News Category
From Date
To Date
Maximum Number of Result

බුද්ධ සාසනය සුරක්ෂිත කිරීමේ ව්‍යවස්ථා ප්‍රතිපාදන ගැන ජ්‍යේෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණගෙන් අනාවරණයක්..

Jun 1, 2026 at 06:26 AM
|

බුද්ධ සාසනය සුරක්ෂිත කිරීමේ ව්‍යවස්ථා ප්‍රතිපාදන ගැන සම්බන්ධයෙන් සහ මෙවර වෙසක් මංගල්‍යයේදී රජය විසින් වසර 2570 ක් පැරණි බෞද්ධ රාජ්‍යයක උරුමය පිළිගෙන ප්‍රකාශයට පත් කර තිබීම සම්බන්ධයෙන් ලිපියක් සම්පාදය කරමින් ජ්‍යේෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ මහතා කරුණු දැක්වීමක් සිදුකර තිබේ.

එම ලිපිය පහළින්..

බුද්ධ සාසනය සුරක්ෂිත කිරීමේ ව්‍යවස්ථා ප්‍රතිපාදන

පසුගිය 27 වෙනි දා මාතර තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැති 2570 වන රාජ්‍ය වෙසක් මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළ කතාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියෙන් වත්මන් රාජ්‍යය වෙත පැවරී තිබෙන වගකීම් පිළිබඳ සංක්ෂිප්ත සටහනක් විය. 

රට යටත් විජිතයක්ව තිබූ කාලවකවානු හැරුණු කොට වසර දෙදහසකට වැඩි ඈත ඉතිහාසයක් පුරාවට මෙරට පාලනය කළ රජවරුන් රටත්, ජනතාවත් ආරක්ෂා කරගත්තේත්, ස්වයංපෝෂිත කළේත් බුද්ධාගමට හා බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය දීම නිසාය. මෙවර වෙසක් මංගල්‍යයේදී රජය විසින් වසර 2570 ක් පැරණි බෞද්ධ රාජ්‍යයක උරුමය පිළිගෙන ප්‍රකාශයට පත් කර තිබීම සතුටු දායකය. 

9 වන වගන්තිය (ව්‍යවස්ථාව)

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 9 වන වගන්තියේ මෙසේ සඳහන් වේ. 

“ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.”

රජයේ වගකීම්

මෙම වගන්තියෙන් (ව්‍යවස්ථාවෙන්) රජය (ජනරජය) වෙත පැවරෙන වගකීම් තුනකි. එනම්, (අ) බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම (ආ) බුද්ධ ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කිරීම (ඇ) 10 හා 14(1)(ඉ) වගන්තිවලින් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.

සියලු ආගම් අදහන්නන්ගේ සමාන බව 

ව්‍යවස්ථාවේ පනවා තිබෙන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම මිස බෞද්ධයින්ට ප්‍රමුඛස්ථානය ලබාදීමක් නොවේ. එසේ හෙයින් බෞද්ධයින් ඇතුළු සියලුම ආගම් අදහන්නන් ව්‍යවස්ථාවේ 10 හා 14(1)(ඉ) වගන්තිවල සඳහන් වන මූලික අයිතිවාසිකම්වලට සම හිමිකමක් ලබයි. එ් අනුව, “සෑම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් ඇදහීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය,” (10 වන වගන්තිය). “සෑම පුරවැසියෙකුට ම එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම ඇත්තේය” (14(1)(ඉ) වගන්තිය).

ව්‍යවස්ථාවේ 12(2) වගන්තියට අනුව කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය. 

9 වන ව්‍යවස්ථාවේ සංක්ෂිප්ත පසුබිම

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම හා බුද්ධ ශාසනය පෝෂණය කොට ආරක්ෂා කිරිම මිහිඳු මහරහතුන් වැඩමකිරීමෙන් පසුව දේවානම්පියතිස්ස රජතුමා බුද්ධශාසනයේ භාරකාරයා බවට පත්ව බුදුදහම ලංකාවේ රාජ්‍ය ආගම බවට පත් වූ දා පටන් අඛණ්ඩව පැවැති (විදේශ ආක්‍රමණවල පාලන කාලවල හැර) රාජ්‍ය ප්‍රතිපත්තිය හා වගකීම වේ. එතැන් පටන් බුදු දහම රටේ නීතිය, පරිපාලනය, ආර්ථිකය, කලාව, සංස්කෘතිය, අධ්‍යාපනය, කර්මාන්ත හා ජීවනෝපාය මාර්ග යනාදී බොහෝ අංශ සමග මුහුව ජනතාවගේ ජනජීවිතයේ  හා චින්තනයේ පදනම ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. 

බුද්ධාගම රජයේ ආගම බවත්, ශ්‍රී ලංකා දේශය බුදුන්ට අයත් බවත්, ශ්‍රී ලංකාවේ රජ කිරීමට සුදුසු වන්නේ බෞද්ධ රජකු පමණක් බවත් පූජාවලියේ සදහන් වේ. 1769 දී ලන්දේසි ආණ්ඩුකාර විල්හෙම් ෆාක් විසින් වාර්තා කර ඇත්තේ එකල මහනුවර විසූ භික්ෂුන් වහන්සේලාට අනුව රාජ්‍ය පාලකයා බුදු දහම හැර වෙනත් ආගමක් ඇදහිය නොයුතු බවට ස‍ඳහන් නීතියක් ද තිබූ බවයි. 1816 ජූනි 03 දිනැතිව රොබට් බ්‍රවුනින් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් ලියන ලද ලිපියකට අනුව උඩරට රාජධානියත්, බුදු දහමත් අතර නොබිඳිය හැකි බැඳයාවක් තිබූ අතර බුදුරජාණන්වහන්සේ විසින් රජුන්ව විදේශ බලවේගවලින් හා බලපෑම්වලින් ආරක්ෂා කරන බවට ලක්වැසියන් අතර විශ්වාසයක් තිබී ඇත. බුදු දහම හා ජනතාව අතර තිබූ මෙම බැඳියාව නිසාම 1815 දී අත්සන් කරන ලද උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය ලෙස බුදු දහම ආරක්ෂා කරන බවට කොන්දේසියක් ඇතුළත් කිරීමට ඉංග්‍රීසින්ට සිදුවිය. 

බෞද්ධයින්ට සිදුවූ පීඩා

එහෙත් ඉංග්‍රීසින් විසින් ලබා දුන් පොරොන්දු කඩ කිරීම නිසා හෙලයෝ ඉංග්‍රීසි පාලනයට එරෙහිව සටන් කළහ. 1818 සිදුවූ ඌව වෙල්ලස්ස මහා සටනේදී සිංහලයෝ දහස් ගණනින් මිය ගියහ. යටත්විජිත සමයේ දී බුදුදහමට හා බෞද්ධයින්ට සිදුවූ පීඩා හා හානිවලින් මිදී බුදු සමය පැරණි රජ දවස තිබුණු තත්ත්වයට ගැනීමට භික්ෂුන් වහන්සේලා ද විවිධ බෞද්ධ සංවිධාන ද අරගල කළහ. 1946 දී ඉංග්‍රිසි පාලනය විසින් පනවන ලද සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (ආගම් හා ආගමික ආයතන පිළිබඳ) 29(2) වගන්තිය මගින් බෞද්ධයෝ තවදුරටත් අපේක්ෂා භංගත්වයට පත්වූහ. 

1972 හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

වසර සියගණනක් තිස්සේ පැවැති විජාතික පාලන හස්තයෙන් මිදී රටේම ජනතාව විසින් සාදාගන්නා ලද ප්‍රථම ස්වදේශීය ආණ්ඩුකම ව්‍යවස්ථාව වන්නේ 1972 ජනරජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි (ශ්‍රී ලංකාවට සැබෑ නිදහස ලැබුණේ එය ක්‍රියාත්මක වූ 1972 මැයි 22 බවට පිළිගැනෙන්නේ එබැවිනි). ශතක ගණනාවක් තිස්සේ සිදුකළ සටනක මල්පල ගැන්වීමක් ලෙස එම ව්‍යවස්ථාවේ 6 වන ව්‍යවස්ථාව පනවා තිබුණේ මෙසේය,

“ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 18 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඈ) ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර රජය විසින් බුද්ධාගම සුරක්ෂිතකොට පෝෂණය කළ යුත්තේ ය.”

මෙහි බුද්ධ ශාසනය යන යෙදුම නොවීය. බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කළ යුතු වීමේ රාජ්‍ය වගකීම ඇතුළත් වූයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවට (වගන්තියට) ය (මෙය 1978 ව්‍යස්ථාව 1972 ව්‍යවස්ථාව යටතේ කරනු ලැබූ සංශෝධනයකි).

විදේශීය ව්‍යවස්ථා

2023 දී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය (එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ හා ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්) විසින් ලබා දී තිබෙන ආයුර්වේද (සංශෝධිත) පනත් කෙටුම්පත සම්බන්ධ තීරණයේ දී වෙනත් රටවල ව්‍යවස්ථාවන් සම්බන්ධව සඳහන් කර තිබෙන්නේ මෙසේය (සාමාන්‍ය සිංහල පරිවර්තනයකි), 

“ලෝකයේ බොහෝ රටවල ව්‍යවස්ථාවන් මඟින් කිසියම් ආගමකට ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබාදී ඇති බවත්, එවැනි ව්‍යවස්ථාවන් කිහිපයක් මගින් ඇතැම් ආගම් සඳහා විශේෂ පිළිගැනීමක් හෝ සැලකීමක්  ලබාදී ඇති බවත් අත්‍යාවශයෙන්ම දැක්විය යුතු බවට අපි නිරීක්ෂණය කරමු. ඇතැම් ඇස්තමේන්තුවලට අනුව, ලෝකයේ සියලුම ව්‍යවස්ථාවන්ගෙන් ආසන්න වශයෙන් සියයට 40ක්ම විශේෂිත ආගමක් පැහැදිලිව හඳුනාගෙන, එම ආගම පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම සම්බන්ධ ව්‍යවස්ථාමය වගකීමක් රජයට පවරා ඇති අතර, ඊට සමගාමීව සාමාන්‍ය ආගමික අයිතිවාසිකම් ද (පෙදුවේ) ව්‍යවස්ථාමය වශයෙන් සහතික කර ඇත. ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන්නේ මෙවැනි ව්‍යවස්ථාමය සැකැස්මක් යටතේය.”

එහි දී මියන්මාරය, කාම්බෝජය, තායිලන්තය, භූතානය වැනි දකුණු හා නැගෙනහිර ආසියාතික රටවල් ගණනාවක ව්‍යවස්ථා මගින් බුද්ධාගමට ප්‍රමුඛතාවක් ලබා දී ඇති ආකාරය පිළිබඳව අධිකරණය විසින් සාකච්ඡා කර ඇත. 

ආසියානු රටවල පමණක් නොව එක්සත් රාජධානිය, ආජෙන්ටිනාව, නෝර්වේ, ඩෙන්මාර්කය, හංගේරියාව, මෝල්ටාව, මොනැකෝව වැනි රටවල කතෝලික ආගමට ලබා දී තිබෙන විශේෂ ප්‍රමුඛතාවයත්, ඊජිප්තුව, ටියුනීසියාව, මැලේසියාව, පකිස්තානය මෙන්ම අනෙකුත් බොහෝ මැදපෙරදිග රටවල් ඉස්ලාම් ධර්මයට ලබා දී තිබෙන ප්‍රමුඛතාවයත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු වී ඇත.

මෙසේ යම් ආගමකට විශේෂත්වයක් ව්‍යවස්ථාව මගින් ලබා දීම ඒ ඒ රටවලට ආවේණික ඓතිහාසික සාධක මත සලකා බැලිය යුතු බව සඳහන් කරන අධිකරණය එසේ වුවද, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ සැකැස්ම සලකා බැලීමේ දී සියලු ආගම්වලට අයත් පුරවැසියන්ට සහයෝගීතාවෙන් යුතුව සම හිමිකම් සහිතව ජීවත්වීමේ නීතිමය රාමුවක් සහතික කර තිබෙන බවද සඳහන් කර ඇත.

බුද්ධ ශාසනය

1993 දී පුරාවිද්‍යා සංශෝධන කෙටුම්පත සම්බන්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවේ දී බුද්ධ ශාසනය යන යෙදුම බුද්ධාගම යන්නට වඩා පුළුල් බවත්, ඊට බෞද්ධයින්ගේ ආගමික වතාවත් හා වන්දමාන කරන ස්ථානද ඇතුළුව සම්පූර්ණ සංස්ථාපිත ව්‍යුහයම ඇතුළත් වන බවටත් තීරණය කර ඇත.

එතැන් පටන් නඩු තීන්දු ගණනාවක දී ම ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 9 වන වගන්තිය අර්ථ නිරූපණය කර තිබේ (උදා- කතිකාවත් පනත් සංශෝධනය, විහාර දේවාලගම් පනත් සංශෝධනය, සම-රිසි පනත් කෙටුම්පත). එහෙත් ආයුර්වේද පනත පිළිබඳ නඩුවේ දී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසිකවූත් වඩාත් පූළුල් වූත්, අර්ථනිරූපණයක් ලබා දී ඇත. ඒ කෙසේද යත් (සාමාන්‍ය සිංහල පරිවර්තනයකි),  

“අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බුද්ධ ශාසනය (යන පදයට) යන්නට ධර්මය  (විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දේශනා ලෙස පිළිගත් හා අවිවාදිත ලේඛනගත කර තිබෙන ඉගැන්වීම් ඇතුළුව බෞද්ධ ධර්මයේ මූලධර්ම සහ ඉගැන්වීම්), සංඝයා (බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන්), බුදුදහම විසින් පිළිගනු ලබන දේශනා, චාරිත්‍ර හා පිළිවෙත්, ලේඛනගත කරන ලද බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් සහ ඊට අදාළ දේශනා, පිරිවෙන්, විහාරස්ථාන සහ සංඝාධිකරණ වැනි ආයතනික යාන්ත්‍රණ, නිකාය වැනි සංවිධානමය යාන්ත්‍රණ සහ ව්‍යුහයන්, පැවිදිකිරීම හා උපසම්පදාව වැනි ක්‍රමවේද, විහාරාධිපති සහ විහාරාධිකාරී වැනි තනතුරු, විහාරස්ථානවල දායක සභා වැනි බෞද්ධ ගිහි සංවිධාන, සහ සාංඝික දේපළ වැනි ශාසනික දේපළ ද ඇතුළත් වන බව අපි තීරණය කරමු. මේ සියල්ල එකට එක්ව “බුද්ධ ශාසනය” ලෙස හැඳින්වෙන අතර, බුද්ධාගම දේශනා කිරීම, පිළිපැදීම, පවත්වාගෙන යාම, නඩත්තු කිරීම, ප්‍රවර්ධනය කිරීම, පෝෂණය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා බෞද්ධාගමේ පවතින සංවිධානමය හා ආයතනික සැකැස්මන් ද ඊට අයත් වේ.

ඇත්ත වශයෙන්ම, බුද්ධාගම සහ බුද්ධ ශාසනය එකිනෙකට මත යැපෙන හා වෙන් කළ නොහැකි බවද නිරීක්ෂණය කිරීම වැදගත් ය. එබැවින්, 9 වැනි වගන්තියේ සඳහන් “බුද්ධ ශාසනය” යන පදය පුළුල් ලෙස විකාශය කළ හැකි පදයක් වන අතර, ඉහත අර්ථ දැක්වූ පරිදි බුද්ධාගමට අදාල සමස්ත සංස්ථාපිත ව්‍යුහයම එයට අයත් වන බව අපි තීරණය කරමු.

ඒ අනුව, විනය පිටකය, සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය යන කොටස් තුනින් සමන්විත ත්‍රිපිටකය “බුද්ධ ශාසනය” යන පදය තුළ අන්තර්ගත වන බව අපි නිගමනය කරමු. එබැවින්, රාජ්‍යයට ත්‍රිපිටකය ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම ඇතුළු වගකීමක් පවතී.”

බුද්ධ ශාසනය යන්න 2002.06.28 වන දින ප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභා වර්තාවේ අර්ථ ගන්වා තිබෙන්නේ ඊට සිල්මාතාවන් හා තෙරුවන් සරණ ගිය ගිහි ජනතාව ද ඇතුළත් කරමිනි.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම

බුද්ධාගම යනු පිළිපැදිය යුතු පිළිවෙතකි. දර්ශනයකි. ප්‍රඥාව, දියුණුව හා ශක්තිය අත්කර ගැනීම සඳහා සිත හා කය මෙහෙයවිය යුතු ක්‍රමවේදයකි.

එබැවින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම ප්‍රායෝගිකව සිදු කළ හැක්කේ රාජ්‍ය නායකයා හා රජය (ජනරජය) මෙහෙයවන්නන් විසින් බුදු දහමේ එන සිද්ධාන්ත අනුගමනය කරමින් සිය පාලන කටයුතු කිරීමෙනි. 

මෙහි දී රජය යන්නට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ඇතුළත් ය. 9 වන වගන්තිය යටතේ එම ආයතනවල ධුර දරමින් ජනතාවට බලපාන තීරණ ගන්නා හා බලය ක්‍රියාත්මක කරන සියලු අය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීමට බැඳී සිටිති.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන පාලකයා ප්‍රඥාවන්තයෙක් මෙන්ම අධ්‍යාත්මීය ශක්තියකින් හෙබි අභීත හා සෘජු නායකයෙක් ය. රාජ්‍ය පාලනයට සම්බන්ධ සියලු අය එය එසේ විය යුතුය. සතර අගතියෙන් තොර වීම, දසරාජ ධර්ම අනුගමනය කිරීම, සිව් සඟරා වතින්, ලොව සනසමින්, සතර උපාය යොදාගනිමින් පාලනය කිරීම 9 වගන්තිය මගින් එම සියලු අය වෙත පවරා තිබෙන වගකීමය. 

දේශීය ව්‍යවස්ථාව

වසර දහස් ගණනක් තිස්සේ බෞද්ධ පාලන ක්‍රමයක් බලාත්මක වූ අලිඛිත ව්‍යවස්ථාවක් ඇත. බටහිර ව්‍යවස්ථාවේ පදනම වන ජනතාව හා රජය අතර ඇති වන සමාජ ගිවිසුම අභිබවා යන ව්‍යවස්ථාමය මූල ධර්මයක් එහි විය. එහි දී ජනතාවත් පාලකයාත් අතර භික්ෂුන්වහන්සේ ස්ථානගත විය. රජු රාජ්‍යත්වයට පත්වූයේ භික්ෂුන්වහන්සේගේ අනුමැතියෙන් ය. ඒ සඳහා රජු විසින් බුද්ධාගම පිළිගත යුතුය. භික්ෂුන්වහන්සේට තිබූ ඒ ව්‍යවස්ථාමය බලය හේතුවෙන් පාලකයා නිරන්තරයෙන් ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කළ යුතු විය (මෙය අමාත්‍යවරුන්ට හා ප්‍රාදේශීය පාලකයන්ට ද පොදුය). එකල නිරන්තර අරගලවල යෙදුනු අසහනයෙන් පිරි සමාජයක් නොවූයේ එබැවින් ය. 

වර්තමානයේ ද කිසිදු ලිඛිත නීතියක නොවුව ද බලයට පත්වන රාජ්‍ය නායකයා හා අමාත්‍යාදීන් තම ප්‍රථම නිල  කටයුත්ත ලෙස දළදාව වැඳීම හා මහනායකවරුන් බැහැ දකින්නේ ජනතාව ඉදිරියේ එම අනුමැතිය ලබාගැනීමට ය. රජුන් පවා නමස්කාර කරන භික්ෂුව සැමට ඉහළින් ස්ථානවගත වන නායකයෙකි. එහෙත් තමන් වෙත පැවරී තිබෙන එම ඓතිහාසික හා ව්‍යවස්ථාපිත බලය හා වගකීම බොහෝ භික්ෂුන්වහන්සේලා විසින් නොදැන සිටීම අභාග්‍යයකි. 

බෞද්ධ රාජ්‍ය පාලනයක් තුළ මානව හිමිකම් කඩවීම්, නීතියේ පාලනය බිඳ වැටීම්, ආර්ථිකයේ කඩා වැටීම්, අසමාන සැලකීම් යනාදිය සිදුවන්නේ නැත. සාමය, සතුට, සෞභාග්‍යය හා තෘප්තිය යනාදිය දායාද කරන එවැන්නක් තුළ අද බටහිරකරණය වීමට ගොස් අත්විඳින අසහනය, ගැටුම්, දුප්පත්කම, ගිලන්බව යනාදියට ඉඩක් නැත. 

- ජ්‍යේෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ


සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.