අත්සන් කළ ඉන්දු - ලංකා අවබෝධතා ගිවිසුම් 07 බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ..
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.
වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු ජාතික සංවිධාන නියෝජිතයන් පිරිසක් සහ විනිවිද පෙරමුණ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වලට අදාළව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව සඳහන් කළේය.
ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉන්දීය රජය සමග ශ්‍රී ලංකා රජය ඇතිකර ගෙන තිබෙන අවබෝධතා ගිවිසුම් 07 ක් මෙම නඩූකරය තුළින් අභියෝගයට ලක් කර ඇති බව සඳහන් කළේය.
ඒ අතුරින් ගිවිසුම් දෙකක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ජාතික ආරක්ෂාව සහ ඉන්දීය ශ්‍රී ලංකා සබඳතාවලට අගතියක් සිදුවිය හැකි බව සඳහන් කරමින් එම තොරතුරු හෙළිකිරීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු කියා සිටියේය.
මෙම ගිවිසුම්වලට අදාළ තොරතුරු අනාවරණය නොකරන ලෙස ඉන්දීය රජය ඉල්ලීමක් කර ඇති නිසා අදාළ තොරතුරු හෙළිදරව් කළ නොහැකි බවට රජය විසින් ප්‍රකාශ කර ඇති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනතාව වෙත පැවරී තිබෙන ජනතා පරමාධිපත්‍යය මුළුමනින්ම උල්ලංඝනය වීමක් සිදු වන බවත් ඔහු චෝදනා කළේය.
මෙම ගිවිසුම්වලට අත්සන් තබා තිබෙන්නේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයින් විසින් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.
සාමාන්‍යයෙන් විදේශීය රාජ්‍යයක් සමග ගිවිසුම්වලට එළඹීමේදී ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කර ඊට අනුමැතිය ලබා ගත යුතු බවත් මෙවැනි කටයුතු සම්බන්ධයෙන් තම අභිමතය පරිදි කටයුතු කිරීමේ බලයක් ජනාධිපතිවරයා වෙත පැවරී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
එහෙත් මෙම ගිවිසුම්වලට එළඹීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව දැනුවත් කර ඊට අනුමැතිය ලබා ගෙන නොමැති බවත් එය නිසි නීතිමය පටිපාටියට පිටුපා සිදුකළ නීතිවිරෝධී ක්‍රියාවක් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.
ඉන්දියාව සමග යහපත් සම්බන්ධතා පවත්වාගෙන යාම යහපත් වුවත් මෙවැනි ක්‍රියා නිසා පාකිස්තානය වැනි අසල්වැසි රාජ්‍යයන් සමග පවතින සබඳතාවලට අහිතකර ලෙස බලපෑ හැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව විනිවිද පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා මෙම ගිවිසුම්වල අන්තර්ගත කරුණු ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ජනාධිපතිවරයා විසින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බව කියා සිටියේය.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ගිවිසුම්වලට අදාළ තොරතුරු ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කළත් ජනාධිපතිවරයා මෙවැනි ගිවිසුම්වලට අත්සන් කර නැති නිසා එහි පිටපත් නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා දැනුදී තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සාමාන්‍යයෙන් මෙවැනි ගිවිසුම්වලට එළැඹීමේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සාමාන්‍ය පටිපාටිය බවද කියා සිටියේය.
අමාත්‍ය මණ්ඩලයේ සිටින්නේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවත් ඔවුන් මෙම ගිවිසුම් පිළිබඳව දැනුවත් වීමක් සිදුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
මෙම ගිවිසුම් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති බවට පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කරන කරුණු පදනම් විරහිත බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වන ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වන්නේ ආයෝජන සම්බන්ධයෙන් විදේශීය රාජ්‍යයන් සමග ඇතිකර ගන්නා ගිවිසුම්, ද්විත්ව බදු ගිවිසුම් බවත් මෙවැනි අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත් ඔහු කියා සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටියද ජනාධිපතිවරයාට ලැබෙන සියලු තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට නියමයක් නොමැති බවත් ඔහු පැවසීය.
යම් ගිවිසුමක් පිළිබඳ තොරතුරු දැනගනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට එය කැඳවීමට හැකියාව තිබෙන බවත් එහෙත් මෙහිදී එවැන්නක් සිදුවී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම නඩුකරයට මැදිහත්වීමට තරම් සාධාරණ නීතිමය පදනමක් මෙම පෙත්සම් තුළ අන්තර්ගතව නොමැති හෙයින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..