මහා සංඝරත්නයට එල්ල වන කෙනෙහිලිකම්වලට එරෙහිව ජූලි 27 දා කොළඹ දී මහා සංඝ සමුළුවක්..
දේශපාලන බලය අවභාවිත කරමින් පොදුවේ මහා සංඝරත්නය ඉලක්ක කොට සිදු කරනු ලබන විවිධ කෙනෙහිලිකම්, අපහාස කිරීම්, අවමන් කිරීම් සහ කායික හා වාචසික හිංසනයන්ට එරෙහිව එළඹෙන ජූලි මස 27 වැනිදා පස්වරු 2.30 ට කොළඹ දී මහා සංඝ සමුළුවක් (පොදු මහාසභා සම්මේලනයක්) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
"ශාසනාරක්ෂක සංඝ සභාව" වෙනුවෙන් එහි සභාපති මණ්ඩලය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන නාහිමි, ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි සහ ආචාර්ය පූජ්‍ය ලැගුම්දෙනියේ පියරතන හිමි යන ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ නිවේදනයක මේ බව සඳහන් වේ.
එම නිවේදනය පහළින්..
උපුටා ගැනීම..............
අතිපූජනීය නායක ස්වාමීන්දුයන් වහන්ස,
ගරු කටයුතු අපේ හාමුදුරුවනේ,
වර්තමානයේ අපේ රටේ පවත්නා ජාතික ආගමික දේශපාලනික වාතාවරණය පිළිබඳව ඔබවහන්සේලාට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේයැයි සිතමු. මේ රටෙහි මුරදේවතාවුන් ලෙස මහා සංඝරත්නයේ ඓතිහාසික ජාතික වගකීම හිසින් දරා ගනිමින් සක්‍රීය ලෙස උඩුපටිපන්නව හා අදීනව නැගී සිටීමට කාලය එළඹ ඇතැයි සිතමු. රටත් දැයත් සමයත් විවිධ මිත්‍යා බලවේගයන්හි පමණක් නොව බෙදුම්වාදීන්ගේ ග්‍රහණයට නතුව දේශපාලන බලය අවභාවිත කරමින් පොදුවේ මහාසංඝරත්නය ඉලක්ක කොට සිදු කරන ක්‍රියාදමයන් පිළිබඳව බෞද්ධ මහජනයා මෙන් ම බොහෝ භික්ෂූන් වහන්සේ ද දැඩි කනස්සල්ලෙන් පසුවෙති. ප්‍රබුද්ධ මහ ජනයා, මහානායක හිමිවරු ප්‍රමුඛ වගකිව යුතු භික්ෂූන් වහන්සේ දෙස වපර ඇසින් බැලීමටත් අප්‍රසන්නතාවෙන් කතා කිරීමටත් පටන් ගෙන ඇත. අප නිහඬව නොසිට සංවිධානය විය යුතු කාලය එළඹ ඇත.
ශ්‍රී ලාංකේය මහා විහාර වංශික ථේරවාද භික්ෂූන් වහන්සේ සහිත ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට එරෙහිව අපහාස කිරීම්, අවතක්සේරු කිරීම්, අවමන් කිරීම්, අලාභහානි කිරීම්, කායික හා වාචසික හිංසනය කිරීම් මඟින් මෙම එදිරිවාදිකම් සිදු කරනු ලැබේ. අන්‍යාගමිකයන් හා අන්‍යාගමික ඒ හා බැඳි ආයතන විසින් ද අන්‍ය ජාතිකයන් හා ඔවුන්ගේ ඇතැම් සංවිධාන විසින් ද ඇතැම් විප්‍රවාසීන් (ඩයස්පෝරා) විසින් ද ඇතැම් දේශපාලන මතධාරීන් විසින් ද හින්නෝන්මාදි උන්මත්තකයන් විසින් ද ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මඟින් මෙහෙයවනු ලබන බෞද්ධ විරෝධී සමාජ ජාලා ක්‍රියාකාරීන් විසින් ද මුදාහැර ඇති වැඩ පිළිවෙලෙහි ඇතැමෙක් ඍජු ක්‍රියාකාරීන් වන අතර ඇතැමෙක් මූල්‍ය හා දෘෂ්ඨිවාද සපයන්නෝ වෙති.
සියවස් ගණනාවක් තිස්සේ අනාදිමත් කාලයක සිට අරිට්ඨ පරපුරේ සිරිලක් මහසඟන ලෙසට අපි, ජීවිතය ම දිය කරමින් මේ පින්බිමේ සම්බුදු සසුන රකගෙන ආවෙමු. ලොවටම දයාවන්ත වූ කරුණාවේ දහම රැකගෙන ආවෙමු. ජීවි අජීවි සමස්ත ලෝකයාට ම එක සේ පැතිරූ මහා මෙත් මුනි දේශනාව සුරැකිය යුතු එකම දේ ලෙස ගෙන දිවි දී රැකගත්තෙමු. උපතින් ම උරුම වූ මාපියන් සොයුරන් ඥාතීන් ඒ නිසාම අත්හැරියෙමු. ගිහි සැප ද දේපල ද ඒ වෙනුවෙන් ම ප්‍රතික්ෂේප කළෙමු. ඕනෑම විෂය ධාරාවකින් උගෙන ඕනෑම වෘත්තියක නියුක්ත වීමට ඇති මානව අයිතිය ස්වේච්ඡාවෙන් මඟහැර භාෂා, ධර්ම, ශාස්ත්‍ර උගෙන සම්බුදු සසුනේ නිත්‍ය සාමාජිකයන් වී සැදැහැවත් ගිහියන්ගේ ද දායකත්වයෙන් මේ බිමේ දහම ද සංස්කෘතිය ද රැකගත්තෝ අපි ම වෙමු. ඒ දහම ද ඒ දේශනාව ද ඒ සංස්කෘතිය ද අප බලා සිටිය දී ම විනාශ කූඩුපට්ටම් කොට අතුරුදහන් කිරීමට වලිකන ජාතිභ්‍රෂ්ට දේශද්‍රෝහී අන්තගාමී බලවේග ඉදිරියේ නිවට ජාතියක් විලසට දෙදණ බිම හොවා තවදුරටත් ඉවසා වදාරමු ද? අපේ පැවිදි හා ගිහි නායකයින් දියසෙන් කුමරු සේ පැමිණ සක්දෙවි වරම් ලැබ වැඩමවා සතර වරම් මහරජවරු හතර දෙසින් පැමිණ උපුල්වන් දෙව් වරමෙන් සම්බුදු සසුන සුරකිනා තෙක් සනීපෙට සැතපෙමු ද?
සිංහල බෞද්ධ ජන ප්‍රජාව ප්‍රමාණාත්මක ව හීන වීමත් ගුණාත්මක ව දුර්වලවීමත් කායික හා මානසික සෞඛ්‍ය සම්පන්න භාවය හීන වීමත් දුර්ජනයන්ගේ සාවද්‍ය ප්‍රචාර කරණ කොට ගෙන පැවිද්ද සඳහා දෙමාපියන් විසින් දරුවන් යොමු නොකිරීමත්, අඡේකම රුදුණු ගම හා පන්සල අතර වූ සුහද සබැඳියාව ඒ නිසාම දුරස්ථවීමත්, සසුන්ගත වීමට අභිප්‍රේරණයක් නොවීමත්, භික්ෂු අධ්‍යාපනය යාවත්කාලීන නොවීමත්, භික්ෂු දෙගුරු භූමිකාව අමතක වීමත්, ශික්ෂණ මූල අධ්‍යාපනය නැවතීමත් අදාළ ප්‍රස්තුතය අරබයා රාජ්‍ය හා සාම්ප්‍රදායික ප්‍රභූ ගිහි ප්‍රජා නායකත්වයේ වගකීම් ගිලිහී යාමෙන් භික්ෂු ආයතනික නියාමන යාන්ත්‍රණයේ කළමනාකරණ දුර්වලතා මතුවීමත් ඊට හේතූන් බව අප විසින් පිළිගත යුතුය ඇත. ඒ අනුව ඉහත සඳහන් ගැටලුව විසඳීම අරබයා එය ශාස්ත්‍රීය ව හදාරා විසඳුම් සෙවිය යුතු යැයි අපි විශ්වාස කරමු.
එහෙයින් ශ්‍රී ලාංකේය මහා විහාර වංශික ථේරවාද භික්ෂූන් වහන්සේ සහිත ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීම සක්‍රීයව පවත්වාගෙන යන ලෙස බලධාරීන්ට අවධාරණය කිරීමත්, ශාසනාරක්ෂාව පිළිබඳ වූ රාජ්‍ය හා සාම්ප්‍රදායික ප්‍රභූ ගිහි ප්‍රජා නායකත්වයේ හා හුදී ජනයාගේ වගකීම සිහිගැන්වීමත්, සමස්ත භික්ෂු නායකත්වයේ සහ භික්ෂු ප්‍රජාවගේ අනුල්ලංඝනීය ස්වයං වගකීම පිළිබඳ සාක්ෂි දැරීමටත් පොදු මහාසභා සම්මේලනයක් පැවැත්වීමට තීරණය කළෙමු. මෙම සහ සමුළුව ආණ්ඩු විරෝධී හෝ පුද්ගල/ආයතනික හා කණ්ඩායමක් බලගැන්වීම අරබයා වන ක්‍රියාකාරකමක් නොවන බව අවධාරණය කරමු.
එහෙයින් අදාළ යෝජනා ආණ්ඩුව වෙත ඉදිරිපත් කෙරෙන 2026 ජූලි 27 වන දින සවස 2.30 ට කොළඹ දී පැවැත්වෙන මහාසභා සම්මේලනයට වැඩම වන්නට ආරාධනාවක් ලෙස මෙම ලිපිය පිළිගන්වන්නෙමු.
ශාසනාරක්ෂක සංඝ සභාව වෙනුවෙන්
සභාපති මණ්ඩලය
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි
ආචාර්ය ලැගුම්දෙනියේ පියරතන හිමි
උපුටා ගැනීම අවසන්.......
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්