත තියන්නවත්, මේ රට බේරගත්තු නායකයන්ගෙන් ප්‍රභාකරන් වෙනුවෙන් පළිගන්න ඉඩ තියන්නවත් එපා. ඒ සියල්ලට එරෙහිව මහ සුළඟක් වී නැගෙන්න, ඒ සඳහා නියමිත අවස්ථාව මේකයි කියලා අපි මේ රටේ පොදු ජනතාවට අවධාරණය කරනවා.”
ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවේ සම්පූර්ණ කතාව...
සුභ උදෑසනක් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාට.
පළමුවෙන්ම මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න අපි කල්පනා කළේ රටේ විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කොටගෙන, ඒ වගේම යුද්ධයට ජයග්‍රහණය ගෙනඒම සඳහා දායක වෙච්ච කොටස් ඉලක්ක කොටගෙන, රණබිරුවන් ඉලක්ක කොටගෙන ගෙන යන මර්දනයත්, ඒක පිටිපස්සේ තියෙන කතාවත් පිළිබඳව අපේ රටේ පොදු ජනතාවට අවබෝධය ලබාදීම පිණිස.
පළමුවෙන්ම මම කියන්න කැමතියි බන්ධනාගාරයේ අභ්‍යන්තර පරිපාලනයට අදාළව තියෙන රෙගුලාසි වල, ඒකේ 216 වෙනි වගන්තියේ තියෙනවා මෙන්න මේ විදියේ වගන්තියක්:
“සරල සිරදඬුවමකට නියම වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට තමන්ගේ ඇඳුම් ඇඳීමට අවසර දෙනු ලැබේ. කිසියම් විශේෂිත අවස්ථාවකදී එවැනි පූජකවරයකු බන්ධනාගාර ඇඳුමක් ඇඳිය යුතු බවට බන්ධනාගාර අධිකාරීවරයා විසින් නියෝගයක් ලබාදී නොමැති නම්, එවැනි නියෝගයක් අධිකාරීවරයා විසින් ලබා නොදීය යුතුය, එවැනි නියෝගයක් ලබාදෙන්න සැක සහිත බව පෙනෙන සියලුම අවස්ථාවන්හිදී අධිකාරීවරයා එය නිකුත් කිරීමට පෙර කොමසාරිස්වරයා හරහා රජයට යොමු කරනු ඇත”
දැන් මේක තමයි “Rules as to prisoners sentenced to simple imprisonment” කියන ඔවුන්ගේ අභ්‍යන්තර බන්ධනාගාරයේ පරිපාලනයට අදාළව තියෙන, කාලයක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ තියෙන මග පෙන්වීමේ ලේඛනයේ, “ගයිඩ්ලයින්ස්වල” තියෙන මූලික වගන්තිය. එතකොට මේකෙන් කියන්නේ මොකක්ද?
යම්කිසි පූජකවරයෙක්, භික්ෂූන් වහන්සේ නමක් යම්කිසි දඬුවමකට බන්ධනාගාරගත කෙරුණොත්, ඒක සාමාන්‍ය දඬුවමක් නම්, අවුරුද්දක දෙකක හරි මාසයක හරි දඬුවමක් නම්, අනිවාර්යයෙන් ඒ පූජක වස්ත්‍රයෙන් සිටීමට ඉඩ දිය යුතුයි. බෞද්ධ භික්ෂූන් නම් චීවරය දරාගෙන සිටීමට ඉඩ දිය යුතුයි. එහෙම නෙවෙයි කියලා පෙනෙන අවස්ථාවකදී, ඊට වඩා වැඩි දඬුවමක් නම් ලැබිලා තියෙන වෙලාවකදී, දැන් මේ බෞද්ධ භික්ෂුවක් නම් චීවරය දරාගෙන සිටීමට ඉඩ දිය යුතුද, ජම්පරය ඇන්දවිය යුතුද කියන ප්‍රශ්නය ආවොත්, ඒක මේ වගන්තිය පැහැදිලිව කියනවා ඒ සැක සහිත අවස්ථාවකදී කළ යුත්තේ මොකක්ද කියලා. බන්ධනාගාර අධිකාරීවරයා විසින් නියෝගයක් එහෙම කරන්න කියලා දීලා නැත්නම්, එවැනි නියෝගයක් ලබා දිය යුතුද යන්න සැක සහිත බව පෙනෙන සියලුම අවස්ථාවන්හිදී අධිකාරීවරයා ඒ නිකුත් කිරීමට පෙර කොමසාරිස්වරයා හරහා රජයට යොමු කරනු ඇත.
දැන් මේ කියන වගන්තිය ප්‍රකාරව නම් කටයුතු කරලා තියෙන්නේ බන්ධනාගාර අධිකාරියේ බලවතුන්, ප්‍රධානීන්, ඒ කියන්නේ ඔවුන්ට ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ බන්ධනාගාරගත කෙරුණාම දඬුවම් ලැබ, ඔවුන්ට යම්කිසි ප්‍රශ්නයක් එනවා දැන් ජම්පරයද එහෙම නැත්නම් චීවරයද කියලා. එතකොට මේ වගන්තිය ප්‍රකාරව ඔවුන් කොමසාරිස්වරයා හරහා රජයට ප්‍රශ්නය යොමු කරන්න ඕන. රජයෙන් තමයි කියන්න ඕනේ ජම්පරයද චීවරයද කියලා. රජයෙන් විමසන්නේ නැතුව කරා නම් කොමසාරිස්වරයා කරලා තියෙන්නේ බරපතල වරදක්. මම හිතන්නේ නැහැ කිසිම කොමසාරිස්වරයෙක් මෙබඳු සංවේදී කරුණක් සම්බන්ධයෙන් රජයෙන්, ඒ කියන්නේ ඔහුට විමසන්න තියෙන්නේ අධිකරණ අමාත්‍යවරයාගෙන්. විමසන්නේ නැතුව, අධිකරණ අමාත්‍යංශ ලේකම් හරහා අධිකරණ අමාත්‍යවරයාගෙන් විමසන්නේ නැතුව මෙවැනි තීරණයක් ගනියි කියලා.
දැන් අද දවල් එකට ත්‍රෛනිකායක මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ නියෝජිත ස්වාමීන් වහන්සේලා මේ කොළඹට වැඩමවා වදාරනවා ජනාධිපතිවරයාගේ ආරාධනාව පරිදි මේ කරුණ සාකච්ඡා කරන්න.
මට හිතෙනවා වෙන්න යන්නේ මේකයි, මේ ගත්තු තීරණය පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට චෝදනා එල්ල කරලා, පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ නැවත උසාවියට කැඳවන අවස්ථාවකදී චීවරය දරාගෙන එන්නට, ජනාධිපතිවරයා විසින් ඔහුගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට තමයි මට පේන්නේ ඉඩ තියෙන්නේ.
මොකද ඊයේ උසාවිය අසල ඇතිවෙච්ච තත්ත්වය, ඒ ප්‍රවණතාවය තව වැඩෙන්න තියෙන ඉඩකඩ බුද්ධි අංශ විසින් ලබාදී තිබෙන ඉතාම බියගන්වනසුලු වාර්තා, මේ ඔක්කොම විසින්, අද දවල් එකට මේ කඩිමුඩියේ 22 වෙනි සංශෝධනයට මේ වෙලාවේ ගේන්න එපා කියපු ත්‍රෛනිකායක මහනායක හිමිවරුන්ගේ ලියුම කුණුබක්කියට දාලා, අඩුගානේ ඒ ගැන සාකච්ඡාවකටවත් උන්වහන්සේලාත් එක්ක නොගිය නල්ලමලේ ජනාධිපති, මේ ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ බන්ධනාගාරගත කරාට පස්සේ උන්වහන්සේ චීවරය පිලිබදව, එය දරාගෙන සිටිය යුතුද, ජම්පරය දරාගෙන සිටිය යුතුද කියන ප්‍රශ්නය මතු වුණාම, ඒකත් එක්ක මේ රටේ බෞද්ධ ජනතාව සියලුම පක්ෂභේද පැත්තකට දාලා, මේ රටේ සිංහල මිනිස්සු සියලුම පක්ෂභේද පැත්තකට දාලා, ගිහි පැවිදි කියන දෙගොඩ හැටියට එකට එකතු වෙන බව බුද්ධි අංශ වාර්තා වලින් ඇඟ ගිනියම් කරන විදිහට එනකොට, මෙන්න වහාම දවල් එකට අද කැඳවලා තියෙනවා අතිගරු මහානායක හිමිවරුන්ගේ නියෝජිත ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. වෙන්න යන්නේ මට පේන විදිහට ඒක තමයි. හැබැයි ඒක මදි, ඒක හරියන්නේ නැහැ, ඒක අනිවාර්යයෙන් තියෙන දෙයක්. දැන් ඔබ දන්නවා දැනටමත් මේ ලේඛනයේ 500 වෙනි වගන්තිය ගැන ගොඩක් අය කියලා තියෙනවා.
ඒකේ කියන්නේ යම්කිසි ඕනම වරදකාරයෙක් උසාවියට ගෙනියනවා නම්, වෙනත් නඩු කටයුත්තකට, ඔහු වරදකාරයා වෙන්න කලින් ඇඳපු ඇඳුමක් තියෙනවා නම්, ඒ ඇඳුම පිටින් යවන්න, ඒ ඇඳුම තියෙනවා බන්ධනාගාරය ඇතුළේ, ඒක දිරාපත් වෙලා නම් ඊට සමාන ඇඳුමක් දීලා යවන්න. මේක තමයි කියලා තියෙන්නේ. එතකොට බුද්ධ චීවරය දරාගත්තු භික්ෂූන් වහන්සේ නමක් නම් වරද කරලා තියෙන්නේ, උන්වහන්සේගේ ඇඳුම වනාහි බුද්ධ චීවරය. බුද්ධ චීවරය එක්ක තමයි යන්න ඕනේ. ඒක ආයේ ජනාධිපති කියන්න ඕනේ නැහැ.
හැබැයි මෙතන වැහුවේ අන්න අර මම කලින් කියපු වගන්තිය. ජම්පරය අන්දන්නත් කිසි අයිතියක් නැහැ. දැන් පහුගිය අවුරුදු, මාස නමයක් මේ දඬුවම ලබලා, යහපාලන ආණ්ඩු කාලේ, ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ ඔය බන්ධනාගාරයේ හිටියා. ජම්පරය ඇන්දද? නැහැ. බුද්ධ චීවරය පිටින් හිටියේ. මෙන්න මේ 216 වෙනි වගන්තිය ප්‍රකාරව. ඒ වෙලාවෙත්, ඒ වෙලාවේ හිටපු කොමසාරිස්, ඒ වෙලාවේ හිටපු රජයේ බලධාරීන්ගෙන් මේ ගැන අහන්න ඇති. ඇහුවම දීපු මග පෙන්වීම අනුව තමයි බුද්ධ චීවරය පිටින් හිටියේ.
එතකොට පේනවා මේ පරගැති, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ටත් වඩා දරුණු ලෙස මේ රටේ බුදු දහමට, බුද්ධ ශාසනයට වෛර කරන මේ රැල තමයි මේ තුට්ටු දෙකේ වැඩේ, පාපතර වැඩේ, බුද්ධ චීවරය ගලවලා ජම්පරය අන්දලා විතරක් නෙවෙයි, උසාවියට ගෙන එනකොට සිවුර දරන්න තියෙන අයිතියත් අහිමි කරලා, අර සුදු පාට කමිසයක්, සරමක් අන්දෝගෙන මහා අවමානය, මේ රටේ බෞද්ධ භික්ෂූන්, සමස්ත සංඝයාටම කරපු මහා අවමානය කළේ.
මේක දිහා මේ මාලිමාකරණයට, ජේපීකරණයට ලක්වෙච්ච ආන්තික බෞද්ධයෝ මේක මේ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් කරලා ගන්නේ. මේක පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ කාලකණ්ණි සන්තෝසය ලබන්න යනවා නම් කවුරුහරි, ඔහු නිගණ්ඨයෙක්. එහෙම කෙනෙකුට බෞද්ධයෙක් කියන්නවත් කිසිම අසදාචාරාත්මක යුතුකමක් නැහැ. ඒ නිසා මෙතන තියෙන්නේ අපි කියන්නේ ජනාධිපතිවරයාට, දවල් එකට මහනායක ස්වාමීන් වහන්සේලාගේ නියෝජිත ස්වාමීන් වහන්සේලා කැඳවලා ආයේ උසාවි ගෙන එනකොට බුද්ධ චීවරය දරාගෙන එන්නම් කියලා කිව්වට හරියන්නේ නැහැ. අනිවාර්යයෙන් උන්වහන්සේ දඬුවම් ලබන කාලය තුළ සිටිය යුත්තේ බුද්ධ චීවරය දරාගෙන. ඒක තියෙනවා මේ 216 වෙනි වගන්තියේ. ඒක සුද්දත් කරා, ඒක සුද්දත් පිළිගත්තා.
සුද්දා පිළිගත්තු එකවත් පිළිගන්න බැරි නම් මේගොල්ලොන්ට, කොහොමද මේක කරන්නේ? දැන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකයා තළු මර මර කියන්නේ, අවුරුදු මෙච්චරට වඩා වැඩි දඬුවමක් නම් ජම්පරය තමා අන්දන්න වෙන්නේ කියලා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සෙනක පල්ලෙතැන්න දන්නේ නැද්ද? ඇයි මෙහෙම කියන්නේ? මේ පච කියන්නේ ඇයි. 216 වෙනි වගන්තිය නොදැනද මේ කියන්නේ? ඇයි මේ පච කියන්නේ? උන්දැගේ විශ්‍රාම යන වයස ඇවිල්ලා තියෙනවා, මේ 24 වෙනදට සේවා දිගුවක් ඉල්ලලා තියෙනවා. මේ “සේවා දිගු මස් කට්ට” ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් උන්දෑ මාධ්‍යයට කියනවා හතරට වැඩි නම් ජම්පරය කියලා.
මේකේ කියලා නැහැ 216 වෙනි වගන්තියේ හතරට වැඩිද පහට වැඩිද කියලා. සාමාන්‍ය සිරදඬුවමක් නම් කොහොමත් බුද්ධ චීවරය, ඊට එහා එකක් ගැන නම් කටයුතු කරන්න ඕනේ කොහොමද, රජයෙන් විමසලා. නැතුව තීරණ ගන්න බැහැ බන්ධනාගාර අධිකාරියට. ඒ නිසා අපි ඒ පල්ලෙතැන්නටත් කියනවා, අනේ මහත්තයෝ විශ්‍රාම යන දෙවියන්ගේ නාමයෙන්. දරුවන්ට ලැජ්ජ නොකර, ඒ දරුවෝ මේ රටේ ජීවත් වෙන්න ඕනේ. තව අවුරුද්දක් දෙකක් මේ කෙළ හල හල යුනිෆෝම් එක ගහගෙන, යුනිෆෝම් එක ගහගෙන ඉන්න තියෙන කෑදරකමට මේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පාවලා දෙන්න එපා. මේ රටේ අවුරුදු 2500ක උරුමය පාවලා දෙන්න එපා. චාපතට වැටෙන්න එපා. දරුවන්ට ලැජ්ජ කරන්න එපා. ආත්ම අභිමානය තියාගෙන යන්න පෙන්ෂන් 24 වෙනදා, තුට්ටු දෙකට වැටෙන්නේ නැතුව.
ඒ නිසා ඒ විතරක් නෙවෙයි, දැන් මේ ඔක්කොම අස්සේ ආණ්ඩුව ඊයේ දවස තුළ විතරක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මට මතක හැටියට තුනටම අදාළව ක්‍රියාත්මක වුණා. දඩයම් මන්දිරය හරහා එන නියෝග ප්‍රකාරව තුන් දෙනෙක් අත්අඩංගුවට ගත්තා, උසාවියට ඉදිරිපත් කරා. එක්කෙනෙක් යුද්ධය ජයග්‍රහණය කරන්න මේ රටට නායකත්වය දීපු සේනාධිනායකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ගේ බිරිඳ වූ ශිරන්ති රාජපක්ෂ මැතිනිය. ඇයට අමතරව ඒ චෝදනාවටම අත්අඩංගුවට ගත්තා හිටපු අග්‍ර විනිශ්චයකාරමිය ශිරාණි බණ්ඩාරනායක මැතිනියගේ ස්වාමිපුරුෂයා ප්‍රදීප් කාරියවසම් මහත්මයා, එවකට රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙක් හැටියට හිටියේ.
එතුමා ඒ චෝදනාවට අනුව පළවෙනි සැකකරු, ශිරන්ති රාජපක්ෂ මැතිනිය ඒ චෝදනාවට අනුව දෙවෙනි සැකකරු. ඊළඟට තවත් අත්අඩංගුවට ගත්තා යුද්ධය පවතින අවස්ථාවේ විදේශ ඇමතිවරයා හැටියට කටයුතු කරපු රෝහිත බෝගොල්ලාගම හිටපු අමාත්‍යවරයා. ඔහුවත් රිමාන්ඩ් බන්ධනාගාරගත කරා නඩුව අසා අවසන් වනතුරු ඇප නොලැබෙන ආකාරයට.
දැන් අර ශිරන්ති රාජපක්ෂ මැතිනියයි, ප්‍රදීප් කාරියවසම් මහත්මයයි ගත්තු චෝදනා වලදී, පළවෙනි සැකකරුට චෝදනාව දාන්නේ නැහැ මට තියෙන තොරතුරු අනුව පොදු දේපල පනත ප්‍රකාරව. එතකොට පළවෙනි සැකකරුට ඒ නිසා ඇප ලැබෙනවා. සහ එතුමාගේ මොනවද මොනවද ලෙඩ රෝග ගැනත් කියනවා. ලෙඩ රෝග ගැන නම් දෙන්නම කියලා තියෙනවා. හැබැයි පොදු දේපල පනත ගැට ගහලා නැති නිසා ඔහුට ඇප ලැබෙනවා.
දෙවෙනි සැකකරුට, මේ ශිරන්ති රාජපක්ෂ මැතිනියට පොදු දේපල පනත ගැට ගහලා තියෙනවා. ඒ නිසා ඇප දීම ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ ඒක ඇවිල්ලා අධිකරණයේ ප්‍රශ්නයක් නෙවෙයි, මේ විමර්ශනය කරන අයගේ ප්‍රශ්නයක්, විමර්ශන නිලධාරීන්ගේ ප්‍රශ්නයක්. එතකොට ඒ විමර්ශන නිලධාරීන්ට එහෙම හිතෙන්නේ කොයි හේතු මතද කියලා අපිට තේරෙන්නේ නැහැ. එක් අයෙකුට ඇප ලැබෙන විදිහට අධිකරණයට ගෙනියන්නයි, තව අයෙකුට ඇප නොලැබෙන විදිහට අධිකරණයට ඉදිරිපත් කරන්නයි මොකක්ද තියෙන නිර්ණායක කියන කාරණය අපට බොහොම අපැහැදිලියි.
කෙසේ වෙතත් අපිට පේනවා දැන් මේ රෝහිත බෝගොල්ලාගම ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ජනාධිපතිවරණයට පෙර වේදිකාවකවත් මොනවා හරි කිව්වද? ඒගොල්ලෝ හොරු කියපු නාමලේඛනය ඇතුළේ හිටියද? ඒගොල්ලෝ බොහොම ජනප්‍රිය චෝදනා ගොඩක් එල්ල කරානේ, ඒ එකකවත් රෝහිත බෝගොල්ලාගම හිටියද? එතකොට දැන් මම ඔහු හොයලා බැලුවා, චෝදනාව 2006 ඔහු ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා හැටියට, ඒ තිවිච්ච ආණ්ඩුවෙ ඉද්දී, මහින්ද රාජපක්ෂ පාලනයේ ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා හැටියට එංගලන්තයට ගිය සංචාරයකට අමාත්‍යවරයා හැටියට ඔහුට ලැබෙනවා ඩොලර් 5000ක් පෞද්ගලික වියදම් සඳහා. ඒ ඩොලර් 5000යේ මොකක් හරි හුටපටයක් චෝදනාව හැටියට ගොනු කරලයි ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්නේ.
ඔහු විදේශගතව සිටිය නිසා ආවේ නැහැ කියලා කියනවා, ඒ නිසා වරෙන්තු තිබුණා කියනවා, එක එක කතා කියනවා. කෙසේ වෙතත් චෝදනාව ඕක. සාමාන්‍යයෙන් විජිත හේරත් මහත්තයා ඔය රට යනකොටත්, මම නම් හිතන්නේ දැන් ඩොලර් 5000 ඩොලර් 7000ක් 10000ක් විතර වෙනවා ඇති. කීය හරි ඔය පෞද්ගලික වියදම් වලට ඒ කීය හරි දෙනවා. රජයේ සේවකයෙක් ගියත් ඊට වඩා අඩු ගානක් පෞද්ගලික වියදම් වලට දෙනවා. එතකොට දැන් මේ ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා ඒ ඩොලර් 5000යේ, මොකක් හරි අපි හිතමු ඩොලර් 4500ක් වියදම් කරලා ඉතුරු 500 දුන්නේ නැහැ කියලා. එතකොට ඒ ඉතුරු ඩොලර් 500ටනේ වරද වෙලා තියෙන්නේ.
එතකොට ඒ වරද මත නම්, ඒ කියන්නේ සංකේතාත්මකව එවැනි වරදක් මත නම් දැන් ඔහුට නඩුව විභාග කොට අවසන් වනතුරු ඇප ලැබෙන්නේ නැහැ. ඇයි ඔහුව විශේෂ කොට ඉලක්ක වෙන්නේ? ඇත්තටම මේ ඩොලර් 5000 ප්‍රශ්නයක්ද? ඔය විදේශගත වෙනකොට ලැබිච්ච ඩොලර් කීය හරි ඇත්තටම කොහොමද වියදම් කරේ කියලා රාජ්‍ය නිලධාරීන්ගේ සිට ඇමතිවරු සියල්ල දක්වා හොයාගෙන ගියොත්, අතිමහත් බහුතරයක් හිරේ දාතහැකි. රහත් වෙච්ච අය ඇරෙන්න, ඒ ඉතුරු ඔක්කොම හිරේ දාතහැකි. එතකොට දැන් මේ ඇයි ඔහුව ඉලක්ක වෙන්නේ?
ඔහු ඉලක්ක වෙන්නේ යුද්ධය පැවැති කාලපරිච්ඡේදයේ ඔහු විදේශ ඇමති. ජාත්‍යන්තරව ආපු ඇතැම් පීඩනයන් කළමනාකරණය කරන්න ඔහු මැදිහත් වුණා. මේ යන්නේ ප්‍රභාකරන්ගේ වෛරය... අපි කිව්වනේ “ඇගේ වෛරය” කියලා, ඇගේ වෛරය නෙමෙයි, ඒක ප්‍රභාකරන්ගේ වෛරය. මේ වෙල්ලමුල්ලිවයික්කාල් වෛරය පිරිමහන්නේ. මහින්ද රාජපක්ෂට විතරක් නෙවෙයි, නාමල් රාජපක්ෂට විතරක් නෙවෙයි, ශිරන්ති රාජපක්ෂටත් ගහන මට්ටමට වැටිලා තියෙන්නේ. ඒ වෛරය කාගේ වෛරයක්ද? ඒ වෛරය ප්‍රභාකරන්ගේ වර්තමාන නියෝජිත ඩයස්පෝරාවේ වෛරය. ප්‍රභාකරන්ව මරපු එකේ වාඩුව ගන්න, ප්‍රභාකරන්ගේ නෝනා මැරිච්ච එකේ වාඩුව ගන්න, පුතා මැරිච්ච එකේ වාඩුව ගන්න. ලෙයට ලෙය, දතට දත ආමි එකට තමයි ඒ පවුලේ හැම එකාම බිල්ලට දෙන්න. බිලි අරගන්න හිටියා නම් විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම, එයාවත් ගන්න. මහ බැංකු අධිපති, එයාවත් ගන්න.
මහා සංඝරත්නයට මොකක්ද දෙන්නේ, ඇවිල්ලා තියෙන වෛරය. රණබිරුවෝ ඉදිරිපත් කළා, රණබිරුවෝ ධෛර්යගැන්නුවා, හමුදාවට බැඳෙන්න මේ රටේ තරුණ දූ පුතුන් පෙළඹෙව්වා. ඒ නිසා මහා ගන්නවා වාඩුව. රණබිරුවන්ගෙන් ගන්නවා වාඩුව. මේගොල්ලන්ගෙන් ගන්නවා වාඩුව. තමිල් චෙල්වම් හිටපු තැනට හරියටම ටාගට් එක හොයලා දීපු සුරේෂ් සලෙයිගෙන් ගන්නවා වාඩුව. කරන්නාගොඩ ලගෙන් ගන්නවා වාඩුව, උලුගේතැන්නලාගෙන් ගන්නවා වාඩුව. හමුදාවෙන් ගන්නවා, නිලඇඳුමෙන් — යුධ හමුදා නිලඇඳුමෙන්, පොලිස් නිලඇඳුමෙන් වාඩුව ගන්නවා. බුද්ධ චීවරයෙන් වාඩුව ගන්නවා. එදා හිටපු දේශපාලන නායකත්වයේ දීපු, පරිපාලන නායකත්වය දීපු ඒ තීරණාත්මක වැඩකොටසකට දායක වෙච්ච හැම කෙනාගෙන්ම වාඩුව ගන්නවා.
ඒ නිසා මේක මේ හොරකම් අල්ලන ආණ්ඩුවක්, හොරු ඇල්ලීමක් නැහැ. කන්ටේනර් 323ක් දවල් මහදවල් හොරෙන් ඇරියා, අයිස් කන්ටේනර් දැන් අහුවෙනවා. ඒ කන්ටේනර් වල ගියේ මොකක්ද කියලා මෙලෝ හත්ඉලව්වක් කවුරුත් දන්නේ නැහැ. ඉතින් එහෙම හොරකම් කළේ නැහැ මේ කිසිම රටක්, රජයක්. ඒ විදියේ කම්බහුරු, බාල ගල්අඟුරු වලින් හොරකම් කරපු කම්බහුරු. ඒ නිසා මේ හොරු අල්ලනවා කියලා කියන්නේ, මලික් සමරවික්‍රම ඒගොල්ලන්ට හොරෙක් චෝදනා නැහැ. ඒගොල්ලොන්ට බැඳුම්කර හොරකමේ කිසිම චෝදනාවක් මලික් සමරවික්‍රමට නැහැ. ඒ නිසා දඩයම් මන්දිර යේ ලැයිස්තුවේ එයාලා නැහැ. එයා කොටි පරාජය කිරීමේ සටනේ කොහෙවත් හිටපු කෙනෙක් නෙවෙයි. මේකේ ලැයිස්තුව හැදෙන්නේ එහෙම. අපි තමුන්නාන්සේලාට කියනවා, මේකෙන් ඇස් නිලංකාර කරගත්තු සුළු පිරිසක් හරි තාම ඉන්න නිසා ඒ අය තේරුම් ගත යුතුයි: යුද්ධය තියෙන කාලේ බය තිබුණේ තර්ජිත ගම්මාන වලට. යුද්ධය තිබිච්ච කාලේ බය තිබුණේ නගරයට, බස් එකේ, කෝච්චියේ රස්සාවට යන දෙමාපියන්ට. යුද්ධය තියෙන කාලේ බය තිබුණේ ඉස්කෝලේ ඉගෙනගන්න දුවට පුතාට. යුද්ධය තියෙන කාලේ බය තිබුණේ කොටුවේ බෝම්බ ගහනකොට, කොටුව දුම්රිය පොළ ගාව වැඩි වෙලාවක් ගත කරන්න සිද්ධ වෙන මිනිස්සුන්ට.
දැන් බය තියෙන්නේ කාටද? යුද්ධය කරලා ජයග්‍රහණය කරලා දීපු දේශපාලන තන්ත්‍රයට, ආරක්ෂක අංශ තන්ත්‍රයට, ඒකට සම්මාදම් වෙච්ච මහා සංඝරත්නය ඇතුළු දිරිගන්නපු සමාජ බලවේගවලට දැන් බය උපද්දවලා තියෙන්නේ ඒගොල්ලන්ට.
හමුදාව රසායනික අපි පාවිච්චි කරා කියපු කවුද මේ “එක්නැලිගොඩගේ නෝනා සන්ධ්‍යා එක්නැලිගොඩ”. දැන් චණ්ඩියා වගේ. මහින්ද රාජපක්ෂ ගුවන්යානාවෙන් යනකොට කටුනායකින් උස්සනකොට, ඒකට පහර දෙන විදිය විද්‍යුත් ඛණ්ඩාංක හොයලා දීපු ප්‍රගීත් එක්නැලිගොඩගේ නෝනා, තාමත් කොටි සල්ලිවලින් ජීවත් වෙන සන්ධ්‍යා එක්නැලිගොඩලා දැන් විහාරමහාදේවියලා. එයා දැන් අර යුද්ධය නිමා කරලා, සාමය දිනාදීපු මිනිස්සුන්ට බිය උපදවන තැන්තිය හැටියට යොදවාගනු ලබනවා. මම දැක්කා ඊයෙ පෙරේදා එතුමිය කියලා තියෙනවා එතුමියට ජීවිත තර්ජන තියෙනවයි කියලා. මම හිතනවා ජීවිත තර්ජන තියෙනවා නම් කරුණා කරලා වනජීවී එකට හරි, නැත්නම් පශු සම්පත් එකට හරි භාරදෙන්න එතුමියගේ ආරක්ෂාව සලසාලීම සඳහා. වෙන කාටවත් භාරදෙන්න එපා.
එතකොට බලන්න ඒ අස්සේ මොකද වෙන්නේ? තාරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියාගෙන ආපු අය, දැන් තිබිච්ච ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මහා භයානකයි කියලා චෝදනා කරපු අය, ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා එහාට යන්න, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ දේශපාලන ක්‍රියාකාරකම් වළලන නව පනතක් ගේනවා පාර්ලිමේන්තුවට. ඒක සිවිල් ක්‍රියාකාරකම් ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. සාමකාමී විරෝධතා ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ මගින් වළලා දමන්න පුළුවන්.
හමුදාවට බලය දෙනවා දුරකථනය පරීක්ෂා කරන්න, නිවාස පරීක්ෂා කරන්න. පොලිසියෙන් මෙතෙක් කල් කරපු වැඩේ, අධිකරණ නියෝගයෙන්, ඒක හමුදාවටත් ලැබෙන විදිහට නීතිය පුළුල් කරනවා. ඒ විතරක් නෙමෙයි, මාධ්‍ය ආයතන, මාධ්‍ය ප්‍රධානීන් ඒගොල්ලොන්ව බියවද්දලා, හිරිවට්ටන්න, ඒ මගින් අදහස් පළ කිරීමට තියෙන නිදහස් අවකාශය වළලා දමන්න මේ නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් ඉඩ හදාගෙන තියෙනවා. කිව්වේ එකක්, කරන්නේ එකක්.
ඒකෙන් පේනවා මේ හොරු අල්ලනවා කියමින් වේළුපිල්ලේ ප්‍රභාකරන් පරාජයට පත් කරන්න තීරණාත්මක වැඩ කොටස කරපු සියලු දෙනා දිනපතා දඩයම් මන්දිරයෙන් උසාවි ගානේ අරගෙන යනකොට, අනිත් පැත්තෙන් භයානක, ප්‍රජාතන්ත්‍රවාදය මරා දමන නව දඩයමකට ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් උස්සගෙන එනවා. කඩුව මුවහත් කරගනිමින් ඉන්නවා. මර්දනයේ අවිය තව තියුණු කරගනිමින් ඉන්නවා.
ඒ නිසා අපි තේරුම් ගන්න ඕනා, අවුරුදු පහකට බලයට ආපු අයට අවුරුදු 2500ක උරුමය පිළිබඳ තීරණ ගන්න බැහැ. අවුරුදු 2500ක උරුමයට අත තියන්න දෙන්න බැහැ. අරහත් ධජයට පුළුවන් පොල්පොට් ධජය වළලන්න. ඒ තරම් බලගතුයි අරහත් ධජය. චෝල, පාණ්ඩ්‍ය, කේරල ආදී දකුණු ඉන්දීය ආක්‍රමණිකයෝ පරද්දන්න පණ පෙව්වේ අරහත් ධජය. පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි ආදී සකල යුරෝපීය ආක්‍රමණිකයන් පරද්දන්න ජාතියට පණ දුන්නේ අරහත් ධජය.
ඒ අරහත් ධජයේ ඓතිහාසික භූමිකාව තව වසර 1500ක් ඉදිරියට ගමන් කරන එක, මේ නිකන් වසර පහකට ස්වීප් ටිකට් එකක් ඇදිලා අහම්බෙන් බලයට ආපු කල්ලතෝනින්ට නතර කරන්න බැහැ. අර කියමනක් තියෙනවා "කැති කුඩාවලින් වැසි වස්සන්න බැහැ" කියලා. ඒ නිසා “කැතිකුඩාව” නැමති මේ ආණ්ඩුවට අපි කියනවා උඩින් වැටෙන වැසි වස්සන එක නවත්තන්න බැහැ, කැති කුඩාවලින් වැසි වස්සන්න බැහැ කියලා.
අනිත් අතට අපි දන්නවා, ආණ්ඩුව හිතන් ඉන්නවා නම් මහජනයා මේ දිහා ඔහේ බලාගෙන ඉන්නවයි කියලා, ඒක එහෙම නෙවෙයි. සාමාන්‍යයෙන් රැල්ලක් නැගෙන්නේ නිශ්ශබ්ද මුහුදෙන් බව ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ. හැබැයි රැල්ල නැගෙනකොට ආණ්ඩුවට ගන්න පියවර කොහෙත්ම ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා දැන් තියෙන්නේ ගින්දර අලු යට හංගලා තියෙන වෙලාවක්. ගින්දර අලු යට හංගලා තියෙන වෙලාවට අවශ්‍ය වෙන්නේ සුළඟක් පමණයි. ඒ සුළඟ හමපු ගමන් ඒක ලැව්ගින්නක් වෙන එක වළක්වන්න බැහැ.
මම හිතන්නේ බුද්ධි අංශ වාර්තා වලින් ආණ්ඩුවට අනතුරු අඟවනවා ඇති ගින්දර හංගලා තියෙනවා අලු යට, එන්න යන්නේ හුළඟ, ලැව්ගින්නක් ඇතිවෙන එක වළක්වන්න බැහැ කියලා. ඒක තේරුම් අරගෙන වැඩ කරොත් ආණ්ඩුවට ඉතුරු අවුරුදු දෙක යහතින් ඉන්න පුළුවන් වෙයි. ඒක තේරුම් නොගෙන මේ රටේ අවුරුදු 2500ක උරුමයට අත තියන්න ආවොත්, රට ආරක්ෂා කරපු මිනිස්සු පීඩාවට පත් කරන්න ආවොත්, මහ සුළඟ හමනවා, ලැව්ගින්න ඇතිවෙන එක වළක්වන්න කාටවත් හැකි වෙන්නේ නැහැ.
චීන ප්‍රාඥයෙක් ඒ කාලේ හිටපු රජ්ජුරුවන්ට කියනවා "මහජනතාව යනු ජලයයි, රජු යනු බෝට්ටුවයි; ජලයට බෝට්ටුව පා කරගෙන යාමට මෙන්ම එය පෙරළා දැමීමටද හැකියාවක් ඇත" කියලා. මර්දනය මගින් ජනතාව නැමති ජලය කැලඹූ විට එම සැඩපහරින් පාලකයාගේ බෝට්ටුව ගිලී විනාශ වී යන බව ඒ උපදේශකයාගේ මතය වුණා.
මේකට ඕන තරම් ජාත්‍යන්තර උදාහරණ තියෙනවා. අනුර කුමාර මහත්තයටත් ඒ උදාහරණය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්න හෝ, ඊට කලින් අවබෝධ කරගෙන ඊට අනුව හැඩගැහෙන්න තවමත් අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවට කියනවා අවුරුදු පහකට බලයට ආපු කල්ලතෝනි කල්ලියකට 2500ක උරුමයට අත තියන්නවත්, මේ රට බේරගත්තු නායකයන්ගෙන් ප්‍රභාකරන් වෙනුවෙන් පළිගන්න ඉඩ තියන්නවත් එපා. ඒ සියල්ලට එරෙහිව මහ සුළඟක් වී නැගෙන්න, ඒ සඳහා නියමිත අවස්ථාව මේකයි කියලා අපි මේ රටේ පොදු ජනතාවට අවධාරණය කරනවා.
මාධ්‍යවේදී ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා,
මාධ්‍යවේදී ප්‍රශ්නය: චීවරය ගැලවීමේ තීරණය බන්ධනාගාර ප්‍රධානීන්ගේ නේද?
විමල් වීරවංශ : දැන් මම පැහැදිලිව කිව්වා, ඔය 216 වෙනි වගන්තිය අනුව, අර බන්ධනාගාර ඕඩිනන්ස් එකේ තියෙන 216 වෙනි වගන්තිය අනුව සරල සිර දඬුවමකට ලක් වෙච්ච භික්ෂූන් වහන්සේ නමක් නම් සිවුර ගලවන්නම බැහැ. හැබැයි ඊට වඩා වැඩි එකක් නම් ඒ බන්ධනාගාර අධිකාරීවරයාට ඒ ගැන තීරණය කරන්න බැහැ. එතකොට ඊට උසස් නිලධාරියාට යන්න ඕන. එයාටත් තනියෙන් තීරණය ගන්න බැහැ. එතකොට බන්ධනාගාර කොමසාරිස්ට යන්න ඕනේ. කොමසාරිස්ටත් බැහැ.
කොමසාරිස්ට කරන්න ඕනේ තමන්ගේ තියෙන චැනල් එක හරහා රජයෙන් මේ ගැන විමසන්න ඕන. රජයෙන් විමසලා දෙන පිළිතුර අනුව ක්‍රියා කරන්න ඕන. රජයෙන් කිව්වා නම් සිවුර ගලවන්න කියලා, ගලවන්න වෙනවා. දැන් මම ඒකයි කිව්වේ, කලින් මාස නමයක් සිවුර දරාගෙන ඔය දඬුවම වින්දා බන්ධනාගාරයේ. ඒ වෙලාවේ රජයෙන් අහන්න ඇති. මොනවා වුණත් කොච්චර වැරදි තිබුණත් ඒ රජයට මොළේ තිබ්බා, මේ වගේ නිගණ්ඨයෝ නෙවෙයි හින්දා, මේ කල්ලතෝනි නෙවෙයි හින්දා, ඒගොල්ලෝ කියන්න ඇති, නැහැ සිවුරට අත තියන්න එපා කියලා. ඒ නිසා උන්වහන්සේ සිවුර දරාගෙන මාස නමයක් ඔය දඬුවම වින්දා.
දැන් අත පිහිගන්න බැහැ. අපි නෙවෙයි, මේ බන්ධනාගාර කට්ටිය, මේගොල්ලෝ හැමදාම කරන්නේ එහෙමනේ. රාජ්‍ය සේවකයාව පාවිච්චි කරනවා, වැඩේ ලෙඩක් වෙනකොට උන්දැලව පාවලා දෙනවා. අත හෝදාගන්නවා. මේකේ ඉන්නවනේ සිවුරු ඇරපු 40 ගානක් මේ ආණ්ඩුවේ, උන්දලට සිවුර වටින්නේ නැහැනේ, වටින්නේ නැති හින්දානේ අර කල්ලතෝනි ටික. ඉතින් ඒ හින්දා මේගොල්ලෝ සිවුරට වෛර කරනවා. සිවුර දරාගෙන ඉඳලා අතහැරපු උන් තමයි වැඩිපුරම සිවුරට වෛර කරන්නේ. ඉතින් ඒ නිසා මේ බන්ධනාගාර නිලධාරීන්ට විතරක් දාලා අත හෝදාගන්න බැහැ. ඒක සම්පූර්ණ වැරදියි, ඒ වගන්තියට පණ එන්නේ රජයෙන් ලැබෙන උපදෙස් අනුව මිසක් වෙන විදිහට නෙවෙයි. හොඳයි, බොහොම ස්තූතියි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..