News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාව සතු සියළු ඛණිජ සම්පත් හොර රහසේ ඉන්දියාවට පවරාදීමට රහස් ගිවිසුමක්.. සංචාරක ව්‍යාපාරයේ දියුණුවක් ඇතැයි “පාරම්බානා” අය අද ශ්‍රී ලංකාව “දිළිඳු සංචාරකයන්ගේ” පුරවරයක් කරලා.. - විමල්ගෙන් චෝදනා

Feb 12, 2026 at 05:17 PM
|

ශ්‍රී ලංකාවේ සමස්ත ඛණිජ සම්පත් ගවේෂණය, කැණීම් සහ නිස්සාරණය ඉන්දියානු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන සමාගම්වලට පවරාදීම සඳහා රහසිගත අවබෝධතා ගිවිසුමක් සකස් වෙමින් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ (NFP) පක්ෂ කාර්යාලයේදී අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා චෝදනා කරයි. ඔහු මෙම ගිවිසුමේ ඡායා පිටපතක් පෙන්වමින් සඳහන් කළේ එය තවමත් ප්‍රසිද්ධියට පත් නොකළ, ඉතා නුදුරු දිනකදී අත්සන් කිරීමට නියමිත බවය.

බත්තරමුල්ලේ රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ (NFP) පක්ෂ කාර්යාලයේදී අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා බරපතල චෝදනා නගමින් මෙම අදහස් ඉදිරිපත් කළේය.

වීරවංශ මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ භූමිතලයේ සහ සාගර පතුලේ ඇති දුර්ලභ ඛණිජ සම්පත් සිතියම්ගත කිරීම, ඒවා හඳුනාගැනීම සහ කැණීම් කටයුතු ඉන්දියානු ආයතනවලට ලබාදීමට සැලසුම් කර ඇති බවයි. 

ඔහු අවධාරණය කළේ දැනටමත් රටේ විවිධ ප්‍රදේශවල ඛණිජ කැණීම් බලපත්‍ර නැවැත්වීමට සහ දීර්ඝ කිරීම් නොකිරීමට රජය තීරණය කර ඇත්තේ මෙම ඉන්දියානුකරණය සඳහා එම ප්‍රදේශ වෙන් කිරීමට බවයි. ගිවිසුම මගින් ඛණිජකරණය වූ ප්‍රදේශ රජයන් දෙකේ එකඟතාවයෙන් (G to G) ඉන්දියානු සමාගම්වලට වෙන් කිරීමටත්, ඉන්දියානු රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත් සැලසුම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගිවිසුම මගින් රටට සිදුවන හානිය අවධාරණය කළ වීරවංශ මහතා, ශ්‍රී ලංකාව සතු වටිනා ඛණිජ සම්පත් ලැයිස්තුගත කරමින් ඒවායේ වැදගත්කම පැහැදිලි කළේය. ඔහු සඳහන් කළේ සිලෝන් ග්‍රැෆයිට්, නිල් මැණික් (බ්ලූ සැෆයර්), පුල්මුඩේ ඛණිජ වැලි (ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන්, මොනසයිට්), උසස් සිලිකා, රොක් ෆොස්ෆේට්, ඩොලමයිට් සහ මුහුදු පතුලේ කෝබෝල්ට් නිධි වැනි සම්පත් මෙම ගිවිසුම මගින් ඉන්දියාවට හිමි වීමේ අවදානමක් ඇති බවයි. මෙම සම්පත් තාක්ෂණික කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය බවත්, මෙම තීරණය රටේ ආර්ථිකයට තීරණාත්මක බවත් ඔහු පෙන්වා දුන්නේය.

වීරවංශ මහතා මෙම සැලැස්මට ජනතා විමුක්ති පෙරමුණ (JVP) සහ ජාතික ජන බලවේගය (NPP) සම්බන්ධ බවට ද චෝදනා කළේය. ඔහු ප්‍රකාශ කළේ ටිල්වින් සිල්වා මහතාගේ ඉන්දියානු සංචාරය සහ අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි සංචාරය මෙම ගිවිසුම ඉක්මන් කිරීමට බලපාන බවයි. ඉන්දියානු ව්‍යාප්තවාදයට විරුද්ධව සටන් කළ පක්ෂයක් ලෙස JVP ගොඩනැඟුණු බව සිහිපත් කළ ඔහු, මෙම ක්‍රියාමාර්ගය දේශද්‍රෝහී බවත්, එයට එරෙහිව ජනතාව එක්සත් වී සටන් කළ යුතු බවත් අවධාරණය කළේය. තවද, ඉන්දියාව සමඟ සම්බන්ධ වෙනත් සැලසුම් ගැනද ඔහු සඳහන් කළේ කංකසන්තුරු සහ ත්‍රිකුණාමල වරායන් ඉන්දියානුකරණයට ලක් කිරීමේ තීරණ සහ ඖෂධ වෙළඳපොළ ඉන්දියානු ඖෂධවලින් පිරවීමේ රහස් ගිවිසුම් හතක් ගැනයි.

මාධ්‍ය සාකච්ඡාවේ දෙවැනි ප්‍රධාන කරුණ ලෙස වීරවංශ මහතා සඳහන් කළේ සංචාරක කර්මාන්තයේ වර්ධනය පිළිබඳවයි. ඔහු ප්‍රකාශ කළේ රජය විසින් සංචාරකයන්ගේ පැමිණීමේ සංඛ්‍යාත්මක වර්ධනයක් ප්‍රවර්ධනය කළද එය මිත්‍යා මතයක් බවයි. 2026 ජනවාරි මාසයේදී සංචාරකයන් 277,327ක් පැමිණ ඇති බවත්, එය 2025 ජනවාරියට සාපේක්ෂව 9.7%ක වර්ධනයක් බවත් ඔහු සඳහන් කළද, එම මාසයේ ආදායම ඩොලර් මිලියන් 378.3ක් පමණක් බවත්, 2025 ජනවාරියේ ආදායම ඩොලර් මිලියන් 400.7ක් වූ බවත් පෙන්වා දුන්නේය.

වීරවංශ මහතා අවධාරණය කළේ සංචාරකයන්ගේ ගණන වැඩිවීමට වඩා ආදායම වැඩිවීම වැදගත් බවත්, දැනට දිනකට සංචාරකයෙකු වැය කරන මුදල ඩොලර් 171ක මට්ටමේ සිට 148 දක්වා පහත වැටී ඇති බවත්ය. මෙයට හේතු ලෙස ඔහු සඳහන් කළේ සංචාරක කර්මාන්තයේ ආර්ථික කාන්දුවීම්, පිටතින් ගෙන්වන අමුද්‍රව්‍ය සඳහා වැයවන ඩොලර් බිලියන් 1.13ක් සහ බහුතරයක් සංචාරකයන් 'දිලිඳු සංචාරකයන්' වීම බවයි. මෙම සංචාරකයන් රටට වියදම් කිරීමට නොව, මෙහි බඩු විකුණා මුදල් උපයා යළි යාමට පැමිණෙන බවත්, මෙයින් රටේ සංචාරක කර්මාන්තය බිඳවැටීමට සහ සමාජ ප්‍රශ්න නිර්මාණය වීමට හේතුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඔහු රජයෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව 'දිලිඳු සංචාරක පාරාදීසයක්' බවට පත් කිරීම වෙනුවට, මධ්‍යම සහ ඉහළ ආදායම් මට්ටමේ සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා උපායමාර්ගික මැදිහත්වීම් සිදු කරන ලෙසයි. 

මෙම මාධ්‍ය සාකච්ඡාවට හික්කඩුව නගරසභාවේ NFP නාගරික මන්ත්‍රී ප්‍රසන්න පණ්ඩිත මහතා සහ සීතාවක ප්‍රාදේශීය සභාවේ NFP අපේක්ෂිකා ඩී. පී. මනෝරී කරුණාතිලක මහත්මිය ද සහභාගී වූහ.

මාධ්‍ය සාකච්ඡාවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ 

ඉදිරිපත් කරනු ලැබූ සම්පූර්ණ හෙළිදරව්ව මෙසේය.

සුභ උදෑසනක්... අද අපේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙනවා හික්කඩුව නගරසභාවේ අපේ ජාතික නිදහස් පෙරමුණේ නාගරික මන්ත්‍රී ප්‍රසන්න පණ්ඩිත සහෝදරයා. ඒ වගේම සීතාවක ප්‍රාදේශීය සභාවට අපේ ජාතික නිදහස් පෙරමුණෙන් අපේක්ෂිකාවක් ලෙස තරඟ කළ ඩී. පී. මනෝරී කරුණාතිලක සහෝදරිය මේ මාධ්‍ය සාකච්ඡාවට මා සමඟ සම්බන්ධ වෙනවා.

අද ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව තමයි ඔබ මගින් මේ රටේ පොදු ජනතාවගේ අවධානය යොමු කළ යුතුයි කියලා අපි තීරණය කළේ. පළමු එක තමයි මේ වනවිට අප සතුව තිබෙනවා ඉතාම හොර රහසේ මේ රටේ සමස්ත ඛණිජ සම්පත් සහ ඛණිජ සම්පත්වල ගවේෂණ සහ කැණීම් කටයුතු ඉන්දියානු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන හා සමාගම්වලට පවරා දීමට සකස් කළ ගිවිසුමක්.

අප සතු මුළු මහත් ඛණිජ සම්පත්, විවිධාකාර වටිනා ඛණිජ සම්පත්, ශ්‍රී ලංකා භූමිතලය මත හා ශ්‍රී ලංකාවට අයත් සාගර පතුල මත තිබෙන ඒ වටිනා දුර්ලභ ඛණිජ සම්පත්, එකක් සිතියම්ගත කරන්න. ඒ ඛණිජමය සම්පත් තිබෙන කලාප හඳුනාගෙන ඒ කලාපවල කැණීම් කටයුතු, ගවේෂණ කටයුතු සියල්ල කරන්න ඉන්දියානු ආයතන හා රජයේ ආයතන සහ සමාගම්වෙත පිරිනමන අවබෝධතා ගිවිසුමක් මේ දිනවල බොහොම කඩිමුඩියේ සම්පාදනය වෙමින් තිබෙනවා. මේ තමයි ඒ අවබෝධතා ගිවිසුම. මේ තියෙන්නේ ඒකේ ඡායා පිටපතක්.

මේක තවම ප්‍රසිද්ධියට පත්වෙච්ච ගිවිසුමක් නෙවෙයි. මේකේ පිටු ගණනාවක් තියෙනවා මේ ගිවිසුමේ. දැන් මේක තමයි යෝජනා කරලා තියෙන අවබෝධතා ගිවිසුම. මේ ගිවිසුමට අත්සන් කරන්නේ නියමිතයි ඉතා නොදුරු කාලෙකදී. ඔබ දන්නවා සමහර ඛණිජමය සම්පත් කැණීම් බලපත්‍ර මේ වනවිට රටේ විවිධ ප්‍රදේශවල නතර කරලා තියෙනවා. ඒවායේ ඒ කාලය දීර්ඝ කිරීම නවත්තලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ ඉන්දියානුකරණයට මේ සියලු ප්‍රදේශ, සියලු ඛණිජ සම්පත් වෙන් කිරීමට ආණ්ඩුව දැනටමත් තීරණය කොට තිබීම. දැන් මේ මගින් වෙන්නේ මොකක්ද?

මේ ගිවිසුම මගින් කියනවා, එකක් තමයි ඛණිජ සම්පත් ගවේෂණය, නිස්සාරණය හා ඒවා කැණීම. එහෙම නැත්නම් ඒවා හූරලා අරගන්න ඒ ක්‍රියාවලිය. මේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ගිවිසුම් මගින් ඉන්දියානු සමාගම්වෙත ලැබෙනවා. අනිත් එක තමයි අපේ මහාද්වීපක ප්‍රදේශයට, ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ සාගර පතුලේ තියෙන දුර්ලභ ඛණිජ සම්පත්, ඛණිජ වැලි වෙන්න පුළුවන්, මේ සියල්ල අවශ්‍ය ඔවුන්ට අවශ්‍ය නම් ලබාගැනීමේ හැකියාව මේ ගිවිසුමෙන් අරන් දීලා තියෙනවා. 

ඒ වගේම ඉන්දියානු සංවිධානයට එහෙම නැත්නම් සමාගම්වලට “ඛණිජකරණය” කළ ප්‍රදේශ ඒ කියන්නේ ඔගොල්ලෝ ඛණිජකරණය කියලා කියන්නේ දැන් ඔබ දන්නවා ඉන්දියාවේ සමහර චිත්‍රපටවල තියෙනවා ඒ ඛණිජකරණයට ලක්වෙච්ච ප්‍රදේශ කියලා හඳුන්වපු ප්‍රදේශවල “ගම්බිම් පවා” ඉවත් කරනවා. ගම්බිම් පවා ඉවත් කරලා මම ඒ කියන්නේ ඒවා සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වෙච්ච කතා. එතකොට ගම්බිම් පවා ඉවත් කරලා තමයි ඒ ප්‍රදේශවල ඒ කැණීම් කටයුතු කෙරෙන්නේ. දැන් මේ අය මේ ඛණිජකරණය වෙච්ච ප්‍රදේශ මුලින් හඳුනාගන්නවා.

ඊට පස්සේ ඒවයේ ඒ කොටස් වශයෙන් ඒවා වෙන් කරලා ඒවය ඛණිජ ගවේෂණය හා කැණීම් ඇතුළු සියලු ව්‍යාපෘති සඳහා ඔයගොල්ලෝ මේකෙන් ඉඩ පාදගන්නවා. ඇත්තෙන් මේකේ වෙන දේ තමයි පතල් කැණීම් ආශ්‍රිත ක්‍රියාකාරකම් සහ ස්වභාවික සම්පත් අංශයේ ආයෝජන ප්‍රවර්ධනය කරන්නත් මේ ගිවිසුමෙන් කියනවා. ඒ කියන්නේ ඉන්දියානු ආයෝජන ප්‍රවර්ධනය කරන්න මේ ක්ෂේත්‍රවල ඇවිල්ලා කැණීම්... ඒ කියන්නේ රාජ්‍ය අංශය විතරක් නෙවෙයි ඉන්දියාවේ පුද්ගලික අංශයටත් මේක විවෘත කරනවා කියන එක තමයි මේ කියන්නේ. 

අනිත් එක තමයි මෙතන කියනවා ඉතාම වැදගත් කාරණයක්, බරපතල කාරණයක්. ඉන්දියානු රාජ්‍ය ආයතන සමාගම් සඳහා ඛණිජකරණය වූ ප්‍රදේශය “G TO G” මගින් වෙන් කිරීම. ඒ කියන්නේ ගවර්මන්ට් ටු ගවර්මන්ට්. ඉන්දියානු රජයයි, ශ්‍රී ලංකා රජයයි එකතු වෙලා ඉන්දියානු රාජ්‍ය ආයතන සමාගම් සඳහා ඛණිජකරණය වූ ප්‍රදේශය වෙන් කරන එක. ඛණිජමය සම්පත් තිබෙන සුවිශේෂ ප්‍රදේශය වෙන් කරන්න ඕන රජයන් දෙක එකට එකතු වෙලා ඉන්දියානු රාජ්‍ය ආයතන සහ සමාගම් සඳහා. අපි හිතමු මේ අපි ඔබ මේ ඉන්න තැනට යටින් හොයාගත්තොත් ඒ අය ඉතා දුර්ලභ වටිනා ඛණිජ සම්පත් නිධියක් මහා පොළොව ඇතුලේ තියෙනවයි කියලා. ඊට පස්සේ ඒ ඛණිජකරණය වූ ප්‍රදේශය රජයන් දෙක එකතු වෙලා ඉන්දියානු රාජ්‍ය ආයතන සහ සමාගම් සඳහා වෙන් කරනවා. 

එතකොට ඔගොල්ලෝ තමයි.... ඊළඟට දැන් ඔබ දන්නවා සමහර අප්‍රිකානු රටවල ඔහොම ඛණිජ නිධි සම්පත් තියෙන තැන් හොයාගත්තම එතන “පුද්ගලික සන්නද්ධ” අවිගත් ණ්ඩායම් නිර්මාණය කරනවා. ඒ කුලී හමුදා හදලා ඒ කුලී හමුදාවලට සල්ලි දිලා තමයි අර ප්‍රදේශවලින් මිනිස්සු මරා දාලා ගම්බිම් පිටින් නෙරපාහැරීම කරන්නේ. සමහර අප්‍රිකානු රටවල මේ දේවල් ජීවමානව සිදු වෙනවා. එතකොට දැන් මේගොල්ලෝ ඛණිජකරණය වූ ප්‍රදේශය හඳුනාගත්තට පස්සේ ඉන්දියානු රාජ්‍ය ආයතන සමාගම් සඳහා රජයන් දෙක එකතු වෙලා වෙන් කරන්න මේ ගිවිසුමෙන් එකඟ වෙනවා. 

අනිත් එක තමයි පතල් අංශයේ ආයෝජනයටත් පහසුකම් සපයනවා. ඒ පතල් අංශය කියන්නේ මැණික් පතල් වෙන්න පුළුවන්, ඒ ආදී සියලු පතල්වල ආයෝජනත් ඉන්දියානු ආයෝජකයන්ට මේකෙන් දිගහැරෙනවා. පහසුකම් සපයන්න ශ්‍රී ලංකා රජය බැඳී ඉන්නවා. ඊළඟට මේකේ කියනවා මේ දෙගොල්ලන්ට ඒකාබද්ධ යුනිට් එකක් හදනවා. ඉන්දියාවේ කට්ටියයි, ලංකාවේ කට්ටියයි එකතු වෙලා මේක සමාලෝචනය කරමින්, ප්‍රගතිය සාකච්ඡා කරමින් ඉදිරි වැඩකටයුතු හදනවා කියලා තියෙනවා.

එතකොට අපි දන්නවා ලංකාවේ තියෙනවා දැනට හඳුනාගත්තු ඉතාම දුර්ලභ ඛණිජ සම්පත් වටිනා ඛණිජ සම්පත්. අපි දන්නවා “සිලෝන් ග්‍රැෆයිට්” කියන්නේ ඉතාම වෙනම අනන්‍යතාවයක් තියෙන උසස් තත්ත්වයේ ග්‍රැෆයිට් කියලා අපි දන්නවා. ඒ ඛණිජ සම්පත අප සතුව තියෙනවා. “මැණික්” තියෙනවා ලෝකේ “නිල් මැණික්” ආදී වශයෙන් විශාල වටිනාකමකින් යුත් “බ්ලූ සැෆයර්” කියන්න පුළුවන් විවිධ විවිධ වටිනා මැණික් අපේ පොළොව සතුව තියෙනවා. 

ඊළඟට පුල්මුඩේ “ඛණිජ වැලි” අපිට තියෙනවා. ඒ ඛණිජ වැලිත් එක්ක “ඉල්මනයිට්” අපිට තියෙනවා. “රූටයිල්” අපිට තියෙනවා. “සර්කෝන්” අපිට තියෙනවා. ඒ විතරක් නෙවෙයි “මොනසයිට්” අපිට තියෙනවා. මේ විදියට විශාල ඛණිජමය සම්පත් රාශියක් අප සතුව තියෙනවා. ඒ වගේම උසස් තත්ත්වයේ “සිලිකා” අපට තියෙනවා. ඒවා අපි කවුරුත් දන්නවා මේ හැම දෙයක්ම ඔය “හයිටෙක් කර්මාන්ත” ඒ කියන්නේ වැඩිපුර තාක්ෂණික වශයෙන් ඉහළ මට්ටමෙන් තියෙන කර්මාන්ත සඳහා තමයි මේ ගොඩක් දේවල් විශේෂයෙන්ම “සිලිකා” වුණත් “උසස් සිලිකා” වුණත් “ඔප්ටිකල්” “ෆයිබර්” සදහන්න. “සෝලාර්” නිෂ්පාදනයේදී අවශ්‍ය වෙනවා. මේ හැම දෙයකටම මේ “සිලිකා” එහෙම නැත්නම්” “සිලිකොන්” පාවිච්චි කරලා නිෂ්පාදනය කරනවා. 

“රොක් ෆොස්ෆේට් “අපිට තියෙනවා. ඉතාම නොඉදුල් නිධියක්. රොක් ෆොස්ෆේට්... ඊළඟට “ඩොලමයිට්” අපිට තියෙනවා. “කෝබෝල්ට් නිධියක්” තියෙනවා මුහුදු පතුලේ. ඒකේ අයිතිය ඉන්දියාව ගන්න උත්සාහ කරනවා. ඒගොල්ලන්ගේ මුහුදු පතුලයි කියලා. නමුත් ඒක ශ්‍රී ලංකාවට අයත් මුහුදු පතුලේ තියෙන්නේ කෝබෝල්ට් නිධිය. කෝබෝල්ට් කියන්නෙත් මේ ලෝකයේ ඉතාම ඉහළ ඉල්ලුමක් තියෙන වටිනාම දුර්ලභ ඛණිජ සම්පතක්. මේ විදියට හඳුනාගත් සහ නොගත් අතිශයින් වටිනා ඛණිජ සම්පත් තුළින් පිරුණු භූමියක් මේ භූමිය .

දැන් මේ හදන්නේ මොකක්ද? දැන් මේ හදන්නේ ටිල්වින් සිල්වා මහත්තයාවත් දැන් ඔය ඉන්දියාවේ සංචාරයකට ගෙන්න ගත්තේ මුකෝ. දැන් මේ වැඩේ ඉක්මන් කරගන්න ඕනා. ඉක්මන් ස්පීඩ් එක ... ස්පීඩ් එක වැඩි කරගන්න ඕන. වැඩි කරන්න නම් ටිල්වින් සිල්වා නැමති “රෝදයටත්” පොඩි ඉන්ධන මේ වෙනම ඔයිල් ටිකක් දාලා ඒක වේගයෙන් කැරකවෙන්න ඕන. අනුර කුමාරගේ රෝදයටද දාලා තියෙන්නේ ඔයිල් හොඳට අරකටත් හොඳට ඔයිල් ටිකක් දාන්න ඕනා. එතකොට මේක රෝද දෙකම හොඳට කැරකෙනවා.

දෙකම හොඳට කැරකවගන්න තමයි ටිල්වින් සිල්වා මහත්තයා ඇතුළු කණ්ඩායමත් දැන් ඉන්දියාවට ගිහිල්ලා... මම දැකලා තියෙනවා සාටකයක් වගේ එකකුත් කරට දාලා තියෙනවා. ඉන්දියාවෙන් කොච්චල්  කරන්නද කොහොද... නෝන්ඩි කරන්නද. කෙසේ වෙතත් මේ කට්ටිය මේ සන්තෝෂ කරන්න ඉන්දියාවට ගෙන්නගෙන, මෙයාලා “මහා ඉන්දියානු ව්‍යාප්තවාදයට” විරුද්ධව මතවාදය ගොඩනගපු පක්ෂයක්. “ඉන්දියානු ව්‍යාප්තවාදී” උවමනාවන් පරාජයට පත් කිරීම ගැන දිවාරෑ නොබලා හඬ නගපු පක්ෂයක්. ඒ වෙනුවෙන් සටන් කර තමන්ගේ සාමාජිකයෝ ආධාරකරුවෝ විශාල ප්‍රමාණයක් ජීවිත හෙළන තත්ත්වකට පත් කරපු පක්ෂයක්. පක්ෂය නිර්මාතෘවරු අපා ජීවිතය අහිමි වුණේ ඒ ඉන්දියානු ආධිපත්‍යයට විරුද්ධ සටන් දේශපාලන ක්‍රියා මාර්ගයක් ඇතුලේ. එහෙම පක්ෂයක් පාවිච්චි කරනවා ඌරුගේ මාළු ඌරුගේ පිටේ තියලම කපන්න. 

දැන් ඉන්දියාව ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්තයා ගේන්න ගන්නනේ ට්‍රයි කළේ. හැබැයි ඒක වුණානම් අද සජිත් ලව්ව නම් මේවා කරන්නේ නැහැ. පක්ෂයේ ඉන්න ජේවීපී එක අද මේවට විරුද්ධව පෙළපාලි යන්නේ. දැන් මේගොල්ලෝ පෙළපාලි යනවා වෙනකොට “ඉන්දියානු සංචාර” යනවා. ඉන්දියානු සංචාර ටිල්වින් සිල්වාට කණ්ඩායමටයි දෙනවා. අනුර කුමාර 19 වෙනිදා යනවා ඉන්දියාවේ මොකක්ද සමුළුවකට කියලා යන්නේ. ඒ යනවා ගිහිල්ලා මේ ඔක්කොම ටික සම්පූර්ණයෙන් එකඟතාවය ඇති කරගන්නවා. මේක තමයි වෙන්නේ. 

ඒක නිසා තමයි කර්මාන්ත ඇමතිවරයා කියන්නේ ඇතැම් ඛණිජ කැණීම් බලපත්‍ර දීම නතර කළා කියලා කියන්නේ ඒකට. ඇයි? ඒවා දෙන්න යන්නේ ඉන්දියානු සමාගම්වලට. මේ රටේ මැණික් කියන්නේ ඛණිජ සම්පතක්. අපේ තියෙන රොක්ස්ෆේට් කියන්නේ ඛණිජ සම්පතක්. ඩොලමයිට් කියන්නේ ඛණිජ සම්පතක්. කෝබෝල්ට් නිධිය අපේ මුහුදු පතුලේ තියෙන ඛණිජ සම්පතක්. ඒ නිසා මේ ඔක්කොම මේ ඔක්කොම අපට අහිමි කිරීමේ න්‍යාය පත්‍රයක් තමයි යන්නේ. ඒ නිසා... ඒ විතරක් නෙමෙයි. හිතන්න එපා මෙතනින් නතර වෙනවා කියලා ඛණිජ සම්පත් ටික විතරක් නෙවෙයි. “හොර ගිවිසුම් හතක්” ගහලා අද “ඖෂධ වෙළඳපොළ” ඉන්දියානු අපිරිසිදු ඖෂධවලින් පුරවලා යනවා. අපේ රටේ ඖෂධ වෙළඳපොළ හොර ගිවිසුම් හතක් ගහලා. ඒ හතේ මොනවා තියෙනවද කියලා තාමත් දන්න කෙනෙක් නෑ. නිල වශයෙන් දීපු ගිවිසුමක් නෑ. 

ඊට අමතරව දැන් මේගොල්ලෝ සාකච්ඡාව වෙනවා නුදුරු අනාගතයේ කංකසන්තුරු වරායත් ඉන්දියානුකරණයට ලක් කරන්න. දැනටම ඔගොල්ලෝ යෝජනා කරලා තියෙනවා ඩොලර් මිලියන් 63.5ක මුදලක් ඔගොල්ලෝ දෙන්න කංකසන්තුරු වරාය සංවර්ධනය කරන්න කියලා. කංකසන්තුරු වරාය අරගෙන අවුරුදු 10ක් එයාගේ පාලනයක්....ඒ කියන්නේ ඉතින් එතනින් ඉදිරියටත් එයාලගේ පාලනයක් තමයි. 

එතකොට ත්‍රිකුණාමල වරාය සම්බන්ධයෙනුත් මේක තමයි තියෙන න්‍යාය පත්‍රය. ත්‍රිකුණාමල වරාය දැනටමත් ඔවුන් තෙල් ටැංකිවල සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් මතේ තියාගෙන ඉන්නවා. එතන මූලික කොටගෙන මේ ව්‍යාපාරය කරන්න නම් ඔගොල්ලෝ විශ්වාස කරනවා ත්‍රිකුණාමල වරාය ඔවුන්ට අවශ්‍යයි කියලා. ඒ විතරක් නෙමෙයි. එතන “හදිසි ප්‍රතිචාර අංශය” කියන එක “මිලිටරි” තිප්පලකුත් පිහිටුවන්න අද සාකච්ඡා කරලා තියෙනවා. 

ඉන්දියාව සහ ඇමෙරිකාව එකාබද්ධව. එතකොට “ට්‍රින්කෝ වරාය” සාමාන්‍යයෙන් දැනට ශ්‍රී ලංකා රජයේ පෙන්නන ලාභය තමයි සාමාන්‍යයෙන් අවුරුදුකට රුපියල් මිලියන් දෙකක් දෙකහමාරක් වගේ. එතකොට ඉන්දියාව පෙන්නනවා මීට වඩා විශාල ආදායමක් ගන්න පුළුවන් කියලා. කියමින් දැන් ත්‍රිකුණාමල වරායත් “යුද්ධ උපාය මාර්ගික” වශයෙන් ඉතාමත්ම වැදගත් මාර්මස්ථානයක් වෙච්ච, දෙවෙනි ලෝක යුද්ධයේදීත් ඉතාම දරුණු ලෙස මිත්‍ර හමුදා විසින් “පාවිච්චි කළ” මේ ත්‍රිකුණාමල වරාය අද ඉන්දියාවට දෙන්න දැන් කටයුතු පෙළගස්වා යනවා.

ඒවට තමයි ටිල්වින් සිල්වා ඉන්දියාව වන්දනා කරන්නේ. 19 වෙනිදාට අනුර කුමාර ජනාධිපතිවරයා ඉන්දියාව වන්දනා කරන්නේ. අනේ ජනතා විමුක්ති පෙරමුණේ “ඉන්දියානු ව්‍යාප්තවාදය” කියන පන්තිය කරගෙන පූර්ණකාලීන සාමාජිකයො වෙච්ච මිනිස්සු, ඒවා විශ්වාස කරලා සටන් කරලා ජීවිතන් දීපු මිනිස්සු, ඒ ඒ ජීවිත දන් දීපු නිසා කඩා වැටිච්ච දරු පවුල්වල මිනිස්සු, මේ මිනිස්සු අද හූල්ලනවා. ශාප කරනවා. තමන්ගේ ජීවිතය මේ අවදානමට ගෙනිහිල්ලා, තමන්ගේ තාත්තා නැති කළා, සහෝදරයා නැති කළා. අද ඒ මිනිස්සු වැටිලා  ඉන්නවා ඉතාම දුක්ඛිත ජීවන රටාවකට. ඒ ඔක්කොම කරලා දැන් ඔන්න ඉන්දියාවට සියල්ල ලබාදෙන අන්තිම දේශද්‍රෝහී ක්‍රියාවලියේ අද නිරත වෙනවා. 

දේශප්‍රේමීත්වය ගැන කතා කරපු දේශපාලන ව්‍යාපාරයක්. දේශප්‍රේමය ගෑවිලවක් තියෙනවා නම් මේ පාවාදීම, මේ ද්‍රෝහී ක්‍රියා මාර්ග දෙන්න කරන්න පුළුවන්ද? අපේ ඛණිජ සම්පත් කැණීම් කරන්න ඔක්කොම ඉන්දියානු සමාගම්වලට දෙන්න පුළුවන්ද? දේශප්‍රේමිත්වය දශමිකින් ගෑවිලා තියෙනවා නම්. ඒ විතරක් නෙවෙයි. කංකසන්තුරු වරාය ත්‍රිකුණාමල වරාය දෙන්න කතා කරන්නවත් පුළුවන්ද? දේශප්‍රේමියෙකු ගෑවිලවත් තියෙනවා නම්. මේ තමයි ඉන්දියාව ඉන්දියාවද නටවනවා. නියමට නටවනවා රට අපේ රට ඔවුන්ට ඕන විදියට ගිලීම සඳහා අනුර කුමාරත් ටිල්වින් සිල්වාත් අල්ලටගෙන අත් දෙකේ තියාගෙන නටවනවා. ඒගොල්ලන්ට ඕන කරන සියලු දේවල් මේ රූකඩ පාලනතන්ත්‍රය මගින් කරගනිමින් තියෙනවා. 

ඒ නිසා අපි රටේ පොදු ජනතාවට ආරාධනා කරනවා මේ ඉන්දියානුකරණයට මේ රටේ ආර්ථිකය සහ මුළුමහා සමාජය අපේ වටිනා සම්පත් ඉන්දියානු සමාගම් තන්ත්‍රයකට ගිලීමට දෙන මේ පාවාදී මේ මෙහෙයුමට එරෙහිව අපි එක්සත්ව එක අරමුණකින් යුතුව ක්‍රියාමාර්ග තෝරමු, සටන් වදිමු. එසේ කොට ‍මෙය පරාජයට පත් කිරීම සඳහා අධිෂ්ඨානය පෙළගැස්මු කියන එක අපි පළමුව ආයාචනා කරනවා. 

දෙවෙනි කරුණ සංචාරක වර්ධනය.

අපේ දෙවෙනි කරුණ කවුරුත් දන්නවා ආණ්ඩුවේ ඇත්තෝ ඉතා විශාල වශයෙන් උද්දාමයට පත්වෙලා කියන දෙයක් තමයි සංචාරක ව්‍යාපාරයේ “විශාල වර්ධනයක්” අපේ රටේ තියෙනවයි කියලා. සංචාරකයන්ගේ පැමිණීම අතින් ගත්තොත් සංඛ්‍යාත්මක වර්ධනයක් තියෙනවා. නමුත් දැන් මම උදාහරණයක් හැටියට කියන්නම් 2026 ජනවාරි මාසය ඒ ජනවාරි මාසය ඇතුලත වාර්තා වෙලා තියෙනවා එතෙක් ජනවාරි මාස ආපු වැඩිම සංචාරකයන් ප්‍රමාණය 277,327ක්. හැබැයි ඒක 2025ට සාපේක්ෂව. 2025 ජනවාරි මාසය පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 9.7% වර්ධනයක්.

නමුත් ඔබ දන්නවා.... මේ අවුරුද්දේ ජනවාරි මාසේ ලබපු මේ කියන 9. 7% සංඛ්‍යාත්මක වර්ධනයක් වුණත් මේ අවුරුද්දේ ජනවාරි මාසේ සංචාරකයන්ගෙන් ලබාගෙන තිබෙන ආදායම තමයි ඩොලර් මිලියන් 378.3ක්. හැබැයි ඊට අඩු සංඛ්‍යාවක් ආවා 2025 ජනවාරි මාසේ. ඒගොල්ලන්ගෙන් ලැබිලා තියෙනවා ඩොලර් මිලියන් 400.7ක්. 

ඊට වඩා අඩු ගානක් ආපු 2025 ජනවාරිවල ඩොලර් මිලියන් 400.7යි ලැබිලා තියෙන ආදායම. ඊට වඩා ඒ කියන්නේ 25 ජනවාරිවලට වඩා 9.7% වර්ධනයක් පැමිණීම අතින් ලබාගත්තු 2026 ජනවාරි මාසේ ලබලා තියෙන ආදායම ඩොලර් මිලියන් 378.3ක්. එතකොට අතන 400යි මෙතන 378.3ක්. ඒ කියන්නේ මොකක්ද? ගාන වැඩි වෙනවා. එන ගාන වැඩි වෙනවා. ලැබෙන ආදායම අඩු වෙනවා. මෙහෙම වෙන්නේ ඇයි? 

දැන් එන ගාන වැඩි වුණාට වැඩක් වෙන්නේ නැහැනේ. ලැබෙන ආදායම වැඩි වෙන්නේ නැත්නම්. අපිට ඕනේ ගාන වැඩි වෙනවට වඩා ආදායම වැඩි වෙන්න ඕනේ. ගාන වැඩි වෙන එක ගැන සතුටු වෙන්න පුළුවන් වෙන්නේ ආදායම වැඩි වෙනවා නම්. දැන් මොකද වෙලා තියෙන්නේ? ගාන වැඩි වෙනවා ආදායම අඩු වෙනවා. එන ගණන වැඩි වෙනවා ආදායම අඩු වෙනවා.

දැන් ආණ්ඩුවේ ආයතනම කියනවා මේ ගැන සමීක්ෂණ කරලා දිනකට වැය කරන මුදල කලින් ඩොලර් 171ක මට්ටමක තිබ්බා සංචාරකයෙක් දවසකට වැය කරන මුදල. දැන් ඒක ඩොලර් 148 දක්වා පහත වැටිලා කියලා. 171කින් 148 දක්වා පහත වැටිලා. මේකට හේතු ගොඩක් බලපානවා. 

සමහර විට ඒ කියන්නේ.. මේ සංචාරක ව්‍යාපාරය ඇතුලේ තියෙනවා “ආර්ථික කාන්දුවීම්”. ඒ අපිට කියන්න පුළුවන් ඒ කියන්නේ දැන් අපි කියමු “ඔන්ලයින් ඔක්කොම” වෙන් කරගෙන එනවා. ආදී වශයෙන් ඒ පහසුකම් සියල්ල ඒ රටවල්වලදී මුදල් ගෙවල එනවා. එතකොට මෙහෙදී මුදල් වෙන් කරන්නේ අඩුවෙන් කියලා. ඒක කලිනුත් තිබ්බා 2025ත් ඒ ප්‍රශ්නේ තිබ්බා. ඒක මේ අලුතෙන් ඇතිවෙච්ච තත්ත්වයක් නෙවෙයි. 

හැබැයි අපිට එකක් තමයි අපිට වාර්ෂිකව අපි සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා පිට රටින් ගේන දේවල්වලට වැය වෙනවා සාමාන්‍යයෙන් ඩොලර් බිලියන් 1.13ක්. ඒ කියන්නේ කාන්දු වෙලා එළියට යනවා ඩොලර් බිලියන් 1.13ක්. ඒකෙන් ඩොලර් මිලියන් 800ක් පමණම ඔය සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කෑම බීම වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ගෙනඒම සඳහා තමයි වැය වෙන්නේ. එතකොට මේ එනවට වගේම ඊට වඩා සැලකිය යුතු මුදලක් එළියට යමින් තියෙනවා. 

අනිත් එක තමයි දැන් මොකක්ද ඊළඟට වෙලා තියෙන්නේ ප්‍රධානම ප්‍රශ්නය ලංකාවට එන සංචාරකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් බහුතරයක් ඉතාම “සතේ අතේ නැති සංචාරකයෝ” ඔබට පේනවා අපේ වීඩියෝ තිරේ. මේ ඒ ජාතියේ එක සංචාරකයෙක්. ඒ ජාතියේ එක සංචාරකයෙක් තව ඉන්නවා එහෙම එක්කෙනෙක්. ඔය බලන්න බඩු විකුණනවා. එතකොට දැන් මේ වගේ සංචාරකයෝ කොච්චර ආවත් ඔගොල්ලෝ ඇත්තටම අතේ සතේ නැත්තුව ඇවිල්ලා සල්ලිත් හම්බ කරන් යන සංචාරකයෝ. 

මෙහෙ වියදම් කරන සංචාරකයෝ නෙවෙයි. බස් එකට බස් එකේ යන්න සිංහලෙන් ලියාගත්තු බෝඩ් එකක් අල්ලන් ඉන්න සංචාරකයෝ. මාලවලලු ටිකක් පේමන්ට් එකේ තියාගෙන විකුණන සංචාරකයෝ. එතකොට මේගොල්ලෝ එන්නේ මෙහේ වියදම් කරන්න නෙවෙයි. මෙහෙන් කීයක් හරි හොයාගෙන මෙහෙ ජීවිතයට ඕන කරන සුළු වියදමත් කරලා ඉතුරුත් කරගෙන තමන්ගේ රටට යන්නයි. දැන් මෙහෙම මෙහෙම “දිලින්දන්ගේ සංචාරක ව්‍යාපාරයකට” ලංකාව සුදුසුද. දැන් මේක ස්ථානගත කරලා තියෙන්නේ දිලින්දන්ගේ සංචාරක ව්‍යාපාරයකට. දිලින්දන්ගේ සංචාරක පාරාදීසයකට. එතකොට දිලින්දන්ගේ සංචාරක පාරාදීසයක් ඔබට ලංකාව ස්ථානගත කිරීමෙන් “පොසිෂන්” කිරීමෙන් මොකක්ද ලැබෙන ප්‍රතිඵලය. ඒකෙන් වෙන්නේ එවැනි සංචාරකයන්ගෙන් මුහුදු තීරය පිරෙන්න ගත්තම යමක් කමක් “වියදම් කළ හැකි “සංචාරකයා එන්නෙත් නැහැ. මොකද ඔගොල්ලන්ට තේරෙනවා තමන්ට උචිත නොවන පිරිසක් තමයි මේ සංචාරකයෝ හැටියට ඇවිල්ලා ඉන්නේ කියලා. 

ඒකෙන් වෙන්නේ අධෛර්යට පත් කරනවා යමක් වියදම් කළ හැකි සංචාරකයාගේ පැමිණීම පවා. එතකොට මේ දිලින්දන්ගේ සංචාරක ක්ෂේම භූමියක් බවට ශ්‍රී ලංකාව පත් කරලා ගාන වැඩි කරලා පෙන්නීමෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එම මඟින් වෙන්නේ රටෙන් එළියට යන ප්‍රමාණය සල්ලි ප්‍රමාණය එක මිසක් රටට ඇදිලා එන මුදල් ප්‍රමාණය සංචාරකයන්ගේ ප්‍රමාණයට සාපේක්ෂව වැඩිවෙන එක නෙවෙයි අඩුවෙන එක. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුව මිත්‍යා මතයක් ප්‍රවර්ධනය කිරීමෙන් තේරුමක් නෑ.

මේ රටේ සංචාරක ව්‍යාපාරය ගොඩගන්න නම් “යම්කිසි ආදායම් මට්ටමක් තියෙන” මධ්‍යම ආදායම් මට්ටමක් තියෙන සංචාරකයෝ ආකර්ෂණය කරගන්න ඕන. ඒකට ඕන කරන උපායමාර්ගික මැදිහත්වීමක් සිදු කරන්න ඕන. එහෙම නැතුව දිලින්දන්ගේ සංචාරක පාරාදීසයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමෙන් රටට වැඩකුත් නෑ. 

සංචාරක ව්‍යාපාරය යෙදිලා ඉන්න ඒ කර්මාන්තයේ ඉන්න කිසිවෙකුට ඒකෙන් කිසිම ප්‍රතිලාභයක් ප්‍රයෝජනයක් අත් වෙන්නෙත් නැහැ. ඒ මගින් කර්මාන්තය බිඳ වැටෙනවා සහ අතුරු සමාජ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙනවා. ඒ ප්‍රශ්න නිර්මාණය කිරීම පමණයි ඒ මගින් සිදු වෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා. මේ රටේ සංචාරක ව්‍යාපාරය දිලින්දන්ගේ සංචාරක පාරාදීසයක් බවට පත් කරනවා වෙනුවට මේ ශ්‍රී ලංකාව යම් ඉහළ ආදායම් ලබන වියදම් කිරීමේ හැකියාව සහිත සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත් කිරීම සඳහා ක්‍රියාමාර්ග තෝරන්න. එසේ නොමැතිව එන ගාන කියලා කියලා තප්පු ලන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා.

සම්බන්ධිත පුවත් | Related News

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ඇරඹෙන අතර එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට නියමිතය.
පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.
මෙම වසරේ චීනයට කඩා වැදුණු ප්‍රබලම නිවර්තන කුණාටුව වන "ඩොල්ෆින්" සුළි කුණාටුව, ඊයේ (09) සවස චීනයේ නැගෙනහිර වෙරළ තීරයට ළඟා වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රධාන පුවත්

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.