ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය මෙරට දී නිෂ්පාදනය කළ සමාගම් ලොක්කාගෙන් ප්‍රශ්න කරයි
Nov 7, 2023 at 06:43 AM
|
රෝගීන් රැසකට සංකූලතා ඇති කළ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය මෙරට තුළ නිෂ්පාදනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සහ ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් වෙන වෙනම ප්‍රකාශ සටහන් කරගත් බවය.
ආන්දෝලනයකට තුඩුදුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධය මෙරටට ආනයනය කළ බව කියූ සමාගමේ හිමිකරු පසුගියදා අත්අඩංගුවට ගැනුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත්තේ අදාළ ඖෂධ තොගය ඉන්දියාවෙන් ආනයනය කළ බව පැවසුවද, ඒවා මෙරටදී නිෂ්පාදනය කර ඇති බවය.
මෙවන් පසුබිමක සෞඛ්‍ය වෘත්තිය සමිති පැවසුවේ අදාළ ප්‍රතිදේහ ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා රුධිරය ලබාගෙන ඇත්තේ ජාතික රුධිර සේවයෙන් බවය.
ඒ අනුව, ඉකුත් සෙනසුරාදා ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතාගේ නිවසට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.