News Category
From Date
To Date
Maximum Number of Result

"ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා යන අනුර කුමාරගේ පාලනයට එරෙහිව ජාතික බලවේග එකමුතු විය යුතුයි".. – අනුරාධපුරයේදී විමල් වීරවංශගෙන් ප්‍රබල ප්‍රකාශයක්

Sep 15, 2026 at 04:03 PM
|

වත්මන් පාලනය රට හමුදා සහ සංවර්ධන ජයග්‍රහණ අත්කර දුන් නායකයින්ගෙන් පළිගනිමින්, ආර්ථික හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වනසන ව්‍යවස්ථාපිත ඒකාධිපති ගමනක නිරත වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. පසුගිය 12 වනදා අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළිය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

1. ජනාධිපති අනුර කුමාරට කළ ප්‍රබල අභියෝග දෙක

තමන් ඕනෑම අභියෝගයකට සූදානම් බව පවසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට විමල් වීරවංශ මහතා සෘජු අභියෝග දෙකක් ඉදිරිපත් කළේය:

මහ බැංකු පනත වෙනස් කිරීම: 

පුළුවන් නම් මහ බැංකු පනත වෙනස් කර එහි ස්වාධීනත්වය නැති කර පෙන්වන ලෙස.

විදේශ ආයෝජන පනත:

පුළුවන් නම් විදේශ ආයෝජන පනත පෙර තිබූ පනත බවට පත් කර පෙන්වන ලෙස.

වත්මන් ආණ්ඩුව අධිරාජ්‍යවාදී හෝ නවලිබරල්වාදී ප්‍රතිපත්තිවලට එරෙහිව ක්‍රියා නොකරන බැවින් මෙම පනත් වෙනස් කිරීමට කිසිසේත් කටයුතු නොකරන බවටද ඔහු චෝදනා කළේය.

2. සිම්බාබ්වේ ජනාධිපති ගිය මග යෑම

ජනාධිපතිවරයා ෆිදෙල් කැස්ත්‍රෝ හෝ ඔබාමා ගිය මග නොව, සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මොනන්ගග්වා (Emmerson Mnangagwa) ගිය මර්දනකාරී මග යමින් සිටින බව වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

සිම්බාබ්වේ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 70 සිට 75 දක්වා දීර්ඝ කර, පසුව ව්‍යවස්ථාව සංශෝධනය කරමින් මැතිවරණයකට නොගොස් තවත් වසර 5ක් බලයේ සිටීමට පාර කපාගත් ආකාරයටම, මෙරට තුළද අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස සංශෝධනය කරමින් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් ගොඩනැගීමට සූදානම් වන බවට ඔහු අනතුරු ඇඟවීය.

3. 'කළු රාජ්‍යය' නමැති මිථ්‍යාව සහ දඩයම

වත්මන් පාලකයන් විසින් ගොඩනගමින් පවතින 'කළු රාජ්‍යය' පිළිබඳ ආක්‍යානය මගින් සැබෑ ලෙසම සිදුවන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් (සලෙයි, උලුගෙතැන්න, කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක) දඩයම් කිරීම බව වීරවංශ මහතා සඳහන් කළේය.

මහ බැංකු බැඳුම්කර වංචාවේ චෝදනා ලැබූවන් හෝ රජයට හිතවත් ව්‍යාපාරිකයන් මෙම 'කළු රාජ්‍යයට' අයිති නැති බවත්, එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ කොන්දේසි ඉටු කිරීම සඳහා රට බේරාගත් නායකයන් සහ රණවිරුවන් ඉලක්ක කරගනිමින් පළිගැනීමේ දඩයමක නිරත වන බවත් ඔහු අවධාරණය කළේය.

4. පොලිස්පති සහ පොලිසියේ දේශපාලනීකරණය

නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් අසරණ කරමින් පොලීසිය දැඩි ලෙස දේශපාලනීකරණය කර ඇති බවටද හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය.

විශේෂයෙන්ම, රේගුව හා එක්ව අයිස් මත්ද්‍රව්‍ය කන්ටේනරයක් වැටලූ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට සම්මාන දෙනවා වෙනුවට ඔහුගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කිරීම අසාධාරණ බව පැවසූ ඒ මහතා, පොලිස්පතිවරයා හැසිරෙන්නේ "නල්ලමලේ පොලිස්පති කොස්තාපල් පුංචිසෝම" කෙනෙකු ලෙස යැයි පවසමින් විවේචනය කළේය. එසේම, දේශපාලන වේදිකාවල සිටි ශානි අබේසේකර මහතාට නැවත නිල ඇඳුම් අන්දවා උසස්වීම් ලබාදීම මගින් පොලීසියේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම කෙලෙසා ඇති බවද සඳහන් කළේය.

5. රටේ උරුමයන් සහ ආයතන අහෝසි කරන නව පනත්

ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරමින් රටේ පැවැත්මට හා සංස්කෘතියට හානි වන නව පනත් ගෙන ඒමට ආණ්ඩුව සැළසුම් කර ඇති බව වීරවංශ මහතා හෙළිදරව් කළේය:

මහාවැලි අධිකාරිය අහෝසි කිරීම: මහාවැලි ඉඩම් සියල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පැවරීමට කටයුතු කිරීම.

විහාරදේවාලගම් පනත අහෝසි කිරීම හෝ දියාරු කිරීම: උතුරු නැගෙනහිර පිහිටි පන්සල් සහ දේවාල සතු ඉඩම් නිදහස් කිරීම.

පුරාවිද්‍යා පනත වෙනුවට ජාතික උරුමයන් පනත ගෙන ඒම: පුරාවිද්‍යා විෂය පළාත් සභා යටතට පත්කර, උතුරේ බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන හින්දුකරණය කිරීමටත්, පළාත් සභාවලට අවශ්‍ය පරිදි ඉතිහාසය වෙනස් කිරීමටත් ඉඩ සැලසීම.

අවසාන වශයෙන්, පක්ෂ භේද පසෙකලා රටේ සභ්‍යත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකීයභාවය සුරැකීම වෙනුවෙන් නව ජාතික න්‍යාය පත්‍රයක් වටා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව එක මිටකට එකතු විය යුතු බවත්, මෙම මර්දනකාරී පාලනය පරාජය කිරීමට නායකත්වය දෙන බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය. (2026 සැප්තැම්බර් 12)

"වැඩමවා වදාළ අතිගෞරවනීය, වන්දනීය, පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි!

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පහස ලබන මේ පුණ්‍ය භූමියට, රුවන්වැලි සෑයේ මහා පහස ලබන මේ පුණ්‍ය භූමියට, වසර හතළිස් ගණනක දකුණු ඉන්දීය ආක්‍රමණික එළාර බලය පරාජයට පත් කරපු වීර සටනට පණ පොවපු මේ පුණ්‍ය භූමියට, ඒ පහස ලද පුණ්‍ය භූමියට රට නන් දෙසින් වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි!

අභියෝගයට අභියෝග කරන්න, ධෛර්යසම්පන්නව සටන්කාමීව මේ පිටියට අතුරු සිදුරු නැතුව පිරි ඉතිරී යන තරම් රොද බැඳගත්තු ආදරණීය මව්වරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි, ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි!

අතිගරු පස්වෙනි විධායක ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා... එතුමාගෙනුත් අවසරයි!

මට මතක් වෙනවා 2005 ජනාධිපතිවරණයේ මැතිවරණ ක්‍රියාවලියේ මැද භාගයට පැමිණි විට, මම එතුමාත් එක්ක කොහේ හෝ තියෙන රැළියකට සහභාගි වෙන්න හෙලිකොප්ටරය යොදාගෙන යනවා. ඒ වෙලාවේ මම එතුමාගෙන් අහනවා "2005 ජනාධිපතිවරණයේ මැද හරියේදී ඔබතුමා හිතනවාද මේ මැතිවරණය අපි දිනනවාද, පරදිනවාද?" කියලා.

මහින්ද ජනාධිපතිතුමා බොහොම විශ්වාසයෙන් කියනවා, "නෑ විමල්, අපි දිනනවා."

මං ඇහුවා, "කොහොමද එහෙම කියන්නේ?"

"ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගාවට ගිහිල්ලා වැඳගෙන මම අධිෂ්ඨාන කරනකොට, බෝ පතක් ඇවිල්ලා මගේ සාක්කුව ඇතුළට වැටුණා. මම එදා දැනගත්තා මම දිනනවා" කියලා.

ඒ අසිරිමත් පින්බිම මේ පින්බිම. බොහෝ දේවල් තීරණාත්මකව වෙනස් කරන භූමිය මේ භූමිය. අටමස්ථානය වැඩසිටින භූමිය මේ භූමිය. යක්කු, ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ, පිසාචයෝ අතුගා දමන භූමිය රජරට භූමිය, අනුරාධපුර භූමිය.

ඒ නිසා, ඒ වගේම අපේ හිටපු අමාත්‍යතුමන්ලා, දැන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා, ඒ වගේම සියලුම පක්ෂවල නායකයින් සියලුදෙනාගෙන්ම අවසරයි!

දැන් අපි මේ දේශපාලන රැළිය පවත්වන වෙලාවේ, ඉන්දියාවේ නවදිල්ලි නුවර 'භාරත් මණ්ඩපම්' කියන ශාලාවේ 18 වෙනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙනවා.

අපේ ජනාධිපති ලොන්තපෝල් පොලොන්නරුවට වෙලා පච විදිනවා. චීන ජනාධිපති ෂී ජින්පින් එතන, මේ ජින්පින් මෙතන. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එතන, මේ කටින් පුටින් මෙතන. ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙස්කියෑන් එතන, මේ ලොන්තයා අතන. එක්සත් ජාතීන්ගේ මහලේකම් එතන, මුන්දෑ අතන.

අඩු ගානේ ආරාධනාවක්වත් නෑ, අල්ලපු රටේ පැවැත්වෙන 18 වෙනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට. මහින්ද ජනාධිපතිතුමා ඔය පුටුවේ හිටියා නම්, අම්මට සිරි ඉන්නේ එතන. අතන මෙතන කොතනවත් නැති අනුර, තියෙන තැනත් නැති වීගෙන යන අනුර දැන් ඉන්නේ පච වපුරමින්, රජරට පොලොන්නරුවේ... හෙට එනවා මෙහෙට.

දැන් ගෝලීය නායකයෝ 20කට වඩා එතන ඉන්නවා. ඒගොල්ලෝ කතාකරනවා ඇමෙරිකානු ඩොලරයෙන් මිදීලා දේශීය මුදල් භාවිතා කරලා කොහොමද අපි ආර්ථික ගනුදෙනු කරන්නේ කියලා. මේ යෝධයා ඔහේ පච වපුරනවා, මේවා ගැන සාකච්ඡා කරන්නේ නෑ.

ගෝලීය දකුණේ සංවර්ධනයට නව සංවර්ධන බැංකුවක් හදලා ලිහිල් කොන්දේසි යටතේ ඒ රටවල් නගාසිටුවන්න ණයදෙන වැඩපිළිවෙළවල් ගැන එතන කතාකරනවා, මේ යෝධයා මෙහෙ පච කෙළිනවා. එතන ලංකාවේ රාජ්‍ය නායකයා නෑ, අඩුගානේ අර ඇන්ටි-නාකොටික් විදේශ ඇමතිවත් නෑ. ඇන්ටි-නාකොටික්, ඇන්ටික්-නාකොටික් විදේශ ඇමතිවත් නෑ.

ඒ නිසා දැන් තමුන්නාන්සේලා දන්නවා 19 වෙනි සියවසේ ඇමෙරිකාවේ තිබුණා කිසිදු මොනම ආකාරයකවත් ගුණයක් නැති ව්‍යාජ තෙල්, "සර්වරෝග නිවාරණය වෙනවා"යි කියලා මිනිස්සුන්ට විකුණපු වෙළෙන්දෝ. "සර්වරෝග නිවාරණ තෙල්" විකුණනවා. අනුර කුමාරත් පහුගිය ජනාධිපතිවරණයේදී කළේ සර්වරෝග නිවාරණ තෙල් විකුණපු එක.

උන්දෑ කිව්වා, "ජනාධිපතිකමයි කැබිනට් මණ්ඩලයයි දුන්නොත් මාස හයෙන් රට නගාහිටුවනවා"යි කියලා. අන්න, කොහොමද සර්වරෝග නිවාරණ තෙලේ බලේ? මං කියන්න යන්නේ නෑ, කියපු ඒවා තමුන්නාන්සේලා දන්නවා. මෙතන ඉන්නවා මාලිමාවට කතිරය ගහපු හතරෙන් තුනක්ම දැන්. ඔය අත උස්සලා කියන්නකෝ දුන්නා කියලා. අත උස්සලා කියන්න දුන්නා කියලා! ඒක ප්‍රශ්නයක් නෑ. අහු වුණා අර සර්වරෝග නිවාරණ තෙලට.

ඒ නිසා ඒ කට්ටියට ඇමෙරිකාවේ එදා කිව්වේ 'Snake Oil Salesman' කියලා. නයින්ගේ තෙල් විකුණන්නන් කියලා. මෙයාත් නයින්ගේ තෙල් විකුණන්නෙක් තමයි. නයි අරින කෙනෙක් තමයි. ඒ නිසා ජනාධිපති පිනෝකියෝ පොලොන්නරුවට වෙලා මේ වෙලාවේ කරන්නේත් නයි අරිනවා, නයි විකුණනවා. අන්න අර තෙලේ බලේ විකුණනවා.

තමුන්නාන්සේලා දන්නවා “කාලෝ කොලොන්ඩිගේ” සුරංගනා කතාවල ඉන්නවා 'පිනෝකියෝ' කියලා චරිතයක්. පිනෝකියෝ කරන්නේ අනෙක් එක්කෙනාව මුළා කරන්න බොරු කියන එක. බොරු කියන හැම වෙලාවෙම පිනෝකියෝගේ නාසය පොඩ්ඩක් දික් වෙනවා.

අනුරගෙත් බලන්න, ජනාධිපති අනුරගෙත් බලන්න, දැන් ටික ටික නාසය දික් වෙන්නේ නැද්ද? පොලොන්නරුවේ ඉඳන් කොළඹට යනකොට තව චුට්ටක් දික් වෙනවා. තමාගේ වැරදි වසාගන්න බොරු කියන, බොරු වපුරලා බලය අරගෙන තවදුරටත් බොරු කෙළිනවා.

දැන් මොකක්ද? ජනාධිපති පිනෝකියෝ දැන් කියනවා 'කළු රාජ්‍යයක්' ගැන. එයාට තියෙනවාලු කළු රාජ්‍යයක් තිබුණලු, ඒක නැති කරන්න ඕනලු. එයා කියන කළු රාජ්‍යය මොකක්ද? වෙන මොකක්වත් නෙවෙයි, අර්චුනා සහෝදරයා... තමුන්නාන්සේගේ හිත රිදුනාද දන්නේ නෑ, මං ඒත් කියන්න ඕනා. හිත රිදුනත් කණගාටුව ප්‍රකාශ කරනවා.

මේ කළු රාජ්‍යය කියලා කියන්නේ වෙන මොකටවත් නෙවෙයි, කොටි ත්‍රස්තවාදයේ සංවිධානය යුධමය වශයෙන් පරාජය කරපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ කටයුත්තට හවුල් වෙච්ච ආරක්ෂක හමුදා ප්‍රධානීන්. මේජර් ජෙනරාල් සලෙයිලා, නිශාන්ත උලුගෙතැන්නලා, කරන්නාගොඩලා... ඊයේ පෙරේදා සී.අයි.ඩී. එකට යනවා මං දැක්කා රොෂාන් ගුණතිලක, යුද්ධයේ වෙලාවේ හිටපු ගුවන් හමුදාපති.

මේ තමයි එයා කියන කළු රාජ්‍යයේ කට්ටිය. වෙන කවුරුත් නෑ! සලෙයි අයිතියි ඒ කළු රාජ්‍යයට! නිශාන්ත උලුගෙතැන්නලව දාලා තියෙන්නේ ඒ කළු රාජ්‍යයට! කරන්නාගොඩලව උසාවි අරන් යන්නේ, දාලා තියෙන්නේ ඒ කළු රාජ්‍යයට! රොෂාන් ගුණතිලකලව, හිටපු ගුවන් හමුදාපතිව සී.අයි.ඩී. එකට කැඳවන්නේ, දාලා තියෙන්නේ ඒ කළු රාජ්‍යයට!

එදා ඒ සටනට වචනයකින් හරි දායක වෙච්ච මිනිහෙක් ඉන්නවා නම්, ඒ හැමෝගෙන්ම පළිගැනීමේ 'නැරේටිව්' එක තමයි, “ආඛ්‍යානය” තමයි මුන් ඔක්කොම අයිති කළු රාජ්‍යයට කියලා කියන එක.

දැන් එයාගේ කළු රාජ්‍යයට, එයාගේ කළු රාජ්‍යයට ගෝඨාභය රාජපක්ෂත් අයිතියි! ඒ විදිහට තමයි කළු රාජ්‍යයේ කොටස්කාරයෝ විදිහට තමයි මේ දඩයම වෙන්නේ. බෞද්ධාලෝක මාවතේ තියෙනවා දඩයම් මන්දිරයක්. ඒකෙන්... ඒකෙන් අද පනත් කෙටුම්පත් සංශෝධනය කරගෙන අද මර්දනයට ලෑස්ති වෙනවා.

ඒ නිසා මේ කළු රාජ්‍යයට මහ බැංකු බැඳුම්කර හොරු අයිති නෑ! මලික් සමරවික්‍රම, මහ බැංකු හොරකමේ ප්‍රධාන චෝදිතයෙක්! අන්න ඉන්නේ අනුරගේ ඔඩොක්කුවේ. මහානායක හාමුදුරුවෝ බලන්න යනකොට මලික් සමරවික්‍රම යනවා ඊට කලින්. රනිල් ගාව හිටපු මලික්, දැන් ඉන්නේ අනුර ගාව! මහ බැංකු හොරකමට චෝදනා ලබපු මලික් කළු රාජ්‍යයට අයිති නෑ!

රනිල් ගාව හිටපු ක්‍රිෂාන්ත කුරේ, ඩීල් ක්‍රිෂාන්ත... අන්න ඉන්නේ අනුර ගාව! ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නෑ! මේ අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල්කාන්ත, පට පට ගාලා තුන්වෙනි තට්ටු හදලා ගෙවල්වල ඉන්නවා, ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නෑ!

වසන්ත සමරසිංහ... මොනවාද ක්‍රිප්ටෝ... ක්‍රිප්ටෝ කරන්සි වසන්ත, ක්‍රිප්ටෝ වසන්ත... උන්දැලා කළු රාජ්‍යයට අයිති නෑ! තමා එක්ක ලගින, තමා එක්ක ඉන්න කිසිම කෙනෙක් කළු රාජ්‍යයට අයිති නෑ! හොයලා බලන්න රිෂාඩ් බදියුදීන්; රිෂාඩ් බදියුදීන් තිබිච්ච හැම ආණ්ඩුවකම ඇමතිකම් දැරුවා. ඕන තරම් චෝදනා තියෙනවා, අඩුගානේ දඩයම් මන්දිරයට එක දවසක් ගෙන්නනවාද? නෑ! මේ පළිය ගන්නේ, මේ වෛරය ගන්නේ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව සල්ලි දුන්නා කියලා අර්චුනා මන්ත්‍රීතුමා මෙතන කිව්වා. ඕක අපි කිව්වාමනේ පිළිගන්නේ නැත්තේ, එතුමා දන්න නිසා එතුමා කිව්වා.

ඒ සල්ලි දීලා එකඟ වෙච්ච දේවල් තියෙනවා. කරන්නම් කියලා පොරොන්දු වෙච්ච දේවල් තියෙනවා. මේ රජරට මිනිස්සුන්ට, ගොවියන්ට කරන්නම් කියපු ඒවා කරන්නේ නෑ. ඒ වුණාට ඒ සල්ලිවලින් උතුරේ ඡන්ද ව්‍යාපාරය කරපු අනුර කුමාර පිනෝකියෝට ඩයස්පෝරා එක කියපු, එකඟ වෙච්ච දේවල් නොකර ඉන්න බෑ.

ඇයි? ඔබතුමාගේ ආණ්ඩුවේ, ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ අමාත්‍යාංශ ලේකම් කෙනෙක් වෙලා හිටියා ධම්මික පෙරේරා. පොදුජන පෙරමුණෙන් පහුගිය ජනාධිපතිවරණයට අපේක්ෂකයා හැටියට එන්නත් සූට් මහගෙන හිටියා උන්දෑ. උන්දෑ කළු රාජ්‍යයට අයිති නෑ. උන්දෑ ඉන්නේ දැන් දකුණු අතේ.

ඒ නිසා බොහොම පැහැදිලියි, මේ වාඩුව ගන්නේ මේ රටේ ඒකීය බව ආරක්ෂා කරලා දෙන්න වැඩකරපු මිනිස්සුන්ගෙන්. නාමල් රාජපක්ෂ ඔය රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නේ මහින්ද රාජපක්ෂගේ පුතා වෙච්ච නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි මගේ අම්මේ තාත්තේ. ඒ තමයි පළිය ගන්න විදිහ, වෛරය ගන්න විදිහ. උන්දැලා ලෑස්ති වෙනවා ශිරන්ති රාජපක්ෂ මැතිනියගෙනුත් ඒ විදිහට පළිය ගන්න. ගෑවිච්ච ගෑවිච්ච හැම මිනිහගෙන්ම පළිය ගන්න. කවුද සතුටු වෙන්නේ? අනුරට ඡන්දය දීපු 68 ලක්ෂයද? නෑ! ඩයස්පෝරා එක සතුටු වෙන්නේ, ඩයස්පෝරා එක සතුටු වෙන්නේ.

ඒ නිසා ඩඩ්ලි සිරිසේනලා මේ කළු රාජ්‍යයට අයිති නෑ. ඩඩ්ලි දැන් ප්‍රධාන ආරාධිත අමුත්තා! බිමල් රත්නායක එක්ක එකට ඉන්නේ. නාමල් කරුණාරත්න වචනයක් නෑ, දැන් ඩඩ්ලිට විරුද්ධව මොකුත් කියන්නේ නෑ. දැන් ඒගොල්ලෝ සුදු රාජ්‍යයේ. රට බේරගත්තු මිනිස්සුන් ගාව හිටපු එක්කෙනා කළු රාජ්‍යයේ.

ඒ නිසා මෙන්න මේ “කළු රාජ්‍යය” කියන මිථ්‍යාව, ඒ කළු රාජ්‍යය කියන මිථ්‍යාව ගොඩනගලා, ඒකෙන් සුදු රාජ්‍යය වහලා, මේ රට ආරක්ෂා කරන්න කැපවෙච්ච රණවිරුවෝ, ඒකට දේශපාලන නායකත්වය දීපු මිනිස්සු කුදලගෙන යන්න ඉඩදීලා බලන් ඉන්න අපිට බෑ. ඒ නිසයි විමල් වීරවංශ වන මම අද මේ රැළියට ගොඩනැගුනේ, අම්මේ තාත්තේ.

මාස හයෙන් ආර්ථිකය ගොඩදානවා කිව්වා, කෙරිලා නෑ. ගොවියාට වී අස්වැන්නට මිලක් නෑ. ඉන්දියාවෙන් හාල් ගෙනාවා, ඉන්දියාවෙන් හාල් ගෙනාවා. අවුරුද්දට තියෙන්නේ දවස් 365යි. දවස් 300කට සෑහෙන්න හාල් ගෙනාවා ක්‍රිප්ටෝ වසන්ත! වසන්තට වසන්තය ලැබුවා, ගොවියාට... ගොවියාට කලන්තය වැටුණා.

ඒ විතරක් නෙවෙයි, දැන් ජනාධිපති අනුර කියනවා ඕනෑම අභියෝගයකට මං සූදානම්ලු. මං කියනවා පුංචි අභියෝග දෙකක්:

අනුර මහත්තයෝ, ජනාධිපතිතුමෝ... පුළුවන් නම් මහ බැංකු පනත වෙනස් කරලා පෙන්වන්න! මහ බැංකුවේ ස්වාධීනත්වය නැති කරලා පෙන්වන්න!

පුළුවන් නම් විදේශ ආයෝජන පනත පෙර තිබූ පනත බවට පත් කරලා පෙන්වන්න! ඔන්න අභියෝග දෙකක් කළා. පුළුවන් නම් කරලා පෙන්වන්න. කරන්නේ නෑ, කරන්න බෑ!

ඒ නිසා තමුන්නාන්සේලා තේරුම් ගන්න ඕන, එයා ඒ පනත් වෙනස් කරන්නේ නෑ. වෙනස් කරන්නේ දූෂණ මර්දන පනත. එයා වෙනස් කරන්නේ ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස. මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? ව්‍යවස්ථාපිත ඒකාධිපති රාජ්‍යයක් බවට මේ රාජ්‍යය පත්කරන එක. අධිකරණය තමන්ට ඕන කරන විදිහට නටවලා, පොලිසිය, සී.අයි.ඩී.ය, දඩයම් මන්දිරය හරහා තමන්ට ඕන කරන මිනිස්සු හිරේට දාලා, ඊළඟ පාර දිනන්න විතරක් නෙවෙයි...

එයාගේ අතේ තියෙනවා ඩයස්පෝරාවට පොරොන්දු වෙච්ච න්‍යාය පත්‍රයක්! මොනවාද ඒ? මහාවැලි අධිකාරිය අහෝසි කරනවා. එතකොට මහාවැලි ඉඩම් ඔක්කොම ප්‍රාදේශීය ලේකම්ලට යනවා. විහාරදේවාලගම් පනත අහෝසි කරනවා... එහෙම නැත්නම් දියාරු කරනවා. උතුරේ සහ නැගෙනහිර තියෙන විහාරදේවාලගම් පනත යටතට එන ඉඩම් ටික නිදහස් වෙනවා. ඊළඟට පුරාවිද්‍යා පනත වෙනුවට ජාතික උරුමයන් පනතක් ගේනවා. ඒක පළාත් විෂයක් බවට පත් කරනවා. උතුරේ තියෙන බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන දැනටමත් හින්දුකරණය කරමින් යනවා. කුඩා කල්ලියක්. හැබැයි ඒවා ඊට පස්සේ පළාත් සභාව යටතට පුරාවිද්‍යාව ගියාම, පළාත් සභාවට ඕන විදිහට ඉතිහාසය ලියන්න පටන් ගන්නවා.

මේවා එයා කරන්න ඕන. ඒවා කරන එකට විරුද්ධ වෙන අයව හිරේට දාන්න ඕන. මේ රටේ ශාසනයට ගහන්න ඕන. ඒ ඔක්කොම කරලා උතුරෙයි නැගෙනහිරෙයි විතරක් පළාත් සභා ඡන්ද තියන්න ඕන. ඒ දෙකේ මහ ඇමතිලට ඕන කරන අය ආණ්ඩුකාරයෝ බවට පත් කරන්න ඕන. ඊට පස්සේ පොලිස් ප්‍රඥාප්තිය, ඉඩම් ප්‍රඥාප්තිය, මුදල් ප්‍රඥාප්තිය වෙන වෙනම නීති ගේන්න ඕනා. ඒ ටික කරගන්න නම් ඒ කරන වෙලාවට මේ රට ඊට විරුද්ධව පෙළගස්වන නායකයෝ හිරේට දාලා තියෙන්න ඕනා. මේක තමයි අනුර කුමාර පිනෝකියෝගේ මාස්ටර් ප්ලෑන් එක, මේක තමයි සැලැස්ම මගේ අම්මේ තාත්තේ, සහෝදරයා සහෝදරිය.

මේක අලංකාර කරනවා, “හොරු අල්ලනවා” කියාගෙන අලංකාර කරනවා. රිෂාඩ් බදියුදීන්ට ඒ චෝදනා නෑ. ඒ නිසා මලික් සමරවික්‍රමලට චෝදනා නෑ. ඒකෙන් පේනවා මේ කසයෙන් වනන්නේ, තෝරාගත් සිංහල නායකයෝ ටිකක් ඉලක්ක කරගත්තු දඩයමක් බව. මහානායක හිමිවරු 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ලිව්වා, "ඒක කරන්න එපා" කියලා ජනාධිපතිට. අනුර කුමාර පිනෝකියෝගේ දායක සභාව සමාජ මාධ්‍යවල තිත්ත කුණුහරුපෙන් මහානායක හිමිවරුන්ට චෝදනා කරන්න ගත්තා. ඒ නිසා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, මේ රටේ සභ්‍යත්වයට ගහනවා. මේ රටේ උරුමයට, බුදු දහමට, බුද්ධ ශාසනයට ගහනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරනවා. ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් හරහා ගමන් කරනවා. 

මෙහෙම වෙලාවක අපට පක්ෂපාති භේද තියාගෙන එක්සත්ව කටයුතු නොකර සිටින්නට බැහැ. ඒ වගේම අපි කියනවා, මෙහි සිටින අපි හැමෝම, මමත් ඇතුළුව අපෙනුත් වෙච්ච අඩුපාඩු, වැරදි තියෙනවා. ඒවා නිවැරදි කරගත යුතුව තියෙනවා. ඒවා නිවැරදි කරගෙන, එහෙම වැරදි හලාගෙන, තිබුණු යහපත් දේ රැකගෙන, නව ජාතික න්‍යාය පත්‍රයක් සහිතව ඒ ජාතික න්‍යාය පත්‍රය දිනවන සටනට සියලු දෙනාම ඒකරාශි කරගන්න ඕනා.

ඒ අභියෝගය අද අපිට තියෙනවා. එහෙම නැතුව ඒ ගිහි පැවිදි ඓතිහාසික බැඳීමත් අද කඩන්න හදනවා. පන්සලේ හාමුදුරුවන්ට දානේ ටික දෙන එකටත් විරුද්ධවාදී මත දක්වනවා. සිංහල බෞද්ධයයි, සිංහල කතෝලිකයයි කොටවන්න හදනවා. ආර්ථිකය කඩා වැටිච්චාවේ, බාල ගල්අඟුරු ගෙනල්ලා ඩීසල්වලින් විදුලිය නිපදවූවාවේ, ඒවා ගැන වගේ වගක් නෑ. පිනෝකියෝ මර්දනය පමණක් ඕන කරන විදිහට ක්‍රියාත්මක කරගෙන යනවා.

ඒ නිසා මගේ අම්මේ තාත්තේ, අපි හැමෝම මේ තීරණාත්මක තත්ත්වය තේරුම් ගන්න ඕනා. මේ තමන්ට නටවන්න පුළුවන් අධිකරණයක් හදාගන්න යන්නේ. ඒකට අද මේ රටේ වඩාම පීඩාවට පත්වෙලා ඉන්නේ ගරු විනිශ්චයකාරතුමන්ලා. නීතියට අනුව තීරණ ගන්න බෑ. දඩයම් මන්දිරයේ ඉන්න ඩී.ජී.ගෙන් එනවා දුරකථන ඇමතුම. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාවයි, ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාවයි එක දවසේ ගත්තේ නිකමට නෙවෙයි. නියෝග දීලා තිබුණේ ජොනීට ඇප දෙන්න, නාමල්ට දෙන්න එපා කියලා. එතකොට අධිකරණයත් හරියට කරුණු මත තීරණ ගන්නවා වගේ පේනවනේ.

ඒ නිසා මෙතන යන්නේ දඩයම් මන්දිරයේ ඩී.ජී.ගේ බලය පාවිච්චි කරලා තමයි මේ සියලු තක්කඩි ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. මගේ අම්මේ තාත්තේ, සහෝදරයා සහෝදරිය, ඒ නිසා අපි කවුරුත් ඉන්දියාවත් එක්ක උන්දෑ අත්සන් කරපු ගිවිසුම් හත දැක්කේ නෑ. අද වෙළඳපොළේ ගුණාත්මක වශයෙන් යහපත් බෙහෙත් ඇත්තේ නෑ. ඉන්දියාවේ බාල බෙහෙත්, ගෙවල් ඇතුළේ හදන බෙහෙත් බීලා ලෙඩ හොඳ වෙන්නේ නෑ. ඔය එයා කියන කොත්තමල්ලි බිව්වත් හරියන්නේ නෑ. ඒ නිසා අද මේ රටේ රෝගී ජනතාව ගුණාත්මක වශයෙන් හොඳ බෙහෙත් නැතුව මැරිලා යන ඉරණමකට ඇද වට්ටලා තියෙනවා.

ඒ නිසා මෙයාට අද අධිරාජ්‍යවාදය සමග සටනක් නෑ. ඉන්දියානු ව්‍යාප්තවාදය සමග සටනක් නෑ. නවලිබරල්වාදය සමග සටනක් නෑ. සටනක් නැතුවත් බෑ. ඒ නිසා හදාගන්නවා “කළු රාජ්‍යය” නැමැති සටන. ඒකට එරෙහි සටන කියලා ඩයස්පෝරා එකට ඕන කරන පාර කපලා දෙන මර්දනය දිගේලි කරනවා.

පොලිස්පතිතුමෙකුත් ඉන්නවා ඒකටම හරියන නල්ලමලේ බඩ්ඩක්. අන්දන්න ඕනේ චීත්තයක්! ඊයේ පෙරේදා නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ගිහිල්ලා රේගුවත් උදව් කරගෙන කන්ටේනර් එකක් ඇල්ලුවා, අයිස් කන්ටේනර් එකක්. අර 350 ගණනක් චෙක් නොකර ඇරපු කන්ටේනර්වල අයිස් තියෙන්න බැරිද එහෙනම්? ආන්න ඒක අහු වුණා විතරයි, ඒක අල්ලගත්තු මිනිහට සම්මාන දෙනවා වෙනුවට “කොහොමද එහෙම ඇල්ලුවේ?” කියලා පරීක්ෂණයක් පටන් ගත්තා! දැන් රන්මල් කොඩිතුවක්කුට උත්තර දෙන්න වෙලා. “ඇයි ඔත්තුව ලැබිලා දවස් 10ක් ගියේ? මේක ඇල්ලුවේ ඇයි?” කියලා අහනවා. රේගුව ඇතුළේ තියෙන එකත් පටගාලා ගිහිල්ල ගන්න බෑනේ.

ඊළඟට අංක 6 කරණයට ඉදිරිපත් කළේ ඇයි කියලා අහනවා. මෙන්න නල්ලමලේ පොලිස්පති "කොස්තාපල් පුංචිසෝම"! අද නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් අසරණ කරලා, සී.අයි.ඩී. එකේ හිටපු ලොක්කා, ඩී. අයි. ජී. ශානි අබේසේකර, මාලිමා වේදිකාවේ නැග්ග මිනිහව ආයේ යුනිෆෝම් අන්දලා, නියෝජ්‍ය පොලිස්පති කරලා, පොලීසියත් දේශපාලනීකරණය කරගෙන යනවා. මේ විදියට මේ රටේ අධිකරණය වනසනවා. පොලීසියේ ස්වාධීනත්වය කෙලෙසනවා. නීතියේ ආධිපත්‍යය වනසනවා. ගොවියා දුකේ, මහජනයා දුකේ හෙළනවා.

ඒ නිසා තමුන්නාන්සේලා අපි තේරුම් ගන්න ඕනා දේ තමයි, සිම්බාබ්වේ කියලා රටක් තියෙනවා. සිම්බාබ්වේ රටේ ජනාධිපති තමයි එමර්සන් මොනන්ගග්වා (Emmerson Mnangagwa). එහෙ ජනාධිපති කරනවා ව්‍යවස්ථා සංශෝධනයක්. ඉහළ විනිශ්චයකාරයන්ගේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු පහකින් දික් කරනවා. 70 ඉඳන් 75 කරනවා. ඊට පස්සේ සිම්බාබ්වේ ජනාධිපති තව ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා; 2026දී යන්න හිටපු සිම්බාබ්වේ ජනාධිපති, ඡන්දයක් නොපවත්වා තව අවුරුදු පහක් ඉන්න පුළුවන් වෙන විදිහට ව්‍යවස්ථාව සංශෝධනය කරගන්නවා.

මේ යන්නේ මොන පාරේ... සිම්බාබ්වේ යන පාරේ.... ෆිදෙල් කැස්ත්‍රෝ ගිය පාර නෙවෙයි, ඔබාමලා ගිය පාරේ නෙවෙයි. මේ යන්නේ කොයි පාරේද? එමර්සන් ජනාධිපති ගිය පාරේ. දැන් 2026දී යන්න හිටපු සිම්බාබ්වේ ජනාධිපති, ඒ ව්‍යවස්ථා සංශෝධනයෙන් 2030 දක්වා ඉන්න පුළුවන්කම හදාගත්තා. මේක තමයි ව්‍යවස්ථානුකූල මර්දනකාරී පාලනය. මේ යන්නේ මොන පාරේතත ලූක් මල්බා ගිය පාරේ, ඒ පාරේ තමයි මේ යන්නේ.

ඒ නිසා අපි ඔක්කොම තේරුම් ගන්න ඕන මේ අභියෝගය. ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියලු දේශපාලන පක්ෂ මේ අභියෝගය තේරුම් ගන්න ඕනා. මේ රටේ ආර්ථික දියුණුව පතන සියලු දේශපාලන පක්ෂ මේ අභියෝගය භාරගන්න ඕනා. මේ ඒකාධිපතිත්වයට වැඩෙන්න ඉඩදිය යුතු නැහැ. එය මුලදීම පරාජයට පත් කළ යුතුයි.

ඔව් අනුර කුමාර මහත්තයෝ, ඔහේ හිරගෙවල්වල දාහක මේ ඉන්න ඔක්කොම දැම්මත්, අපේ ඊළඟ නායක පෙළ ඇවිල්ලා ඔබේ පාලනය පරාජයට පත් කරනවා. ඒක වලක්වන්න මොන සක්කරයටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි සියලු දෙනාම මේ සටන එක්සත්ව අතට ගත්තා. ජාතික න්‍යාය පත්‍රයක් කරා මේ රටම පෙළගස්වමු. පක්ෂ භේද පැත්තකට දාලා ජාතික න්‍යාය පත්‍රයක් අතට අරගෙන මුළු රටටම නායකත්වය සැපයමු. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනී ජනයා එක මිටකට සමගි කරලා මේ පරගැති, ඉන්දියානුගැති, බටහිරගැති, රූකඩ පිනෝකියෝ පාලනය පරාජයට පත් කිරීම සඳහා එක්සත්ව පෙළගැහෙමු.

ඒ සඳහා ඔබ සැමට ශක්තිය ලැබේවා! ධෛර්යය ලැබේවා! යෝධ බල යෝධ වීර්යය වැඩි වැඩියෙන් ලැබේවායි පතමින් මම ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම ජය වේවා!"


සම්බන්ධිත පුවත් | Related News

හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය.
ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ හා වංචා චෝදනා හසුවීමට ආසන්න වන විට, ඒ පිළිබඳ සොයා බැලීම වෙනුවට එම කරුණු වසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (09) පෙ.ව. 9.00 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.