ජනපති අනුරගේ අයවැය කතාව සහ අයවැය යෝජනා..
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ අයවැය කතාව මෙහි දැක්වෙයි.
ජනාධිපතිවරයා සිය අයවැය කතාව පැය හතරක පමණ කාලයක් සිදු කල අතර, අද ඉදිරිපත් කළ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැයේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි.
එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ජනපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634කි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 554ක් ද , ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455 ක්ද , අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබේ.
ගරු කථානායකතුමනි,
අපගේ දෙවන ජාතික අයවැය මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කිරීමට ලැබීම ඉමහත් සතුටක්.
ශ්‍රී ලාංකික ජනතාව අපට ලබාදුන් ඓතිහාසික ජනවරමින් පසු, ගත වූ වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත, ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා අප පැහැදිලි දැක්මකින් යුතුව තීරණාත්මක පියවර රාශියක් ගත්තා. මෙතෙක් පැවති ඥාති සංග්‍රහය, ඒ හා බැඳුනු දූෂිත දේශපාලන සංස්කෘතියේ පැහැදිළි වෙනසක් වෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කළා. ඒ විශ්වාසය රැක ගැනීමට අප ගෙන ඇති පරිවර්තනීය පියවර ගැන අද අපට ආඩම්බර වීමට පුළුවන්. ආර්ථිකය හා දේශපාලන ව්‍යුහය නව්‍යකරණය කිරීමටත්, මහජන කේන්ද්‍රීය ආණ්ඩුකරණයක් බිහි කිරීමටත්, නීතියේ හා විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමටත්, පාලනය ශක්තිමත් කිරීමටත්, අප ආර්ථිකයේ අත්පත් කර ගන්නා ජයග්‍රහණ රටේ පතුළේම වෙසෙන ජනතාව කරා ගෙන යාමටත් අප අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භ කොට තිබෙනවා.
ගරු කථානායකතුමනි,
අප මෙම අභියෝගය බාරගන්නා මොහොතේ දී, රටේ ආර්ථික පදනම දෙදරා ගොස් තිබුණා. දශක ගණනාවක් පුරා පැවති සාර්ව ආර්ථික අස්ථාවරභාවය හා රාජ්‍ය මූල්‍ය අසමතුලිතතා, ව්‍යුහාත්මක අකාර්යක්ෂමතා සහ පාලනයේ දුර්වලතා හේතුවෙන් සමස්ත ආර්ථිකයම දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා තිබුණා. එයින් අපගේ ජනතාව දැඩි පීඩනයකට ලක්වුණා. මෙම අර්බුදයට කිසිසේත්ම වගකිව යුතු නැති ජනතාවගේ බලාපොරොත්තු සුනුවිසුණු වී තිබුණා. ඒ නිසාම, අප ජනවරම ලැබූ මොහොතේ සිටම, සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමටත්, රාජ්‍ය මූල්‍ය විනය තහවුරු කිරීමටත්, රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමටත්, දූෂණයට තිත තබමින් විනිවිදභාවය ඉහළ නැංවීමටත්, ජනතාව කෙරෙහි වගවීම තහවුරු කිරීමටත්, ඉතා පුළුල් වූ ප්‍රතිසංස්කරණමය වෙනස්කම් ආරම්භ කළා. මෙකී ප්‍රතිසංස්කරණයන් හේතුවෙන් වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත, රාජ්‍ය මූල්‍ය, සාර්ව ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට හැකි වූ බව, අද මෙම ගරු සභාවට මම ඉතා සතුටින් ප්‍රකාශ කරන්න කැමැතියි.
ආර්ථිකයේ සියලුම අංශවල ශක්තිමත් වර්ධනය හේතුවෙන්, 2025 වසරේ පළමු භාගය තුළ දී, ආර්ථිකය සියයට 4.8 කින් වර්ධනය වුණා. එය බහුපාර්ශවික සංවිධානවල පුරෝකථයන් ද අභිබවා යාමක්. උද්ධමනය මේ වනවිට නැවත ධන අගයකට පැමිණ තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය අඩුවීමෙන් මූල්‍ය අංශය ස්ථාවර වී තිබෙනවා. විනිමය අනුපාතිකය ද ස්ථාවර වී තිබෙනවා. ගෝලීය කම්පනයන් මධ්‍යයේ පවා ආනයන අපනයන ඇතුලත් විදේශ අංශය ශක්තිමත් වුණා. අපනයන, සංචාරක සහ විදේශ ප්‍රේෂණ ගලා ඒම ඉහළ යාම හේතුවෙන්, දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ඉක්මවා ගියා. 2006 වසරේ සිට ආසන්න වශයෙන් දශක දෙකකට පසු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 16 ක මට්ටමට ලඟා වීමට මේ වසරේ දී හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. එමෙන්ම මේ වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 2.3 ක වූ ඉලක්කගත අගය කැපී පෙනෙන ලෙස ඉක්මවා යන, ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මෙම තත්ත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමඟ ශක්තිමත් සම්බන්ධතා ගොඩනඟා ගැනීමටත්, ආයෝජකයින්ගේ විශ්වාසය පෙර නොවූ විරූ ලෙස ගොඩනැංවීමටත් අපට හැකිව තිබෙනවා.
ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා ආරම්භක මූලික ක්‍රමෝපාය වූයේ රාජ්‍ය මූල්‍ය විනයත් සමඟම විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීමයි. දේශීයව ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම, ආදායම් පරිපාලනය ඩිජිටල්කරණය කිරීම, රාජ්‍ය වියදම් තාර්කීකරණය කිරීම තුළින් ඉහළ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කිරීමට සමත් වුණා. මෙම ප්‍රාථමික අතිරික්තයේ අඛණ්ඩ ඉහළ යාම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 2022 වසරේ පැවති සියයට 114.2 ක අගයේ සිට 2026 වසර වන විට සියයට 96.8 දක්වා කැපී පෙනෙන ලෙස අඩු වීමට දායක වෙනවා. තවද, 2030 වසර වන විට එම අගය සියයට 87.0 ක පමණ මට්ටමකට ළඟා කර ගැනීමට අපේක්ෂා කරනවා. එම ප්‍රතිඵල හේතුවෙන් අපගේ ප්‍රමුඛතම අපේක්ෂාව වන ණය අර්බුදයෙන් මිදීම සඳහා වූ මාර්ගය විවෘතව තිබෙනවා.
2020 වසරේ දී ආර්ථිකයේ තිබුණු අර්බුදකාරී තත්ත්වය ක්‍රමිකව පුපුරා යන තත්ත්වයකට පත්වුනා. මෙය ආර්ථිකයේ සියලු ක්ෂේත්‍ර කරා ඩොමිනෝ ආකාරයෙන් පැතිර ගියා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 2022 වසරේ අප්‍රේල් වන විට අප බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්වීමයි. මෙම ආර්ථික බංකොලොත්භාවය විසින් අප රටට අහිමි දශකයක් නිර්මාණය කළා. එනම්, අර්බුදයට පෙර පැවැති ආර්ථික තත්ත්වය ළඟාකර ගැනීම සඳහා අවුරුදු 10 ක් ගතවන බවයි. ඒ අනුව බොහෝ අය ප්‍රකාශයට පත් කළේ එම 2019 වසරේ ආර්ථික තත්ත්වය 2029 වසරේ දී ළඟාකර ගන්නා බවයි. එහෙත් 2025 වසර අවසන් වන විට අර්බුදයට පෙර පැවැති ආර්ථික තත්ත්වය ළඟා කර ගැනීමට අපට හැකි වෙනවා.
ගරු කථානායකතුමනි,
අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය බොහෝ දුරට අවසන් වී තිබෙනවා. ශ්‍රී ලංකාව තිරසාර මූල්‍ය මාවතකට යොමු කර ඇති අතර දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා. මෙම අත්පත් කරගත් ප්‍රගතිය හේතුවෙන්, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන වන FitchRatings, Moody's සහ S&P විසින් රටේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම් පිළිවෙලින් CCC+, Caa1 සහ CCC+ දක්වා ඉහළ නංවා තිබෙනවා. මෙම නව ශ්‍රේණිගත කිරීම් ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳ විශ්වාසය තවදුරටත් පිළිබිඹු කෙරෙන කැඩපතක් වෙනවා.
අපගේ ජාතික අවශ්‍යතා මුදුන්පත් කිරීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහභාගීත්වය ඇතිව අපට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරමින් සිටිනවා. එම වැඩසටහනෙහි ඉලක්ක හා ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරාලමින්, අනුක්‍රමිකව සිදුකරන සමාලෝචන සම්පූර්ණ කිරීමට හා එහි ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට අප සමත්ව තිබෙනවා. සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සහ දිගුකාලීනව ඔරොත්තු දීමේ හැකියාව සඳහා අත්‍යවශ්‍ය වන රාජ්‍ය මූල්‍ය හා විදේශීය ස්වාරක්‍ෂක නැවත ගොඩනැඟීමේ දී රජය සහ ජාත්‍යන්තර සංවිධානවල ඇති සහයෝගීතාවය විසින් ඉහළ ප්‍රගතියක් අත්කර දී තිබෙනවා.
එමෙන්ම, සමාජ ආරක්ෂණය සහ මානව සම්පත් සංවර්ධනය අපගේ ප්‍රතිපත්ති ප්‍රවේශයේ මූලික අරමුණක්. ඒ සඳහා, අස්වැසුම වැඩසටහන යාවත්කාලීන කර පුළුල් කිරීම මඟින්, සැබවින්ම සුදුසුකම් සහිත අඩු ආදායම්ලාභී පවුල්වලට ආධාර ලබාදීම අපේක්ෂා කරනවා. තවදුරටත් අඩු ආදායම්ලාභීන්ට එම ආධාර ලබාදීම සහතික කිරීම වෙනුවෙන්, එම ප්‍රතිලාභීන් 2026 වසරේ දී සමාලෝචනයට ලක් කරනවා. ඒ වගේම වැඩිහිටියන් සහ වකුගඩු රෝගීන් සඳහා වන දීමනා වැඩි කළා. විශ්වවිද්‍යාල සිසුන්ට සහාය දීම සඳහා මහපොළ ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර දීමනා ද ඉහළ නංවනු ලැබුවා. අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල පාසල් සිසුන්ට පොත්පත් සහ පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දුන්නා. මෙම කාර්යයන්ගේ අරමුණ වන්නේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සැබෑ අවශ්‍යතාවයක් සහිත ජනතාවට ලබාදීමයි.
වඩා ගුණාත්මක සහ කාර්යක්ෂම සේවා සැපයීමක් සඳහා රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කර නවීකරණය කිරීමට අවශ්‍යයි. ඒ සඳහා අපගේ කැපවීම, අපගේ පළමු අයවැයෙන්ම පෙන්නුම් කළා. ඒ සඳහා මේ වන විටත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප අදියර 3 කින් වැඩි කර තිබෙනවා. රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය අංශය ඩිජිටල්කරණයට උපායමාර්ග සකස් කරමින් තිබෙනවා. රාජ්‍ය අංශය ප්‍රතිසංවිධානයට කටයුතු කරනවා. මෙහි අරමුණ ජනතාවට සැබවින්ම සේවය කළ හැකි කාර්යක්ෂම සහ ආකර්ෂණීය රාජ්‍ය සේවාවක් ගොඩනැඟීමයි.
ගරු කථානායකතුමනි,
පාලන ප්‍රතිසංස්කරණ හා දූෂණ විරෝධී ක්‍රියාකාරකම් වේගවත් කර, විනිවිදභාවය, වගවීම සහ මහජන විශ්වාසය තහවුරු කිරීමට අප සමත්ව තිබෙනවා. පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරීත්වයන්, රාජ්‍ය ව්‍යවසායයන්, රාජ්‍ය වත්කම් කළමනාකරණය සහ රාජ්‍ය ප්‍රසම්පාදනය පිළිබඳ නව නීති සම්පාදනය කිරීම මඟින්, යල්පැන ගිය නීති රීති ක්‍රමවේද, නව නීති පද්ධතියක් මඟින් ප්‍රතිස්ථාපනය කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ සඳහා අවශ්‍ය වන නව පනත් කෙටුම්පත් මේ වන විට අවසන් අදියරේ පවතිනවා. රාජ්‍ය මූල්‍ය කටයුතුවලට අදාළ අපගේ ඩිජිටල් ප්‍රවේශය ද මේ වන විට බොහෝ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය ශක්තිමත් කිරීමත්, විද්‍යුත්-ප්‍රසම්පාදන පද්ධතිය නිර්මාණය කිරීමත් මඟින් කාර්යක්ෂම හා වංචා හා දූෂණ අයුතු ක්‍රියාවන් සඳහා අවකාශයන් තවදුරටත් අහෝසි කරනවා.
‘දූෂණය කියන්නේ දුප්පතුන් මත පටවන ලද බද්දක්, ඒ වගේම එය අපගේ සංවර්ධනය වෙළා ගත් විලංගුවක්’. අපගේ ප්‍රතිසංස්කරණ හුදෙක් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පමණක්ම නොවේ; ඒවා සමාජ යුක්තිය ඉටුකිරීම සඳහා ද වැදගත් මෙවලම් වෙනවා. විවිධ අධ්‍යයනයන්ගෙන් තහවුරු වී තිබෙන කරුණු අනුව, දූෂණය අවම කිරීම මඟින් ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකියි. එම නිසා වත්කම් හා උපයාගත් ධනය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයේ විනිවිදභාවය වැඩිදියුණු කර තිබෙනවා. තවද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අයවැය සහ කාර්ය මණ්ඩල ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කර තිබෙනවා. 2026 වසරේ මාර්තු මාසය වන විට ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නවා, ඒ වගේම 2026 වසරේ දී අධිකරණ නිලධාරීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වාදීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද අපේක්ෂා කරනවා. ඊට අමතරව, දේශපාලකයින්ට සහ ඉහළ පෙළේ නිලධාරීන්ට මෙතෙක් තිබූ අනවශ්‍ය වරප්‍රසාද කපා හැරීමට කටයුතු කළා. ඒ අනුව අපි සාධාරණත්වය සහ සමානාත්මතාව මත පදනම් වූ නව සමාජයක් ගොඩනැඟීම අරමුණු කරමින් වැඩ කරනවා.
දූෂණය වැළැක්වීම සඳහා ගනු ලබන පියවර මඟින් ආයෝජකයින්ට හිතකාමී පරිසරයක් නිර්මාණය කරමින් සිටිනවා. අපගේ රජය පෞද්ගලික අංශයට සතුරු විය හැකි බවටත්, ආයෝජන අධෛර්යමත් කරනු ඇති බවටත්, දේපල පවරා ගනු ඇති බවටත් විවිධ පාර්ශවයන් විසින් ද්වේෂ සහගත ප්‍රචාරයන් ව්‍යාප්ත කළා. මේවා පදනම් විරහිත ප්‍රකාශයන් බව දැන් ඔප්පු වී තිබෙනවා. ආයෝජන ආරක්ෂණය සහතික කිරීමට සහ ව්‍යාපාර කිරීමේ පහසුව සහතික කිරීමට අවශ්‍ය නව නීති සම්පාදනය කරමින් නියාමන රාමු ශක්තිමත් කරමින් සිටිනවා. අවිධිමත් ක්‍රම ඔස්සේ සිය ගජමිතුරන්ට බදු නිදහස් කිරීම් සහ බදු සහන ලබාදීමේ සංස්කෘතිය අප අවසන් කර දැමුවා. විනිවිදභාවයෙන් යුතු, රීති මත පදනම් වූ නිර්ණායක අනුව බදු සහන ලබාදීම සඳහා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සහ වරාය නගර පනත යන පනත් දෙකම සංශෝධනය කරනවා. බදු නිදහස් කිරීමේ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා, ලබාදුන් බදු නිදහස් කිරීම් පිළිබඳ ප්‍රකාශයක් වසරකට දෙවරක් මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරනවා. එමෙන්ම සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය -SVAT- අවලංගු කර, බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව සහ කාර්යක්ෂම, කරමින් පවතින අතර එය බදු පරිපාලනය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වෙනවා.
ගරු කථානායකතුමනි,
රාජ්‍ය ව්‍යවසායයන් කාර්යක්ෂම කිරීමටත් අප පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය ව්‍යවසායයන් සඳහා නව “රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක්” හඳුන්වා දීමට නියමිත අතර එම පනත 2026 වසරේ මුල් භාගයේ දී මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමඟින්, රාජ්‍ය ව්‍යාපාරවල අරමුණු පැහැදිලිව හඳුනාගැනීම, වාර්ෂිකව විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශනය කිරීම සහ උචිත ණය ගැනීම් සඳහා පමණක් සීමා කිරීම සිදු වනවා. තවද, අපගේ රාජ්‍ය වත්කම් අධීක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ නියාමන රාමුව ශක්තිමත් කරනවා. රාජ්‍ය වත්කම් අධීක්ෂණය හා කළමනාකරණයේ දී තම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වන නිලධාරීන් සඳහා දඩ මුදල් පැනවීම පහසු කිරීම පිණිස “ජාතික විගණන පනත” දැනටමත් සංශෝධනය කරනු ලැබුවා. රාජ්‍ය ඉඩම් කළමනාකරණය සහ භාවිතය සමාලෝචනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකායක් පත් කරනවා. රාජ්‍ය වත්කම්වල විනිවිදභාවය, කළමනාකරණය සහ ඉවත් කිරීමේ ක්‍රමවේදය වැඩිදියුණු කිරීම සඳහා 2026 වසරේ දී “රාජ්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ පනත” සම්මත කිරීමට බලාපොරොත්තු වෙනවා. පිරිවැය නිරූපිත බලශක්ති මිලකරණය දිගටම පවත්වාගෙන යන අතර අවශ්‍ය ක්ෂේත්‍ර සඳහා සහන දීමට කටයුතු කරනවා. දූෂණයට අනුබල දෙන ආයතන ජාල අක්‍රිය කිරීම සඳහා, 2026 වසරේ ජනවාරි මස වන විට ක්‍රියාකාරී ප්‍රතිලාභ හිමිකාරීත්ව ලේඛනයක් හඳුන්වා දීම මඟින් මුදල් විශුද්ධිකරණයට එරෙහි රාමුව ශක්තිමත් කිරීමට අප කටයුතු කරනවා. තවද, මේ වන විටත් “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත” සම්මත කර තිබෙනවා. එය බලාත්මක කිරීම සඳහා වෙනම පොලිස් කොට්ඨාෂයක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් දැනටමත් පිහිටුවා තිබෙනවා.
අපගේ මෙම දැක්මට සමාන්තරව, ආරක්ෂිත, සුරක්ෂිත සහ සාධාරණ සමාජයක් ගොඩනැඟීම අපගේ අරමුණයි. දිගු කලක් තිස්සේ, මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට ගොදුරු වූ අපගේ දරුවන් ඉන් මුදාගත යුතුයි. ඒ වෙනුවෙන්, විෂ මත්ද්‍රව්‍ය සැපැයුම් දාමය බිඳ වැට්ටවීම, ඉල්ලුම් ජාලය දුර්වල කිරීම, අධ්‍යාපන හා පුනරුප්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රැකියා අවස්ථා ලබාදීම ඇතුළත් බහුවිධ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කොට තිබෙනවා.
අපගේ සංවර්ධනය සඳහා සහාය දුන් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ට මෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව දක්වන ලද දායකත්වය සම්බන්ධයෙන් අප ස්තූතිවන්ත වෙනවා. මෙම හවුල්කාරීත්වයන් ස්ථාවර සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැඟීම සඳහා පිටිවහලක් වූ අතර, මෙම බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට අපි උනන්දු වෙනවා.
අපගේ මෙම දෙවන අයවැය මඟින්, පළමු අයවැයෙන් අප දැමූ අඩිතාලම තවදුරටත් ශක්තිමත් කරමින් ආර්ථිකයේ වේගවත් පිම්මක් ලබාගැනීමට අපේක්ෂා කරනවා. පොහොසත් රටක් හා ලස්සන ජීවිතයක් කරා අප යන ගමනේ දී අභියෝග ජයගනිමින්, ඉදිරියටම යාමට සියලු පාර්ශවයන්ගේ දායකත්වය හා සහයෝගය අපේක්ෂා කරනවා.
2. 2026 අයවැයෙහි උපායමාර්ගික අරමුණු
ගරු කථානායකතුමනි,
2.1 තිරසර සහ සැමට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයක්
අපගේ ප්‍රධාන උපාය මාර්ගික අරමුණ වන්නේ වසර කිහිපයකින් සියයට 7 ඉක්මවා යන වර්ධනයක් ළඟා කර ගනිමින් එහි ප්‍රතිලාභ රටේ සෑම ප්‍රදේශ, ප්‍රජාවන් සහ සමාජ කණ්ඩායම් අතර සාධාරණව බෙදී යන බව සහතික කිරීමයි. ඒ සඳහා ජනසහභාගීත්ව ආර්ථිකය, ඵලදායිතාවය ඉහළ නැංවීම, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම, පෞද්ගලික අංශය සහභාගී කරගත් ආයෝජන හා වර්ධනය අපගේ ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන බලවේග වනු ඇත. විනිවිදභාවයෙන් යුතු, රීති මත පදනම් වූ ක්‍රමවේද මඟින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරනු ඇත. එමෙන්ම අපනයන සහ අගය එකතු කළ කර්මාන්ත ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාව ගෝලීය අගය දාම සමඟ ඒකාබද්ධ කිරීම ද අවශ්‍යයි. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් සහ රාජ්‍ය ව්‍යවසායයන් නවීකරණය කිරීම මෙම ප්‍රයත්නයන්ට වැඩිදුරටත් ශක්තියක් ගෙන එනවා. ඒ වගේම උපායමාර්ගික යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව, විනිවිදභාවයෙන් සහ වගවීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.
2.2 අපනයන විවිධාංගීකරණය මඟින් ඉහළ ආදායමක්
ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2025-2029) මඟින් අපනයන විවිධාංගීකරණය කිරීම, අපනයන තරඟකාරීත්වය වැඩිදියුණු කිරීම සහ ගෝලීය අගය දාමයන් සමඟ සම්බන්ධ වීමට සහ නව අපනයන වෙළෙඳපොළවල් අත්පත් කර ගැනීමට මෙන්ම පවතින වෙළෙඳපොළ පුළුල් කිරීමට ද කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය අරමුණු කර ගනිමින් දැනට අත්සන් කර ඇති වෙළඳ ගිවිසුම් සමාලෝචනය කිරීම හා නව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට මේ වන විටත් විශේෂඥ කමිටුවක් පත්කර තියෙනවා. නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමටත්, නව අපනයන නිෂ්පාදන හා සේවා ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීමටත්, ජාතික තනි වෙළෙඳ කවුළුව ඇති කිරීමටත් කටයුතු කරනවා.
2.3 ණය තිරසරභාවය සහතික කිරීම
ශ්‍රී ලංකාවේ ණය මට්ටම තිරසාර නොවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2022 වසරේ ප්‍රකාශ කර තිබුණා. එයට ප්‍රධාන හේතුව වූයේ වගකීම් විරහිතව ප්‍රමුඛතාවයන් නොවන ව්‍යාපෘති වෙනුවෙන් ණය ලබා ගැනීමත්, ලබාගත් ණයවලින් අවශ්‍ය වත්කම් ජනිත නොකිරීමත්, අදාළ ව්‍යාපෘති අදාළ කාලයේ දී නිම කිරීමට අසමත් වීමත්, ණය කළමනාකරණය විධිමත් හා ක්‍රමවත් ප්‍රතිපත්ති රාමුවක් තුළ සිදු නොකර තිබීමත්ය. කෙසේ වුව ද, මේ වනවිට අප ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා පැහැදිලි සැලැස්මක්, විශේෂයෙන් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය හරහා සකස් කරමින් පවතිනවා. අවසන් වීමට ආසන්න ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත්, සාර්ව ආර්ථික ස්ථාවරත්වය අත්පත් කර ගැනීමත් සඳහා අපගේ මැදිහත්වීමත් නිසා වෙළෙඳපොළ විශ්වාසය වේගයෙන් වර්ධනය වී තිබෙනවා. ඒමෙන්ම, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ඇති පසුබිමක, ණය තිරසරභාවය අත්පත් කර ගැනිමේ දිශාවට, පැහැදිලි මාවතක් ඔස්සේ, ක්‍රමවත්ව හා ස්ථාවරව අප රජය ගමන් කරමින් සිටිනවා.
දළ මූල්‍යන අවශ්‍යතාවය මාධ්‍ය කාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 කට වඩා අඩු මට්ටමක හා වාර්ෂික මධ්‍යම රජයේ විදේශ මුදල් ණය සේවාකරණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5 ක් නොඉක්මවන මට්ටක පවත්වා ගැනීම ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා එක් උපාය මාර්ගයක්. ඒ අනුව රාජ්‍ය මූල්‍ය තත්ත්වය ශක්තිමත් වීමත් සමඟම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වූ රාජ්‍ය ණය ක්‍රමාණුකූලව අඩු වීමට පටන්ගෙන තිබෙනවා.
2032 දී ළඟා කර ගත යුතු ඉලක්කය වන සියයට 95 ආසන්නයට මේ වන විටත් ළඟා වෙමින් තිබෙනවා. මෙම ප්‍රතිඵල මත හා අපගේ ණය කළමනාකරණ උපායමාර්ග අනුව 2032 දී ණය අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 90 කට වඩා අඩු අගයක තබා ගැනීමේ ඉලක්කය පහසුවෙන්ම ළඟා කර ගත හැකි බව අප විශ්වාස කරනවා.
2028 වසරේ දී විදේශ ණය ගෙවීමට නොහැකියාවක් මතු විය හැකි බවට පදනම් විරහිත මතයන් ඇතැම් පාර්ශවයන් විසින් සමාජගත කරමින් සිටිනවා. නමුත් සැබෑ තත්ත්වය කුමක් ද? අප 2024 දී විදේශීය ණය සේවාකරණය වෙනුවෙන් ඩොලර් මිලියන 1,674 ක් ගෙවා අවසන් කළා. 2025 වසරේ විදේශීය ණය සේවාකරණය ඩොලර් මිලියන 2,435 ක් වුන අතර, සැප්තැම්බර් 30 වන විට ඉන් ඩොලර් මිලියන 1,948 ක් ගෙවා අවසන්. මේ වසරේ දෙසැම්බර් 31 වන විට තවත් ඩොලර් මිලියන 487 ක් ගෙවීමට සූදානම්. ඒ අනුව, 2025 වසරේ විදේශීය ණය සේවාකරණ ගෙවීම් 2024 ට සාපේක්ෂව ඩොලර් මිලියන 761 ක වැඩිවීමක්.
ගරු කථානායකතුමනි,
2028 වසරේ අප විසින් ගෙවිය යුතු විදේශ ණය සේවාකරණය ඩොලර් මිලියන 3,259 ක් පමණයි. එනම්, 2025 වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 824 ක වැඩිවීමක් පමණයි. මෙය ගෙවීමට අපට හැකියාවක් තියෙනවා. එබැවින් එවැනි සාවද්‍ය ප්‍රචාරයන් මේ රටේ ජනතාව පිළි නොගන්නා බව අප විශ්වාස කරනවා.
තවද, රජය විසින් ලබාගෙන ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් කොටසක් යහපත් ආණ්ඩුකරණය සමඟ බැඳී ඇති බැඳුම්කර (Governance-Linked Bonds) ලෙස ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. ඒවා 2034 සහ 2035 වසර තුළ ගෙවා අවසන් කළ යුතුයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව විසින් ළඟා කරගන්නා දර්ශක දෙකක ප්‍රගතිය අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී සහනයක් සැලසීමට ණය හිමියන් එකඟ වී තිබෙනවා.
ඒ අනුව රජයේ ආදායම් ඉලක්ක 2026-2027 වසරවල දී පිළිවෙළින් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක් හා 15.4 ක් ඉක්මවා යන පරිදි පවත්වා ගැනීම සහ නියමිත කාලසීමාව තුළ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයට පත් කිරීම කළ යුතු වෙනවා. එම ඉලක්ක සපුරා ගන්නේ නම් 2028 වසරේ සිට 2035 වසර දක්වා ගෙවිය යුතු වාර්ෂික පොලී අනුපාතයට සියයට 0.75 ක අඩු කිරීමක් ලබා දීමට එම ණය හිමියන් එකඟ වී තිබෙනවා.
ඒ අනුව, වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 7.9 ක ණය සේවාකරණයේ වාසියක් රජයට හිමිවනු ඇත. රජය විසින් එම ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරනවා.
2.4 නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම
අප ප්‍රධාන වශයෙන්ම ආනයන මත රඳා පවතින ආර්ථිකයක් බැවින් ගෝලීය අර්බුදයන් හමුවේ ආර්ථිකයට දැඩි හානි එල්ල වීමට පුළුවන්. එම නිසා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමට අපි අපේක්ෂා කරනවා. වර්තමානයේ දී අපි ආනයනය කරන භාණ්ඩ දේශීයවම නිෂ්පාදනය කිරීම සඳහා, අපගේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඉලක්කගත සහනාධාර, අවැසි තාක්ෂණය සහ වෙළෙඳපොළ ප්‍රවේශය ලබා දීමට අප කටයුතු කරනවා. එමෙන්ම මහා පරිමාණ නිෂ්පාදන සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය වර්ධනය කිරීමටත්, දේශීය නිෂ්පාදනයන්ට වටිනාකමක් එකතු කිරීමටත් අප අවධානය යොමු කරනවා. මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්වල ආයෝජනය කිරීමට සහ මානව සම්පත් සංවර්ධනය සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් උපයෝගී කරගැනීමටත් අපි අපේක්ෂා කරනවා.
2.5 ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම
ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීමට නම් කුඩාම ඒකකය වන ගම, පොහොසත් ගමක් බවට පත් කළ යුතුයි. ආර්ථිකයේ ජාතික මට්ටමේ සිදුවන වර්ධනයේ ප්‍රතිලාභ, ග්‍රාමීය ජනතාවට ද ලැබෙන පරිදි ආර්ථිකය ගමට රැගෙන යා යුතුයි. මේ සඳහා ඵලදායී ආර්ථික කටයුතුවල නියලීමට හැකිවන පරිදි ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීම අපගේ ප්‍රධාන උපායමාර්ගයක්. ඒ සඳහා නවීන හා තිරසර මෙන්ම කිසිවෙක් අත් නොහැරෙන සංවර්ධන වැඩපිළිවෙළක් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ, ආර්ථික අවස්ථා බහුල කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකය ප්‍රවර්ධනය, සැලසුම් සහගත නාගරීකරණය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් වැඩදියුණු කිරීම. තිරසර සංවර්ධන අරමුණු සහ ඉලක්ක පාදක කර ගත් සංවර්ධන රාමුවක් යටතේ ක්‍රියාත්මක කරනවා.
ඒ අතරම, විශේෂ රැකවරණය ලැබිය යුතු පිරිස් අඛණ්ඩව රැක බලාගැනීමත්, විවිධ අර්බුදවල බලපෑම මත සංක්‍රාන්තික දරිද්‍රතාවට පත්වන පිරිස් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමත් කළ යුතුයි. පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් අත්පත් කර දීමේ අපගේ ප්‍රතිපත්තිය සකස් කර ඇත්තේ මෙම අරමුණ මුදුන්පමුණුවා ගැනීමට බව කිවයුතුයි.
2.6 ඩිජිටල්කරණය ප්‍රවර්ධනය
ඩිජිටල්කරණය අපගේ ආර්ථික වර්ධනය හා සමාජ ජීවිතය උසස් කිරීමේ දී වැදගත් උපාය මාර්ගික ප්‍රවේශයක් ලෙස අප හඳුනාගෙන තිබෙනවා. අප රට තුල ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 15 ක් දක්වා වර්ධනය කිරීමේ විභවතාවයක් ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම, රාජ්‍ය පාලනය හා සේවා සැපයීම විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව ඉටුකිරීමේ දී, අප අත්පත් කරගන්නා මෙම ඩිජිටල් පරිවර්තනය සුවිශේෂී දායකත්වයක් සපයනවා. ඒ හේතුවෙන් ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැඟීමට අවැසි මූල්‍යමය සහය ලබා දීමට මෙන්ම නීතිමය හා ආයතනික පරිසරය සැකසීමට අප කටයුතු කරනවා.
3. මධ්‍ය කාලීන සාර්ව ආර්ථික දිශානතිය
ගරු කථානායකතුමනි,
මේ වන විටත් අප ළඟාකරගෙන ඇති අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ශක්තිමත් කළ රාජ්‍ය පාලනය සහ ආදායම් පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය තවදුරටත් ස්ථාවරව පවත්වාගෙන යාමට අප කටයුතු කරනවා. අපගේ ආර්ථිකය ශක්තිමත්, තිරසාර සහ සැමට සමාන ප්‍රතිලාභ හිමිවන වර්ධනයක් කරා විශ්වාසයෙන් යුතුව මෙහෙයවීම අපගේ ඉලක්කයයි. අපි මධ්‍යකාලීනව සියයට 7 ඉක්මවන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් කටයුතු කරනවා.
මෙම ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන් පළමු වසර තුළ අප ශක්තිමත් පදනමක් සකස් කොට තිබෙනවා. ඒ අනුව;
• අපගේ ආර්ථික වර්ධනය 2024 වසරේ පළමු භාගය තුළ පැවති සියයට 4.6 සිට 2025 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී සියයට 4.8 දක්වා වැඩි වුණා.
• විරැකියාව 2024 වසරේ පළමු කාර්තුවේ පැවති සියයට 4.5 ක සිට 2025 වසරේ පළමු කාර්තුවේ දී සියයට 3.8 දක්වා පහත වැටුණා.
2024 වසරේ මුල් මාස නවය හා සසඳන විට, 2025 වසරේ මුල් මාස නවය තුළ:
• අපගේ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 8.5 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 9.1 දක්වා වැඩි වුණා.
• සේවක ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.8 දක්වා වැඩි වුණා.
• සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි වුණා.
• ආදායම් සහ ප්‍රදාන රුපියල් ට්‍රිලියන 2.9 සිට රුපියල් ට්‍රිලියන 3.8 දක්වා වැඩි වුණා. මෙය අපගේ ඉලක්කයන් ද ඉක්මවා යාමක්.
• ප්‍රාථමික ශේෂය රුපියල් ට්‍රිලියන 0.8 සිට රුපියල් ට්‍රිලියන 1.5 දක්වා තියුණු ලෙස වැඩි වුණා. මෙයත් අපගේ ඉලක්කයන් ද ඉක්මවා යාමක්.
2025 වසරේ සැප්තැම්බර් වන විට ප්‍රාග්ධන වෙළඳපොලේ කාර්යසාධනය 2024 වසරේ සැප්තැම්බර් මස කාර්යසාධනය හා සමඟ සැසදීමේ දී:
• සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 11,855 සිට ඒකක 21,779 දක්වා ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළා.
• S&P SL 20 දර්ශකය ඒකක 3,453 සිට ඒකක 6,127 දක්වා ඉහළ ගියා.
• වෙළෙඳපොළ ප්‍රග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.4 සිට රුපියල් ට්‍රිලියන 7.8 දක්වා වර්ධනය වුණා.
• විදේශීය මිලදී ගැනීම් රුපියල් බිලියන 37 සිට රුපියල් බිලියන 47 දක්වා වැඩි වුණා.
ගරු කථානායකතුමනි,
අපි මූල්‍යමය නොසැලකිලිමත්භාවයක් පැවති යුගය අවසන් කර, එය විචක්ෂණශීලී නීතිමය රාමුවක් මඟින් ප්‍රතිස්ථාපනය කර තිබෙනවා. මෙම නීතිමය රාමුව අනාගත කම්පනවලින් අප ආරක්ෂා කරන අතර සෑම පුරවැසියෙකුටම ඔවුන්ගේ බදු විනයානුකූලව, විනිවිදභාවයකින් සහ වගවීමෙන් කළමනාකරණය කරන බවට අප සහතික කරනවා.
අප විධිමත්ව හා කාර්යක්ෂමව රාජ්‍ය ආදායම වර්ධනය කරමින් සිටිනවා. 2026 වසරේ දී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක් ඉක්මවා යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව RAMIS 3.0 සමඟින් නවීකරණය කිරීමට කටයුතු කරනවා. අපගේ ඉලක්කය වන්නේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 දක්වා දිගු කාලීනව වැඩි කිරීමයි. වඩාත් ප්‍රගතිශීලී සහ සාධාරණ බදු ක්‍රමයක් තහවුරු කරමින්, සෘජු හා වක්‍ර බදු අනුපාතය 25:75 සිට 40:60 අනුපාතය දක්වා ක්‍රමානුකුලව ගෙන ඒම අපගේ අරමුණයි.
අප ප්‍රාථමික වියදම් සියයට 13 ක සීමාව තුළ පවත්වා ගනිමින් වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම හා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදනයෙන් අවම වශයෙන් සියයට 4 ක පවත්වා ගැනීමට කටයුතු කරනවා.
ගරු කථානායකතුමනි,
අපගේ රාජ්‍ය මූල්‍ය උපාය මාර්ගය වන්නේ අස්ථාවරත්වය වෙනුවට පුරෝකථනය කිරීමේ හැකියාවෙන් ද, වරප්‍රසාද වෙනුවට සාධාරණත්වයෙන් ද, කෙටිකාලීන වාසි වෙනුවට දිගුකාලීන සමෘද්ධියෙන් ද ප්‍රතිෂ්ඨාපනය කරන මාවතකි. සැමට ස්වෛරී, සමෘද්ධිමත් සහ යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ පදනම එයයි.
මම දැන් මෙම ගරු පාර්ලිමේන්තුවට 2026 වසර සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කරනවා.
4. පෞද්ගලික අංශය සහ ආයෝජන මඟින් බලගැන්වෙන ආර්ථික වර්ධනය
4.1 ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම
ගරු කථානායකතුමනි,
ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වා ගෙන එන ලද අවිධිමත් හා පක්ෂපාති සංස්කෘතිය මේ වන විට වෙනස් කර තිබෙනවා. ඒ අනුව අප විසින් ජාවාරම්කාරීත්වය වෙනුවට විශ්වසනීයත්වයත්, අභිමතය වෙනුවට පුරෝකථනය කිරීමේ හැකියාවත්, වරප්‍රසාද වෙනුවට හවුල්කාරිත්වයත් ආදේශ වන නව පරිසරයක් ගොඩනඟමින් සිටිනවා. මෙවැනි පරිසරයක් ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වනවා. අපේ ජාතිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ශක්තිය සපයනු ලබනවා.
- විදේශීය සහ දේශීය ආයෝජන සඳහා වඩාත් ශක්තිමත් රීති මත පදනම් වූ දිරිගැන්වීමේ පාලන තන්ත්‍රයක් ඇති කිරීම සඳහා, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතට සහ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම සංශෝධන මඟින් සෘජු විදේශ ආයෝජන (FDI) සඳහා වූ ක්‍රියාවලින් විධිමත් කිරීම, දිරිගැන්වීමේ ක්‍රමවේදයේ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ විදේශීය ආයෝජකයින් අපේක්ෂා කරන අනුකූලතාව ලබා දීම සිදු කරනවා. මෙම සංශෝධන මඟින් සෘජු විදේශ ආයෝජන මෙරටට ගලා ඒම සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇතැයි අප විශ්වාස කරනවා.
- ආර්ථික වර්ධනයට, රැකියා උත්පාදනයට සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම ඉතා වැදගත් වෙනවා. රජය සමඟ ශක්තිමත් හවුල්කාරීත්වයන් හරහා මෙම යටිතල පහසුකම් ලබා දීමේ දී පෞද්ගලික අංශයට වැදගත් කාර්යභාරයක් කළ හැකි වෙනවා. විනිවිදභාවයෙන් යුතු නීතිමය රාමුවක් සපයන “රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) පනත” පිළිඳව පනත් කෙටුම්පත සැප්තැම්බර් මාසයේ මහජන අදහස් විමසීම සඳහා ඉදිරිපත් කර ඇති අතර, 2026 වසරේ මුල් භාගයේ දී එය අනුමැතිය සඳහා මෙම සභාවට ඉදිරිපත් කරනවා.
- ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීම හා ආයෝජන ආරක්ෂා කිරීම සඳහා නව “ආයෝජන ආරක්ෂන පනත” 2026 වසරේ මුල් භාගයේ දී සම්මත කරනු ලබනවා
- දැනටමත් ක්‍රියාත්මක වන ආයෝජන කලාප ආශ්‍රිත සේවා කලාප ලෙස සහායක කලාප සංවර්ධනය කිරීම තුළින්, ප්‍රධාන ආයෝජන කලාපවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමටත්, ආර්ථික ප්‍රතිලාභ පළාත් මට්ටමින් පුළුල් කිරීමටත් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අගය දාමයන්ට ඒකාබද්ධ කිරීමටත් හැකියාව තිබෙනවා. මෙමඟින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම, ශ්‍රම සංචලනය වැඩිදියුණු කිරීම සහ කාර්මීකරණයේ ආර්ථික ප්‍රතිලාභ පළාත් මට්ටමින් ව්‍යාප්ත කිරීම අපේක්ෂා කරනවා. මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇති අතර එයට අමතරව තවත් රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ආයෝජන වර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ ආයෝජන හිතකාමී පරිසරය මෙතෙක් ප්‍රායෝගිකව සවිමත් කර නොමැති බැවින්, එම ක්ෂේත්‍රය වෙත ආයෝජකයින් ආකර්ෂණය අභියෝගාත්මක වී තිබෙනවා. පසුගිය රජයන් විසින් විශාල පිරිවැයක් දරා ආරම්භ කර, වසර ගණනාවක් අත්හැර දමා ඇති තාක්ෂණික උද්‍යාන දෙකක් කුරුණෑගල සහ ගාල්ලේ පවතිනවා. මෙය ඉදි කළ කොන්ත්‍රාත්කරුවන්ට මහජන බැංකුවෙන් හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ණය ලබාගෙන ගෙවීම් සිදු කර ඇති නමුත් වසර ගණනාවකින් බැංකු වෙත නොගෙවූ මෙම හිඟ ණය මුදල පියවා දැමීමට රුපියල් මිලියන 1,500 ක් මෙම වසරේදිම ගෙවා නිම කර, එම ව්‍යාපෘති පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කරනවා. තවත් උද්‍යාන දෙකක් දිගන සහ නුවරඑළිය යන නගර කේන්ද්‍ර කරගෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.
- ප්‍රමුඛතා අංශවල හෝ සුදුසුකම් ලබන ව්‍යාපෘතිවල නිශ්චිත අවම ආයෝජන සීමාවක් සපුරාලන විදේශීය ආයෝජකයින් සඳහා නේවාසික වීසා ක්‍රමයක් හඳුන්වා දෙනවා.
- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය මත පදනම් වූ "තනි කවුළු" (Single Window) යාන්ත්‍රණයක් හරහා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපේක්ෂා කරනවා. මෙම යාන්ත්‍රණය මඟින් ආයෝජන ක්‍රියාවලිය කාර්යක්ෂමව, විනිවිද පෙනෙන ලෙස සහ වේගවත් ලෙස සිදුකළ හැකි වන අතර, ආයෝජකයින්ට ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා අවශ්‍ය විශ්වාසය සහ පහසුව ලබා දෙනවා. මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 100 ක් වෙන්කර තිබෙනවා.
- ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලැස්ම සකස් කිරීම විධිමත් කිරීම සහ ආයෝජන සඳහා ඉඩම් නිදහස් කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා ඉඩම් විෂයට අයත් ආයෝජන මණ්ඩලය වැනි ආයතනවල පහසුකම් වැඩි දියුණු කිරීම සහ එම ආයතන ඒකාබද්ධ කරමින් ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. එසේම, ආයෝජකයින්ට ඉඩම් ලබාදීම සම්බන්ධ නව නීතිමය රාමුවක් හඳුන්වාදීමටත්, ආයෝජනයේ ස්වභාවය අනුව ඉඩමේ තක්සේරුව තීරණය කිරීමටත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.
ගරු කථානායකතුමනි,
- අපගේ පෙර අයවැයේ දී යෝජනා කළ, රජය සතු වාණිජ ව්‍යවසායයන් තුළ වගවීම, විනිවිදභාවය, පාලනය සහ ලාභදායිත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වාණිජ ව්‍යාපාරවල කොටස් හිමි රජයේ සමාගමක් පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත 2026 වසරේ පළමු කාර්තුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
- අපනයන වැඩි කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්වකරුවන්ගේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය ඇතිව දැනටමත් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කරමින් පවතිනවා. එම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු සඳහා අමතරව රුපියල් මිලියන 250 ක් අපනයන සංවර්ධන මණ්ඩලයේ ජාතික අපනයන සන්නාම ප්‍රවර්ධන සැලැස්ම වැඩසටහන යටතේ වෙන් කිරීමට යෝජනා කරනවා.
- අප විවිධ රටවල් හා කලාප සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීමට සාකච්ඡා ආරම්භ කරනවා. ඒ සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂඥ හැකියාව සහිත කමිටුවක් පත්කොට ඇති අතර එම කමිටුව විසින් පවතින වෙළඳ ගිවිසුම් සමාලෝචනය කිරීම හා අලුතින් එකතු විය යුතු වෙළඳ ගිවිසුම් පිළිබඳව සොයා බැලීමට කටයුතු කරනවා.
- ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවා ව්‍යාප්ත කිරීම සඳහා අපනයන නැඹුරු ව්‍යවසායයන්, විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ නැගී එන සේවා අංශ වෙනුවෙන් වෙළඳ ප්‍රදර්ශනවල සහභාගී වීම, නිෂ්පාදන සහතික කිරීම, ඩිජිටල් අලෙවිකරණය, සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ අපේක්ෂාවන්ට අනුවර්තනය වීම වැනි වැඩසටහන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපනයන සංවර්ධන මණ්ඩලයට වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- අන්තර් ජාතික වෙළඳාම තුළ ශ්‍රී ලංකාවේ තරඟකාරිත්වය වර්ධනය කිරීම සඳහා වෙළඳ පහසුකම් වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. එහි දී, ජාතික තනි වෙළඳ කවුළුව (Trade National Single Window) ඇතුළු පහසුකම් සංවර්ධනය, නීතිරීති යාවත්කාලීන කිරීම, නියාමන ක්‍රියාවලීන් සම්මතගත කිරීම, ගනුදෙනු පිරිවැය අඩු කිරීම සහ ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳපොළවල් සමඟ කාර්යක්ෂමව සම්බන්ධ වීමට හැකියාව ලබාදීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් වෙනවා. ඒ සඳහා ජාතික තනි වෙළඳ කවුළුව පහසුකම වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 2,500 ක් වෙන් කර තිබෙනවා.
4.2 ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ශක්තිමත් කිරීම සඳහා වූ ඒකාබද්ධ රාමුව
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායය සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනවල සම්බන්ධීකරණය කාර්යක්ෂම කිරීම සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), ජාතික ව්‍යවසායය සංවර්ධන අධිකාරිය (NEDA), සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායය සංවර්ධන අංශයේ (SMED) කාර්යයන් ඒකාබද්ධ කර කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) යටතට පත් කිරීමට යෝජනා කරනවා. කර්මාන්ත කලාප පිහිටුවීම සහ සංවර්ධනය මනා ලෙස කළමනාකරණය කිරීමට 2026 වසර සඳහා දැනට වෙන් කර ඇති රුපියල් මිලියන 4,000 ක අයවැය ප්‍රතිපාදනවලට අමතරව රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52 කට වඩා දායක වන අතර, සේවා නියුක්තිය මුළු ශ්‍රම බලකායෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වෙනවා. එම ව්‍යවසායයන්ගේ මූල්‍ය ප්‍රවේශය ඉහළ නැංවීමේ අරමුණින් දේශීය බැංකු හරහා ආයෝජන සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා සහනදායී පොලී අනුපාත යටතේ ණය ප්‍රදානය කරමින්, රජයේ සහාය සහිත ණය යෝජනා ක්‍රම කිහිපයක් දැනටමත් හඳුන්වා දී තිබෙනවා.
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ණය ලබා දීමේ දී ඇතිවන අවදානම අවම කිරීම සඳහා ස්ථාපිත කරන ලද ජාතික ණය සුරැකුම් ආයතනය මඟින් ඇප රහිතව ව්‍යවසායකයින්ට ණය ලබා දීමට දුන් පොරොන්දුව අප විසින් ඉටු කර තිබෙනවා. ඒ අනුව, 2025 වසරේ දී මේ වන විට රුපියල් මිලියන 4,027 ඉක්මවා ඇප රහිතව ණය ලබා දී තිබෙනවා. 2026 වසරේ දී රුපියල් මිලියන 7,000 ක පමණ ණය සඳහා සුරැකුම් ලබා දීමට මේ අනුව අප විසින් සැලසුම් කර තිබෙනවා. මෙම ආයතනය ආරම්භ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ණය ආධාර ලබා දී තිබෙනවා.
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා හා ආයෝජන සඳහා සාර්ථකව පවත්වාගෙන යන ව්‍යාපාරයකට රුපියල් මිලියන 25 ක් දක්වා ද, ආර්ථික අපහසුතාවලට මුහුණ පා ඇති ව්‍යාපාර සඳහා රුපියල් මිලියන 15 ක් දක්වා ද සහන පොලී අනුපාත යටතේ ණය ලබා දීමට රුපියල් මිලියන 25,000 ක් වෙන් කර තිබෙනවා.
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායය සඳහා රුපියල් මිලියන 50 දක්වා ණය ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 5,900 ක් වෙන්කර තිබෙනවා.
කෘෂිකර්ම අගය දාමයන් සංවර්ධනය කිරීම
- නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය හරහා සියයට 5ක පොලී සහනාධාරයක් යටතේ රුපියල් මිලියන 3 දක්වා කෘෂිකාර්මික ණය ලබාදීමට රුපියල් මිලියන 1,700 ක් වෙන් කර තිබෙනවා.
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායය සංවර්ධන ණය යෝජනා ක්‍රමය හරහා අළුත් ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 7,700 ක් වෙන් කර ඇති අතර ඒ තුළින් සහන පොලියට රුපියල් මිලියන 50 දක්වා නව ණය ලබා දෙනවා.
- කෘෂිකර්ම අගය දාමයන් සංවර්ධනය කිරීම සඳහා සහන පොලී වැඩසටහනක් යටතේ රුපියල් මිලියන 50 දක්වා ණය ලබා දීමට රුපියල් මිලියන 6,200 ක් වෙන් කර තිබෙනවා. ඔඩපන ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට රුපියල් මිලියන 50 ක් දක්වා සහන පොලී අනුපාතිකයක් යටතේ ණය ලබා ගත හැකියි. මේ සඳහා රුපියල් මිලියන 15,000 ක් වෙන් කර තිබෙනවා.
- කෘෂි ව්‍යාපෘතිවලට ප්‍රවේශය ඉහළ නැංවීම අරමුණු කරගත් තිරසර ගොවි ණය අරමුදලක් පිහිටු වීමට රුපියල් මිලියන 800 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
ගරු කථානායකතුමනි,
- මීට අමතරව, තරුණ ව්‍යවසායකත්ව ණය යෝජනා ක්‍රම, ක්ෂුද්‍ර මූල්‍ය ණය, කාන්තා ව්‍යවසායයකත්වය සවිබල ගැන්වීමේ ණය ක්‍රමද ඇතුළත්ව සියලු සහන ණය යෝජනාවන් සඳහා මුදල් වෙන් කර තිබෙනවා. ඒ අනුව, ප්‍රතිමූල්‍ය ණය, ප්‍රදාන, ඔඩපන ණය, ඇප රහිත ණය, සහ පොලී සහනාධාර වැනි ණය යෝජනා ක්‍රම වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 80,000 ක ණය ලබා ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා.
- නව ආයෝජන පුළුල් කිරීම හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා නව ආයෝජන දිරිමත් කිරීමේ අරමුණෙන් දැනට පවතින වැඩි කළ ප්‍රාග්ධන දීමනා සඳහා සුදුසුකම් ලබන ආයෝජන සීමාව, ඇමෙරිකානු ඩොලර් මිලියන 3 සිට ඇමෙරිකානු ඩොලර් 250,000 දක්වා පහළ දැමීමට යෝජනා කරනවා.
5. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය
ගරු කථානායකතුමනි,
2030 වසර වන විට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක් දක්වාත් සංචාරක පැමිණීම් මිලියන 4 ක් දක්වාත් වැඩි කිරීම ඉලක්ක කර ගනිමින් සංචාරක අංශයේ වේගවත් වර්ධනයක් අපේක්ෂා කරනවා. සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට ඇති ප්‍රධානම අභියෝගය වන විවිධ පාර්ශවකරුවන් අතර වන සම්බන්ධීකරණ ගැටළු ජය ගැනීමට ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සංචාරක අංශයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගෙන තියෙනවා. ආයතන ශක්තිමත් කිරීමට අමතරව, බලාපොරොත්තුවන සංචාරක කර්මාන්තයේ විවිධ අංශවල ඉලක්ක සපුරා ගැනීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය සහ ඒකාබද්ධ අලෙවිකරණ, ප්‍රචාරණ ව්‍යාපාරයක් පැවැත්වීමට අඛණ්ඩව ආයෝජන සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.
- සොබාදහම කේන්ද්‍ර කරගත් හා ඓතිහාසික උරුමයන් හුවා දක්වන සංචාරක ගමනාන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මෙම කටයුතුවලට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 3,500 ක් වෙන් කර තිබෙනවා. ඒ යටතේ බස්නාහිර පලාතේ වෙරළ හා මුහුද ආශ්‍රිත හැමිල්ටන් ඇල, මීගමු කළපුව ඇතුළු ජලාශ්‍රිත පරිසරයන් සඳහා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
- තවද, ඌව පළාත තුල දැනටමත් විශාල වශයෙන් දේශීය සහ විදේශීය සංචාරක ආකර්ෂණයක් සහිත හපුතලේ, බෙරගල හා ඉදල්ගස්හින්න යන ප්‍රදේශවල පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථානයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා අවශ්‍ය ප්‍රචාරණය ලබාදීම මඟින් හපුතලේ ප්‍රදේශය ලංකාවේ තවත් ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීමට සැලසුම් කර තිබෙනවා.
- රජය සතු ඌන උපයෝජිත සංචාරක බංගලා, නිවාඩු නිකේතන 900 කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. මේවායින් බොහෝමයක් ඉහළ සංචාරක ආකර්ෂණය සහිත තැන්වල පිහිටා තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ නවාතැන් අවශ්‍යතාවන් සැපරීම සඳහා පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව ආදායම් උත්පාදන ඒකක බවට එම ස්ථාන පත්කරනවා.
- 2030 වසර වන විට සංචාරක හා ආගන්තුක සත්කාර අංශයේ විවිධ කාණ්ඩ හරහා නිපුණතා සහිත පුද්ගලයින් 800,000 කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. පවතින භෞතික හා මානව සම්පත් සීමිත බැවින් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට (SLITHM) පමණක් මෙම ඉල්ලුම සපුරාලිය නොහැක. මෙම ජාතික මට්ටමේ ශ්‍රම බලකා පරතරය පියවීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් දිවයින පුරා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් පිළිගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුහුණු ආයතන හරහා කෙටි කාලීන වෘත්තීය පුහුණු වැඩසටහනක් වන ආගන්තුක සත්කාර බහුකාර්ය වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන් කර ඇති ඌන උපයෝජිත සංචාරක සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 500 ක් යොදා ගැනීමට යෝජනා කරනවා.
- බේරේ වැව සංවර්ධනය කොට එය කොළඹ නගර මධ්‍යයේ පවතින ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමටත්, සංචාරක ක්‍රියාකාරම් ඇතුළු සමාජයීය, ආර්ථික සහ පාරිසරික යන සියලු අංගයන්හි ඵලදායී භාවිතය ඉහළ නැංවීමටත් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන් කර ඇති ඌන උපයෝජිත සංචාරක සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 2,500 ක් යොදා ගැනීමට යෝජනා කරනවා.
- අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රචලිත කිරීම සංචාරක කර්මාන්තයේ වර්ධනයට අත්‍යවශ්‍යයි. මේ සඳහා දැනටමත් ආරම්භ කර ඇති හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළෙහි සංවර්ධන කටයුතු 2026 වසර තුළ දී අවසන් කිරීමට අපේක්ෂා කරනවා. සීගිරිය, ත්‍රිකුණාමලය අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය, හා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට රුපියල් මිලියන 1,000 ක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කරනු ලබන අතර අතිරේක ප්‍රතිපාදන සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය දායක කර ගනු ලබනවා.
- ඉහළ යන ගුවන් ප්‍රවාහන ඉල්ලුම සපුරාලීමට සහ මගී හා භාණ්ඩ ප්‍රවාහනයට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාවට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංක්‍රමණ කේන්ද්‍රස්ථානයක් (International Transit Hub) ලෙස ස්ථාපිත වීමට අනඟි අවස්ථාවක් උදා වී තිබෙනවා. අපගේ උපායමාර්ගික පිහිටීම, බටහිර සහ නැගෙනහිර කලාප දෙකටම අසමසම ප්‍රවේශයක් සපයනු ලබනවා.
මෙම දැක්ම යතාර්ථයක් කර ගැනීම සඳහා, අප නවීනතම ගුවන් තොටුපළ පහසුකම් සඳහා ආයෝජනය කළ යුතු අතර, ඒ සඳහා ප්‍රමාණවත් ගුවන් යානා සමූහයකින් සමන්විත අපගේම ගුවන් සේවයක් දියුණු කළ යුතුයි. ඒ සඳහා, ලබන වසරේ පළමු කාර්තුව තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමට නවතා දමා ඇති ව්‍යාපෘතිය නැවත ආරම්භ කරනවා. තවද, ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමට වැඩකටයුතු කෙරෙමින් පවතිනවා.
6. නවීකරණය හා ඩිජිටල්කරණය
ගරු කථානායකතුමනි,
ඩිජිටල් ආර්ථික සංවර්ධනය යනු සැමට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයට සහ ගෝලීය තරඟකාරිත්වයට තීරණාත්මක මාවතකි. සංවර්ධන මාවතේ ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන් මග හැරී ඇති නමුත් මෙම ඩිජිටල්කරණ අවස්ථාව අතපසු නොකළ යුතුය. 2026 වසරේ දී රුපියල් මිලියන 25,500 කට අධික රජයේ ආයෝජනයත් සමඟ, ශ්‍රී ලංකාවට ඩිජිටල් පරිවර්තනයේ සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. යටිතල පහසුකම් අවශ්‍යතාවයන් සැපයීම, ආයෝජන ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ නවෝත්පාදන-හිතකාමී පරිසරයන් පෝෂණය කිරීම යන යෝජනාවන් තිරසාර ඩිජිටල් දියුණුව සඳහා ක්‍රියාකාරී මාර්ග සිතියමක් සපයනවා.
රාජ්‍ය ආයතනවලට අදාළ ගෙවීම් කිරීමට GovPay පද්ධතිය ප්‍රචලිත කිරීම, ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීම, ජනාධිපති අරමුදල, තානාපති කාර්යාලවලින් පුරවැසියන්ට ලබා දෙන ලේඛන සේවා ඩිජිටල්කරණය කිරීම, GovTech ආයතනය පිහිටුවීම වැනි ව්‍යාපෘති මේ වන විටත් අවසන් කර තිබෙනවා. එය අපේ ඩිජිටල් පරිවර්තනයේ විශාල පියවරක්. ඉදිරියේ දී ස්ථාපිත කිරීමට නියමිත ඩිජිටල් ආර්ථික අධිකාරිය සහ 5G බලපත්‍ර සාර්ථකව ලබා දීම වැනි කාර්යයන් ඩිජිටල් පිවිසුමේ ඉතාමත් ශක්තිමත් පියවරක් වෙනවා. සෑම පුරවැසියෙකුගේම සහභාගිත්වය සහතික කිරීම සඳහා රට පුරා බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රවේශය පුළුල් කරමින් සහ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගනිමින් අළුත් ව්‍යවසායකයන්ට සහාය දක්වන සුදුසු වටාපිටාවක් සකස් කරමින් සිටිනවා. කෘත්‍රීම බුද්ධිය, ක්ලවුඩ් (cloud) පරිගණක සහ දත්ත මධ්‍යස්ථාන ඇතුළුව ඊළඟ පරම්පරාවේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන් කර තිබෙනවා.
දත්ත ආරක්‍ෂණ අධිකාරිය ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි පුද්ගලික දත්ත ආරක්‍ෂණ පනත සංශෝධන සහිතව සම්මත කර තිබෙනවා. තවද, දැනට සකස් කරමින් පවතින ඩිජිටල් ආර්ථික පනත මඟින් ඩිජිටල් ආර්ථික අධිකාරිය මෙන්ම ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවීමට කටයුතු කරනවා.
ශ්‍රී ලාංකීය ඒකීය ඩිජිටල් අනන්‍යතාවය (SLUDI), ජාතික දත්ත හුවමාරුව, ලංකා රජයේ ක්ලවුඩ් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ රජයේ සේවාවන් සැපයීමට තනි පියැසි ඩිජිටල් අතුරුමුහුණතක් (Single Roof Digital Intefece) සඳහා මෘදුකාංග නිර්මාණය කිරීම වැනි ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේ තීරණාත්මක ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර තිබෙනවා. 2026 වසර මුල දී ශ්‍රී ලංකාවෙහි ඒකීය ඩිජිටල් අනන්‍යතාවය (SLUDI) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරනවා. 2026 වසරේ 3 වන කාර්තුවේ දී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරනවා.
මුදල් නෝට්ටු භාවිතයට ඇති නැඹුරුතාවය අඩු කර ඩිජිටල් මාර්ගයන්ගෙන් ගනුදෙනු කරන සමාජයක් කරා පරිවර්තනය කරවීම ආරම්භ කර තිබෙනවා. මෙම පරිවර්තනයේ අරමුණ වන්නේ ගනුදෙනු පහසුකරවීම, ඒ සඳහා යන වියදම අඩු කිරීම, මුදල් අවභාවිතයන් අවම කිරීම හා කාර්යක්ෂමතාවය වැඩි කිරීමයි. 2025 වසරේ පළමු කාර්තුව තුළ රජයේ ගෙවීම්වල දී Lankapay මාර්ගගත ක්‍රමවේදය හරහා පමණක් රුපියල් බිලියන 2,000 කට වැඩි ගනුදෙනු සිදුව තිබෙනවා. මුදල් නෝට්ටු රහිත සමාජයක් ඇති කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා, සියලුම රජයේ ගනුදෙනු සඳහා මාර්ගගත ගෙවීම් මාදිලිය හරහා පහසුකම් ලබා දීමට යෝජනා කරනවා. ආරම්භයක් ලෙස මේ සඳහා දිරිගැන්වීමක් ලබා දීමට රාජ්‍ය ආයතනවලට ගෙවීම් කිරීමේ දී සේවා ගාස්තු අය නොකිරීමට යෝජනා කරනවා. මෙම ගනුදෙනු පිරිවැය ආවරණය කිරීම්, පද්ධති වැඩිදියුණු කිරීම් සහ මහජන දැනුවත් කිරීම් සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. තවද, අවශ්‍ය පහසුකම් සැලසීමට හා ප්‍රවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කර තිබෙනවා.
මේ අනුව, 2026 වසරේ ජනවාරි මස 1 වන දින සිට, රජයේ ආයතන වෙත ඉලෙක්ට්‍රොනික ගෙවීම් සඳහා වන සියලුම සේවා ගාස්තු ඉවත් කිරීමට අවසර ලබා දෙනවා. තවද, QR කේත ක්‍රමයට අනුව ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා, රුපියල් 5,000 ට අඩු වටිනාකමක් ඇති QR කේත ගෙවීම් කිසිම පිරිවැයකින් තොරව සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය හරහා ලබා දෙන්නට යෝජනා කරනවා.
ශ්‍රී ලංකාවට දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා කළාප මධ්‍යස්ථානයක් ලෙස විකාශනය වීමට ඉහළ විභවතාවයක් තියෙනවා. දත්ත මධ්‍යස්ථාන සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ දී අප විසින් ගත යුතු තීරණාත්මක පියවර රැසක් තිබෙනවා. ඒ අතර, දත්ත ආරක්ෂාව, රහස්‍යභාවය, පෞද්ගලිකත්වය, හා ඩිජිටල් පාලන නීති පද්ධති සවිබල ගන්වමින් ආයෝජක විශ්වාසය තහවුරු කිරීම අවශ්‍ය වෙනවා. එය දැනටමත් අප විසින් සිදුකරමින් පවතිනවා. මෙම ආයෝජනයන් දිරි ගැන්වීම සඳහා මූල්‍ය සහන, හරිත බලශක්ති භාවිත සහන, ආරම්භක අදියරේ දී අඩු පිරිවැයට විදුලිය, අවශ්‍ය ඉඩම් සහනදායී ලෙස ලබා දීම හරහා විදේශීය සහ දේශීය ආයෝජකයන්ට මෙම ක්ෂේත්‍රයේ ආකර්ෂණීය වාතාවරණයක් සකස් කළ යුතු වෙනවා. මේ සඳහා ආරම්භයක් ලෙස 2026 වසර සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
ඩිජිටල් යටිතල පහසුකම් සහ කෘත්‍රීම බුද්ධිය ප්‍රමුඛ, නවෝත්පාදනයන්හි කලාපීය ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් සහ උපායමාර්ගික ඩිජිටල් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මධ්‍ය කාලීන අරමුදල් රජය විසින් සපයනවා. නවෝත්පාදනයන් වර්ධනය කිරීම, තෝරාගත් කෘත්‍රීම බුද්ධි ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම, විදේශීය පුහුණු ශිෂ්‍යත්ව සහ දේශීය භාෂා දත්ත කට්ටල සංවර්ධනය කිරීම, විශ්ව විද්‍යාල සහ පාසල් ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ සංවර්ධන අරමුණු වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය සහ ක්ලවුඩ් පහසුකම් ලබා දීම සඳහා රුපියල් මිලියන 750 ක් වෙන් කර තිබෙනවා.
සියලු පුරවැසියන්ට ඩිජිටල් තාක්ෂණය සඳහා ප්‍රවේශය පුළුල් කිරීම පිණිස, අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රවේශයන් සඳහා බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර්, අස්වැසුමලාභීන් සහ අනෙකුත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ලබාදීමට අපේක්ෂා කරනවා. එමඟින්, මාර්ගගත අධ්‍යාපනය සහ ඩිජිටල් ආර්ථිකයට සහභාගී වීම වඩාත් සක්‍රීය කිරීම අරමුණ වෙනවා. මෙමඟින්, සැමට ප්‍රතිලාභ සැලසෙන ඩිජිටල් අනාගතයක් නිර්මාණය කිරීම සහතික කෙරෙනවා.
ඩිජිටල් තාක්ෂණයේ ව්‍යාප්තිය වේගවත් කිරීම සඳහා, සන්නිවේදන කුළුණු වැනි ඩිජිටල් යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා වඩාත් සරල වූ සහ කඩිනම් අනන්‍ය අනුමත කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කරනු ලබනවා. මෙම ඩිජිටල් තාක්ෂණ ව්‍යාප්ති වැඩසටහන යටතේ ඉදිකරන ලද නව කුළුණු සඳහා අදාළ වන බද්ද වසර 5 ක කාලයක් සඳහා අත්හිටුවීමට යෝජනා කරනවා.
ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා, ඇරඹුම් සඳහා වන වටපිටාවෙහි (Star-ups ecosystem) වර්ධනය වේගවත් කිරීම සඳහා අරමුදලක් 2026 වසරේ දී පිහිටුවනවා. එම අරමුදල පිහිටුවීම සඳහා මූලික රාජ්‍ය අනුග්‍රහය ලෙස රුපියල් මිලියන 1,500 ක් (ඩොලර් මිලියන 5 ක්) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ වෙන්කර තිබෙනවා.
අපනයන සහ රැකියා උත්පාදනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීම සඳහා ආයෝජන මණ්ඩලය හරහා “අතථ්‍ය විශේෂ ආර්ථික කලාපයක්” ද (Virtual Special Economic Zones) ස්ථාපනය කිරීමට යෝජනා කරනවා.
7. පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය බල ගන්වා ආර්ථික සහ සාමාජයීය දියුණුව ළඟා කර ගැනීම
ගරු කථානායකතුමනි,
රාජ්‍ය පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත මේ වන විට සකසා අවසන් කර ඇති අතර රජයේ සංවර්ධන ක්‍රියාවලියට අනුගත, ප්‍රමුඛතා හඳුනා ගෙන, ඒවාට නිසි ලෙස ප්‍රතිපාදන ලබා දී, පර්යේෂණ වාණිජකරණය දක්වා ගෙන ඒමේ ජාතික වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා. එම සමස්ථ ක්‍රියාවලිය අධීක්ෂණය කරනු ලබන, මධ්‍යගත පරිපාලන ආයතනයක් ලෙස ජාතික පර්යේෂණ, සංවර්ධන හා වාණිජකරණ ආයතනය ද, පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ ජාතික සභාව ද ස්ථාපනය කෙරෙන අතර ඊට අදාළ පනත 2026 වසරේ දී මෙම සභාවට ඉදිරිපත් කරනවා.
පර්යේෂණ වාණිජකරණය දක්වා ගෙන ඒමේ ජාතික වැඩපිළිවෙල සඳහා රුපියල් මිලියන 1,200 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
8. ක්ලීන් ශ්‍රී ලංකා අඛණ්ඩ වැඩසටහන
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ගොඩනැඟීමේ දී අපේ රට ක්ලීන් රටක් - පිරිසිදු ශ්‍රී ලංකාවක් බවට පත් කරන බව පසුගිය අයවැයේ දී යෝජනා කළා. ආචාරධර්මීය ප්‍රතිපත්ති වැඩි දියුණු කිරීමටත් වඩාත් පිරිසදු භෞතික පරිසරයක් සහ දීපව්‍යාප්ත සදාචාරාත්මක කැපවීමක් සඳහා පිලිතුරු සැපයීමත් Clean Sri Lanka ව්‍යාපෘතියෙහි අරමුණු අතර වෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එක් පොතකට හෝ තනි ව්‍යාපෘතියකට හෝ ලඝු වන්නේ නැති බවත් මේ වැඩසටහන දවසකින් මාසයකින්, වසර කිහිපයකින් නිමාව දකින වැටසටහනක් වන්නේ නැති බවත් අප යළි සිහිපත් කරනවා. එය, අඛණ්ඩව පෙරට යන සහ පෙරට යා යුතු, අලුත් අලුත් දෑ එක්විය යුතු මහා පරිමාණ, නොනවතින වැඩසටහනක් වන අතර අද වන විට අපි එය යතාර්ථයක් කරමින් ඉන්නවා. පරිසරය පැත්තෙන් පමණක් නොවෙයි සෑම පැත්තකින්ම පිරිසිදු වූ සමාජයක් ගොඩනැඟීම “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය තුළින් අපේක්ෂා කරනවා. ඒ නොනවතින, අඛණ්ඩ වැඩසටහන, මත් කුඩු වලින් තොර පිරිසිදු රටක්, පාතාලයෙන් තොර පිරිසිදු රටක්, අල්ලස් හා දූෂණයෙන් තොර පිරිසිදු රටක්, බලයෙන් හිස උදුම්මාගත් දූෂිත දේශපාලනඥයින්ගෙන් තොර පිරිසිදු රටක්, අකාර්යක්ෂම රාජ්‍ය සේවය වෙනුවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තියෙන පිරිසිදු රටක්, නීතියට, නීතියේ විධානයට ගරු කරන පිරිසිදු රටක්, යනාදී ලෙස සෑම අතකින්ම සුපිරිසිදු රටක් බිහි කිරීමේ උදාර අපේක්ෂාව යතාර්ථයක් කිරීම දක්වා ව්‍යාප්ත වෙනවා.
මේ රට ප්‍රමිතිගත, අසිරිමත් රටක් බවට පත් කිරීම උදෙසා පක්ෂ පාට භේදයකින් තොරව කාටත් එකඟ විය හැකි වැඩසටහනක් ලෙසයි අපි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දුන්නේ. එම වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 6,500 ක් වෙන් කර තිබෙනවා.
9. රටම එකට ජාතික මෙහෙයුම
ගරු කථානායකතුමනි,
විෂ මත්ද්‍රව්‍ය උවදුර අපේ රට මුහුණදෙන අතිශය බරපතල වසංගතයක් බවත්, අප හිතනවාටත් වඩා ඇත්ත තත්ත්වය භයංකර බවත් සිහිපත් කරනවා. මේ මත්කුඩු වසංගතය කිසිවක් නොදන්නා කුඩා දරුවන්ගේ පාසැල් බෑගය පවා ආක්‍රමණය කරමින් සිටිනවා. ඒ වගේම, සෑම ගෙදරකම පාහේ දොරටුවලට තට්ටු කරමින් තිබෙනවා. තරුණ පරම්පරාව බරපතල ඛේදවාචකයකට තල්ලු කරනවා වගේම සමස්ත රටම සෘජුව සහ වක්‍රව මේ ව්‍යසනයේ දැඩි වින්දිතයින් හා ගොදුරු බවට පත්ව සිටිනවා. මේ තත්ත්වය සමාජයේ සෑම තරාතිරමකටම අනතුරුදායක පණිවිඩයක් නිකුත් කරනවා. පිරිසිදු, ලස්සන රටක් නිර්මාණය කිරීමට නම් මේ බිහිසුණු ව්‍යසනය තීරණාත්මක ලෙස අවසන් කළ යුතුයි කියා යෝජනා කරනවා. මත් උවදුර, සංවිධානාත්මක අපරාධ, රාජ්‍ය සේවයේ දූෂණයට ගොදුරු වූ ඇතැමුන්, දේශපාලන රශ්මිය එකට එක්වූ දම්වැල් පුරුක් එකින් එක ගලවා දමමින් සිටිනවා. ඒ භාරදූර, අත්‍යාවශ්‍ය කාර්යභාරය එක් පක්ෂයකට, එක් කණ්ඩායමකට පමණක් කළ හැකි හුදකලා සටනක් නොවේ. මේ උදාර ජාතික කාර්යභාරයට අපි සමස්ථ රටටම ආරාධනා කරනවා. ඒ අනුව අද වන විට විෂ මත්ද්‍රව්‍ය මුළු සමාජ දේහයෙන්ම තුරන් කිරීමේ ‘රටම එකට ජාතික මෙහෙයුම’ ජාතික කාර්යභාරය ආරම්භ කොට තිබෙනවා. එය කිසිදු අභියෝගයක් යටතේ නොනවතින, පසු නොබසින, අවසානය දක්වා සටන් කරන වැඩසටහනක් බවත් සිහිපත් කරනවා.
“රටම එකට ජාතික මෙහෙයුම” පිළිබඳ දැක්ම ඉදිරියට ගෙන යාමට පාදක වන සෑම අංශයක්ම ආවරණය වන පරිදි, මත්ද්‍රව්‍ය පාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 1,500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
විෂ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූ පුද්ගලයින් පුනරුප්ථාපන කිරීම සඳහා, පුනරුප්ථාපන කාර්යාංශය යටතේ පොලොන්නරුව, වැලිකන්ද-සේනාපුර ඇතුළු ස්ථාන 10 ක, ස්වේච්ඡා පුනරුප්ථාපන මධ්‍යස්ථාන 10 ක් පිහිටුවිමට යෝජනා කරනවා.
දැනට පවතින බන්ධනාගාර තුල ධාරිතාවය, රැඳවියන් 11,000 ක් සඳහා පමණක් ප්‍රමාණවත් වුවත්, දැනට එම බන්ධනාගාර තුල රැඳවියන් 35,000 ඉක්මවා සිටිනවා. හඳුනාගත් බන්ධනාගාර පුළුල් කිරීම සහ නිර්දේශිත ස්ථානවල ප්‍රතිස්ථාපනය කිරීම වැනි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමත්, බන්ධනාගාරවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත් පවත්නා නෛතික ක්‍රමවේදයට අනුකූල වෙමින්, රැඳවියන් ප්‍රජා වැඩසටහන් සඳහා යොමු කිරීමත්, එළිමහන් සිරකඳවුරුවල රඳවාගැනීමත් ආදී බන්ධනාගාර කාර්යයන් කාර්යක්ෂම කිරීම සඳහා ඇති හදිසි අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් රුපියල් මිලියන 2,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
10. ආබාධ සහිත ප්‍රජාව සඳහා සහාය දැක්වීම
රටපුරා විසිරී සිටින මිලියන 1.6 ක් පමණ වූ ආබාධ සහිත ප්‍රජාව, රටේ සමස්ත ජනගහනයෙන් සියයට 7 ක් වැනි ප්‍රමාණයක් නියෝජනය කරනවා. එම ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමේ ජාතික සම්මුතිය පිළිගත් රටක් වශයෙන්, එම ප්‍රජාවගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම රජයට පැවරී තිබෙනවා.
අස්වැසුම වැඩසටහන හරහා ආබාධ සහිත පුද්ගලයින් 140,000 ක් පමණ සඳහා රුපියල් 10,000 බැගින් වූ සහනාධාරයක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 19,000 ක ප්‍රතිපාදන දැනටමත් වෙන් කර තිබෙනවා.
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශ නියෝගවලට අදාළව පවතින ගැසට් පත්‍රය ද වර්තමානයට ගැලපෙන අයුරින් සකස් කිරීම ද, ප්‍රමුඛ කාර්යයක් සේ සලකා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන්‌ට හා පිරිවිතරයන්ට අනුව සංශෝධනය කිරීමට කටයුතු කරනවා.
ආබාධ සහිත ප්‍රජාව සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස්නැවතුම් පොළ, අධිකරණ, පොලිස් ස්ථාන වැනි පොදු ස්ථාන වෙත ප්‍රවේශ වීමේ සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,000 ක ප්‍රතිපාදන වෙන්කිරීමට යෝජනා කරනවා.
රජයේ සේවයේ සියයට 3 ක ප්‍රතිශතයක් ආබාධ සහිත ප්‍රජාව සඳහා වෙන් කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති නමුත් එය නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නැහැ. එබැවින් රජයේ සේවය සඳහා එම සියයට 3 ක ප්‍රතිශතය බඳවා ගැනීමට ඉදිරි සියලු රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්වල දී කටයුතු කරනවා.
ආබාධ සහිත ප්‍රජාව ජාතික ආර්ථිකයට දායක කර ගැනීම මුලික කරගෙන පෞද්ගලික සේවායෝජකයන් දිරිගැන්වීම හා සේවා නියුක්තිය වර්ධනය කිරීමේ අරමුණින් රැකියාවක නියැලිය හැකි මට්ටමක සිටින ආබාධ සහිත තැනැත්තන් පෞද්ගලික අංශයේ රැකියාවක් සඳහා යොදවා ගන්නේ නම්, රුපියල් 15,000 ක උපරිමයකට යටත්ව සේවකයන්ගේ වැටුපෙන් සියයට 50 ක වැටුප් සහනාධාරයක් මාස 24 ක් දක්වා රජය මඟින් ගෙවීමට අප යෝජනා කරනවා. මේ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
ඔටිසම් ඇතුළු ආබාධිත තත්ත්වයන් සහිත දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය හා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ දැනටමත් සිදු කරමින් පවතිනවා. එම කටයුතු ඉදිරි වසරේ දී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රුපියල් මිලියන 100 ක් සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ රුපියල් මිලියන 447 ක් වෙන් කර තිබෙනවා. එම කාර්යයන් තවදුරටත් පුළුල් කිරීම සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම වෙනුවෙන් අමතර රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමටත් යෝජනා කරනවා.
11. අධ්‍යාපනය හා පුහුණුව
ගරු කථානායකතුමනි,
පවුලකට තම දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත්, උපකරණ හා ලිපි ද්‍රව්‍ය සඳහා වන පිරිවැය අඩු කිරීමට සහ සෑම දරුවෙකුටම තම අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ලැබෙන බව සහතික කිරීම අරමුණු කරගනිමින්, 2025 වසරේ සිසුන් සඳහා ලබා දුන් රුපියල් 6,000 ක ලිපිද්‍රව්‍ය දීමනාව 2026 වසරේ දී ද අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි කටයුතු කරනවා. මේ සඳහා අස්වැසුම වැඩසටහන තුළින් රුපියල් මිලියන 9,000 ක් වෙන්කර තිබෙනවා.
අධ්‍යාපනය සියලු දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස සලකන බැවින් ආබාධ සහිත දරුවන්ට ද අන්තර්කරණ අධ්‍යාපනය තුළින් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරනවා. කෙසේ වෙතත්, ආබාධ සහිත දරුවන් අධ්‍යාපනය සඳහා යොමු වීම ඉතා අඩු මට්ටමක් පවතිනවා. මෙම දරුවන් පාසල් වෙත යොමු කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත දරුවන් සඳහා වෛද්‍ය නිර්දේශය මත එක් දරුවෙකුට රුපියල් 5,000 ක දිමනාවක් මාසිකව ලබා දීම සඳහා රුපියල් මිලියන 50 ක් මෙවර අයවැයෙන් වෙන් කිරීමට යෝජනා කරනවා.
පසුගිය දශකය තුල විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 43,000 ක් දක්වා ඉහළ නැංවුව ද, ඔවුන් සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම නිසා බරපතල ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. එබැවින් ශිෂ්‍යයන් සඳහා අවශ්‍ය නේවාසිකාගාර, ආපනශාලා සහ පොදු ඉගෙනුම් ප්‍රදේශ ආදී පොදු පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 2,500 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
පසුගිය කාලයේ දී නව වෛද්‍ය පීඨයන් ඇති කළ ද ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය මහාචාර්ය ඒකක, විද්‍යාගාර පහසුකම් නොමැති වීම නිසා ඇති වූ ගැටලු නිරාකරණය කරමින් සබරගමුව, මොරටුව, රුහුණ, ඌව වෙල්ලස්ස හා නැගෙනහිර විශ්ව විද්‍යාල ඇතුළු වෛද්‍ය පීඨ සංවර්ධනයට රුපියල් මිලියන 11,000 ක ප්‍රතිපාදන වෙන් වෙන් කර තිබෙනවා.
මීට අමතරව විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල පහසුකම් වැඩි දියුණු කිරීම හා පර්යේෂණ කටයුතු සඳහා රුපියල් මිලියන 11,500 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනාව අපගේ පළමු අයවැයේදීම රුපියල් 2,500 කින් වැඩි කළා. 2026 වසරේ දී ද ඉහළ යන ජීවන වියදමට සරිලන පරිදි, විශ්වවිද්‍යාල සිසුන් සඳහා මාසික මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා රුපියල් 2,500 කින් වැඩි කිරීමට යෝජනා කරනවා. ඒ අනුව මාසික මහපොළ දීමනාව රුපියල් 10,000 ක් දක්වාත් ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9,000 ක් දක්වාත් ඉහළ නංවනවා. මෙයට සමගාමීව “නිපුණතා සිසු දිරිය දීමනාව” ද රුපියල් 2,500 කින් වැඩි කරනවා.
ආබාධ සහිත දරුවන් උසස් අධ්‍යාපනයට යොමු වන්නේ ඉතාමත් අඩු ප්‍රතිශතයක්. ඔවුන් ද එම අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබනුයේ ආබාධ සහිත දරුවන් සඳහා සුවිශේෂ පහසුකම් ඉතා අඩු මට්ටමක පවතින පරිසරයක් තුලයි. එබැවින්, උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ආබාධ සහිත ශිෂ්‍යයින් දිරි ගැන්වීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල ශිෂ්‍යයින් සඳහා රුපියල් 5,000/- ක දීමනාවක් මාසිකව ලබා දීමට රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සඳහා ගෙවනු ලබන දීමනාව රුපියල් 2,500 කින් වැඩි කිරීමට යෝජනා කරනවා. එම වැඩිවන දීමනා ගෙවීමට දැනට වෙන්කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2,750 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
තෝරාගත් විශ්වවිද්‍යාලවල, විශේෂයෙන්ම අග්නිදිග, යාපනය (කිළිනොච්චි), වව්නියාව, නැගෙනහිර සහ සබරගමුව වැනි විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර ගොඩනැඟිලි ඉදිකිරීමට අයවැයෙන් රුපියල් මිලියන 1,500 ක් වෙන් කරනු ලබන අතර රට තුළ පැවති මූල්‍යමය අර්බුදය හේතුවෙන් නිසි පරිදි නඩත්තු කර නොමැති නේවාසිකාගාර ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ද මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මින් ඉදිරියට විශ්වවිද්‍යාල සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් සැපයීමේ දී අවට ප්‍රජාවගේ ගොඩනැඟිලි පහසුකම් යොදාගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා.
වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිකොට, නිසි ගරුත්වයක් සහිත රැකියා අවස්ථා සුලබ කිරීම ක්‍රියාත්මක වීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අපේක්ෂා කරනවා. ඒ අනුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පහසුකම් වැඩි දියුණු කිරීම, විෂය පාඨමාලා නවීකරණය කිරීම, ගුරුවරුන් හා උපදේශකයන් පුහුණු කිරීම වැනි කාර්යයන් අඛණ්ඩව සිදු කරනු ඇත. වෘත්තීය අධ්‍යාපන හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 9 ක්, විශිෂ්ටතා මධ්‍යස්ථාන (Center of Excellence) ලෙස වැඩි දියුණු කිරීම හා දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන 50 ක් වැඩි දියුණු කිරීම 2026 වසරේ ආරම්භ කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් ඇතුළුව සමස්ත වෘත්තීය පුහුණු අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් රුපියල් මිලියන 8,000 ක් වෙන් කර තිබෙනවා.
12. සංවර්ධිත රටක් වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න ජනතාවක්
ගරු කථානායකතුමනි,
උපත් අනුපාතය පහළයාම, වැඩිහිටි ජනගහනය ඉහළ යාම, බෝ නොවන රෝග ව්‍යාප්තිය ඉහළ යාම, පෝෂණ ගැටළු සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මානව සෞඛ්‍ය කෙරෙහි ඇති බලපෑම ඉහළ යමින් තිබෙනවා. ඒ වගේම නොමිලේ සපයන සෞඛ්‍ය සේවාවක් පවතිද්දී කාලාන්තරයක් තිස්සේ ජනතාවට තම සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් පුද්ගලිකව සැලකිය යුතු වියදම් දැරීමට සිදුවී තිබීම ගැටළුවක්. රජය ඉදිරි වසර කිහිපයේ දී මෙම ගැටළු සඳහා නවීන තාක්ෂණය ද උපයෝගී කරගනිමින් විසඳුම් ලබා දීමට කටයුතු කරනවා.
ප්‍රාථමික සෞඛ්‍ය සහ යහපැවැත්ම ඉලක්ක කරගත් සේවාවන් සඳහා ජනතාවට ඇති ප්‍රවේශ වැඩි කිරීමේ අරමුණ ඇතිව පුද්ගලයින් 5,000 - 10,000 අතර ප්‍රමාණයක් ආවරණය වන පරිදි “ආරෝග්‍යා” මධ්‍යස්ථාන ඇති කිරීමට යෝජනා කරනවා. 2026 වසරේ දී දැනට විවිධ සෞඛ්‍ය සේවාවන් ලබාදෙන අවශ්‍ය යටිතල පහසුකම් ඇති මාතෘ සහ ළමා සායන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වැනි ස්ථාන ආශ්‍රිතව මෙම සංකල්පය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 1,500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. එහි ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් මුළු ලංකාව පුරාම මෙම වැඩසටහන පළාත් සභා හා ඒකාබද්ධව ඉදිරි වසර 03 තුල ක්‍රියාත්මක කරනු ඇත.
මූලික රෝහල් (Base Hospitals) 82 ක් මඟින් ද්විතීයීක සෞඛ්‍ය සේවාවන් සපයනු ලබනවා. මෙම රෝහල් බහුතරයක පහසුකම් මැතකාලීනව සංවර්ධනය කර නොමැත. මෙම රෝහල් සංවර්ධනය කරමින් ද්විතීයීක සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 31,000 ක පස් අවුරුදු වැඩපිළිවෙලක පළමු වසරේ වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ හෘද ආශ්‍රිත රෝග (Cardiovascular diseases) සැලකිය යුතු මට්ටමක පවතින අතර සමස්ථ මරණවලින් සියයට 40 කට ආසන්න ප්‍රමාණයකට මෙය හේතු වෙනවා. එමෙන්ම එය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතිනවා. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය, ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම දියුණු හෘද රෝග සත්කාර මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වුවත් සීමිත ඉඩකඩ සහ සීමිත පහසුකම් හේතුවෙන් වැඩිවන රෝගීන් සංඛ්‍යාවට පහසුකම් සැලසීමට අපොහොසත් වී තිබෙනවා. මේ හේතුවෙන් දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනවල සිටීමට හෝ විශාල මුදලක් වැයකර පෞද්ගලික අංශයෙන් සේවාව ලබා ගැනීමට සිදුවී තිබෙනවා. මෙම ගැටළුවලට පිළියමක් ලෙස රුපියල් මිලියන 12,000 ක පිරිවැයක් දරමින් වැඩි ඉඩ පහසුකම් සහ නවීන උපාංගයන්ගෙන් සමන්විත මහල් 16 කින් යුතු ජාතික හෘද ඒකකය පිහිටුවීමට අවශ්‍ය මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කර තිබෙනවා.
තැලසීමියා රෝගීන්ගෙන් විශාල ප්‍රතිශතයක් කායික සංකුලතා සමූහයකින් හා උග්‍ර රක්තහීනතා තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා. වැඩි රෝගීන් ප්‍රතිශතයකට සිය ජිවිත කාලය පුරාම රුධිර පාරවිලයනය සිදු කිරීමට හෝ දිනපතා අතිරික්ත යකඩ ඉවත් කිරීමේ ප්‍රතිකාර ඇතුළු තවත් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙනවා. ඒ හේතුවෙන් මේ රෝගීන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වලට ද ප්‍රබල මානසික, සමාජීය හා ආර්ථික ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. මේ තත්ත්වය මත පළාත් සභා විසින් අඩු අදායම්ලාභී තැලසිමියා රෝගීන් සඳහා දැනට දෙනු ලබන රුපියල් 500 සිට රුපියල් 5000 දක්වා විවිධ ප්‍රමාණවලින් දීමනාවක් ගෙවීම් කරනු ලබනවා. අඩු ආදායම්ලාභී තැලසීමියා රෝගීන්ට පළාත් සභා විසින් ගෙවනු ලබන මුදල වෙනුවට වෛද්‍ය නිර්දේශ මත රුපියල් 10,000 ක් බැගින් මාසික දීමනාවක් ලබා දීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීම සහ දත්ත මත පදනම්ව සමස්ත සෞඛ්‍ය සේවය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රජාවිද්‍යා සහ සෞඛ්‍ය සමීක්ෂණ (DHS) තොරතුරු ඉතා වැදගත්. වසර පහ (5) කට වරක් පැවැත්විය යුතු මෙම සමීක්ෂණය 2016 වසරෙන් පසුව සිදුකර නැත. තිරසර සංවර්ධන දර්ශක සහ සාර්ව සෞඛ්‍ය ආවරණ දර්ශකයට අදාළ ජාතික සෞඛ්‍ය ප්‍රතිඵල වාර්තා කිරීම සඳහා මෙම තොරතුරු ඉතා වැදගත් වෙනවා. ඒ අනුව, මෙම සමීක්ෂණය පැවැත්වීම සඳහා රුපියල් මිලියන 570 ක් වෙන්කර තිබෙනවා.
ප්‍රාදේශීය ජනතාවට නිරන්තර සෞඛ්‍ය සේවා ලබාදීමටත්, රෝග පාලනයටත් සහ වෛද්‍ය පරිපාලන කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමටත් අපේක්ෂා කරනවා. ඒ අනුව, පහසුවෙන් ප්‍රවේශ විය හැකි, ආරක්ෂාකාරී, වඩා ඉඩකඩ සහිත, සුදුසු ස්ථානවල දඹුල්ල සහ දෙනියාය ප්‍රාදේශීය රෝහල් නැවත ස්ථානගත කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
13. තිරසාර සහ සැමට ප්‍රතිලාභ සැලසෙන සංවර්ධනයක්
ගරු කථානායකතුමනි,
ජනතාවගේ සැබෑ සංවර්ධන අවශ්‍යතා සහ අවස්ථා හඳුනා ගැනීමට සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම ප්‍රජා සංවර්ධන සභා පිහිටුවා තිබෙනවා. රජයේ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් ප්‍රජා සංවර්ධන සභා මඟින් හඳුනා ගන්නා සංවර්ධන අවශ්‍යතා අනුව සැලසුම් කිරීමට පියවර ගනු ලබනවා. සෑම අංශයකින්ම පොහොසත් ගමක් සහ සුරක්ෂිත ජීවිතයක් නිර්මාණය කිරීමේ වගකීම මේ ප්‍රජා සංවර්ධන සභා වෙත පැවරෙනවා. එමඟින් ජනතාව, සංවර්ධනයේ සැබෑ හිමිකරුවන් බවට පත් කිරීමට අප කටයුතු කරනවා.
ඒ අනුව, ප්‍රජා ශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ, ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සඳහා, ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වෙන් කර ඇති රුපියල් මිලියන 4,250 ක ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 20,750 ක් වෙන් කරමින් මුළු ප්‍රතිපාදන රුපියල් මිලියන 25,000 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.
14. වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම
වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වේතනයක් හිමි විය යුතුය යන්න අප රජයේ ස්ථාවරයයි. දැනට ගෙවනු ලබන දෛනික අවම වැටුප වන රුපියල් 1,350, 2026 ජනවාරි මස සිට රුපියල් 1,550 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. තවද, රුපියල් 1,550 ක වැටුපට අමතරව රජය විසින් පැමිණීමේ දෛනික දිරි දීමනාවක් ලෙස රුපියල් 200 ක් ගෙවීමට යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 5,000 ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා.
15. ප්‍රාදේශීය සංවර්ධනය
රටේ සංවර්ධන වැඩසටහන් සඳහා විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රජාව ද ඇතුළුව රටේ සමස්ථ පුරවැසියන්ම සජීවීව දායක කර ගැනීම රජයේ අපේක්ෂාවයි. සංවර්ධනය අතින් පසුගාමී ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හා සමාජ ජීවිතය ශක්තිමත් කිරීමට අප විසින් ප්‍රමුඛතාවයක් ලබා දී තිබෙනවා. ජාතික සංවර්ධනය සාර්ථකව ක්‍රියාත්මක වීමට නම්, පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් පරිපාලන කාර්යක්ෂමතාවය, සමාජ සුභසාධනය, මාර්ග ඇතුළු යටිතල පහසුකම් ඉහළ නැංවීම සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා පළාත් සභා හා පළාත් පාලන ආයතන වෙත පසුගිය වසරටත් වඩා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් අප වෙන් කරනවා.
ප්‍රාදේශීය පරිපාලන සංකීර්ණවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කරමින්, දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍යතාවයක්ව පවතින ඌව පළාත් සභාවේ පරිපාලන සංකීර්ණයේ දෙවන අදියර ඉදිකිරීමට යෝජනා කරනවා.
මොනරාගල සහ අම්පාර නගරවල සම්මන්ත්‍රණ, සංස්කෘතික හා විනෝදාශ්වාදය සම්බන්ධ ක්‍රියාකාරකම්, ප්‍රජා හමු වැනි පොදු කටයුතු සඳහා යෝග්‍ය ශ්‍රවණාගාර පහසුකම් නොමැතිවීම හේතුවෙන් එය ප්‍රජා සම්බන්ධතා ක්‍රියාකාරකම් සඳහා බාධාවක් වී ඇති බව අවධානයට යොමුවී තිබෙනවා. මේ සඳහා ශ්‍රවණාගාර පහසුකම් ද අන්තර්ගත වන පරිශ්‍රයක් ඉදි කිරීමේ මූලික වැඩ කටයුතු සඳහා රුපියල් මිලියන 200 ක් අදාළ පළාත් සභාවලට වෙන් කිරීමට යෝජනා කරනවා.
අඩක් නිම කර ඉදිකිරීම් නවතා ඇති නැගෙනහිර පළාතේ නින්දවූර් නගර සභා ගොඩනැගිල්ල වැනි සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණ කර, ඉදිකිරීම් අවසන් කිරීම සඳහා නිසි ශක්‍යතා අධ්‍යයනයකින් පසුව රුපියල් මිලියන 300 ක් ලබා දීමට යෝජනා කරනවා.
ග්‍රාමීය ප්‍රජාවන්ට දෛනික ගමනාගමනය, වෙළඳාම සහ සේවා ප්‍රවේශය පුළුල් කිරීම සඳහා, මීට පෙර ආරම්භ කර අතරමඟ නවතා තිබූ මාර්ග සහ පාලම් ඉදි කිරීම් යළි සක්‍රිය කිරීමටත්, ප්‍රධාන මංසන්ධි පුළුල් කිරීමටත් කටයුතු කරනවා. ඒ අනුව, පිළිවෙළින් ග්‍රාමීය මාර්ග සඳහා රුපියල් මිලියන 24,000 ක් ද ග්‍රාමීය පාලම් සඳහා රුපියල් මිලියන 2,500 ක් ද වෙන් කර තිබෙනවා.
16. රිදී ආර්ථිකයේ ආයෝජනය කිරීම
ශ්‍රී ලංකාව වේගවත් ජන විකාශන සංක්‍රාන්තියකට පත්වීම හේතුවෙන් වයස අවුරුදු 60 සහ ඊට වැඩි ජනගහනයේ අනුපාතය තරුණ ජනගහනයට වඩා වේගයෙන් වර්ධනය වෙනවා. ඔවුන් සමාජයේ සක්‍රීය පාර්ශවකරුවන් බවට පත්කර ගැනීම වෙනුවෙන් ප්‍රතිපත්තියක් සැකසීම සඳහා රුපියල් මිලියන 10 ක ප්‍රතිපාදන, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයට වෙන් කිරීමට යෝජනා කරනවා.
17. කාන්තාවන් සවිබල ගැන්වීම: පෝෂණය, ආරක්ෂාව සහ ආර්ථික අවස්ථා
2026 වසරේ දී, ත්‍රිපෝෂ වැඩසටහන සහ ගැබිනි හා කිරි දෙන මව්වරුන් සඳහා වන මාසික පෝෂණ ආධාර වැඩසටහන වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන අතර, වඩා ශක්තිමත් කරන ලද ප්‍රජා සෞඛ්‍ය ජාලයන් ඔස්සේ මෙම වැඩසටහන්වල ආවරණය පුළුල් කිරීමටත්, බෙදාහැරීම ශක්තිමත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
අපේ රටේ ශ්‍රම බලකායට කාන්තා ප්‍රජාව විසින් දක්වන සහයෝගය ඉතා වැදගත් වනවා. කෙසේ නමුත්, කාන්තා ශ්‍රමබලකා සහාභාගීත්ව අනුපාතය සියයට 32 ක් වැනි අඩු මට්ටමක පවතිනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් දිවයින පුරා වෙසෙන කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා ඔවුන් විසින් සිදු කරනු ලබන ස්වයං රැකියා, ගෘහස්ත කර්මාන්ත ආදිය නඟා සිටුවීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 240 ක් වෙන් කර තිබෙනවා. මේ යටතේ කාන්තා ව්‍යවසායකයින් හට නව ව්‍යාපාර ආරම්භ කිරීමට, ස්වයංරැකියා කටයුතු ශක්තිමත් කර ගැනීමට, ආධාර ලබා දීමට කටයුතු කරනවා. මීට අමතරව, කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කරගත් වැඩසටහන් සඳහා අමතර රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
18. විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා සහන ලබාදීම
අපගේ ඉහළම ශුද්ධ විදේශ විනිමය මූලාශ්‍රය වන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයින් විසින් සිදුකරනු ලබන ප්‍රේෂණයි. එම පිරිස විසින් අප රටේ සංවර්ධනයට දක්වන දායකත්වය අගයමින් විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනවා. එය පොලී ප්‍රතිපූර්ණය ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් භාවිතයෙන් සිදු කිරීමට යෝජනා කරනවා.
එ් වගේම විදේශගත ශ්‍රමිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. මූලික වැඩකටයුතු කඩිනමින් සිදුකර 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදුකරනවා.
මෙම වැඩසටහන් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල්වලින් රුපියල් මිලියන 2,000 ක් ආරම්භ පියවරේ දී වෙන්කරනු ලබනවා.
19. අලි-මිනිස් ගැටුම් අවම කිරීම
සෑම වසරකම අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් ජීවිත 80 ක් පමණ සහ අලි ඇතුන් 260 කට අධික සංඛ්‍යාවක් රටට අහිමි වෙනවා. මේ අතරින් වැඩිම සිදුවීම් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවලයි. ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජාතික ආර්ථිකයට ද බරපතල තර්ජනයක් ඇති කරනවා.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අත්‍යවශ්‍ය වාහන 294 ක් සහ නවීන සන්නිවේදන උපකරණ ලබා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා.
මේ වන විට ඉදිකර අවසන්ව එහෙත් අබලන්ව, බිඳ වැටී ඇති, අඩක් ඉදිකර ඇති හෝ ඉදිකිරීමට සැලසුම් කර ඇති, අත්‍යවශ්‍ය බවට හඳුනාගත් සියලුම ප්‍රදේශ තුළ සියලු විදුලි වැටවල ඉදිකිරීම් අවසන් කිරීම සඳහා දැනට වෙන්කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන 300 ක් වෙන් කර තිබෙනවා.
අලි වැට අධීක්ෂණය හා අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා විශේෂ පුහුණවක් ලබා දී සිවිල් ආරක්ෂක සේවාවේ නිලධාරීන් 5,000 ක් වනජීවී දෙපාර්තමේන්තුව වෙත ස්ථීර පදනමින් අනුයුක්ත කිරීමට ද යෝජනා කරනවා.
විදුලි වැට නිරීක්ෂණ හා නඩත්තු කටයුතු සඳහා අනුයුක්ත කරනු ලබන සිවිල් ආරක්ෂක නිලධාරීන්ට ආහාර දීමනා හා උපකරණ නඩත්තු කටයුතු සඳහා අදාළ ඉන්ධන දීමනා ලබා දීම සඳහා රුපියල් මිලියන 375 ක් වෙන් කර තිබෙනවා.
අලි ඇතුන් සඳහා ආහාර සහ ජලය ලබා දීම තහවුරු කිරීම සඳහා තණබිම් සහ ජල මූලාශ්‍ර කළමනාකරණ කටයුතු සඳහා, රුපියල් මිලියන 80 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
අලි-මිනිස් ගැටුම පාලනය කිරීමට විදුලි වැට ඉදිකිරීම් සම්පූර්ණ කිරීම ඇතුළු අනෙකුත් අදාළ කාර්යයන් සිදු කිරීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 1,000 ක අතිරේක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කරනවා.
මෙම අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා විදුලි වැටවල් ඉදිකිරීම් වැනි කාර්යයන්වලින් ඔබ්බට ගොස් දිගුකාලීන, පර්යේෂණ පාදක විසඳුම් සොයා ගැනීම සඳහා රුපියල් මිලියන 10 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
20. නාට්‍ය හා රංග කලාව සහ සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීම
ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය, සංහිඳියාව සහ සියලු ප්‍රජාව ඇතුළත් ජාතික අනන්‍යතාවය ඉදිරියට ගෙන යාම සඳහා අර්ථවත් වේදිකාවක් සකස් කර දී තිබෙනවා. උරුමයට සහ විවිධත්වයට ගරු කරන දයානුකම්පිත සමාජයක් ගොඩනැඟීමේ දී අධ්‍යාපනය, සංස්කෘතිය සහ අන්තර් ප්‍රජා සංවාදයේ වැදගත්කම රජයේ ප්‍රතිපත්ති රාමුව තුළින් අවධාරණය කෙරෙනවා.
සංස්කෘතීන් පොහොසත් කිරීමේ ක්ෂේත්‍රයක් ලෙස නාට්‍ය හා රංග කලාව හා සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
21. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය
රාජ්‍ය මාධ්‍ය ආයතනවල වැරදි කළමනාකරණය හේතුවෙන් ඒවායේ පරිපාලනය බිඳවැටී කාර්ය මණ්ඩලයේ වැටුප් ගෙවීමට පවා අපහසුවන තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒවායේ එදිනෙදා මෙහෙයුම් කටයුතු සඳහා රජය මත නිරන්තරයෙන් යැපෙන වාතාවරණයක් උදාකර තියෙනවා.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මෙම ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා පත් කර ඒවා නැවත ගොඩනැඟීමේ උත්සාහය ආරම්භ කර තිබෙනවා. මෙම ආයතන යථා තත්ත්වයට පත් වන තුරු රජය ඔවුන්ට සහය විය යුතු බව අප විශ්වාස කරනවා. එබැවින්, 2026 අයවැයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය යන ආයතනවල මෙහෙයුම් හා අත්‍යවශ්‍ය මූලධන වියදම් සඳහා රජයේ සහය ලබා දීමට කටයුතු කරනවා.
නවීන තාක්ෂණයට සමගාමීව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන දියුණුවට ගැලපෙන ලෙස ජනමාධ්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට අවශ්‍ය සහාය ලබා දීම වෙනුවෙන් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට හා ජනමාධ්‍යකරණයේ දී අවශ්‍ය වන තාක්ෂණික ප්‍රවේශය සඳහා සහයක් ලබා දීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
22. ක්‍රීඩා සංස්කෘතිය වර්ධනය කිරීම
ක්‍රීඩා සංස්කෘතියක් වර්ධනය කිරීමෙන් සමාජය තුල සෞඛ්‍ය සම්පන්න, නිරෝගිමත්, සහයෝගිමත්, “ජවසම්පන්න පුරවැසියෙක් - ජයග්‍රාහී ජනතාවක්” බිහි වෙනවා. ඒ් හෙයින්, ක්‍රීඩා පහසුකම් සඳහා අවස්ථාවන් පුළුල් කිරීම මඟින් අපේ ළමා පරපුර මෙන්ම තරුණ ප්‍රජාව අතර ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම සඳහා රුපියල් මිලියන 1,800 ක් වෙන් කර තිබෙනවා. ඒ සඳහා තවත් අමතරව රුපියල් මිලියන 800 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා පහසුකම් සැළසීමටත්, දෙවන ස්ථරයේ ක්‍රීඩා සංචිත, ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි, ජාතික ක්‍රීඩා තරඟ, උසස් දක්ෂතා සහිත ක්‍රීඩා සංචිත සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 4,000 කට පමණ පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 1,163 ක් වෙන් කර තිබෙනවා.
ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය යටතේ මන්නාරම හා වවුනියා දිස්ත්‍රික්කවල ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 225 ක් ද, කල්මුනේ ක්‍රීඩාගාරය සාදා නිම කිරීම සඳහා රුපියල් මිලියන 150 ක් ද මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. ඒ සමඟම උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 150 ක් ද වෙන් කර තිබෙනවා.
23. ආර්ථික ස්වෛරීත්වය සහ ආහාර සුරක්ෂිතතාවය
23.1 කෘෂිකර්ම හා පශු සම්පත් ක්ෂේත්‍රය
ගරු කතානායකතුමනි,
වී සඳහා සහතික මිල තීරණය කිරීමේ දී හොඳින් වියළුණු වී සඳහා ඉහළ මිලක් ලබා දෙන බැවින් නවීන තාක්ෂණය සහිත වී වියලුම් යන්ත්‍ර අදාළ ගොවි සමාගම් හෝ සමුපකාර සමිති වෙත ලබාදීමට අපේක්ෂා කෙරෙනවා. යෝජිත මෙම ව්‍යාපෘතිය “නිෂ්පාදන සමූපකාර සමිති ගොඩනැඟීම සහ තරුණ ව්‍යාවසායකයින් නිර්මාණය” වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට අමතරව, මෙම ව්‍යාපෘතිය සඳහා තවදුරටත් රුපියල් මිලියන 500 ක් ලබා දීමට යෝජනා කරනවා.
ලොකු ළූනු, අර්තාපල් සහ බඩ ඉරිඟු ඇතුළු ආහාර භෝග නිෂ්පාදනවල මිල උච්චාවචනය අවම කර ගැනීම සඳහා සතොස මඟින් සපයන සේවාවට අදාළ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට හා ගබඩාකරණයේ පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1,000 ක් ලබාදීමට යෝජනා කරනවා.
මේ වන විට රුපියල් මිලියන 500 කට අධික මුදලක් වැයකර ඉදි කරන ලද නමුත් විවිධ තාක්ෂණික ගැටළු හේතුවෙන් ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතින දඹුල්ල ශීතාගාර කෘෂි ගබඩාවේ ඵලදායීව යොදා ගත යුතුයි. මෙම ශීතාගාර ගබඩාව මෙට්‍රික් ටොන් 5,000 ක පමණ ධාරිතාවකින් යුක්ත වෙනවා. මෙම ගබඩාව භාවිතයට ගැනීමට බාධාවක්ව පවතින ඉදිකිරීම් අවසන් කර ගැනීමටත්, ඒ සඳහා සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රුපියල් මිලියන 250 ක් මෙවර අයවැය මඟින් ලබා දීමට යෝජනා කරනවා. එමෙන්ම, මෙම ශීතාගාර ගබඩාවේ මෙහෙයුම් සහ කළමනාකරණය සම්බන්ධයෙන් වඩාත් උචිත ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වනවා.
නව තාක්ෂණික ක්‍රම භාවිතයෙන්, දේශගුණ සුහුරු වාරි තාක්ෂණය යොදාගෙන, මාතලේ, මහනුවර හා වියලි කලාපයේ ශක්‍යතාවයක් සහිත ප්‍රදේශයන්හි කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරනවා. ඒ වෙනුවෙන්, හඳුනාගත් වාරිමාර්ග ක්‍රම 400 ක් සඳහා රුපියල් මිලියන 4,000 ක් මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ලබා දීමට යෝජනා කරන අතර, ඉන් වාරිමාර්ග ක්‍රම 100 ක් 2026 වසරේ දී ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
වර්තමාන දේශීය කිරි නිෂ්පාදනය රටෙහි කිරි අවශ්‍යතාවයෙන් සියයට 40 ක් පමණ සපුරාලීම සඳහා ප්‍රමාණවත් වන අතර, කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සඳහා වාර්ෂිකව සැලකිය යුත් විදේශ විනිමය ප්‍රමාණයක් වැය වෙනවා. කිරිවලින් ස්වයංපෝෂිත වීම සඳහා වසරකට දළ වශයෙන් කිරි ලීටර් මිලියන 1,200 ක් නිෂ්පාදනය කළ යුතුයි. 2030 වසර වනවිට දේශීය කිරි අවශ්‍යතාවයෙන් සියයට 75 ක් සපුරාලීමේ ඉලක්කය වෙත ළඟා වීම සඳහා කිරි නිෂ්පාදන ජාතික වැඩසටහන සැලසුම් කර තිබෙනවා.
මේ සඳහා එක් එක් පශු වෛද්‍ය කොට්ඨාශය මුලික කර ගනිමින් ගොවීන් සංවිධානගත කිරීම තුලින් කිරි ගොවිපොළ සතුන්ගේ අභිජනනය, පෝෂණය හා සෞඛ්‍යය ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා විභවතාවයක් සහිත පශු වෛද්‍ය කොට්ඨාස මුල් කර ගනිමින් ගොවීන් සංවිධාන ගත කොට දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට යෝජනා කරනවා. මෙම ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය ඇතුළු මූලික කටයුතු සඳහා අවශ්‍ය රුපියල් මිලියන 1,000 ක ප්‍රතිපාදන “සුළු හා මධ්‍ය පරිමාණ පශු සම්පත් සංවර්ධන වැඩසටහන” යටතේ වෙන් කිරීමට යෝජනා කරනවා.
දේශීය සත්ත්ව නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පශු ක්ෂේත්‍රය තුළ උසස් ආරයේ අභිජනන සතුන් වැඩි කිරීම මූලික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන ඇති අතර, විශේෂයෙන්ම මෙය කිරි ගව සහ සූකර යන ක්ෂේත්‍රවල වඩාත් ප්‍රමුඛව කැපී පෙනෙන අවශ්‍යතාවයක්. එමනිසා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් තෝරාගත් ගොවිපළ කිහිපයක, නිසි අධ්‍යයනයකින් අනතුරුව තෝරා ගත් ක්‍රමවේදයක් හරහා උසස් ආරයේ කිරි ගවයින් සහ සූකර ප්‍රභේද කිහිපයකට අයත් අභිජනන ඒකක වැඩිදියුණු කිරීමට හා පෝෂ්‍යය තෘණ වගා කිරීමට මෙවර අයවැයෙන් ප්‍රමුඛතාවය ලබා දෙනු ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1,000 ක වෙන් කිරීමට යෝජනා කරනවා.
මිල්කො (ප්‍රයිවට්) ලිමිටඩ් හි බඩල්ගම නව කිරි කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම ඉතා වැදගත්. 2015 වසරේ දී ආරම්භ කරන ලද බඩල්ගම කිරි කර්මාන්ත ශාලාව මහජන ධනය දැනටමත් රුපියල් මිලියන 18,000 ක් පමණ වැයකර, අතරමඟ නවතා දමා තිබෙනවා. 2022 වසරේ සිට අත්හැර දමා ඇති, මෙම ව්‍යාපෘතිය, ඉදිරියේ දී ජාතික ආර්ථිකයට ඵලදායී ලෙස දායක කරගැනීම සඳහා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දේශීය කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සහ කිරි සැකසුම්කරණය වඩාත් උසස් තත්ත්වයෙන් සිදු කිරීම සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, කර්මාන්තශාලාවේ ඉතිරි වැඩ අවසන් කිරීම සඳහා අවශ්‍ය වන මූලික කටයුතුවලට, විශේෂයෙන්ම යන්ත්‍රෝපකරණ හා ගොඩනැඟිලිවල නිවැරදි කිරීම් (Rectification) සහ කර්මාන්ත ශාලාවේ ප්‍රතිසංස්කරණයන් සිදු කර කර්මාන්තශාලාවේ නිෂ්පාදනය ආරම්භ කිරීම පිණිස මෙවර අයවැය තුලින් රුපියල් මිලියන 3,000 ක් ලබා දීමට යෝජනා කරනවා.
මෙහි වැඩකටයුතු කඩිනමින් අවසන් කර, දැනට නාරාහේන්පිට ඇති කිරි කර්මාන්තශාලාව මෙම ස්ථානයට ගෙන යාමට යෝජනා කරනවා.
ගරු කථානායකතුමනි, මෙහි සංවර්ධනයට මුදල් වෙන් කරන අතරම මේ තුලින් සිදු වී ඇති මහජන මුදල් දූෂණය හා නාස්තිය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
23.2 පොල් වගාව සංවර්ධනය කිරීම
ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2,800 - 3,000 ක් පමණ වන අතර, එයින් සියයට 70 ක් පමණ ගෘහස්ත පරිභෝජනය සඳහා ද ඉතිරිය පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය සඳහා ද යොදා ගනු ලබනවා. කෙසේ වෙතත්, වර්තමාන වාර්ෂික පොල් නිෂ්පාදනය ගෘහස්ත පරිභෝජනය සපුරාලීමට ප්‍රමාණවත් වුව ද, කර්මාන්ත ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් නොවේ.
එමනිසා, පොල් නිෂ්පාදනය වැඩි කිරීමේ දිගුකාලීන උපාය මාර්ගයක් ලෙස පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත දැනටමත් ස්ථාපිත උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් මිලියන 600 ක් වෙන් කර තිබෙනවා.
වාණිජ පොල් වගාව තුළ පොල් ඉඩම් හිමියන් පොහොර භාවිතය හා තෙතමන සංරක්ෂණ ක්‍රම තරමක් දුරට සාර්ථකව අනුගමනය කළ ද, අක්කර 5 ට වඩා අඩු පොල් ඉඩම් හිමියන් ඒ කෙරෙහි දක්වන උනන්දුව සාපේක්ෂව අඩු මට්ටමක පවතිනවා. මේ වන විට පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් පොල් වගා කර ඇති ඉඩම් අක්කර 4,000 ක් පමණ ආවරණය වන පරිදි පාංශු හා තෙතමන සංරක්ෂණය සඳහා ආවරණ භාවිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ ද, පොල් වගාවේ අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීම සඳහා එය තවදුරටත් ව්‍යාප්ත කළ යුතුව තිබෙනවා.
එබැවින් පොල් ක්ෂේත්‍රයේ මධ්‍යකාලීන ඵලදායිතා ඉලක්ක සපුරාගැනීම තුළින් අපේක්ෂිත අපනයන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා දැනටමත් පොල් වගා කර ඇති ඇස්තමේන්තුගත ඉඩම් අක්කර 447,000 ක් පමණ වන අක්කර 5 ට වඩා අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීම සඳහා පොල් වගාකරුවන් පෙළඹවීමට විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2,500 ක් වෙන්කිරීමට යෝජනා කරනවා.
24. ධීවර කර්මාන්තය
24.1 ධීවර වරායන්හි යටිතල පහසුකම් සංවර්ධනය
ආරක්ෂිත හා ගුණාත්මක ධීවර යාත්‍රා මෙහෙයුම් සඳහා අවශ්‍ය සහය සැපයීම, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම හා පසු අස්වනු හානිය අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් බේරුවල, අම්බලන්ගොඩ, කුඩාවැල්ල, නිල්වැල්ල, ඇතුළු තෝරාගත් ධීවර වරායන්වල පවතින යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය, පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කර තිබෙනවා.
තවද, ධීවර වරායන්හි අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දැනට ලබාදී ඇති ප්‍රතිපාදනවලට අමතරව රුපියල් මිලියන 1,000 ක් ලබාදීමට යෝජනා කරනවා.
24.2 ධීවරයන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට නවීන තාක්ෂණය ලබාදීම
වැඩිදියුණු කළ සේවාවන් සැපයීම, ආරක්ෂිත නාවික ගමනාගමනය සහතික කිරීම සහ වරායේ තදබදය අඩු කිරීම ඉලක්ක කරමින් වාලච්චේන ධීවර වරාය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරනවා. එතුළින්, වාලච්චේන ධීවර වරායෙහි මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගනිමින් ධීවර ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා රුපියල් මිලියන 350 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
ධීවරයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ධීවරයින් වෙත ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. මසුන් ගැවසෙන ස්ථාන පහසුවෙන් හඳුනා ගැනීමට ලෝකයේ බොහෝ රටවල් නවීන තාක්ෂණය යොදා ගන්නවා. එම තාක්ෂණය අපගේ ධීවරයින් වෙත ලබා දීම කර්මාන්තයේ උන්නතියට හේතු වෙනවා.
24.3 මත්ස්‍ය අස්වැන්න ඉහළ නැංවීම
පසු අස්වනු හානි අවම කිරීම හරහා ගුණාත්මක සහ ප්‍රමාණාත්මක මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීම මඟින් ධීවර ප්‍රජාවේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා තොටුපොළවල යටිතල පසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කර තිබෙනවා.
චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් මත්ස්‍ය බිම් හඳුනා ගැනීම සහ අදාළ තොරතුරු ධීවර ප්‍රජාව වෙත කාර්යක්ෂමව සන්නිවේදනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
මත්ස්‍ය බීජ සැපයුම වැඩි කිරීම සහ ගුණාත්මක මිරිදිය මත්ස්‍යයන් ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමට ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 100 ක් වෙන් කර තිබෙනවා.
නිල ආර්ථිකය ප්‍රවර්ධනය
ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය ජාතික සමෘද්ධිය සහ තිරසර සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම, තිරසර ආර්ථික වර්ධනයක් සඳහා අපගේ සමුද්‍රීය හා වෙරළ ආශ්‍රිත සම්පත් උපයෝගී කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් සපයන අතර නීල ආර්ථික ආයෝජන සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ඉස්මතු වීමට ද පිටිවහලක් වෙනවා.
සමුද්‍රීය හා වෙරළ ආශ්‍රිත ධීවර කර්මාන්තය, සමුද්‍රීය ජලජීවී වගාව, පරිසර සංචාරක ව්‍යාපාරය, කිමිදීම ආශ්‍රිත ක්‍රියාකාරකම්, සුවිශේෂී ආර්ථික කලාපයේ (EEZ) සමුද්‍ර ජෛව තාක්‍ෂණය සහ මුහුදු පත්ල සම්පත් සංවර්ධනය කිරීම මඟින් අත්කරගත හැකි ආර්ථිකමය ප්‍රතිලාභ පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමට රුපියල් මිලියන 100 ක් වෙන් කර තිබෙනවා.
25. වාරිකර්මාන්තය හා ජල සැපයුම්
25.1 වාරිකර්මාන්තය
වාරිකර්මාන්තය නඟා සිටුවීම සඳහා රුපියල් මිලියන 91,700 ක් වෙන් කර තිබෙනවා. තාවකාලිකව නවතා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම මඟින් දේශීය කෘෂි නිෂ්පාදනය වැඩි කිරීම, ප්‍රාදේශීය සංවර්ධනය, රැකියා උත්පාදනය වැනි රජයේ ප්‍රමුඛ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒ අනුව, මුන්දෙනි ආරු ව්‍යාපෘතියේ මූලික වැඩ කටයුතු ආරම්භ කරමින් ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කිරීම සඳහා මෙවර අයවැය මඟින් රුපියල් මිලියන 50 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
එමෙන්ම තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සහ කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම වෙනුවෙන් සංවර්ධන පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම, උතුරු පළාතේ යෝධ වැව ආශ්‍රිත නව ඉඩම් කෘෂිකර්මාන්තයට යෙදවීම, පවතින ඉඩම්වල ඵලදායීතාව වැඩි කිරීම මෙන්ම පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීම සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර ගැටළුවට විසඳුමක් ලෙස දැනට ආරම්භ කර ඇති පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා රුපියල් මිලියන 5,000 ක් වෙන් කර තිබෙනවා.
සේනානායක සමුද්‍රයේ සොරොව්ව ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම ඇතුළුව, ගල්ඔය, රාජාංගනය, හුරුළුවැව, මින්නේරිය වැව ඇතුළු අනෙකුත් ඇල වේලි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 6,500 ක් වෙන්කර තිබෙනවා.
කුඩා වැව්, ඇළ මාර්ග සහ එල්ලංගා පද්ධති වැඩිදියුණු කිරීම හා පුනරුත්ථාපනය වෙනුවෙන් රුපියල් මිලියන 8,350 ක ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ඒ යටතේ වැව් 650 ක් සහ ඇළ මාර්ග කිලෝමීටර් 350 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කරනවා.
25.2 නාගරික ගංවතුර පාලනය
නාගරික ගංවතුර පාලනය සඳහා තිරසර විසඳුමක අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර එ් සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන මෙන්ම දිගුකාලීන වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම ගංවතුර නිසා පීඩා විඳින කොළඹ, ගම්පහ, ගාල්ල, අම්පාර, මන්නාරම, පුත්තලම ආදී නගර ආශ්‍රිතව නිතර ඇතිවන ගංවතුර තර්ජනයට කඩිනමින් විසඳුම් ලබා දිය යුතුයි. මේ සඳහා කෙටිකාලීන හා මධ්‍යකාලීන විසඳුමක් ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ පළාත් පාලන ආයතන සමඟ එක්ව ඒකාබද්ධ සැලැස්මක් සකස් එය මධ්‍යකාලීන අයවැය රාමුව තුල ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මෙම සැලැස්මක සැකසීම හා ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය මඟින් රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
ගං වතුර කළමනාකරණය සඳහා විධිමත් සැලැස්මක් නොමැති වීමෙන් රත්නපුර, කළුතර, මාතර ජනතාව ඉමහත් දුෂ්කරතාවයනට පත් වී සිටිනවා. එබැවින්, ගිං සහ කළු ගංගාවල, ගංවතුර කළමනාකරණය පිළිබඳව විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් මතු වී තිබෙනවා. යෝජිත මෙම වැඩපිළිවෙළ මඟින් වලවේ ද්‍රෝණියට අතිරික්ත ජල ප්‍රමාණයක් ලබා දීමට අමතරව දැනට රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල පවතින ගංවතුර ගැටළුවට ද සුදුසු විසඳුමක් ලබාදීමට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මෙම අධ්‍යයනයන් සිදු කිරීම සඳහා රුපියල් මිලියන 500 ක වෙන් කිරීමට යෝජනා කරනවා.
මාතර නිල්වලා ගඟ හරහා 2022 වසරේ දී නිම කරන ලද ලවණ බාධකයක් හේතුවෙන් මේ වන විට ගැටළු රාශියක් පැන නැඟී තිබෙනවා. එය මෙය ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපායට මෙන්ම කෘෂිකර්මාන්තයේ යෙදෙන ජනතාවට ද විශාල බලපෑමක් ඇති කරනවා. මේ සම්බන්ධයෙන් මේ වන විටත් අධ්‍යයනයක් සිදුකෙරෙමින් පවතිනවා. එම අධ්‍යනයේ සොයාගැනීම් මත විසඳුම් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 1,000 ක් වෙන් කර තිබෙනවා. එමෙන්ම මෙම ගංවතුර උවදුර නිසා වගා හානි වූ සහ වගා කිරීමට නොහැකි වූ කුඹුරු ඉඩම් සඳහා ගෙවිය යුතු වන්දි මුදල් කඩිනමින් ගෙවීමට රුපියල් මිලියන 1,200 ක් වෙන් කර තිබෙනවා.
කළු ගං මෝය ආශ්‍රිත වෙරළ ඛාදනය වැලක්වීම, කලපුව අවහිර වීම හා අවසාදිත තැන්පත් වීම නිසා අවහිරව තිබු ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම හා කළුතර වෙරළ ආශ්‍රිත සංචාරක කර්මාන්තය නගා සිටුවීමට කඩිනම් ප්‍රයෝගික ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම අවම කිරීම සඳහා කිරාන් පාලම සහ පොන්ඩුකාල් චේනයි පාලම ඉදිකිරිම සඳහා අවශ්‍ය වන මූලික අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙත වෙන් කිරීමට යෝජනා කරනවා.
25.3 පානීය ජල සැපයුම ඉහළ නැංවීම
පානීය ජල සැපයුමෙන් මේ වනවිට සපුරා ඇත්තේ අවශ්‍යතාවයෙන් සියයට 62 ක ප්‍රමාණයක් පමණයි. පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට මාර්ගයන් නොමැති වීම ජනතාව මුහුණ දෙන ප්‍රධන ගැටළුවක් බවට පත්ව තිබෙනවා. නව ජල සැපයුම් ආරම්භ කිරීමට හා දැනට ආරම්භ කර තබෙන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරනවා. ගම්පහ, කළුතර, අනුරාධපුර, මහනුවර, යාපනය, කිලිනොච්චිය හා කුරුණෑගල වැනි දිස්ත්‍රික්ක ආවරණය කරමින් පානීය ජලසම්පාදන ව්‍යාපෘති මෙන්ම ප්‍රජා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 85,700 ක් වෙන් කර තිබෙනවා. තවද, පානීය ජල සැපයුම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පෞද්ගලික අංශය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ, නාගරික පානීය ජල ඉල්ලුම සපුරාලීමට අඹතලේ නව ජල සැපයුම් පද්ධතියක් ඉදිකිරීමටත්, කොලොන්නාව සහ නුගේගොඩ-ජුබිලි කණුව යන ප්‍රදේශ ආවරණය කෙරෙන නල ජල පද්ධතිය යාවත්කාලීන කර නව ජල සැපයුම් ලබාදීමටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල හිඟය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම හා නිෂ්පාදන ආර්ථිකය ඉලක්ක කොටගත් කර්මාන්ත වැඩිදියුණු කිරීම සඳහා දායක වන නව ජල ව්‍යාපෘතියක් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඉදිකිරීමටත්, රුපියල් මිලියන 1,000 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
හම්බන්තොට සංවර්ධනය සඳහා 2040 වන විට දෛනික ජල අවශ්‍යතාව ඝන මීටර් 300,000 පමණ වන බව ඇස්තමේන්තු ගත කර ඇත. දැනට මෙම ප්‍රදේශයේ දෛනික ජල සැපයුම ඝන මීටර් 90,000 ක් පමණ වන අතර එම ඉල්ලුම ලුණුගම්වෙහෙර, වළවේ ගඟ, කිරිඳි ඔය, කච්චිගල් ආර, කිරම ඔය, ඌරු බොක්ක ඔය ආදී ජල මූලාශ්‍ර හරහා සපයනු ලබනවා. දැනට සිදු කර ඇති මූලික අධ්‍යයනයන්ට අනුව මෙම ජල මූලාශ්‍ර ආශ්‍රිතව යම් ආයෝජනයක් සිදු කර සංවර්ධනය කිරීම තුළින් දිනකට අමතර ජලය ඝන මීටර් 100,000 ක් පමණ කඩිනමින් ලබා ගත හැකි අතර එය ඉදිරියේ දී ඇති වන ජල ඉල්ලුමට පිටිවහලක් වෙනවා. එබැවින් මේ සම්බන්ධයෙන් පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර සංවර්ධන අවශ්‍යතා කඩිනමින් හඳුනා ගෙන ඒවා ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා.
26. තිරසාර යටිතල පහසුකම් සංවර්ධනය
26.1 පොදු ප්‍රවාහනය
වර්තමාන පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය විවිධ ගැටළු රැසකට මුහුණ දී තිබෙනවා. සමස්ත ප්‍රවාහන පද්ධතියේ ඇති අකාර්යක්ෂම බව, ප්‍රමාණවත් පහසුකම් නොමැති කම, ප්‍රවාහන පද්ධතියේ ඇති අනාරක්ෂිත බව, මගී ජනතාව තවදුරටත් පොදු ප්‍රවාහනයෙන් ඈත් වීමට හේතු වෙනවා. “මහජන ප්‍රවාහන සේවාවක් - කාර්යක්ෂම ගමනාන්තයක්” යන රජයේ දිගුකාලීන දැක්ම ළඟා කර ගන්න කාර්යක්ෂම හා තිරසාර මගී ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් වෙනවා. ඒ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 67,200 ක් වෙන් කර තිබෙනවා. ඒ් අතර ප්‍රධාන වශයෙන් පහත ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා.
පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම පිණිස දුර ගමන් සේවා සඳහා බස් රථ 600 ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් ධාවනයට එක්කිරීමට නියමිතයි. එහි මූලික කටයුතුවලට රුපියල් මිලියන 3,600 ක් වෙන් කර තිබෙනවා.
එසේම ශ්‍රී ලංගම බස් රථ 307ක ගෙවී ගිය එන්ජින් කට්ටල ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 2,062 ක් ලබන වසර සඳහා වෙන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ සහ වැඩපොළවල් සඳහා අවශ්‍ය නව මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපකරණ සපයා ගැනීම සඳහා රුපියල් මිලියන 790 ක් වෙන් කර ඇති බවද සඳහන් කරන්න කැමතියි.
දුම්රිය සේවාව තවදුරටත් කාර්යක්ෂම හා මගී හිතැති සේවාවක් බවට පත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත නව ඩීසල් බලවේග කට්ටල 5 ක් ලබා ගැනීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 3,300 ක් වෙන් කර තිබෙනවා. තවද, දුම්රිය මගීන් සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත්‍ර ලබා දීම ඇතුළු දුම්රිය සේවාව ඩිජිටල්කරණය කිරීමේ මූලික කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා.
තවද දිවයිනේ ඇතැම් මාර්ගවල බස් රථ ධාවනයේ දී ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හේතුවෙන් පුද්ගලික අංශයේ සේවා සපයන්නන් සිය බස් රථ ධාවනය සීමා කිරීමට පෙළඹී ඇති බව පෙනී යනවා. මේ හේතුවෙන් එම ග්‍රාමීය ප්‍රදේශවල මගී ජනතාව දැඩි අපහසුතාවන්ට ලක්වෙනවා. එවැනි මාර්ග විධිමත්ව හඳුනාගෙන, තිරසාර ප්‍රවාහන සේවයක් ලබා දීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීමට යෝජනා කරන අතර අන්තර්කාලීන විසඳුමක් ලෙස රුපියල් මිලියන 2,000 ක අතිරේක ප්‍රතිපාදනයක් 2026 වසර සඳහා වෙන් කිරීමට යෝජනා කරනවා.
26.2 මහා මාර්ග සංවර්ධනය
රටේ ඇතිවූ ආර්ථික අර්බුදය සමඟ මාර්ග සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් අතරමග නතර කරනු ලැබුවා. ඒ හේතුවෙන් විවිධ ගැටළු රැසකට මුහුණ දීමට සිදුවුනා. එම ව්‍යාපෘතිවල ඇති ගැටළු මග හරවා ගනිමින් නැවත මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට අප පියවර ගත්තා. සමස්ත මාර්ග සංවර්ධනයට 2026 වසර සඳහා රුපියල් මිලියන 342,000 ක් වෙන් කර තිබෙනවා. ඒ් අතර පහත ව්‍යාපෘති ඇතුළත් වෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගය පළමු අදියර
මේ වන විට අතරමඟ නවතා තිබු අධිවේගී මාර්ග අතුරින් විශේෂයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස ඉදි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීම පිළිබඳව ද තීරණයකට එළඹී ඇති අතර කඩවත-මීරිගම අධිවේගී මාර්ග කොටසේ සංවර්ධන කටයුතු දැනටමත් ආරම්භකර ඇති අතර 2026 වසර සඳහා රුපියල් මිලියන 66,150 ක් වෙන් කර තිබෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගය තුන්වන අදියර
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වන තෙවන අදියරෙහි පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් 2027 වර්ෂයේ මුල් කාර්තුවේ අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 10,500 ක් වෙන් කර ඇත. තවද, එම අදියරෙහි රඹුක්කන ගලගෙදර කොටසෙහි ඉදිකිරීම් කටයුතු රාජ්‍ය මූල්‍ය අවකාශය කෙරෙහි ද අවධානය යොමු කරමින් දේශීය අරමුදල් යටතේ ආරම්භ කිරීමට යෝජනා කරනවා. ඒ සඳහා, මාර්ග සංවර්ධන අධිකාරිය ලබාගෙන ඇති ණය මුදලින් ඉදිරි වර්ෂයන්හි දී ගෙවිය යුතු ණය මුදලෙහි කොටසක් මෙම වසර තුළ දී ගෙවා අවසන් කිරීම නිසා ඉදිරි වර්ෂයේ දී ඉතිරි වන ප්‍රතිපාදන සහ තවත් අතිරේක ප්‍රතිපාදනයක් ද ඇතුළුව රුපියල් මිලියන 20,000 ක ප්‍රතිපාදනයක් සලසා දීමට යෝජනා කරනවා.
කටුගස්තොට - ගලගෙදර මාර්ග කොටස
එමෙන්ම, කටුගස්තොට සිට ගලගෙදර දක්වා වන මාර්ග කොටස ද පුළුල් කිරීමට අවශ්‍ය අධ්‍යයන කටයුතු ද ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමට සමගාමීව මහනුවර නගරය වෙත ප්‍රවේශ වන මාර්ග කිහිපයක් පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන සලසා ඇති අතර එමඟින් මහනුවර නගරයේ රථවාහන තදබදය යම් පමණකට අඩු කිරීමට අපේක්ෂා කරනවා.
කුරුණෑගල-දඹුල්ල යෝජිත අධිවේගී මාර්ගය
කුරුණෑගල දඹුල්ල යෝජිත අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතිනවා. එහි ඉඩම් අත්පත් කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කර තිබෙනවා.
රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුව සිට ඉංගිරිය දක්වා පළමු කොටස
රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝ මීටර් 25 ක අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් අක්‍රමවත් ලෙස තැනින් තැන සිදු කර ඇති අතර ආර්ථික අර්බුදයත් සමඟ එම ඉදිකිරීම් තාවකාලිකව නවත්වා තිබෙනවා. මෙසේ අඩක් නිම කළ ඉදිකිරීම් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව ආර්ථික, සමාජීය මෙන්ම පාරිසරික ගැටළු රාශියකට ද මුහුණ පා සිටිනවා. එබැවින් මෙම මාර්ග කොටස සඳහා 2018 වසරේ දී සිදු කර ඇති ශක්‍යතා අධ්‍යයනය නැවත සමාලෝචනයකට ලක් කර ඒ මඟින් ලැබෙන තොරතුරු විශ්ලේෂණයකින් අනතුරුව, කහතුඩුව සිට ඉංගිරිය දක්වා දැනට පවතින ප්‍රවේශය වැඩි දියුණු කිරීම පිළිබඳව තව දුරටත් සළකා බැලීමට අපේක්ෂා කරනවා. මෙම අධිවේගී මාර්ග කොටසේ ඉඩම් අත්පත් කර ගැනීම ද අඛණ්ඩව සිදු කරමින් පවතින අතර ඒ සඳහා රුපියල් මිලියන 1,500 ක් වෙන් කර තිබෙනවා.
කුළුණු මත ඉදි කෙරෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ සිට සමුද්‍රීය මාර්ග (Marine Drive) දිගුව (අදියර II)
දක්වා සම්බන්ධතාවය ඉදිකිරිම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
කොළඹ වරාය හා වරාය නගරය වෙත මාර්ග සබඳතාවය ඇති කිරීම අරමුණු කර ගනිමින් කුළුණු මත අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ඉදිවෙමින් පවතින අතර එම අධිවේගී මාර්ගය ජාතික මාර්ග පද්ධතිය වෙත එකතු වීමත් සමඟ කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව ලෝටස් වටරවුම ප්‍රදේශයේ හා තදාසන්න ප්‍රදේශවල ඇති වේ යැයි අපේක්ෂිත රථවාහන තදබදය අවම කිරීමේ උපාය මාර්ගයක් වශයෙන් කුළුණු මත ඉදි කෙරෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ වරාය නගර අන්තයේ සිට සමුද්‍රීය මාර්ගය (Marine Drive) දක්වා සම්බන්ධතාවය ඉදිකිරිම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට රුපියල් මිලියන 330 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
26.3 මාර්ග අනතුරු අවම කිරීම සඳහා ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
මෑත කාලීනව මාර්ග අනතුරු සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එයින් සැලකිය යුතු සංඛ්‍යාවක් මාරක රිය අනතුරු බව නිරීක්ෂණය වී තිබෙනවා. ශ්‍රී ලංකා පොලිස් මාර්ග අනතුරු වාර්තාවට අනුව, 2024 වසර තුළ මාර්ග ආශ්‍රිත අනතුරු 24,589 ක් වාර්තා වී ඇති අතර එයින් 2,262 ක් මාරාන්තික අනතුරු වෙනවා. මෙම අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2,368 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙනවා. මෙම මාර්ග අනතුරු මහජනතාවට අහිතකර බලපෑම් ඇති කරනවා පමණක් නොව සමස්තයක් වශයෙන් ජාතියට සැලකිය යුතු ආර්ථික පාඩු ද ඇති කරනු ලබනවා.
මාර්ග සඳහා ආරක්ෂිත ක්‍රමෝපායයන් ඇතුළත් කිරීම, අනාරක්ෂිත මාර්ග කොටස් වැඩිදියුණු කිරීම ඇතුළු මාර්ග ආරක්ෂාවට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් පුළුල් මාර්ග ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
27. බලශක්ති ක්ෂේත්‍රය
27.1 හරිත බලශක්තිය
ගරු කථානායකතුමනි,
අප රජය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී බලයට පත් වූ දා සිට, අපගේ පාරිභෝගිකයින්ට හොඳම මිල ගණන් සහතික කිරීම අරමුණු කර ගනිමින්, රජයේ ප්‍රසම්පාදනයන් සඳහා තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමය හඳුන්වා දීමට තීරණාත්මක පියවර ගෙන තිබෙනවා. මෙම උත්සාහයේ ප්‍රධාන ජයග්‍රහණයක් මෑතක දී සිදු කල විදුලිබල ව්‍යාපෘති ප්‍රදානය කිරීමේ දී පැහැදිලි ව දැක ගත හැකි වුනා. පසුගිය පාලනය විසින් සුළං බලය එකතු කිරීමේ උප පොළක් සඳහා වන පිරිවැය පවා නොමැතිව, සමස්තය මෙගාවොට් 500 ක ව්‍යාපෘති කිලෝවොට් පැයකට ඇමෙරිකානු ඩොලර් ශත 8.26 ක අනුපාතයකින් විදුලිබල උත්පාදනය සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ටෙන්ඩර් දෙකක් ප්‍රදානය කර තිබුණා.
ගරු කථානායකතුමනි, අපි මෑතකදී එනම් 2025 වසරේ ඔක්තෝබර් මස 28 වන දින මුල්ලිකුලම් හි විදුලි ව්‍යාපෘති දෙකක් සඳහා ටෙන්ඩර් දෙකක් විවෘත කළ අතර ඉන් ලබාගැනීමට හැකි වූ විශිෂ්ට ප්‍රතිඵල පිළිබඳව මම මේ සභාවට ඉතා ආඩම්බරයෙන් වාර්තා කිරීමට කැමතියි. ඒ අනුව එහි 1 වන කොටස වන මෙගා වොට් 50 ක බලාගාරයක් සඳහා, ඒකකයකට ඇමෙරිකානු ඩොලර් ශත 3.96 ක් සහ 2 වන කොටස වන මෙගා වොට් 50 ක බලාගාරයක් සඳහා ඇමෙරිකානු ඩොලර් ශත 3.77 ක් වැනි මිලකට ලංසු ඉදිරිපත් වී තිබුණා. මීට අමතරව, මන්නාරම අදියර 1 පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, එනම් මෙගා වොට් 50 ක ව්‍යාපෘතිය, ඒකකයකට ඇමෙරිකානු ඩොලර් ශත 4.65 ක ආකර්ෂණීය මිලකට ප්‍රදානය කරනු ලැබුවා.
27.2 මහජන කේන්ද්‍රීය බලශක්ති පරිවර්තනයක්
මහජන කේන්ද්‍රීය බලශක්ති පරිවර්තනයක් (People-centric Energy Transition) කරා යන ගමනේ ප්‍රමුඛ පියවරක් ලෙසින්, ජාතික ආර්ථිකය සහ ජනතාවගේ ජීවන මට්ටම නගා සිටුවීමේ අරමුණ පෙරදැරිව, විදුලිබල පනත සංශෝධනය කර, ජනන, සම්ප්‍රේෂණ, බෙදාහැරීම හා පද්ධති පාලන ලෙස පූර්ණ රාජ්‍ය සතු සමාගම් 4 ක් ස්ථාපිත කරනු ලැබූවා.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති 2025 - 2044 දිගු කාලීන ජනන සැලැස්ම අනුව ඉදිරි දශකය තුළ විදුලිබල අවශ්‍යතාවය සියයට 60 කින් පමණ වැඩි වනු ඇති බව ගණන් බලා තිබෙනවා.
අපි දශක ගණනක් පුරාවට මොන ප්‍රභවයෙන් ද විදුලිය ජනනය කරන්නේ කියලා තර්ක කර කර හිටියා. සැලසුම් යල් පැන්නා, ප්‍රසම්පාදන නිසි පරිදි සිදු වුණේ නෑ, ඉදි කිරීම් ප්‍රමාද වුණා. ජනනය කරන විදුලිය බොහෝ දුරට අලෝකය ලබා ගන්න, Fan එකක්, AC එකක් දාගන්න පමණක් අවධානය යොමුකළා, ඉන් ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යන බවට තර්ක කළ හැකි වුවත්, ආර්ථික කාර්යයන් සඳහා විදුලි පරිභෝජනය බල ගැන්වීමේ දුර්වලතා එලෙසම පැවතුණා.
අප දැන් විදුලි බලය උපයෝගී කරගෙන ජාතික ආර්ථිකය පණ ගැන්වීම උදෙසා නව ක්ෂේත්‍ර වෙත ප්‍රවේශ වීම කෙරෙහි අවධානය යොමු කරනවා. එනම්;
1. Data Centres (දත්ත පද්ධති මධ්‍යස්ථාන)
2. Transport Electrification (ප්‍රවාහන විද්‍යුත්කරණය)
3. Green Hydrogen (හරිත හයිඩ්‍රජන්)
4. Green Ammonia (හරිත ඇමෝනියා)
වැනි නව ආර්ථික අවස්ථා අරමුණු කරගත් විදුලි පරිභෝජනයක් හදාගන්න අවශ්‍යයි. ඒ සඳහා විදුලි සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ පද්ධති නවීන සුහුරු තාක්ෂණය ඔස්සේ දියුණු කරගන්න අවශ්‍යයි.
මේ කාර්යය සවිබල ගැන්වීම සඳහා බලශක්ති (Energy), ඩිජිටල් (Digital), ප්‍රවාහන (Transport) ඒකාබද්ධ ආර්ථික ප්‍රවර්ධන රාමුවක් (Integrated Economy Development Framework) ස්ථාපිත කරනවා.
ඒ සඳහා අවශ්‍යවන නීතිමය රාමුව සකසාගැනීමේ අරමුණින් බලශක්ති පරිවර්තන පනත (Energy Transition Act) ලබන වසර තුළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
28. ඌන උපයෝජිත ගොඩනැඟිලි හා ඉදිකිරීම් ඵලදායී ලෙස භාවිතයට ගැනීම
විවිධ රජයේ ආයතන විසින් ඉදි කර දැනට අත්හැර දමා හෝ අර්ධ වශයෙන් නිම කර නිසි පරිදි භාවිතයට නොගන්නා ඉදිකිරීම් 2,700 කට වඩා වැඩි ප්‍රමාණයක් පවතින බවට දැනට වාර්තා වෙනවා. ඒවා අධ්‍යාපන ගොඩනැඟිලි, රෝහල්, පේෂ කර්මාන්ත ගොඩනැඟිලි, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, ප්‍රජා ශාලා, සේවා පියස හා බහුකාර්ය ගොඩනැඟිලි, ගබඩා, සංස්කෘතික මධ්‍යස්ථාන හා වෙනත් ගොඩනැඟිලි ලෙස හදුනාගෙන තිබෙනවා.
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය තුළින් මෙම ඌන උපයෝජිත ගොඩනැඟිලි හෝ ඉදිකිරීම් වැඩිදියුණු කර ආදායම් ඉපයිය හැකි ව්‍යාපෘති වන හෝටල්, ව්‍යාපාරික මධ්‍යස්ථාන, කර්මාන්තශාලා හෝ වෙනත් කාර්යයන් සඳහා යෙදවීම පිළිබඳ අධ්‍යයනය කර ඒ අනුව මෙම සම්පත් ඵලදායී ලෙස භාවිතයට ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරනවා.
ඒ අනුව අතීතයේ නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව අධික වැය බරක් දරා ඉදිකර ඇති මෙම ඉදිකිරීම් වර්තමානයේ විනාශ වී යාමට නොදී ප්‍රශස්ත ලෙස භාවිතයට ගැනීම තුළින් මෙම ආයෝජන සඳහා වටිනාකමක් ලබා දීමට කටයුතු කරනවා.
29. සැපයුම් දාම සංවර්ධනය
29.1 වරාය තුළ බහාලුම් මෙහෙයුම් වැඩි දියුණු කිරීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික පිහිටීම උපයෝගී කරගනිමින් වරාය සැපයුම් අංශයේ (Port Logistics) කලාපීය ප්‍රමුඛයෙකු වීමට ශ්‍රී ලංකාවට සැලකිය යුතු විභවතාවයක් තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගයෙන් බටහිර බහාලුම් පර්යන්ත අදියර 2 ව්‍යාපෘතිය, ලෝක බැංකුවේ සහයෝගය ඇතිව යෝජිත වරාය සැපයුම් මධ්‍යස්ථාන (Ports Logistics Centers) සඳහා ශක්‍යතා අධ්‍යයනයන් මෙන්ම යෝජිත කොළඹ උතුරු වරාය සංවර්ධන ව්‍යාපෘතිය ද ඇතුළුව ප්‍රධාන සංවර්ධන මූලාරම්භයන් මඟින් කොළඹ වරායේ ධාරිතාව වැඩි දියුණු කිරීමට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඉදිරි වසරේ දී අපේක්ෂා කරනවා. මීට අමතරව, කෙරවලපිටිය රේගු සත්‍යාපන මධ්‍යස්ථානය සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වෙළඳ පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවනවා.
ශ්‍රී ලංකාවේ වරායන් කලාපයේ ප්‍රමුඛ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව, බාධාවකින් තොරව සහ කාර්යක්ෂම වරාය මෙහෙයුම් සහතික කිරීම සඳහා වරාය ප්‍රජා පද්ධතිය (Port Community System), ඒකාබද්ධ දත්ත කළමනාකරණ පද්ධතිය ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළුව වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය සහ ස්වයංක්‍රීය පහසුකම් වැඩිදියුණු කරනවා.
29.2 ගුවන්තොටුපළ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය (ගුවන් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානය)
ආර්ථික බිඳ වැටීම් සහ අනෙකුත් සාධක හේතුකොට ගෙන අතර මඟ නවතා දමා තිබූ ගුවන් තොටුපොල සංවර්ධනය කිරීමේ දෙවන අදියර 2026 වසරේ මුලදී ඉදිකිරීම් ආරම්භ කරනවා. ඒ සඳහා දැනටමත් ජපානයේ, ජයිකා ආයතනය මූල්‍ය පහසුකම් ලබා දීමට එකඟතාව පල කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ භාණ්ඩ පර්යන්තය පුළුල් කිරීම සහ භාණ්ඩ ප්‍රවාහන පහසුකම ඇතුළු දැනට සිදුවෙමින් පවතින සංවර්ධන කටයුතු සමඟින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් බවට පත්වීමේ මාවතට පිවිසෙමින් සිටිනවා.
කෙසේ වුවද, විශේෂයෙන් ශීත දාම පද්ධතියේ (cold chain system) ඇති අඩුපාඩු, ප්‍රමාණවත් ගබඩා ධාරිතාවක් නොමැතිකම සහ යල් පැන ගිය පද්ධතීන් හේතුවෙන් තවදුරටත් අභියෝගයන් මඟහරවා ගනිමින් ගුවන් භාණ්ඩ අංශයේ පූර්ණ විභවය ළඟා කර ගැනීමට මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මූල්‍ය තිරසාරභාවය සහතික කිරීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් (PPP) හරහා ගුවන් භාණ්ඩ හැසිරවීමට අවශ්‍ය ශීත ගබඩා වැනි දියුණු පහසුකම්, අලුතින් ඉදිකරන ලද භාණ්ඩ පර්යන්තය වෙත ලබා දීමට යෝජනා කරනවා.
30. නගර සංවර්ධනයට නව ප්‍රවේශයක්
නිසි අධ්‍යයනයකින් සහ සැලසුම් වලින් තොරව අවිධිමත් ලෙස සහ ප්‍රමුඛතාගත කිරීමකින් තොරව නගර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වී ඇති අතර එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට හැකියාවක් ලැබුනේ නෑ. එබැවින්, 2026 වසරේ සිට නගර සංවර්ධන ක්‍රියාවලිය විධිමත් සැලැස්මකට අනුව සහ නිසි අධ්‍යයනයන් සහිතව සිදු කරනවා. කාර්යක්ෂම, තිරසර, සංචාරක, සහ ආයෝජන ආකර්ෂණය සහිත නගර පද්ධතියක් ස්ථාපනය කිරීමට කටයුතු කරනු ලබනවා. යාපනය, ඇහැලියගොඩ, මඩකලපුව, හලාවත, මාතර, ඇතුළු දිවයින පුරා හඳුනාගත් නගර 10 ක් ශක්‍යතාව හඳුනාගැනීමේ මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් සූදානම් කර ඇති අතර එය අවශ්‍යතාව හා ප්‍රගතිය අනුව මුදාහැරීමට කටයුතු කරනවා.
මාතලේ නගරයට පිවිසීමේ දී දැනට තිබෙන තදබදය අඩු කිරීම සඳහා මං තීරු ප්‍රමාණය මං තීරු 4 දක්වා පුළුල් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම හා නගර සැලැස්ම සකස් කිරීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. හැටන් නගරයේ අධික තදබදයට සුදුසු පිළියම් ලබා දීම සඳහා අවශ්‍ය නගර සැළැස්ම සූදානම් කිරීමට 2026 වසරේ බලාපොරොත්තු වන අතර එහි දැනට පවතින තදබදය අවම කිරීමට කෙටිකාලීන කඩිනම් විසඳුමක් ලබා දීමටත් යෝජනා කරනවා. මේ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරනවා.
රත්නපුර නගරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, පැරණි නගරයේ පිහිටා ඇති රජයේ නිල නිවාස නව නගර ප්‍රදේශයට නැවත ස්ථානගත කිරීමට යෝජනා කරනවා. දිගුකාලීන නේවාසික අවශ්‍යතා සපුරාලීම සඳහා එම ස්ථානගත කිරීම ප්‍රයෝජනවත් වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ සඳහා මෙවර අයවැයෙන් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
30.1 පළාත් පාලන ආයතන සඳහා කසල කළමනාකරණ පහසුකම්
නාගරීකරණය ක්‍රමයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවයන් සමඟ, පළාත් පාලන ආයතන සඳහා විධිමත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය අභියෝගයක් වී ඇත. කැලි කසල නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් පාරිසරික හා සෞඛ්‍යමය බලපෑම්, සතුන්ට වන පීඩාවන් සහ මහජන මැසිවිලි වැනි ගැටළු දිනෙන් දින උග්‍ර වෙමින් පවතිනවා.
මෙම ගැටලුවට ප්‍රතිචාරයක් ලෙස, පරිසර හිතකාමී, පිරිවැය ඵලදායී සහ සෞඛ්‍යාරක්ෂිත ඝන අපද්‍රව්‍ය ප්‍රවාහන සංයුක්ත වාහන (compactors), ට්‍රැක්ටර්, ටේලර් වැනි උපකරණ පළාත් පාලන ආයතන වෙත ලබාදීම සඳහා 2026 අයවැය මඟින් මුදල් වෙන් කිරීමට යෝජනා කරනවා. 2025 වසරේ ඉතිරි වූ ප්‍රාග්ධන වියදම් තුළින් රුපියල් මිලියන 8,000 ක ලබා දී යන්ත්‍රෝපකරණ 700 ක් මිලදී ගැනීමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, ඝන අපද්‍රව්‍ය විධිමත්ව බැහැර කිරීම සහ නඩත්තු කටයුතු සඳහා රථ වාහන හා උපකරණ ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 900 ක් වෙන් කර තිබෙනවා.
30.2 පළාත්පාලන ආයතනවල වියදම් පියවීම (ප්‍රාදේශීය සංවර්ධනය)
පළාත් පාලන ආයතන ස්වාධීන බලතල සහිත ආයතනයන් වූ නමුත් වැටුප් ගෙවීමට පවා මහා භාණ්ඩාගාරයේ යැපෙන තත්ත්වයකට පත්කර තිබෙනවා. මහා භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙවීම සඳහා ප්‍රතිපාදන ලබාදීමේ දී, ඇස්තුමේන්තුවෙන් සියයට 20 හා 40 යන ප්‍රතිශතයන් අඩු කර ප්‍රතිපාදන ලබාදීමේ පවතින ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කරනවා.
ඒ අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් මෑතකදී සිදු කරන ලද අධ්‍යයනය පදනම් කරගෙන, පළාත් පාලන ආයතනවල ආදායම් හා සත්‍ය වියදම් සැලකිල්ලට ගනිමින් එක් එක් පළාත් පාලන ආයතනය සඳහා රජයේ දායකත්වය ලබා දෙන විධිමත් ක්‍රමවේදයක් ආරම්භ කිරීමට යෝජනා කරනවා.
ඒසේ කටයුතු කිරීමේ දී යම් පළාත් පාලන ආයතනයක අයවැය හිඟයක් ඇති වූවහොත් එය පියවීම සඳහා මූලධන වියදම් වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදෙනවා.
2026 අයවැය මඟින්, පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම, පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආදායම් උත්පාදනය වැඩසටහනේ සඳහා රුපියල් මිලියන 2,500 ක් වෙන් කර තිබෙනවා.
30.3 වීදි සුනඛයන්ගේ රැකවරණය හා සුරතල් සතුන් භූමදාන කිරීම / ආදාහන කිරීම සඳහා සේවා හා පහසුකම් හඳුන්වාදීම
නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවන රටාවන් වෙනස් වීමත් සමඟම සුරතල් සතුන් ඇති කිරීමේ ප්‍රවණතාවය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. ඒ සමඟ, සුරතල් සතුන් මිය ගිය විට භූමදානය කිරීම සහ ආදාහනය කිරීම ගැටලුවක් වී පවතිනවා. ඒ සඳහා ගෞරවනීය සහ පාරිසරික වශයෙන් වගකිවයුතු විකල්ප සඳහා ඉල්ලුමද වැඩිවී තිබෙනවා.
එමෙන්ම, නාගරික ප්‍රදේශවල ව්‍යාප්තව පවතින වීදි සුනඛයින් සහ සුරතල් සතුන් රැක බලා ගැනීම ක්‍රමවේදයක් ද පළාත් පාලන ආයතන හා එක්ව සංවර්ධනය කිරීම අවශ්‍ය බව අවධානයට ගෙන තිබෙනවා.
මෙම අවශ්‍යතාවයට අවධානය යොමු කිරීමක් වශයෙන්, සුරතල් සතුන් භූමදානය කිරීම, ආදාහනය කිරීම සහ වීදි සතුන් රැක බලා ගැනීම සඳහා සේවා සැපයීම දිරිමත් කිරීමේ අරමුණින්, කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතනයන් හී නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
31. සෑම පුද්ගලයෙකුටම ආරක්ෂිත නිවසක්
"හිසට සෙවනක් කියන්නේ හිතට නිවනක් කියලයි" සෑම පුරවැසියෙක්ම විශ්වාස කරන්නේ. තරාතිරමක් නැතිව සෑම මිනිසකුටම ජීවත් වීමට සුදුසු නිවහනක් තිබීම මූලික මිනිස් අයිතිවාසිකමක් වෙනවා. නිවසක් වෙනුවෙන් ජීවිත කාලය පුරාම අප්‍රමාණ දුක් විඳින, සුසුම් හෙලන මිනිස්සු මේ රටේ ඉන්නවා. අපේ රටේ පුරවැසි ජීවිතවලට සැනසිල්ලක් රැගෙන එන බලාපොරොත්තුව ඇතිව අපි, නිවසක සිහිනය සැබෑ කිරීමේ කටයුත්ත ආරම්භ කරනවා.
නිවාස ගැටලු පැන නැගීමට කරුණු රැසක් බලපානවා. ඒ අතරේ දරිද්‍රතාවය, ප්‍රමාණවත් ආදායමක් නොලැබීම, ඉඩම් හිඟකම, ඉදිකිරීම් පිරිවැය ඉහළ යාම, සංක්‍රමණය, අවිධිමත් නාගරීකරණය, අවතැන් වීම්, සහ ස්වභාවික ව්‍යසන ආදී හේතු රැසක් පවතිනවා. මෙවැනි, නිවාස ගැටලුවලට මුහුණ පා සිටින සියලු කණ්ඩායම් ආවරණය කරමින්, අලුත්ම ප්‍රවේශයකට අනුව නිවාස සංවර්ධන වැඩසටහනක්, 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. එම වැඩසටහන යටතේ, දැනට ඉදිවෙමින් පවතින නිවාස ඇතුළුව නව නිවාස 27,000 ක වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරනවා.
31.1 අඩු ආදායම්ලාභීන් හා නාගරීකරණ හේතුවෙන් ඇති වූ නිවාස ගැටලු විසඳීම
අඩු අදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුවලට පිළියමක් ලෙස ලබන වසරේ සිට “තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස වැඩසටහන අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ඒ යටතේ නිවාස 70,000 ක් මධ්‍යකාලීනව ඉදි කිරීම අපේක්ෂා කරනවා. ඒ සඳහා, 2026 වසරේ නිවාස 10,000 ක් ඉදිකිරීම වෙනුවෙන් දැනට වෙන්වී ඇති රුපියල් මිලියන 7,200 ට අමතරව තවත් මිලියන 3,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
කොළඹ සහ තදාසන්න නගරවල ‘නාගරික වතු’ ලෙස හෝ අඩු පහසුකම් සහිත නාගරික ජනාවාස ලෙස හඳුනාගත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඇපල්වත්ත, මාදම්පිටිය, ෆර්ගසන් මාවත, ඔබේසේකරපුර, ස්ටේඩියම්ගම, කොළඹගේ මාවත සහ ටොරින්ටන් පෙදෙස නිවාස ඉදිකිරිම වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 15,000 ක් වෙන්කර තිබෙනවා.
චීන රජයේ ආධාර යටතේ මොරටුව, පෑළියගොඩ, දෙමටගොඩ, මහරගම, සහ කොට්ටාව යන ස්ථානවල නිවාස 1,996 ක් පමණ ඉදිවෙමින් පවතින අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 6,500 ක් දැනටමත් වෙන් කර තිබෙනවා. එම නිවාස අතුරින් මාධ්‍යවේදීන් හා කලාකරුවන් සඳහා ද නිවාස ලබා දීමට කටයුතු කරනවා.
රජය විසින් ඉදිකරන ලද පැරණි මහල් නිවාස සංකීර්ණවල තත්ත්වය ඉතා කණගාටුදායක වන අතර ඒවා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 1,180 ක් වෙන් කර තිබෙනවා.
කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය සඳහා බාධාවක්ව පවතින අනවසර පදිංචි කරුවන් වෙනත් සුදුසු ස්ථානවල පදිංචි කරවීම සඳහා රුපියල් මිලියන 840 ක් වෙන් කර තිබෙනවා.
31.2 මලයගම් ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීම
ඉන්දීය රජයේ සහයෝගය සහිතව මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල වෙසෙන මලයගම් වතු කම්කරු ප්‍රජාවගේ නිවාස සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම උදෙසා නිවාස 2,000 ක් ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 4,290 ක් වෙන් කර තිබෙනවා. තවද, ඉන්දීය රජයේ සහයෝගය සහිතව දැනට උතුරු සහ දකුණු පළාත්වල ඉදිවෙමින් පවතින නිවාස 943 ක වැඩ නිම කිරීම සඳහා රුපියල් මිලියන 1,305 ක් වෙන් කර තිබෙනවා.
31.3 ස්වභාවික ව්‍යසන නිසා අවතැන් වූ ජනතාව සඳහා නිවාස ලබාදීම
නායයාම හා අනෙකුත් පාරිසරික හේතු මත අවදානම් ප්‍රදේශවල ජීවත්වෙන ග්‍රාමීය හා වතු ආශ්‍රිත පවුල් ඒකක 9,000 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. එම පවුල් ඒ්කක සඳහා ඉදිරි වසර 3 තුළ, ආරක්ෂිත නිවාස ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. මේ වසරේ පවුල් 1,200 ක් සඳහා නිවාස ඉදිකිරීමට දැනට වෙන්කොට තිබෙන මිලියන 1,000 ක මුදලට අමතරව අතිරේක රුපියල් මිලියන 2,000 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරනවා.
31.4 අභ්‍යන්තර අවතැන් වූ ප්‍රජාව වෙනුවෙන් නිවාස ලබා දීම
උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුද්ධය හේතුවෙන් කිසිම නිවසකට හිමිකමක් නොමැති පවුල් වෙනුවෙන් නිවාස 2,500 ක් ඉදිකිරීම සඳහා දැනට වෙන්කර තිබෙන රුපියල් මිලියන 3,850 ක ප්‍රතිපාදනය රුපියල් මිලියන 5,000 ක් දක්වා වැඩි කරනවා.
31.5 නැවත සමාජගත වීම සහ ළමා රැකවරණය වෙනුවෙන් නිවාස ආධාර
2025 අයවැය මඟින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දෙමින්, ළමා රැඳවුම් නිවාසවල හැදී වැඩුණු තරුණ තරුණියන්ට ස්ථාවර සහ ආරක්‍ෂිත නිවසක් සාදා ගැනීමට ප්‍රදානයක් ලබා දීමෙන් ඔවුන්ගේ ජිවිත නැවත ගොඩනගා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් අප නව ගමනක් ආරම්භ කරනු ලැබුවා. මෙම මුලපිරීම තවත් ශක්තිමත් කරමින් තම ජිවිතයේ ඕනෑම අවධියක ළමා රැඳවුම් නිවාසවල ජිවත් වී සමාජගත වුවන්ට සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් හඳුනාගෙන ඇති අවදානමට ලක්වී ඇති දරුවන්ගේ පවුල්වලට, ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකිරීමට, තමන් සතු ඉඩමක නිවසක් ඉදිකිරීමට හෝ පවතින නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 02 ක මුල්‍ය ප්‍රතිපාදනයක් ලබා දීමට අප යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
32. රාජ්‍ය සේවය නව්‍යකරණය කිරීම
අප රට ආර්ථික, සමාජයීය හා සංස්කෘතික ලෙස ඉදිරි ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බව පිළිගන්නවා. එහෙත් වර්තමානයේ මහජන සේවා සම්පාදනය වෙනුවෙන් රාජ්‍ය සේවය සඳහා සාපේක්ෂව ඉහළ වැය බරක් දරනු ලබනවා. දේශපාලනීකරණය වුනු රාජ්‍ය බඳවා ගැනීම්, සිය කාර්යභාරය ඓතිහාසිකව අවසන් වූ ආයතන, එකම කාර්යයන් වෙනුවෙන් ගොඩ නඟා තිබෙන විවිධ ආයතන එයට ඉවහල් වී තිබෙනවා.
අප රජය විසින් ලබා දිය යුතු අත්‍යවශ්‍ය සේවාවන් නිසි ඇගයීමකට ලක් කරමින් කාර්යභාරය අවසන් වූ රාජ්‍ය ආයතන වසා දැමීමටත්, එකම කාර්යය කරන විවිධ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමටත්, යල් පැනගිය අරමුණු නව අරමුණුවලට අනුව ප්‍රතිසංවිධානය කිරීමටත් කටයුතු කරනවා. එවැනි කිසිදු වාණිජ, නියාමන හෝ පරිපාලන කටයුත්තක් සිදුනොවන ආයතන 33 ක් වසා දැමීමට කටයුතු ආරම්භ කර තියෙනවා. තවද, වාණිජ නොවන, පිහිටුවීමේ මුල් අරමුණෙන් අපගමනය වූ හා වර්තමාන සන්දර්භයට නොගැළපෙන ආයතන ද හඳුනාගෙන ඇති අතර ඒවා වසා දැමීමට සූදානම් කරනවා.
ඉහත රාජ්‍ය ව්‍යසායයන් ජාතික ආර්ථිකයට හෝ සේවා සැපයීමට කිසිදු දායකත්වයක් නොමැති අතර, ඒවායේ මූල්‍ය වාර්තා සොයාගැනීම ඉතා අපහසු සේම නිරවුල් නොකරන ලද වගකීම්, හා වත්කම් හිමිකාරිත්වයේ පවතින නීතිමය ගැටළු නිසා මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුනේ නැහැ. මෙම ගැටළු විසඳමින් එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය යටතේ ඒකකයක් දැනටමත් පිහිටුවා තිබෙනවා.
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ ලබා දී ඇති නිර්දේශ පදනම් කර ගනිමින් ආයතන 21 ක් එකම කාර්යයන් ඒකාබද්ධ වන ආකාරයෙන් ප්‍රතිසංවිධානය කිරීමටත්, පර්යේෂණ ක්ෂේත්‍රයේ ඇති ආයතන 14 ක් ඒකාබද්ධ කර ජාතික මට්ටමේ එක් ආයතනයක් පිහිටුවීමටත්, දැනට වාණිජ ආකෘතියක කටයුතු නොකරන ආයතන 9 ක් මූල්‍ය ස්වාධීනත්වයෙන් යුත් ආයතන ලෙස පරිවර්තනය කිරීමටත්, ආයතන 13 ක් ඒවා එවකට පිහිටුවීමේ අරමුණු වර්තමානයට අවශ්‍ය නොවීම මත ඈවර කිරීමටත් කටයුතු කරනු ලැබේ.
32.1 රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් විධිමත් කිරීම
වසර ගණනාවක සිට රාජ්‍ය සේවයට විධිමත් ආකාරයකින් පුරප්පාඩු සඳහා බඳවා නොගැනීමෙන් රාජ්‍ය සේවා යාන්ත්‍රණය මුළුමනින්ම පාහේ අඩපණ වී තිබෙනවා. ඒ නිසා අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද, රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම හා සේවක සංඛ්‍යාව කළමනාකරණය කිරීම සඳහා වන කමිටුව හරහා සිදුකළ විධිමත් අධ්‍යයනයකින් පසුව 75,000 කට ආසන්න පිරිසක් නිසි ක්‍රමවේදයක් යටතේ බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාව පවත්වාගැනීම සඳහා සිටිය යුතු තාක්ෂණික නිලධාරීන්, නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන්, ආදායම් නිලධාරීන් වැනි තනතුරු මීට ඇතුළත් වෙනවා. එසේම, මින් ඉදිරියට රාජ්‍ය අංශයේ සියලු බඳවා ගැනීම්, උසස් කිරීම් ඇතුළු කාර්යයන් දේශපාලන මැදිහත්වීම්වලින් පරිබාහිරව නියමිත විභාග සහ සේවා ව්‍යවස්ථා අනුව පමණක් සිදු කිරීම මඟින් තරුණ තරුණියන්ට සමාන අවස්ථා ලබා දෙනවා.
32.2 රජයේ ආයතනවල ඩිජිටල් ප්‍රවේශය ඉහළ නැංවීම
සෘජුවම මහජන සේවා ලබා දෙන රාජ්‍ය ආයතනවල සංකීර්ණ ක්‍රියාපටිපාටි සරල කර (Business Process Reengineering) ඩිජිටල් ක්‍රමවේද යටතේ එම පහසුකම් කඩිනමින් සැලසීමට කටයුතු යෙදිය යුතුයි. ඒ සඳහා රජය විසින් දැනටමත් සකස් කර ඇති ඩිජිටල්කරණ වැඩසටහනට (Digital Blue Print) අනුගතවන පරිදි යෙදවුම් සඳහා දැනට වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
32.3 රජයේ ආයතනවලට අවශ්‍ය වාහන/පළාත් පාලන ආයතනවලට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ලබා දීම
රජය සතු දැනට පවතින වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණවත් නොවීමත්, පවතින වාහන සහ යන්ත්‍රෝපකරණ බොහෝමයක් පැරණි ඒවා වීමත් හේතුවෙන් ඒවා අළුත්වැඩියා කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා. මෙම තත්ත්වය රජය අපේක්ෂා කරන සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධාවක් වෙලා තිබෙනවා. මෙම තත්ත්වය සලකා බලා, රාජ්‍ය ආයතන වෙත අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසානයේ නැවත ආපසු බාර දීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන රුපියල් මිලියන 12,500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
32.4 රාජ්‍ය ආයතනවල හිඟ ව්‍යවස්ථාපිත ගෙවිම් නිරවුල් කිරීම
රාජ්‍ය ව්‍යවසායයන් සඳහා සේවකයන් බඳවා ගැනීමේ දී දේශපාලන වාසි තකා ආධාරකරුවන්ට රැකියා දෙන ස්ථාන ලෙස භාවිතා කරමින් නිසි කළමනාකරණයකින් හෝ මූල්‍ය විනයකින් තොරව කටයුතු කිරීම නිසා රාජ්‍ය ආයතන ගණනනාවක් ජනතාවට මහා බරක් වන තැනට පත්වී, බැංකුවලට ණය වී, සේවක අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් හා බදු ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට ඇද වැටී තිබෙනවා.
1. සි/ස ලංකා සීනි (පුද්ගලික) සමාගම
2. ජනතා වතු සංවර්ධන මණ්ඩලය
3. ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව
4. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
5. ලංකා ධීවර සංස්ථාව
6. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
7. සි/ස ඇල්කඩුව වැවිලි සමාගම
8. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
9. නොර්ත් සී සමාගම
10. ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය
යන රාජ්‍ය ව්‍යාපාර 10 ක හිඟ සේවක අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල්, පාරිතෝෂිත දීමනා යනාදී ව්‍යවස්ථාපිත දීමනා හා හිඟ බදු නිරවුල් කිරීම සඳහා රුපියල් මිලියන 11,000 ක් අවශ්‍ය වෙනවා.
මෙම නොගෙවා ඇති ව්‍යවස්ථාපිත ගෙවීම් අදියරගතව ගෙවීමට යෝජනා කරන අතර 2026 වසර වෙනුවෙන් රුපියල් මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. එමඟින් මෙම ආයතනවල වර්තමාන සේවකයන්ගේ හිඟ සේවක අර්ථ සාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් මෙන්ම විශ්‍රාමලත් සේවකයන්ගේ සේවක පාරිතෝෂික හිමිකම් ලබාදීම තහවුරු කිරීමටත් ඒවායේ ශේෂපත්‍ර වගකීම් ප්‍රතිව්‍යූහගත කිරීමට ලක්කිරීමත් අපේක්ෂා කරනවා.
32.5 රජය විසින් රාජ්‍ය ව්‍යවසායයන් වෙනුවෙන් නිකුත් කර ඇති භාණ්ඩාගාර ඇපකර හා ආරක්ෂණ ලිපි නිදහස් කිරිම
රජය සතු ව්‍යවසායන්ට ණය ලබා ගැනීමට භාණ්ඩාගාර ඇපකර හෝ ආරක්ෂණ ලිපි රාජ්‍ය බැංකු වෙත ලබා දී තිබෙනවා. දිගු කාලීන පාඩු ලැබීම හා මූල්‍ය අර්බුද හේතුවෙන් එම ව්‍යවසායක්ට මෙම ණය ගෙවීමේ නොහැකියාවක් මතුව තිබෙනවා. 2026.12.31 දින දක්වා අක්‍රිය තත්ත්වයට පත්වන මෙම බැඳීම්, හදිසි අවශ්‍යතාවක් සේ සලකා මෙම වසර තුළ දී නිරවුල් කරනවා.
32.6 ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබා දුන් පොලී සඳහා රජයේ දායක මුදල් ගෙවීම
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම්වලට සියයට 15 ක් පමණ අමතර පොලියක් ලබා දී තිබුණ ද 2022 හා 2023 වසරවල ඒ වෙනුවෙන් බැංකුවලට ගෙවිය යුතුව තිබූ නමුත් මේ දක්වා නොගෙවූ හිඟ මුදල පියවා දමනවා. ඒ සඳහා රජය විසින් දැරිය යුතු පොලියෙන් (රජයේ දායකත්වයෙන්), නොගෙවා තිබූ රුපියල් මිලියන 10,000 ක් 2025 වසරේ දැනටමත් ගෙවා ඇති අතර ඉතිරි රුපියල් මිලියන 45,700 ක හිඟ මුදල ද මෙම වසරේ දීම සම්පූර්ණයෙන් ගෙවා දැමීමට කටයුතු කරනවා.
33. රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප්
33.1 වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම
වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්ති තිරසාර ආකාරයකට කළමනාකරණය කිරීම අපගේ වගකීමයි. වසර ගණනාවක් පුරා ඇති වූ වැටුප් විෂමතා, සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති වන අභියෝග සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳව ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කරනවා.
33.2 දායක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම් පිළිබඳව පත්වීම් ලිපියේ කොන්දේසිය සංශෝධනය කිරීම
2016.01.01 දිනට හෝ ඉන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා නිකුත් කරනු ලබන පත්වීම් ලිපිවල, දායක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම් පිළිබඳව සඳහන් කර තිබෙනවා. නමුත් එවැනි සේවකයෙකු විශ්‍රාම ගතහොත් දැනට පවතින විශ්‍රාම ක්‍රමයෙන් බැහැරව සැලකීම ප්‍රායෝගික නොවේ. විශ්‍රාම වැටුප් හිමිකම් පිළිබඳ වගන්තිය පත්වීම් ලිපිවලින් ඉවත් කරනු ලබමින් පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කරනු ලබනවා.
33.3 රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමේ දෙවන අදියර
2025 සිදුකරන ලද වැටුප් සංශෝධනවලට අනුව එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක ප්‍රතිපාදනයක් වෙන් කර තිබෙනවා. ඒ අනුව, 2026 වසරේ ජනවාරි මාසයේ වැටුප සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කරනවා.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්